Main Logo

Sunday 22 December 2019

තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව

      සිංහල ලිත් ඉලක්කම් 


තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව




තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු පත් කර ගෙන ඉන්නවා. එතුමා අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගෙන තියෙනවා. එය ඊනියා භාරකාර ආණ්ඩුවක් නොවෙයි. භාරකාර ආණ්ඩුවක් තිබිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක දී. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඕනෑම අවස්ථාවක එ ජා පෙරමුණට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ආණ්ඩුව පරද්දන්න පුළුවන්. 


අද එ ජා පෙරමුණ වැඩ කරන්නේ 2015 පරාජයෙන් පසු ඊනියා ඒකාබද්ධ විපක්‍ෂය වැඩ කළ අයුරින් නො වෙයි. එදා ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ දී වැඩි කලබලයක් කෙළේ නැහැ. එහෙත් අද එ ජා පෙරමුණ හැසිරෙන්නේ තමන් තවමත් බලයේ ඉන්නා ආකාරයෙන්. එ ජා පෙරමුණේ අභ්‍යන්තර නායකත්ව අර්බුදය නොවන්නට ඔවුන් වඩාත් චණ්ඩ ආකාරයකින් හැසිරෙන්න තිබුණා. අද එ ජා පෙරමුණ පිටුපස බටහිර රටවල් ඉන්නවා. බටහිර රටවලට හා ඉන්දියාවට අවශ්‍ය ආණ්ඩුව අපකීර්තියට ලක් කරන්න. ස්විට්සර්ලන්ත තානාපති මැදිහත් වුනේත් ඒ සඳහා. ඔවුන් තවම තම කාර්යය අත් හැර නැහැ. එ ජා පෙරමුණ කටයුතු කරන්නේ බටහිරයන්ගේ ආශිර්වාදයත් රැගෙන. ඔවුන් චණ්ඩින් වී ඇත්තේ එබැවින්. 

අද ආණ්ඩුව කළ යුත්තේ ළඟ එන මැතිවරණයට සූදානම් වීමයි. එහි දී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. ඒ කළ හැක්කේ පොහොට්ටුව හා ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළු පක්‍ෂ දහහත එකතු වීමෙන් පමණයි. පොහොට්ටුවට පමණක් සම්ම ජාතියේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න බැහැ. පොහොට්ටුවේ උද්ධච්ඡයන්ට ඒ බව තේරෙන්නේ නැහැ. සමහර විට තේරුණත් තම මන්ත්‍රිකම රැක ගැනීම ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට වඩා වැදගත් යැයි ඔවුන් සිතනවා. පොහොට්ටුවට තුනෙන් දෙකක් තියා ශ්‍රී ල නි පක්‍ෂය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමටවත් අවස්ථාව නොලැබෙන්න ඉඩ තියෙනවා. 

පොහොට්ටුවේ ඇතැමුන් හිතන්නේ බැසිල්ගේ ඊනියා යාන්ත්‍රණයෙන් සියල්ල ජයගත හැකි ය කියා. මැතිවරණ ජයගන්නේ ඊනියා යාන්ත්‍රණවලින් නොව ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමෙන්. බැසිල්ගේ ඊනියා යාන්ත්‍රණයට 2015 දී ජය ගැනීමට නොහැකි වූයේ ඇයි? ඒ මහින්දට ජනතා කැමැත්ත දිනා ගැනීමට නොහැකි වූ නිසා. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දා ම ඔහු ඉන්දිය විදේශ අමාත්‍යවරයාට පොරොන්දු වුනා දහතුනට එහා යන විසඳුමක් දෙන්නත් දෙමළ පක්‍ෂ සමග තවදුරටත් සාකච්ඡා කිරීමටත්. එමගින් ඔහු නන්දිකඩාල් ජයග්‍රහණය පාවා දැන්නා. ඒ බව මා කියන්නේ අද ඊයේ නො වෙයි. ඒ පිළිබඳ ලිපි ලේඛන හා ඊනියා ට්‍රොයිකා කතා මා කලින් ඉදිරිපත් කර ඇති. මහින්ද මානුෂීය මෙහෙයුම්වලට නායකත්වය දුන්නේ ජාතික ව්‍යාපාරයේ බල පෑම නිසා. ඔහු කලින් සෝමවංශ අමරසිංහගෙන් අසා තිබුණේ යුද්ධ කරන්නේ අරකෙන් ද කියා. මේ සියල්ල මා කලින් කියා ඇති. කාලය ලිපි කියවන්න.

