Main Logo

Monday 9 December 2019

ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව


                                                සිංහල ලිත් ඉලක්කම්



ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව



ස්විස් නාඩගම තවත් දුර යන පාටයි. ඊයේ මහා දවල් හමු වූ ස්ත්‍රිය ගානියා බැරිස්ටර් ෆ්‍රාන්සිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසයට (සී අයි ඩී) ඇවිල්ලා. එහෙත් මෙරට ජනතාවට ඇගේ මුහුණ දැක ගැනීමට දකින්න ලැබුණෙ නැහැ. ඒ පැමිණීමත් එක් රංගනයක්. එතැන රැඳී සිටි ඡායාරූප ශිල්පීන්ට පෙන්නුවේ මුහුණ වසා ගෙන ඇතුළට ගිය පිරිමියෙකු වෙන්න ඕන. ඔහු සමග තවත් කිහිප දෙනකු සිටියා. ඒ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ අය වෙන්න ඕන.

ඒ අතර අදාළ ස්ත්‍රිය වෙනත් දොරටුවකින් ඇතුළට ගිය බවක් ද  නිගමනය කිරීමට සිදු වන්නේ. එහෙම නැත්නම් ගැහැණිය පිරිමියකු වුනා ද දන්නෙ නැහැ. සුදු වෑන් සුදු කාර් වෙන රටක මොනවා ද වෙන්න බැරි. ඒත් අපි ඇයට ඇය කියා ම කියමු.  දැනට කියැවෙන අන්දමට ඇයට ස්වාමි පුරුෂයකු ද ඉන්නවා. 

ඇය අධිකරණ වෛද්‍ය නිලධාරි තැනක විසින් පරීක්‍ෂා කෙරුණු බවක් කියැවෙනවා. මේ එකක්වත් නිල වාර්තා නො වෙයි. ජනමාධ්‍යවේදීන් කෙතරම් පඬියන් වුවත් ඔවුන් කියන දේ තාර බර ඇරලා තමයි ගන්න වෙන්නෙ. ඇයට වැළඳී තිබෙන රෝගය, එසේ වැළඳී ඇත්නම්, කුමක් දැයි අපි අහන්නෙ නැහැ. ඇගේ අසනීපය ගැන විමසීම බටහිර ඊනියා සදාචාරයට එකඟ නොවනවා වන්න පුළුවන්. එහෙත් අසනීපයක් වේ නම් ඇයට නිසි ප්‍රතිකාර ලැබෙන්නේ යැයි සිතනවා. අපට ඇය වටිනා සම්පතක්. අපට පසුව හෝ ඇගෙන් බොහෝ දේ දැන ගැනීමට තියෙනවා. 

ඇයට අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන තුරු රටින් පිටවීම අද වන තුරු තහනම් කෙරෙන අධිකරණ නියෝගයක් තියෙනවා. සමහර විට ඇය දැන් ප්‍රකාශයක් කර ඇති බැවින් හෙට රටින් පිට වී යෑමට තැත් කරාවි. අර ගිලන් ගුවන් යානය කටුනායකට පැමිණෙනවාද කියා දැන ගන්න විධියක් නැද්ද? ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අවශ්‍ය කෙසේ හෝ ඇය හා පවුල තම රටට ගෙන යෑමටයි.  

මා ටිකක් විපරමෙන් හිටියෙ ඇය හා පවුල විදේශීය ගමන් බලපත්‍ර ව්‍යාජ නමින් ලබා ගෙන රටින් පිට ව යාවි ද කියා. බටහිරයන් එවැන්නක් නොකරන පිරිසක් නො වෙයි. බටහිර නීතිය තියෙන්නෙ ඔවුන්ගෙ වාසියට. ඔවුන් එංගලන්තයේ ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දඬුවම් කරනවා. ඒ තීන්දුවට විරුද්ධව පළමුව අභියාචනයක් ඉදිරිපත් කරන්න ඕන. එහෙත් එංගලන්තය එරට තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක හිතවතුන්ට පෙළපාලි යෑමට උද්ඝෝෂණ පැවැත්වීමට අවසර දෙනවා. 

එංගලන්තය දඬුවම් කරන්නේ එරට නීතියට අනුව යැයි කිසිවකු කියන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ නීතිය කාගෙ පැත්තෙ ද කියන එකයි. නීතිවල තියා කිසිම දැනුමක ඇති වාස්තවිකත්වයක් නැහැ. ඔය නීති සම්පාදනය කරල තියෙන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියට අවශ්‍ය වන පරිදි. එංගලන්තය විසින් නඩත්තු කෙරෙන දෙමළ විසුරුණු ජනතාව (මෙරට ජනමාධ්‍යවේදීන් ද ඇතුළු පඬියන්ගේ ඊනියා ඩයස්පෝරාව –- ඩයස්පෝරාව යන වචනය ක්‍රිස්තියානි සංස්කෘතියේ ගෙනෙන තේරුම ගැන අවබෝධයක් පඬියන්ට තියෙනවා ද) කිසි විටෙකවත් වැරදිකරුවන් වන්නේ නැහැ. ඊනියා තහනම් සංවිධානයක් වුවත් කොටි සංවිධානයට තම කොඩි (කොටි කොඩි) රැගෙන එංගලන්තයේ පෙළපාලි යන්න පුළුවන්.  

ඒත් මේ ඊනියා පැහැර ගැනීම් සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ අවසන් වන තුරු ගානියා බැරිස්ටර් ෆ්‍රාන්සිස් ලංකාවේ රඳවා තබා ගැනීමට අධිකරණ තීන්දුවක් සඳහා ඉල්ලීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මෙය සුළු පටු සිද්ධියක් නොවෙයි. අපේ රට, බුද්ධි අංශ, ආරක්‍ෂක අංශ, ආණ්ඩුව අපකීර්තියට  ලක් කෙරෙන සිද්ධියක්. මේ සිද්ධියේ සුළ මුළ සියල්ල දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් තියෙනවා. ඒ අයිතිය පාවා නොදිය යුතුයි. 

