Main Logo

Thursday 2 January 2020

ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම

    සිංහල ලිත් ඉලක්කම් 



ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම 

ගණුදෙනු හෙවත් ඩීල් දේශපාලනය මෙවර නැවැත්වීමට බැරි වුණොත් නැවත නවත්වන්න මහා කාලයක් ගත වේවි. මෙරට ඩීල්දේශය (ඩීල්ලන්තය) කියා අප විසින් නම් කෙරුණේ කලකට ඉහත දී. එය දේශපාලනයට පමණක් සීමා වූ දෙයක් නො වෙයි. රාජ්‍ය සේවයත් අද පවතින්නේ බොහෝ විට ගණුදෙනුව මත. සාමන්‍ය මිනිහකුට වැඩක් කර ගැනීමට අතමිට මොළවන්න ඕන. එහෙත් එය පැරණි ව්‍යවහාරයක්. අද මිට මොළවල දෙන මුදලකින් වැඩක් කර ගන්න බැහැ. අතමාරුවක් කියන එක කොහොමටවත් හරියන්නෙ නැහැ. ඇතැම් ගණුදෙනුවලට බැංකුවක් ම හොලවන්න වෙනවා.


රජයේ කාර්යාල හැම එක ම තත්වය එය නො වෙයි. ඉතා අවංක ව කාර්යක්‍ෂම ව සේවය කරන නිලධාරීන් ඉන්නවා. ඒත් අද රජයට වැඩියෙන් ම ආදායම ලැබෙන්න ඕන ආයතනවලින් ලැබෙන්නෙ අඩු ආදායමක්. ඒ සම්පූර්ණ ආදායම ලැබෙනව නම් සමහර විට රජයේ වැඩ බොහොමයක් එයින් කර ගන්න පුළුවන්. මේ ගණුදෙනුවලට අමතර ව තවත් ගණුදෙනු තියෙනවා. අද මිහිඳු හාමුදුරුවො වැඩියොත් අහන්නෙ මේ ගණුදෙනුව කුමක් ද? මේ ගණුදෙනුව හැරෙන්න තවත් එවැනි ගණුදෙනු තියෙනව ද? එවැනි ගණුදෙනු හැරෙන්න වෙනත් ගණුදෙනු තියෙනවා ද? ඒ ගණුදෙනුත් වෙනත් ගණුදෙනුත් හැරෙන්න තවත් ගණුදෙනු තියෙනවා ද? ඒකට පිළිතුර මේ ගණුදෙනුව නම් නො වෙයි. පිළිතුර විදේශිකයකු නම් විස්තර ඇතිව කියාවි. 

අද කා විශ්වාස කරනවා ද යන්න ප්‍රශ්නයක්. වෛද්‍ය සහතිකයක් පිළිගන්න පුළුවන් ද? දෙවැනි මත තියෙනකම් නානා ප්‍රකාර වෛද්‍ය සහතික තියෙන්න පුළුවන්. ඉස්සර මිනිසුන් කිව්ව ඉහින් බහින්න තරම් ලෙඩක් නැහැ කියලා. මා එය කියන්නෙ ඉසින් (සෘෂීන්) බහින්ත තරම් ලෙඩක් නැහැ කියලා. ඒ කියන්නෙ සෘෂිවරුන් බැහැල වෙදකම් කරන්න තරම් ලෙඩක් නැහැ කියලා. සාමාන්‍ය වෙදමහතකුට සනීප කරන්න පුළුවන් ලෙඩක් හැදිල තියෙන්නෙ කියන එකයි ඒකෙ තේරුම. ඉසින් බැස්ස ගල කියල තැනක් මැදවච්චිය ප්‍රදේශයෙ තියෙනවා. පුලස්ති වෙදැදුරුතුමාත් සෘෂිවරයකු කියා කියනවා.

