Main Logo

Monday 3 February 2020

ඇතැම් පොහොට්ටුවාදීන්ගෙ අවස්ථාවාදය

       සිංහල ලිත් ඉලක්කම් 

ඇතැම් පොහොට්ටුවාදීන්ගෙ අවස්ථාවාදය

බොහෝ ජාතිකවාදීන්/පොහොට්ටුවාදීන් මට විරුද්ධ බව මා දන්නවා. ඔවුන් සිතන්නේ මා කාගේ හරි නියෝජිතයකු නැත්නම් මා කිසිවකු වෙනුවෙන් පෙනී සිටින අයකු කියා. ඔවුන් බොහෝ දෙනකුට අනුව මා කර ඇති දෙයක් නැහැ. මා නාථ දෙවියන් හා මිථ්‍යා මත විශ්වාස කරන අයකු පමණක් බවත් ප්‍රසිද්ධියේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හෙළා දකින එහෙත් අප්‍රසිද්ධියේ බටහිර දැනුම අනුව ජීවත්වන වංචනිකයකු බවත් ඔවුන් කියනවා. ජාතිකත්වයට විරුද්ධ අය එසේ කීම ගැන මා පුදුම වන්නේ නැහැ. එහෙත් ජාතිකවාදීන් එසේ කීම නම් තරමක ප්‍රශ්නයක්. සමහර විට ඔවුන් හිතනවා ඇති මා බොරු කාරයකු කියා. අද එක් අයකු කියා තිබෙනවා මා දහනවය සම්බන්ධයෙන් නිදා සිටි බව. එසේ කියන්නේ දහතුන සම්මත කර ගැනීමේ දී ජේ ආර් අධිකරණ තීන්දුවට එරෙහි ව ක්‍රියා කළ අවස්ථාවේ නිදා සිටි අය. අදත් ඉතා වැඩි පිරිසක් දන්නේ නැහැ දහතුන සම්මත කර ගත් අයුරින් ම දහනවය සම්මත කර ගත් බව. මා ඒ බව කියද්දී ඇතැමුන් මට ගෙරවූ බව.

බදාදා අරුණ හැර අනෙක් ජනමාධ්‍ය  සිතන්නේ මා කිසිම වැදගත් දෙයක් නොකියන නොකරන අයකු ලෙසයි. දෙරණත් ඉරිදා අරුණත් එහෙමයි. දෙරණට අනුව වැදගත් ජාතිකවාදී අදහස් ප්‍රකාශ කරන්නේ ඇල්ලේ හාමුදුරුවන්, අභයතිස්ස හාමුදුරුවන්, ඉඳුරාගාරේ හාමුදුරුවන්, අමරසේකර, ගෙවිඳු, වසන්ත බණ්ඩාර, හා ඊනියා හිට් ප්‍රකාශ ලබා දෙන හාමුදුරුවරුන් පමණයි. ඔවුන් බොහෝ දෙනකු කරන්නේ සිද්ධියෙන් සිද්ධියට යෑම පමණයි. ඇතැමුන් ගෝඨාභය රාජපක්‍ෂ දුර්වල කිරීමට දැනුවත් ව ක්‍රියා කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තැත් කෙළේ ඔවුනුයි. අද සමහරු හාමුදුරුවරුන්ගේ පක්‍ෂයක් බිහි කර ගෝඨාභය රාජපක්‍ෂ එක් පැත්තකනුත් බුදුසසුන අනෙක් පැත්තෙනුත් දුර්වල කිරීමට හදනවා.  රණවිරුවන් සමග සැසඳීමේ දී නම් මා කර ඇති දෙයක් නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය එක් රැයකින් ලැබුණු දෙයක් නො වෙයි. ඒ සඳහා දිවි පිදූ අංග විකල වූ රණවිරුවන් හමුවේ මා  නිකමකු බව  පිළිගන්නවා.

ජාතිකවාදී මහා දාර්ශනිකයා තමයි මට සිරිජාතිකවාදියා යැයි කීවේ. ඒ මා මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමට කී නිසයි. එහෙත් ශක්තිය ලබා දීමට කිවුවේ රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට බව ඒ අය කිසි දා කියන්නේ නැහැ. ඊයේ පෙරේදා ප්‍රසන්න රණතුංග නම් දහසය වැනි ඇමතිවරයා කියා තිබුණා මා මෛත්‍රිපාල වෙනුවෙන් පෙනී සිටිනවා කියා. මා කිසිවකු වෙනුවෙන්වත් කිසිම පක්‍ෂයක් වෙනුවෙන්වත් පෙනී සිටින්නකු නො වෙයි. මා රට ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියා ඊනියා වීරයකු වීමට මට අවශ්‍ය නැහැ. මා පෙනී සිටින්නේ මා වෙනුවෙන්. මෙතැන දී මා යනු මගේ අදහස්. 

