Main Logo

Thursday 26 December 2019

අද ඉරට මොකද වුණේ

 සිංහල ලිත් ඉලක්කම් 


අද ඉරට මොකද වුණේ

අද අමාවක වෙන්න ඕන. ඉස්සර නම් සිංහලයන් හතර පෝය දැනගෙන ඉඳලා තියෙනවා. හතර පෝයට සිල් ගත්ත අයත් හිටියා. දැන් බොහෝ දෙනා හතර පෝය තියා පසළොස්වක ගැන දැනගන්නෙත් එදාට නිවාඩු ලැබෙන නිසා. ජනමාධ්‍ය පඬියකු කියන්න පුළුවන් අද තමයි සුනාමි දවස කියලා. ඒකත් එහෙම තමයි. තවත් ප්‍රබුද්ධ ම ප්‍රබුද්ධ පඬියකු කියන්න පුළුවන් අද බොක්සිං ඩේ කියලා. නැහැ ඒක මේ බොක්සිං ක්‍රීඩාව සමග සම්බන්ධ එකක් නො වෙයි. බටහිර රටවල නත්තලට ලැබුණු තෑගි පෙට්ටි විවෘත කරන දිනය අද. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙ සුප්‍රසිද්ධ බොක්සිං ටෙස්ට් තරගය පැවැත්වෙනවා. මෙවර එය නවසීලන්තය සමග පැවැත්වෙනවා. 


මා අද අමාවක බව දැනගත්තෙ දෙරණ වලයාකාර සුර්යග්‍රහණයක් තියෙන බව ඊයේ පෙරේදා ඉඳන් කියන නිසා. ඔවුන් මන්නාරමටත් ගිහිල්ල ඒ ගැන වාර්තා කරන්න. අලුත් දේ අරගන්න එපාය. කිලිනොච්චියට යාපනයට සූර්යග්‍රහණය හොඳට පේන්න තියෙනවයි කියනවා. තාරකා විද්‍යාඥයන් සූර්යග්‍රහණය ගැන කියනවා. දැන් මේ විද්‍යාත්මක යුගය නොව. අමාත්‍ය මණ්ඩලයත් විද්‍යාත්මක ක්‍රමයට බෙදන්න යන්නෙ. අර මන්ත්‍රීධුර අපේක්‍ෂකයනුත් විද්‍යාත්මක ක්‍රමයට ද දන්නෙ නැහැ තෝරන්නෙ. එහෙම කියලා පොහොට්ටුවෙ අය තෝරන්න බැරි නැහැ. එහෙම වුණොත් විද්‍යාත්මක ක්‍රමයට ම එ ජා ප දෙමළ ජාතික සංධාන මුස්ලිම් කොංග්‍රස් ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නැහැ. 

ජනමාධ්‍ය පඬියන්ට අනුව විද්‍යාත්මක විධික්‍රමය කියන්නෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන. මා පරීක්‍ෂණ කරල නැහැ. විද්‍යාවේ විභාගවල දි පරීක්‍ෂණවලින් මා අසමත් වෙනවා. මා විද්‍යාඥයකු නො වෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු ආ අයෙක්. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියලයි කියන්නෙ. ජනමාධ්‍ය පඬියන් මට හිනාවෙන බව මා දන්නවා. ඔවුන් විද්‍යාත්මක ක්‍රමය දන්නවා. මා නාථ දෙවියන් ගැන දන්නවා. පඬියන් නිකමටවත් තාරකා විද්‍යාව ගැනවත් විද්‍යාව ගැනවත් කිසි දෙයක් අහන්නෙ නැහැ. මා ඒ කිසිවක් දන්නෙ නැති බව ඔවුන් දන්නවා. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (International Astronomical Union) මට සාමාජිකත්වයක් පිරිනැමුවෙ මොකද කියල මා අද වන තුරු දන්නෙ නැහැ.  

