Main Logo

Tuesday 28 January 2020

බ්‍රයන්ට් කොරෝනා පැසිපන්දු පෙරුන්කායම්

 සිංහල ලිත් ඉලක්කම්


බ්‍රයන්ට් කොරෝනා පැසිපන්දු පෙරුන්කායම්



පැසිපන්දු ක්‍රීඩක කෝබ් බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින්. ඔහු සමග ඔහුගෙ බිරියත් දියණියත් මිය ගිය බවයි කියැවෙන්නේ. මගේ සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි. මා පැසිපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා මා ජීවත් වූ බ්‍රයන්ට් ගැන දැන සිටියේ නැහැ. එහෙත් මිය ගිය බ්‍රයන්ට් ගැන මා දන්නවා. ඒ ප්‍රවෘත්ති අහල දැකලා. 


ප්‍රවෘත්ති කියන්නෙ ඒ එ ජනමාධ්‍ය ප්‍රවෘත්ති සංස්කාරකවරු එදිනෙදා සිදුවීම්වලින් තෝරා ගෙන අපට ලබා දෙන දේ. ලෝකයේ සිදුවන දේ ඒ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් දැන ගන්නෙත් විදේශීය ප්‍රවෘත්ති සේවාවන්ගෙන්. දේශීයව නම් ප්‍රවෘත්ති වාර්තාකරුවන් ඉන්නවා. සමහර වෙලාවට සිද්ධි වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යයෙන් කිසිවකු යවනවා. ඔහු ඉන් කොටසක් ප්‍රවෘත්ති සංස්කාරකට යවනවා. ඒ ඔහු වැදගත් කියා හිතන කොටස. ඉන්පසු ප්‍රවෘත්ති සංස්කාරක එවැනි වාර්තා රාශියකින් ප්‍රචාරය කළ යුතු බවට තමන් හිතන කොටස් ටික ප්‍රචාරය කරන්න සලස්සනවා.

ප්‍රවෘත්ති ප්‍රචාරයෙහි දී වාර්තාකරුට හා සංස්කාරකට වැදගත් තැනක් හිමි වෙනවා. ඔවුන් අකමැති අයගෙ සිද්ධි වාර්තා කෙරෙන්නෙ නැහැ, ප්‍රචාරය වන්නෙ නැහැ. මෙහි දී පෞද්ගලික සම්බන්ධකම් ද බලපානවා. සමහරු පෞද්ගලික සම්බන්ධකම් වගා කර ගන්නවා. එහෙම නොකරන අයට උරුම වන්නෙ නිහැඬියාව. ඔවුන් මහජනයාගෙන් ඈත් වෙනවා. ඔවුන්ගෙ අදහස් සමාජයට යන්නෙ නැහැ. වාර්තාකරු හරි සංස්කාරක හරි කියන්න පුළුවන් ඔවුන්ගෙන් වැදගත් අදහසක් කියැවෙන්නෙ නැහැ කියලා. 

අදහස වැදගත් ද නැත් ද කියල තීරණය කරන්නෙ එක්කෝ වාර්තාකරු නැත්නම් සංස්කාරක. ඒක ප්‍රශ්නයක්. ඒත් ඒකට කරන්න දෙයක් නැහැ. අවසානයේ දී සංස්කාරකගෙ කතුරට සියල්ල කැපෙන්න පුළුවන්. ප්‍රවෘත්ති නාළිකා අතර තරගයක් තියෙනවා. එබැවින් වැදගත් යන්න තීරණය කිරීමේ දී ප්‍රේක්‍ෂකයන් පාඨකයන් වැදගත් යැයි සිතන දේ ගැනත් සංස්කාරකට වාර්තාකරුට හිතන්න වෙනවා. එ කියන්නෙ සංස්කාරකට වාර්තාකරුට හිතෙන විධියට පාඨකයනට ප්‍රේක්‍ෂකයනට හිතෙන විධිය. එය තරමක සංකීර්ණ කටයුත්තක්. මේ විධික්‍රමය මගින් පාඨකයනට ප්‍රේක්‍ෂකයනට වැදගත් දේ ලැබෙනවා ද යන්න ප්‍රශ්නයක්. 