එහෙත් අප මහින්දගේ පාවා දීම  එදා 2009 දී හෝ 2010 දී හෝ දැන සිටියේ නැහැ. මහින්දට  2010 ජයග්‍රහණයක් ලබා ගත හැකි වූයේ ඔහු තම පාවා දීම ප්‍රකාශ වන අයුරින් වැඩ නොකළ නිසා. එහෙත් 2010 ජයග්‍රහණයෙන් පසු ඔහු තමා ඉන්දියාවට දුන් පොරොන්දු අනුව කටයුතු කරන්න පටන් ගත්තා. ජාතික ව්‍යාපාරය තමන් අතට ගෙන අනෙක් අය කොන් කළා. ඔහු අර උගත් පාඩම් හා සංහිඳියා කොමිසමත් (LLRC) පත් කළා.  අපට ඒ සියල්ල පරාජය කරන්න පුළුවන් වුනා. එහෙත් නාගරික සිංහල බෞද්ධ ජනතාව මහින්දගේ වෙනස් වීම තේරුම් ගත්තා. ඔවුන් තමයි 2015 දී මහින්ද පරාජය කෙළේ. බැසිල්ගේ ඊනියා යාන්ත්‍රණයට මහින්ද දිනවන්න බැරි වුනා

ගෝඨාභයගේ සුළුතර ආණ්ඩුව ගැන ජාතිකත්ව මතධාරීන් විමසිල්ලෙන් බලා ඉන්නවා. මේ ලැබූ අවස්ථාව තහවුරු කර ගත හැක්කේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමෙන්. අප කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්. අපේ අරමුණ අවසානයේ දී නැවත සිංහල බෞද්ධ රාජ්‍යය ඇති කිරීමයි. එය අර ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය (Dictatorship of the Proletariat) වගේ එකක් නො වෙයි. එවැන්නක් ලෝකයේ කවදාවත් ඇති වෙලත් නැහැ ඇති වන්නෙත් නැහැ. එය මාක්ස්ගේ හිතළුවක් පමණයි. මා ඊනියා ෆැන්ටසිය කියන බටහිර සංකල්පය යොදා ගන්නේ නැහැ. ඊනියා ෆැන්ටසි තියෙන්නෙ වාස්තවික යථාර්ථයක් තියෙනවා නම් පමණයි. ඊනියා වාස්තවික යථාර්ථයත් හිතළුවක් පමණයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයත් හිතළුවක්. එහෙත් එහි සංගත බවක් තියෙනවා. මාක්ස්වාදය පට්ටම පට්ට පල් බොරුවක්. පුටින්ගෙන් අහන්න. 

ගෝඨාභය සිංහල බෞද්ධ රාජ්‍යය යළි ඇති කරයි කියා අප කිසි දිනෙක කියා නැහැ. මේ සංක්‍රමණීය කාල පරිච්ඡෙදයක් පමණයි. එහි දී අප බලාපොරොත්තු වන්නේ ජාතික ප්‍රතිපත්තිවලට අවතීර්ණ වීම පමණයි. අප මේ ආණ්ඩුව කරන වැඩ ගැන විමසිල්ලෙන් ඉන්නවා. එම් සී සී ගිවිසුම, පාන් පිටි බදු අඩු කිරීම, හාල් මිල පාලනය කිරීමට නොහැකි වීම, වැලි ප්‍රවාහනය ආදිය ගැන දැනටමත් ජාතිකත්ව මතධාරීන් ප්‍රශ්න කරනවා. ඉන්දියාව දෙන්න පොරොන්දු වූ ඩොලර් මිලියන 480 එක්සත් ජනපදයෙන් ලැබෙන්නක් ද යනුවෙන් ප්‍රශ්න කරන අයත් ඉන්නචා.