අද නම් සෘෂිවරු වැහි වැහැලා. හැම තැනක ම විශේෂඥ වෛද්‍යවරු දකින්න පුළුවන්. ඔවුන් වැඩි වන තරමට වෛද්‍ය සහතිකත් වැඩි වෙනවා. ඉංගිරිසින් අපට සහතික ලෝකයක් හදල දීල. උප්පැන්න සහතික, විවාහ සහතික, විභාග සහතික, ඔප්පු (ඒවත් සහතික) තිරප්පු, රක්‍ෂණ සහතික, වැටුප් සහතික, බැංකු සහතික ආදී වශයෙන් මරණ සහතිකය දක්වා සහතික. මිනිසුන් මනින්නෙ සහතිකයෙන් මිසක් වැඩවලින් නො වෙයි. අප මහාවිලච්චියට සති දෙකකට වරක් ගිහින් කෘෂිරසායනික වකුගඩු රෝගීන් සුව කළ විට එක් නාළිකාවක් එයට ප්‍රසිද්ධියක් දුන්නෙ නැහැ. ඔවුන් අපෙන් බටහිර වෛද්‍ය සහතික ඉල්ලුවෙ අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්න වෙන්න ඕන. මගේ මරණ සහතිකය ලැබෙන තෙක් මට එය අමතක වන්නේ නැහැ. 

හදවත් සැත්කමක් කර තිබීමත් රක්‍ෂණ සහතිකයක් ලබා ගැනීමක්. දෙයියන්ගෙ පිහිටෙන් මටත් ඒ රක්‍ෂණ සහතිකය තියෙනවා. අවශ්‍ය පෞද්ගලික රෝහලකට ඇතුල්වීම පමණයි. වෛද්‍යවරු විතරක් නොවෙයි නීතිඥයන් පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් මේ කවුරුත් දෙවැනි මතධාරීන්. සෙකන්ඩ් ඔපීනියන් තියෙනවා. වාස්තවිකත්වය ගැනත් දෙවැනි මත තියෙනවා. වාස්තවිකත්වය කියන්නෙත් පඬියන්ගෙ බසින් නම් ෆැන්ටසියක්. සිංහල ථෙරවාද බෞද්ධයනට නම් මේ සියල්ල මායාවන්. ඒ කියන්නෙ මායාව වාස්තවික කියන එක නො වෙයි. පොලිස් බී වාර්තා හදන්නෙත් පොලීසියෙන්. ඇප දෙන්න පුළුවන් විධියට චෝදනා ඉදිරිපත් කෙරෙන්නෙත් පොලීසියෙන්. නිශ්චිත චෝදනා නැතිව සැකකරුවන් ඉදිරිපත් කෙරෙන්නෙත් පොලීසියෙන්.

ජනාධිපති ගෝඨාභයට මේ සියලු ගණුදෙනු නතර කිරීමට වුවමනාවක් තියෙනවා. ඒත් ඒක ලෙහෙසි නැහැ. බොහෝ දෙනකු ගෝඨාභයට වැඩ කරල තියෙන්නෙ ගණුදෙනුවකට. වැඩ කරලා රැකියාවක් තනතුරක් බලාපොරොත්තු වෙනවා. තනතුරු සඳහා මේ දවස්වල ලොකු පොරයක්. ඒ අතර මැතිවරණයකුත් එනවා. 

පොහොට්ටුවෙ උද්ධච්ඡයන් බලා ඉන්නෙ ගෝඨාභය පරාද කරල හරි තමන්ගෙ ආසන රැක ගන්න.  ශ්‍රී ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් කිරීම තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. ඒ ඔවුන්ට හා ඔවුන්ගෙ හෙංචයියන්ට අපේක්‍ෂක ලැයිස්තුවට එන්න. මේ අයට ඇති ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට තියෙන්නෙ මැති ඇමති කෑදරකම පමණයි. මා එකක් දන්නවා. ශ්‍රී ල නි පක්‍ෂය හා පොහොට්ටුව වෙන වෙන ම තරග කළොත් පොහොට්ටුවට  මන්ත්‍රීවරුන් 113කු ලබා ගැනීමත් අමාරු වෙන්න පුළුවන්. ඇතැම් දිස්ත්‍රික්කවල එ ජා පක්‍ෂය දිනන්නත් පුළුවන්.