ප්‍රසන්න රණතුංගට වෙනත් අය පිළිතුරු දී තියෙනවා. අවශ්‍ය නම් ඒ පිළිතුරු කාලයේ පළ කරන්න පුළුවන්. එහෙත් මේ ශ්‍රී ල නි පක්‍ෂය සම්බන්ධයෙන් මා දරණ මතය කිහිප වතාවක් ම කියා ඇතත් නැවතත් කරුණක් දෙකක් කියන්න ඕන. මා පොදුජන පෙරමුණ වෙනුවෙන්වත් ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවෙන්වත් මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන්වත් නව සමසමාජ පක්‍ෂය වෙනුවෙන්වත් පෙනී සිටින්නේ නැහැ. මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වූයේ අවුරුදු හතළිහකට පමණ පෙර 1980 මාර්තුවේ පමණ. ඒ මාක්ස්වාදය විද්‍යාත්මක ද යනුවෙන් ලිපියක් ලියා. ඉන් පසු මා කිසිම පක්‍ෂයක සාමාජිකයකු වෙලා නැහැ. එහෙත් ලිපි නම් පන්දහසකට වඩා ලියා ඇති. 
MEP දැන් කවුරු හරි පඬියකු (ජාතිකවාදීන්/පොහාට්ටුවාදීන් අතරත් පඬියන් ඉන්නවා. මහා දාර්ශනිකයාත් පඬියෙක්) අහන්න පුළුවන් 1994 දී මා මහජන එක්සත් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ තරග කෙළේ පක්‍ෂයකට නොබැඳී ද කියා. ඔවුන් නොදන්නවා ඇති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට තරග කෙළේ පොදු ජන පෙරමුණේ සාමාජිකයකු නොවී බව. මැතිවරණ ජනාධිපතිවරණ නීති රිති අනුව යමකුට පක්‍ෂයකින් තරග කිරීමට පක්‍ෂ සාමාජිකයකු වීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ අපේක්‍ෂකයාගේ නම පක්‍ෂයේ ලේකම්වරයා අනුමත කිරීම පමණයි. 

ශ්‍රී ල නි ප මෙරට ප්‍රධාන ජාතිකවාදී පක්‍ෂයයි. ඊළඟට ඇත්තේ මහජන එක්සත් පෙරමුණයි. ඒ ඡන්දදායකයන් ආකර්ෂණය කිරීමට ඇති හැකියාව අතින්. පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) ජාතිකවාදී පක්‍ෂයක් නො වෙයි. එහෙත් එයට ඡන්දය දෙන ජාතිකවාදීන් බොහෝ දෙනකු ඉන්නවා. එය වෙන ම කරුණක්. මට අවශ්‍ය වූයේ ජාතිකත්වය ඇති ආණ්ඩුවක් පිහිටුවීමට. 2015 පරාජයෙන් පසු ඒ කරන්නේ කෙසේ ද යන්න ගැන මට අදහස් තිබුණා. 

2015 මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන් දින ම මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූයේ මගේ ගෞරවය රැක ගනිමින් ඔහු වැන්නකු යටතේ සේවය කිරීමට නොහැකි බව දන්වමින්. එහෙත් ප්‍රසන්න රණතුංගලා යහපාලනය වෙනුවෙන් එකල පෙනී සිටියා. අමුණා ඇති පුවත්පත් දැන්වීම් කියවන්න. ප්‍රසන්න රණතුංග 2015 නුගේගොඩ රැස්වීමේ වේදිකාවේ සිටියා ද? ඔහු මහින්ද සුළඟට එකතු වුණේ කවදා ද? බැසිලිකාවේ ඇට්ටඹියන් සමහර දෙනකුත් එසේමයි. ඔවුන් යහපාලනයට ගොස් පසුව බැසිලිකාවට පැමිණි අය. ඔවුන් එසේ පැමිණීමට හේතුවක් තවම කියා නැහැ.  


