Main Logo

Thursday 16 January 2020

සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු

 සිංහල ලිත් ඉලක්කම්


සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු


තව මාස එකහමාරකින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීම අවශ්‍යයි. එමෙන් ම රටට නව දේශපාලනයක් අවශ්‍යයි. ජනාධිපතිවරණයෙන් පසු මාස දෙකක් ගෙවී ගිහින්. ඉතා හොඳ පියවර කිහිපයක් එ කාලයෙහි අරගෙන තියෙනවා. එහි ගෞරවය ජනාධිපතිට හිමි වෙන්න ඕන. ඒත් පහුගිය මාස දෙකේ කළ වැඩ සියල්ල අනුමත කරන්න බැහැ. ඇතැම් පත්වීම් ගැන හොඳක් කියන්න බැහැ.


මේ ආණ්ඩුවේ බල කඳවුරු කිහිපයක් තියෙනවා. තවමත් 2015 ජනවාරියට පෙර පැවති දේශපාලනය ද ක්‍රියාත්මක වන බවක් පේන්න තියෙනවා. ඥාති සංග්‍රහ අනවශ්‍ය කියා මා කියන්නේ නැහැ. එහෙත් තනතුරුවලට පත් කිරීමේ දී සුදුසුකම වැදගත්. පත් කිරීමේ මූලික නිර්ණායකය විය යුත්තේ සුදුසුකම හා විශ්වාසවන්ත කම. සුදුසුකම් තිබෙනවාය  කියා දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් දේශපාලනික වශයෙන් විරුද්ධවාදීන් උසස් යැයි කියන නිලතලවලට පත්කිරීම සිය දිවි නසා ගැනීමක්. 

ඥාතීන් විශ්වාස නම් ඔවුන්ට සුදුසුකම් තිබේ නම් ඒ අය පත් කිරීමේ ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. ආණ්ඩුවක් කියන්නේ කණ්ඩායමක්. ආණ්ඩුව රජයේ කොටසක්. රජය කරගෙන යෑමට විශ්වාසවන්ත අය ඉන්න ඕන. සරත් ෆොන්සේකා යුද්ධ දක්‍ෂයෙක්. එහෙත් ඔහු මේ ආණ්ඩුවේ හමුදාව සම්බන්ධ කිසිම රාජකාරියකට පත් කරන්න බැහැ. එවැනි රාජකාරිවලට පත් කරන්න ඕන ජනාධිපතිට ඉතා විශ්වාසවන්ත දක්‍ෂකමක් ඇති අය පමණයි.

අද ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ සුදුසුකම් නැති ඇතැමුන් හුදු ඥාතීත්වය හා මිත්‍රත්වය පදනම් කරගෙන තනතුරුවලට පත් කිරීම නිසයි. මේ 2015 ජනවාරියට පෙර පැවති දේශපාලනයයි. 2015 මහින්ද රාජපක්‍ෂ පරාජයට මේ නුසුදුස්සන් හිතවත්කම උඩ පමණක් පත් කිරීම හේතුවක් වුණා. එහෙත් ඇතැමුන් ඉන් පාඩමක් ඉගෙන ගත් බවක් පේන්න නැහැ. කවුදෝ කියා තිබුණේ එදාටත් වඩා එය සමහර අංශවල දුරදිග ගිහින් කියා. අද ලේලිලාගේ හා බෑණලාගේ ඥාතීත්වයත් බලපාන බව ඔහු පෙන්වා දී තිබුණා.

ජනතාව පත්කර ගත්තේ රාජපක්‍ෂලාගේ ආණ්ඩුවක් නොවන බව අප පළමුවෙන් තේරුම් ගන්න ඕන. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමත් මහින්ද රාජපක්‍ෂ අගමැති වීමත් චමල් රාජපක්‍ෂ ඇමතිවරයකු වීමත් ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් සහෝදරයන් වීම ප්‍රශ්න කරන්න බැහැ. එහෙත් ඡන්දදායකයන් ඡන්දය දී ඇත්තේ ගෝඨාභයට මිස ලේලිලාට බෑණලාට තබා පුතුන්ටවත් නො වෙයි. මා හිතන විධියට ජනාධිපති පුතා තම රැකියාව කරගෙන ඉන්නවා. දේශපාලන පත්වීම්වලට ඇඟිලි ගහන්නේ නැහැ. ඔහු අනෙක් පුතුන්ටත් ආදර්ශයක්. 