අද අමාවක බව මා දැන ගත්තේ කරුණු දෙකක් නිසා. එකක් අද වලයාකාර හරි සූර්යග්‍රහණයක් සිද්ධ වෙන නිසා. දෙවනුව අද පසළොස්වක දිනයක් නොවන නිසා. අලුත් දේ අරගන්න මට වුවමනාවක් නැත්තෙ නැහැ. ඒත් අපේ දේ රැකගන්නත් මට වුවමනාවක් තියෙනවා. එය කටින් බතල කොළ හිටවන එකක් නො වේ. කටින් බතල කොළ හිටවනව නම් මට පඬියන් හිනා වෙන්නෙ නැහැ. කටින් බතල කොළ හිටවන ඒකට හුඟ දෙනෙක් කැමතියි. 

මා දන්නවා හඳ රාහු මුඛයෙ වැටුනා කියා ගීතයක් තියෙන බව. මා එය සම්පූර්ණයෙන් ම දන්නෙ නැහැ. මා සම්පූර්ණයෙන් දන්නෙ ජාතික ගීය පමණයි. මා තරමක් දන්නවා රාහු කේතු ගැන. රාහු කේතු කියන්නෙ නවග්‍රහයන්ගෙන් දෙදෙනකු. පඬියන් අහනවා රාහු කවුද කියල. එහෙම ග්‍රහයකු සූර්යයා වටා යන්නෙ නැතිළු. මා මේ ගැන අවුරුදු තිහක් විතර කියනවා. එහෙත් ජනමාධ්‍ය පඬියන් ඒ බවක් දන්නේ නැහැ. ජ්‍යෙතිෂයෙ ඉන්නෙ ග්‍රහයන්. තාරකා විද්‍යාවෙ තියෙන්නෙ ග්‍රහ වස්තු. රාහු ග්‍රහ වස්තුවක් නො වෙයි. ග්‍රහයකු පමණයි. කේතුත් ග්‍රහයකු පමණයි.

රාහු කේතු කියන්නෙ පෘථිවියට සාපේක්‍ෂව ඛගෝලයෙහි (ඛගෝලය -Celestial Sphere-  කියන්නෙ අවාකාශයෙහි හිස් ද්විමාන ප්‍රක්‍ෂෙපණයක්. බුදුදහමෙහි දුක්ඛ කියන්නෙ අයහපත් හිස් බව) සූර්යයාගේ හා චන්ද්‍රයාගේ පථවල ඡෙදක ලක්‍ෂ්‍ය. දන් පඬියකු කියන්න පුළුවන් සූර්යයා යන්නෙ නැත, පෘථිවිය තමයි යන්නෙ කියලා. ඔවුන් සාපේක්‍ෂක චලිතය දන්නෙ නැහැ. නිරපේක්‍ෂක චලිතයක් ඇත්තෙත් නැහැ. ඒ කොහොම වෙතත් පථ දෙකක ඡෙදක ලක්‍ෂ්‍ය ගැන දැනුමක් ලැබීම (නිර්මාණය කිරීම) පහසු වැඩක් නො වෙයි. 

මා හිතන්නේ භෞතික විද්‍යාව ඉගෙනගන්න ළමයින් ද දන්නවා සූර්ය ග්‍රහණයක දි හරි චන්ද්‍ර ග්‍රහණයක දි හරි සූර්යයා හරි චන්ද්‍රයා හරි පෘථිවියට සාපේක්‍ෂ ව  වැහෙන බව. මේ සඳහා පෘථිවිය සූර්යයා සහ චන්දයා ආසන්න වශයෙන්වත් එක ම සරල රේඛාවක පිහිටන්න ඕන. අද සූර්යයා හා පෘථිවිය අතරට චන්ද්‍රයා එනවා. සූර්යයා වැහෙනවා. 

