Main Logo

Sunday 19 January 2020

බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය

  සිංහල ලිත් ඉලක්කම්


බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය



මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ කතා සියල්ල ම සංයුක්ත කතන්දර. මුහුණු පොතේ පඬියන් කියන්නෙත් සංයුක්ත කතන්දර. තොරතුරු රැස්කිරීමට දක්‍ෂ අය අප අතර හිටියත් වියුක්ත කතන්දර හදන්න පුළුවන් අය නැහැ. බටහිරයන් ද කිසි දිනෙක අප වියුක්ත කතන්දර ගෙතීමට උනන්දු කෙළේ නැහැ. ඔවුන් කෙළේ තම වියුක්ත කතන්දර අප ලවා පුනරුච්චාරණය කර ගැනීමට හැකි පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ටික දෙනකු බිහි කිරීම පමණයි. 

රන්ජන් රාමනායකගේ තවත් හඬපට කිහිපයක් නිකුත් වෙලා. ඒ අතර ඔහු කොණ්ඩය රහිත ව උසාවි ඇවිල්ලා. පසුගිය දිනෙක මට මතක හැටියට හරින් ප්‍රනාන්දු කියා තිබුණේ රන්ජන් හිරගෙදර කොණ්ඩය බූ ගා නව ජීවිතයකට යොමු වෙලා කියලා. රන්ජන්ට බූ ගාන්න කොණ්ඩයක් තිබුණ ද? මට පේන විධියට හරීන් ප්‍රනාන්දු හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමයි රන්ජන් ගැන වැඩියෙන් ම දන්නෙ. හරීන් හිරුණිකා රන්ජන් ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක් ද කියල ගීත රචකයකුගෙන් ම තමයි අහන්න වෙන්නෙ. 

හිරගෙදර බොරු කොණ්ඩ පැළඳ ඉන්න පුළුවන් ද කියල මා දන්නෙ නැහැ. හරින් ප්‍රනාන්දු නම් කියන්න හදන්න රන්ජන්ට බොරු කොණ්ඩයක් නොතිබූ බවයි. හිරුණිකා ඒ ගැන මොනව කියනව ද කියලා මා දන්නෙ නැහැ. ඒත් හිරගෙදරත් ඉන් පිටතත් උසාවියෙත් මිනිස්සු බොරු කියනවා. උසාවියෙ දි බොරු කියන්නෙ බොරු නොකියන බවට දිවුරුමක් ද දීලා! උසාවියෙ දි හැමෝම ඇත්ත හා ඇත්ත පමණක් කියනවා නම් විනිසුරුවන්ට වැඩ පහසු වෙනවා. ඇතැම් විනිසුරුවන්ගෙ වැඩ ගැන රන්ජන් කියනවා. ඒකෙත් චක්‍රීය ස්වභාවයක් තියෙනවා. 

ඒ කොහොම වුණත් රන්ජන් බීබීසියෙ වාර්තාකරු සමග කළ සාකච්ඡාවක හඬපටය නිකුත් වෙලා. වාර්තාකරුගෙ පසුබිමත් වැදගත්. ඒත් ඊට වඩා වැදගත් බීබීසියෙ පසුබිම. බීබීසිය අපක්‍ෂපාත නොවෙයි කියල අප කියන්නෙ දශක ගණනාවක් තිස්සෙ. අර චැනල් 4ත් අවසාන වශයෙන් බීබීසියට සම්බන්ධයි. ඒත් සිංහලයන් මෝඩයන් කිව්වෙ නිකමට වෙන්න බැහැ. පඬියන් නම් පට්ටපල් මෝඩයන්. අනෙක් බොහෝ දෙනාත් පඬියන්ට හුඟක් ඈතින් නොවෙයි ඉන්නෙ.

බීබීසිය කියන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි එංගලන්තයෙ තියෙන මහජන ආයතනයක්.  කලකට පෙර එහි තනතුරු සඳහා එවන ලද ඉල්ලුම් පත් එංගලන්තයේ දේශීය ඔත්තු සේවයේ (MI5) පරීක්‍ෂාවට ලක් වුණා. අදත් එහි  ඉහළ තනතුරු සඳහා යැවෙන ඉල්ලුම් පත් එසේ පරීක්‍ෂාවට ලක් වෙනවා. එහි වරදක් තියෙනවා කියා මා කියන්නේ නැහැ. බීබීසිය තියෙන්න ඕන අපේ ආරක්‍ෂාවට නොව එංගලන්තයේ ආරක්‍ෂාවට. එහි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය ඇත්තේ එය අපක්‍ෂපාතී යැයි කීමෙහි.

බීබීසිය මෙරට දෙමළ ප්‍රශ්නයේ දී හැමදාමත් පක්‍ෂග්‍රාහි වුණා. දෙමළ ප්‍රශ්නය ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. අවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ අප ඒ බව කියන නමුත් ජාතිකවාදීන් ද එය සතපහකට මායිම් කරන්නේ නැහැ. ඔවුන් ඊනියා නිජභූමිය වැනි තෘතීයික ප්‍රශ්න අල්ලා ගෙන කතා කරනවා. නිජභූමිය මෑතක එකතු කරන ලද කතාවක්. මෙහි මුල ඇත්තේ 1650 න් පසු මෙරටට තොග වශයෙන් ආනනය කරනු ලැබූ දෙමළ වෙල්ලලාලයන්ට, විශේෂයෙන් ම කුමාරස්වාමි පොන්නම්බලම් පවුලට ලංකාවේ ප්‍රමුඛත්වය දීමට ඉංගිරිසින් කටයුතු කිරීම. ඒ සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට, එරෙහිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක්. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ මෙරට සිංහලයන්ට හිමි තැන අහිමි කිරීම. ඒ තමයි රටේ ප්‍රශ්නය.

එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් ක්‍රියාත්මක වුණෙ මේ සිංහලයන්ට හිමි තැන අහිමි කිරීමේ ප්‍රතිපත්තිය මත. දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගෙ නිර්මාණයක් වගේ ම ඔවුන් ක්‍රමයෙන් වර්ධනය කරන ලද්දක්. ඒ ව්‍යාපාරයට නිජ භූමිය එකතු කෙළේ හතළිහේ දශකයේ. ඒ දෙමළ වෙල්ලාලයන්ට රටේ ම නායකත්වය ගන්න බැරි බව, විශේෂයෙන් ම 1931න් පස්සෙ තේරුම් ගියාට පස්සෙ. ඉන්පසු ඔවුන් කෙළෙ උතුරු හා නැගෙනහිර පළාත්වල නායකත්වය හා පාලනය තමන් යටතට ගැනීමට කටයුතු කිරීම. ඉන්පසු තමයි ඒ ප්‍රදේශවල, ඊනියා නිජභූමියක් ගැන කතා කරන්න පටන් ගත්තෙ. 1940 දී සුන්දරලිංගම් ඊළම (EYLOM) කිවුවෙ මුළු රටට ම. ඊළම කියන්නේ මදුරාසි විශ්වවිද්‍යාලයෙ ශබ්දකෝෂයට අනුව සිංහලාම් නැත්තන් සිංහල දේශය යන්නෙන් බිඳුණු එකක්. පස්සෙ තමයි ඊළම යන්න උතුරු හා නැගෙනහිර පළාත්වලට යොදන්න දෙමළ වෙල්ලාල නායකයන් පියවර ගත්තෙ.

බීබීසිය ඉංගිරිසින්ගෙ ආයතනයක් හැටියට ඉංගිරිසින් නිර්මාණය කරපු දෙමළ ජාතිවාදය වෙනුවෙන් හැමදාමත් කටයුතු කළා. ඔවුන්ගෙ ඊනියා සිංහල සේවය භාෂාවෙන් පමණක් සිංහල වුණා. එය හරයෙන් ඉංගිරිසින්ගෙ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියා. අවුරුදු විස්සකට පමණ එහා පැත්තෙ බීබීසී ඊනියා සිංහල සේවයෙ කටයුතු කළ ප්‍රියත් ලියනගේ (මතකය අනුව, වෘත්තියෙන් හෙද පිරිමියකු වූ  ඔහුගෙ නම) නමැත්තකු මා සමග ලන්ඩනයේ දී කළ සාකච්ඡාවක් මා නොදුනුවත් ව ම ගුවනට එක් කළා. ඒ බීබීසියේ හෘදසාක්‍ෂිය. ලන්ඩනයේ වෙසෙන ඩග්ලස් වික්‍රමරත්න එයට සාක්‍ෂියි. 

බීබීසිය කිසි දිනෙක අපක්‍ෂපාති වී නැහැ. පාසල් සමයේ දී අපට ඉගැන්නුවෙ බීබීසියෙ අපක්‍ෂපාතීත්වය, ඉංගිරිසින්ගෙ මහත්මාගති, බටහිර විද්‍යාවෙ හා බටහිර දැනුමෙ වාස්තවිකත්වය, ඉංගිරිසි (රෝම ලන්දේසි) නීතියෙ සාධාරණත්වය වගේ බහුබුත. කලක දී මේ සියල්ල බොරු බව, ඉංගිරිසින්ගෙ (බටහිරයන්ගෙ) ම නිර්මාණ බව මට තේරුම් ගැනීමට හැකි වුණා. 

මට වියුක්ත කතා කිහිපයක් තියෙනවා. ඒ කතා කිහිපය සිංහල ජාතිවාදීන්ටත් නැහැ. එ නිසා ඔවුන් සිද්ධියෙන් සිද්ධියට පනිනවා. ඔවුන් ඒ ඒ සිද්ධිය ගැන වොයිස් කට් දෙනවා. ඒ අතර සමහරුන් ජනමාධ්‍ය සමග එක් වී අනෙක් අයගෙ වොයිස් කට් කරනවා.

රන්ජන්ගෙ හඬපට මට පුදුමයක් නොවෙයි. බීීබීසිය තිඹිරිගෙහි සිට ම අපක්‍ෂපාති නැහැ. බීබීසිය අනුගමනය කරණ මෙරට ජනමාධ්‍ය අපක්‍ෂපාති වන්නෙත් නැහැ. රන්ජන්ගෙ හඬපටවලින් හෙළිදරවු වන්නෙ පොදුවෙ මේ ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය. රන්ජන් කාලො මාමාත් එක්ක බටහිර විද්‍යාව ගැන කතා කරන්න නැතිව ඇති.