ඇතැමුන් හිතන විධියට මෙන් නොව ගෝඨාභය ජයග්‍රහණය පොහොට්ටුවේ ජයග්‍රහණයක් නො වෙයි. මේ ජයග්‍රහණය සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ජයග්‍රහණයක්. සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැත්තෑපහක් පමණ ගෝඨාභයට ඡන්දය දුන්නා. සිංහලයන්ට රට සංවර්ධනය විය යුත්තේ කෙසේ ද යන්න ගැන සිංහල බෞද්ධ මතයක් නැහැ. එහෙත් ඔවුන් දන්නා කරුණු කිහිපයක් තියෙනවා. 

සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට රටේ හිමි විය යුතු තැන හිමි වී නැති බව. රන්ජන්ලා හා මංගලලා කිවුවේ එයයි. මෙරට ඇති ප්‍රධාන ප්‍රශ්නය සිංහල අයිතිවාසිකම් නැති කිරීමයි. අප අවුරුදු තිහක පමණ කාලයක් පෙන්වා දී ඇත්තේ ඒ කරුණයි. සිංහල බෞද්ධයනට හිමි විය යුතු තැන ලබා දීමට පියවරක් ගන්නා සෑම විටක ම සිංහල බෞද්ධ විරෝධී බටහිර දාසයන් ඊනියා සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් ගැන කියවන්න පටන් ගන්නවා. විජාතික අධ්‍යාපනයකින් බිහි වී ඇති ඊනියා උගතුන් එවිට අර පියවරවලට විරුද්ධ වෙනවා. බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවනවා. 

බටහිර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. තවමත් එංගලන්තයේ රැජන ඉන්නවා. එංගලන්තයේ අගමැතිට විශාල බලතල තියෙනවා. ඔහුට සුදුසු යැයි හිතෙන වෙලාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උපදෙස් දෙන්න පුළුවන්. ඒ මහජන මතය තමන්ට පක්‍ෂ වෙන අවස්ථාවල. එක්සත් රාජ්‍යවල ඇමතිවරුන් පත් කෙරෙන්නේ ජනාධිපතිට අවශ්‍ය අන්දමට. ඒ ඇමතිවරුන් ඊනියා මහජන නියෝජිතයන් වෙන්න ඕන නැහැ. එහි විනිසුරුවන් පත් කෙරෙන්නේ පක්‍ෂ දේශපාලනය අනුව. අප බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියමින් සිංහල බහුතරයේ මතයට විරුද්ධ ව වැඩ කරනවා. මෙරට බහුතරයේ මතය ක්‍රියාත්මක නොකිරීමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගන්නවා.

ගෝඨාභයට සිංහල බෞද්ධයන් සියයට හැත්තැපහකට වඩා ඡන්දය දුන්නේ අඩු තරමෙන් මෙවරවත් බහුතරයේ මතය ක්‍රියාත්මක කරවීමට. බහුතර මතය කියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ යැයි කීමට විවිධ කතා පඬියන් හදා ගන්නවා. ඒ අය අතර අර නිර්ධන පංති ආඥාදායකත්වයක් ගැන කියන්නන් ද ඉන්නවා. අප පළමුවෙන් ම සිංහල බහුතර මතය ක්‍රියාත්මක කළ යුතුයි. එයට එරෙහිව යන්නන් ගැන සිතා බැලීමට කාලය එළඹිලා. 

මේ ඊනියා 13+ ගැන කතා කිරීමට කාලය නොවෙයි. මෙරට සිංහල බහුතරය 13+ පමණක් නොව 13 ද ප්‍රතික්‍ෂෙප කරලා. මද්‍රාසා පාසල් තහනම් කිරීමට ජනාධිපතිවරණයේ දී   කැමැත්ත පළ වුණා.  දහනවය අහෝසි කරන්න බැරි නම් සංශෝධනය කරන්න ඕන. 

මේ සියල්ල සඳහා ජාතිකත්වයක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕන. ඒ පිරිස ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයෙන් ඉදිරිපත් වෙන්න ඕන. ජාතිකත්ව කඳවුරේ සමගිය හා ශක්තිය මෙහි දී වැදගත්. අපේ අරමුණ විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂට අවශ්‍ය ශක්තිය ලබා දීමයි.