ඒක වෙනත් විධියකින් කියනව නම් පෘථිවියට සාපේක්‍ෂව සූර්යයාගේ ගමන් මාර්ගයත් චන්ද්‍රයාගේ ගමන් මාර්ගයත්  ඡෙදනය වන ලක්‍ෂ්‍යයක් අද චන්ද්‍රයත් සූර්යයත් ඛගෝලයෙ ඉන්න රාශියෙ තියෙනවා. අද සූර්යයත් චන්ද්‍රයත් ඉන්නෙ ධනු රාශියෙ. ඒ මදිවට අද ග්‍රහයො කිහිප දෙනෙක් ම ඉන්නෙ ධනු රාශියෙ. සුනාමි දවසෙත් ඒ වගේ තත්වයක් තිබුණ වගේ මතකයි.  ඒ වගේ වුණාට ඒක ම නොවෙයි. රාහු කේතු දෙන්න  හැමදා ම එක ම රාශියෙ නැහැ. චන්ද්‍රයා සූර්යයාට වඩා ඉක්මණින් පෘථිවිය වටේ යනවා. සූර්යයාට එක රවුමක් යන්න අවුරුද්දක් යනවා. චන්ද්‍රයාට යන්නෙ මාසයයි. මාසය කියන නම හැදිල තියෙන්නෙත් චන්ද්‍රයා නිසා. මා කියන්නෙ චන්ද්‍රයාට කියන නමකින් ලැබෙන්නක්. අමාවක කියන්නෙ චන්ද්‍රයා නැති වක. 

අර ඡෙදක ලක්‍ෂ්‍යවලට පෘථිවිය වටා යන්න අවුරුදු දහඅටක් යනවා. ඒ යන්නෙත් පස්සෙන් පස්සට. රාහු කේතු රාශි චක්‍රයෙ විරුද්ධ පැත්තට යන්නෙ. කොහොම හරි අද ඛගෝලයෙහි සූර්යයා චන්ද්‍රයා හා කේතු ඉන්නෙ එක ම රාශියෙ. චන්ද්‍රග්‍රහණයක දි පෘථිියේ සෙවණැල්ලෙන් හඳ වැහිලා යනවා. ඒකටත් සුර්යයා චන්ද්‍රයා පෘථිවියට සාපේක්‍ෂව එකම රේඛාවෙ එහෙත් දෙපැත්තක ඉන්න ඕන. ඒ කියන්නෙ සූර්යයා මකරෙ ඉන්නව නම් චන්ද්‍රයා කටකෙ ඉන්න ඕන. මා හිතන්නෙ චන්ද්‍රග්‍රහණයක දි  රාහු ඉන්නෙ චන්ද්‍රයත් එක්ක. හඳ රාහු මුඛයෙ වැටෙන්නෙ එතකොට. 

මේව කිවුවම පඬියන් හිනා වෙනවා. ඔය ලංකාවෙ තාරකා විද්‍යාඥයන් පොත්පත්වල තියෙන කරුණු නෙ අපට කියන්නෙ. සූර්යග්‍රහණයක් වෙලාවක දී ඉර දිහා කෙලින් බලන්න එපා කියල කියනවා. ඒත් ඒ ඇයි කියල කියන්නෙ නැහැ. ජනමාධ්‍ය පඬියොත් අහන්නෙ නැහැ ඇයි කියලා. මා උගතකු හරි බුද්ධිමතකු හරි නොවීම ගැන මා අනේක වාරයක් සතුටු වෙනවා. මගේ කේන්දරේ අනුව එහෙම වෙන්න ඇති. 

මා මේ සියල්ල ඉස්සර විදුසර පත්තරේ ලියල තියෙනචා. දැන් ඔවුන් එවැනි ලිපි පළ කරන්නෙ නැහැ. අනෙක් ජනමාධ්‍ය පඬියන් මේ අදහස්වලට ප්‍රචාරයක් දීල තමන්ගෙ නම කැත කරගන්න කැමති නැහැ.