විදේශීය පුවත් තේරීමේ දී සංස්කාරකට කැමති ආකාරයටයි ඒ කෙරෙන්නේ. සංස්කාරක ඒ කරන්නේ කෙසේ ද යන්න ඒ අයගේ රුචිකත්වය දැනුම අවශ්‍යතා ආදිය මත රැඳෙනවා. සංස්කාරක දේශපාලනය ගැන දක්වන උනන්දුව කුමක් ද? යම් රටක් ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ ද? ක්‍රීඩා ප්‍රවෘත්ති එකතු කරන්නා ඒ කරන්නේ කෙසේ ද? සියළු දෙනා සියළු ක්‍රීඩා ගැන උනන්දුවක් දක්වනවා යැයි සිතන්න බැහැ.

අපට සංස්කාරක වාර්තාකරු ලබා දෙන ප්‍රවෘත්තිවලින් සෑහීමකට පත් වෙන්න සිදු වෙනවා. අපට සියළු නාළිකා නැරඹීමට ඇසීමට බැහැ. එසේ කළත් අපට අවශ්‍ය ප්‍රවෘත්තියක් වාර්තා නොවී යන්න පුළුවන්. 

කෝබි බ්‍රයන්ට් ගැන ඔහු ජීවත් ව සිටිය දී මෙරට කී දෙනකු දැන සිටියේ ද කියා මා දන්නේ නැහැ. මෙරට පැසිපන්දු ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය ද යන්නත් මා දන්නේ නැහැ. මා නිකමට ලන්ඩන් ටයිම්ස් පුවත්පත බැලුවා. එහි සඳහන් ව තිබුණේ කෝබි  බ්‍රයන්ට් ඇමරිකානු එක්සත් රාජ්‍යවල විසූ ශ්‍රෙෂ්ඨතම ක්‍රීඩකයකු බවයි. ලංකාවේ ඒ විස්තරය සඳහන් වී දැයි මා දන්නේ නැහැ. එමෙන් ම ලන්ඩන් ටයිම්ස් පුවත්පත හෙලිකොප්ටර් අනතුර සිදුවීම ගැන ද තොරතුරු සැපයුවා. එදා  පැවති කාලගුණ තත්වයන් යටතේ බ්‍රයන්ට් වැනි විශිෂ්ට ක්‍රීඩකයකු රැගත් හෙලිකොප්ටරයක් ගුවන්ගත කිරීම ද එහි ප්‍රශ්න කෙරී තිබුණා. බ්‍රයන්ට් අපට වඩා එංගලන්තයට වැදගත් බව පැහැදිලියි. 

කොරෝනා වයිරසය ගැන අද සියල්ලන් ම මෙන් දන්නවා. අවශ්‍ය කෙනකුට අන්තර්ජාලයෙන් බොහෝ විස්තර දැන ගන්න පුළුවන්. කොරෝනා වයිරස කිහිපයක් ම තියෙන බව කියැවෙනවා. ඒ ගැන වර්ගීකරණයක් ද තියෙනවා.  2019 චීනයේ වයිරසය නව කොරෝනා වයිරසයක් ලෙසයි හැඳින්වෙන්නෙ. අද මෙරට ප්‍රවෘත්ති නාළිකා සියල්ල කොරෝනා වයිරසය පිළිබඳ බටහිර වෛද්‍ය මත ප්‍රචාරය කරනවා. එහි දී  විදේශීය තොරතුරු මත මෙන් ම මෙරට බටහිර වෛද්‍යවරුන්ගේ මත ද යොදා ගන්නවා. බටහිර වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරනවා.

ඒ නරකය කියා මා කියන්නේ නැහැ. ඒත් මට තවමත් කිසිම නාළිකාවකින් ඇසුනේ නැහැ නව කොරෝනා  වයිරසය ගැන දේශීය වෛද්‍යවරයකුගේ මතය. චීනයේ දේශීය වෛද්‍යවරු නව වයිරසය ගැන කියන්නේ කුමක් ද? මට දැනගන්න අවශ්‍යයි. සිංහල පාරම්පරික වෙදමහතකුගෙන් වයිරසය ගැන ඇහුවොත් නරක ද? අද ඇතැමුන් මුකවඩම් බැඳගෙන යනවා. එයත් හොඳයි. ඕස්ත්‍රේලියාවේ ඉන්න සිංහලයකු යෝජනා කර තිබුණා පෙරුන්කායම් ටිකක් බැඳ ගෙන යන්න. ප්‍රවෘත්ති නාළිකාවක් ඒ ගැන විමසිලිමත් වෙනවා ද? නාථ දේව මණ්ඩලය වයිරසය ගැන දරණ අදහසුත් දැනගන්න මා කැමතියි.