ඇගේ වෛද්‍ය තත්වය ලංකාවේ වෙදකමක් ලබා ගැනීමට නොහැකි තරමට දුස්සාධ්‍ය යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඇය ඊයේ ප්‍රකාශයක් කිරීමට ගොස් තියෙන්නෙ සෞඛ්‍ය තත්වය කී තරම් අයහපත් නොවන බැවින්. එහෙත් ඇගේ අසනීපය කුමක් වුවත් ඇය සනීප කළ හැකි සිංහල පාරම්පරික වෙද මහතුන් මෙරට ඉන්නවා. අප කලිනුත් සඳහන් කර ඇති ආකාරයට ස්විට්සර්ලන්ත තානාපති හරි ඇගේ නිත්‍යානුකූල සැමියා හරි අවසර දෙනවා නම් සිංහල පාරම්පරික වෛද්‍ය මණ්ඩලයක් මගින් ප්‍රතිකාර කරවීමට සලස්සන්න පුළුවන්.

අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවෙ යම් යම් දේ සඳහන් ව ඇති.  අපරාධ විමර්ශන කොට්ඨාසයට පරීක්‍ෂණ ආරම්භ කරන්න පුළුවන්. ඒ අතර ඇය ලංකාවේ රඳවා ගැනීමට අධිකරණයට යන්නත් පුළුවන්. ඇය ලංකාවෙන් ගියොත් මොනවා වෙයි ද කියන්න බැහැ. සියළු ඊනියා ජාත්‍යන්තර සංවිධාන ඇගේ ඊනියා නැති වී ගිය අයිතිවාසිකම් හා ඊනියා පැහැර ගැනීම් ගැන විශාල ප්‍රචාරයක් ගෙන ගොස් රටට හා ආණ්ඩුවට අපකීර්තියක් ගෙන ඒවි.

ඇයට  ස්විට්සර්ලන්ත රටවැසි කම ලැබේවි. ඇය ද්විත්ව රටවැසිකම ඉල්ලයි ද කියා හිතන්න බැහැ. ඇයට ඊනියා දේශපාලන රැකවරණ ලැබේවි.  ඒ සියල්ල ඇයට පස්සෙ ලබා ගන්න කියන්න. දැනට ඇය මේ සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් කෙරෙන තුරු ලංකාවේ රැඳී සිටීම ඉතා වදෙගත්. අප වහාම ඇයට රටින් පිටවීම තහනම් කෙරෙන නියෝගයක් ලබා ගැනීමට අධිකරණයට යා යුතුයි. ඒ සඳහා දක්‍ෂ නීතිඥයන් පෙනී සිටිය යුතුයි.

මේ සියල්ල පිටුපස සිටින්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල්. ඔවුන් අපට මෙතරම් විරුද්ධ වන්නේ ඇයි? දෙමළ කතා කරන ජනයාට ඇති අසාධාරණය කුමක් දැයි ඇසූ විට කිසිවකුට පිළිතුරක් නැහැ. මෙරට ඊනියා දේශප්‍රේමීන් ද ඒ ප්‍රශ්නය එතරම් වැදගත් ලෙස සලකන්නේ නැහැ. මා නම් ඔවුන්ගේ මට්ටමේ දේශප්‍රේමියෙකු නො වෙයි. එහෙත් මට ඒ ප්‍රශ්නය වැදගත්. බටහිරයන් අපට කෙණෙහිළිකම් කරන්නේ ඇයි? පහුගිය යහපාලන ආණ්ඩු කාලයේ කෙණහිළිකම් නොකළේ ඇයි? ඒ අර ත්‍රිකුණාමල වරායේ ඇතැයි කියන ඊනියා වැදගත්කම උඩ එය පාලනය කිරීමට ලැබුණු බැවින් ද? යහපාලන ආණ්ඩුව ඒ වරාය බටහිරයන්ට වුවමනා ආකාරයකට පාලනය කරන්න ඉඩ දෙන නිසා ද ඒ කාලයේ කෙණෙහිළිකම් නැත්තේ

මේ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම අපට කියා දුන්නේ බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින්. ඒ දැනට අවුරුදු සීයකට පමණ පෙර. අද ලෝකයෙ යුද්ධවලට වරායවල ඇති වැදගත්කම කුමක් ද? අප තවමත් අපේ ය කියන අපේ නොවන පාසල්වල හා විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයේ උගන්වන දේ ඉතා වැදගත් ලෙස සලකනවා. අප තවමත් යොදා ගන්නේ බටහිරයන්ගේ දැනුම පමණයි. බටහිරයන්ට අප අන්දවන එක සුළු දෙයක්. අපේ ඊනියා උගතුන් ද ඉන්නේ ඇඳ ගන්න බලාගෙන. 

බටහිරයන් අපට විරුද්ධ වන්නේ අප පාලනය කිරීමට මෙතරම් උත්සාහයක් ගන්නේ වරායක් නිසා නො වෙයි. එයට හේතුව මා කියා ඇති. එය නැවතත් කියන්නේ නැහැ. අර ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් දන්නේ ඒ හේතුවට හිනා වෙන්න පමණයි. සමහරවිට මා කියන්නේ දෙකේ පංතියේ කතා වෙන්න ඇති.  ඒකට කමක් නැහැ. මහා දවල් හමු වූ ස්ත්‍රිය ගැන පූර්ණ පරික්‍ෂණයක් කර අවසන් වන තුරු ඇය ලංකාවේ සිටිය යුතුයි.