ඔවුන් එසේ ප්‍රශ්න කිරීම හොඳයි. ඒ හිතවත් කමට කරන්නක්. ඒ අතර සියල්ලන් හෙළා දකිමින් යූ ටියුබ් මගින් තම රූහඬ පටවලට ප්‍රචාරයක් ලබා ගනිමින් මුදල් උපයන සිංහල බෞද්ධ විරෝධී ඉතිහාසයක් තියෙන අයත් ඉන්නවා. ඔවුන් අද සුපිරි දේශප්‍රේමීන් වෙලා. ඔවුන් ආණ්ඩුච ප්‍රශ්න කරන්නේ හිතවත් කමකට නොව තම පඬි බව ප්‍රකාශ කරමින් ජාතිකවාදීන්ට ගරහමින් යූ ටියුබ් මගින් මුදල් ඉපයීමටත් ආණ්ඩුව කෙරෙහි ජනතා කළකිරීමක් ඇති කිරීමටත්.

ආණ්ඩුව පාන් පිටි බද්ද අඩු කිරීම මූලික වශයෙන් හාල් නිෂ්පාදනයට අහිත කරයි. එහෙත් තාවකාලික ව එසේ කර ඇත්තේ ප්‍රීමා සමාගමේ ඒකාධිකාරය බිඳ දැමීමටයි. ප්‍රිමා සමාගම අද තිරිඟු ඇට පිටි කර අධික ලාභයක් ලබනවා. වෙනත් අයකු පිටරටින් පිටි ගෙන්වුවහොත් අධික බද්දක් ගෙවීමට සිදු වෙනවා. ඒ නිසා පිටින් පාන් පිටි ගෙන්වන්නේ නැහැ. ප්‍රීමා සමාගමට ඒ නිසා ඒකාධිකාරයක් ලැබෙනවා. ඔවුන් අධික මිලකට පාන් පිටි විකුණනවා. 

ප්‍රීමා සමාගමේ ඒකාධිකාරය කැඩිය යුතුයි. ඒ වගේ ම හාල් නිෂ්පදනය ද වැඩි කළ යුතුයි. එහි දී වී ගොවිතැන කෘෂිරසායනික ගොවිකමෙන් ද ගොවීන් කෘෂිරසායනික වකුගඩු රෝගයෙන් ද මුදා ගත යුතුයි. මේ සියල්ල කිරීමට දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් මෙන් ම මධ්‍යම හා කෙටි කාලීන වැඩ පිලිවෙළ තිබිය යුතුයි. වැලි ප්‍රවාහනය, චන්ද්‍රසේනගේ ඉඩම් ප්‍රතිසංස්කරණය ආදිය ගැන ද ජාතිකත්ව මතධාරීන්ට ප්‍රශ්න තියෙනවා. 

ආණ්ඩුව ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණ ගැන සවිස්තර තොරතුරු සපයන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි. බන්දුල ගුණවර්ධන රමේෂ් පතිරණ සපයන තොරතුරු මාධ්‍යට ප්‍රමාණවත්. එහෙත් වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය පිරිසක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය තොරතුරු සැපයීම ආණ්ඩුවේ යුතුකමක් හා වගකීමක්. ඒ සඳහා දේශපාලන ඉවක් ඇති තොරතුරු දන්නන් තොරතුරු ලබා දෙන්නන් අවශ්‍යයි. 

ලංකාවේ ඉන්නේ  වියුක්ත කතන්දර හදන්න බැරි වුනත් පංචෙන්ද්‍රිය ගෝචර තොරතුරක් ලැබුණු සැණින් කතන්දර හදන පිරිසක්. ඒ කතන්දර බොහෝ විට ආණ්ඩුවට අවාසි සහගතයි. ඒ අතර තමන් සියල්ල දත් අය මෙන් ක්‍රියා කරන යූ ටියුබ් මගින් මුදල් ඉපයීමට අසංගත කතා පතුරවන පිරිසක් ද ඉන්නවා. ඔවුන් බොහෝ විට කලකට පෙර සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් හදිසියේ සිංහල ජාතිකත්වයක් වෙනුවෙන් කතා කරන සුපිරි දේශප්‍රේමීන් වූයේ කෙසේ දැයි මෙතෙක් පැහැදිලිකර නැහැ

ආණ්ඩුවට තුනෙන් දෙකක් නොදීමට කටයුතු කරන්නේ ඒ යූ ටියුබ් ප්‍රචාරකයන්. ආණ්ඩුව කටයුතු කළ යුත්තේ තුනෙන් දෙක ලබා ගැනීමටයි. ඒ සඳහා බැසිල්ගේ ඊනියා යාන්ත්‍රණය වැඩක් නැහැ. ආණ්ඩුව ජනතාවට ඇති සැක දුරු කර ජනතා විශ්වාසය දිනා ගත යුතුයි.