පුටුව කියන්නෙ මෛත්‍රිපාලගෙ ලකුණක් නො වෙයි. මෛත්‍රිපාල අද කියන එක හෙට නොකියනවා වෙන්න පුළුවන්. හැමදා ම එක ම දේ කියන අය කී දෙනකු පොහොට්ටුවේ ඉන්නවා ද? අපි මහින්දගෙන් ම පටන් ගනිමු. 13+ දෙන බව කිවුවේ කවු ද? මානුෂික මෙහෙයුම් ගැන කියන්න පුළුවන් හොඳ වාර්තාවක් කී දෙනකුට තියෙනවා ද? නුගේගොඩ රැස්වීමට එන්න බැහැ කියපු අය පොහොට්ටුවෙ පතාක යෝධයන් අතර නැත්ද?  ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට මුලින් විරුද්ධ වුණු කී දෙනකු පොහොට්ටුවේ ඉන්නවා ද? බැසිල් ගැන කියන්න පුළුවන් මොකක් ද? බැසිලිකාවෙ කී දෙනකු ගෝඨාභයට විරුද්ධ වුණා ද? අද ගෝඨාභය දිනලා. දැන් එදා විරුද්ධ වෙච්ච අය ගෝඨාභයට කොන්දේසි දානවා. 

මා මේ කරුණු කියන්නෙ අසමගියක් ඇති කරන්න නො වෙයි. මෛත්‍රිපාලගෙ චපලකම ගැන කියන අයට මතක නැහැ, 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති ලෙස පත් කෙළෙ මෛත්‍රිපාල බව. මේ මෛත්‍රිපාලට අභියෝග කරණ යෝධයන් 2015 දි ගම්පහ දිස්ත්‍රික්කය පැරදුණා. මෙය මෛත්‍රිපාල පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. ජාතික බලවේග එකතු කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. මට මෛත්‍රිපාලගෙන් ලැබුණු දෙයක් නැහැ. මා ඩීල් කාරයකු නො වෙයි. මා යමක් කියන්නේ කිසිවක් බලාපොරොත්තුවෙන් නො වෙයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස මා දැරූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුණා. කී දෙනකු එදා තම තනතුරුවලින් ඉල්ලා අස්වුණා ද? 

පුටුව මෛත්‍රිපාලගේවත් චන්ද්‍රිකාගෙවත් නො වෙයි. පුටුවෙන් ඉල්ලුවා කියල මෛත්‍රිපාලගෙ නායකත්වය යටතට පත්වෙන්නෙ නැහැ. නව සංධානයෙ නායකයා ගෝඨාභය මිස මෛත්‍රිපාල නොවෙයි. පොහොට්ටුව හැදුවෙ බැසිල්වත් බැසිලිකාවවත් නොවෙයි. එය මහජනයා එක්වුණු තැනකට බැසිල් දීපු නමක් පමණයි. මහින්ද නැති රට කියල පළමු සම්මන්ත්‍රණය සංවිධානය කෙළෙ ජාතික බලය සංවිධානය. එහෙත් සුපුරුදු පරිදි  ජනමාධ්‍යය එයට ප්‍රචාරයක් දුන්නෙ නැහැ. ඊට පස්සෙ නුගේගොඩ රැස්වීම පැවැත්තුවා. එය සංවිධානය කෙළේ ඇමරිකාවෙ හිටපු බැසිල්වත් ගෙවල්වල කඩවල හිටපු වත්මන් පොහොට්ටු යෝධයන්වත් නොවෙයි. එහි ගෞරවය සම්පූර්ණයෙන් ම දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිළ යන හතර දෙනාට හිමි විය යුතුයි. දිනේෂ් ශ්‍රී ල නි පක්‍ෂ කාර්යාලයට ගිහින් ඇතැමුන් යහපාලනයට යන එක නැවැත්තුව බව බොහෝ දෙනා දන්නෙ නැතිව ඇති.

අමාරුවෙන් ගොඩ නගා ගත්ත ජාතික කඳවුරේ සමගිය ගණුදෙනු දේශපාලනය නිසා බිඳ වැට්ටුවොත් යම් දවසක ජාතිය ම ඔය පොහොට්ටු උද්ධච්ඡයන්ට ශාප කරාවි. උද්ධචඡයන් අවසන් වශයෙන් කරන්නේ ඔවුන්ගේ ගණුදෙනු දේශපාලනය නිසා ගෝඨාභය ආණ්ඩුව දුර්වල කිරීමයි. ගෝඨාභයට ගණුදෙනු නැති කිරීමට ශක්තිය ලබා නො දීමයි. අද කළ යුත්තේ මැති ඇමතිකම් බලාගෙන කරන ගණුදෙනු දේශපාලනය නොව ගණුදෙනු දේශපාලනය නැති කිරීමට ගෝඨාභයට ශක්තිය ලබා දීමයි.