2015 අගෝස්තු මැතිවරණය වන විට මෛත්‍රිපාල චන්ද්‍රිකා රනිල් රනිල්දාස සිටියේ එක ම පිළක. ඒ අවස්ථාවේ මා කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂය තනිව තරග කළ යුතු බව. අප කිහිප දෙනකු ජී එල් පීරිස්ගේ නිවසට ගොස් ඒ බව කියා සිටියා. එදින එහි විමල් වීරවංශ හා ඩලස් අලහප්පෙරුම සිටි බව මට මතකයි.  ඔවුන් එක්සත් ජනතා සංධානයෙන් තරග කිරීම ගැන මා විරුද්ධ වුණා. මෛත්‍රිපාල රනිල් සමග සිටින විට ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාලගේ නායකත්වයෙන් ඇති පක්‍ෂයකින් තරග කරන්නේ කෙසේ ද? කෙසේ වෙතත් සංධානයෙන් තරග කිරීමේ ප්‍රතිඵලය වූයේ මහින්දට විපක්‍ෂ නායකත්වයවත් නැති වීමයි. කතානායක නිවැරදි ව තීන්දු කළ පරිදි මහින්ද එවකට එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරයෙක්. ඔහු ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කර තිබුණි නම් ඔහුට විරුද්ධ පක්‍ෂ නායකයා වීමට තිබුණා. 

ඉන් පසු මෛත්‍රිපාල රනිල් සමග විරසකයකට ඇදී ගියා. එවිටයි අප යෝජනා කෙළේ රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු ය කියා. අප ජයග්‍රහණය කළා. 2018 ඔක්තෝම්බර් විසිහය වැනි දින මහින්ද අගමැති ලෙස නම් කෙරුණා. එහෙත් ඊනියා විශ්වාසභංගයකින් මහින්දගේ ආණ්ඩුව පරාජයට පත් කිරීමට කතානායක සමග එක් වී රනිල්දාස හා යටත්විජිත හේරත් එ ජා පක්‍ෂය වෙනුවෙන් කටයුතු කළා. මෙහි දී මතක් කළ යුතු කරුණක් තියෙනවා.  ඔක්තෝම්බර් ආණ්ඩුව පිහිටුවා ගත් පසු මහින්ද ඇතුළු පිරිසක් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා. මෛත්‍රිපාලගේ අනුග්‍රහයෙන් මහින්ද අමරවීර ඒ පිරිස එක්සත් නිදහස් සංධානයේ සාමාජිකයන් බව පවසමින් කතානායකට ලිපියක් නොයවන්නට ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි වන්නට තිබුණා.
 
මහින්දගේ ආණ්ඩුව පරාජය වුණත් අපේ ව්‍යාපාරය පරාජය වුණේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කිසිම පක්‍ෂයක නොව ජාතික අපේක්‍ෂකයා ලෙස ජයග්‍රහණය කළා. ඔහුට පක්‍ෂයක් අවශ්‍ය වූයේ ඔහු මන්ත්‍රීවරයකු ව නොසිටි නිසා පමණයි. එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්‍ෂ කිවුවේ ජනතාව විසින් ඉදිරිපත් කෙරි ඇති ගෝඨාභය රාජපක්‍ෂගේ නම පොදු ජන පෙරමුණ අනුමත කරන බව පමණයි. මා නැවතත් කියනවා අපට අවශ්‍ය ජාතිකත්වය තහවුරු කිරීමයි. එය විශාල ප්‍රමාණයකට චී තිබෙනවා. අද වන විට පොදු ජන පෙරමුණ හා ශ්‍රී ල නි ප තවත් පක්‍ෂ හා සංවිධාන 15ක් සමග එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය නමින් සංධානයක් පිහිටුවා ගෙන තියෙනවා. බැසිල්ට එය අමතක වී ද? ඒ ගිවිසුම්වලට ගෝඨාභය රාජපක්‍ෂත් අත්සන් කර තියෙනවා. මහා මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ කොන්දේසි එහි තියෙනවා. ඒ ශ්‍රී ල  නි ප කොන්දේසි නො වෙයි. ඒ කොන්දේසිවලට බැසිල් රාජපක්‍ෂත් එකඟ වී තියෙනවා. ඒවාට විරුද්ධ වන්නන් අද ඉන්නවා නම් ඔවුන් ගිවිසුම් කඩන්නන්. ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණයට මේ ගිවිසුම් දායක වුණා. බැසිල් රාජපක්‍ෂ පිළිගෙන තිබෙනවා ඒ ජයග්‍රහණයට ශ්‍රී ල නි ප උපකාර වුණු බව. 


අද අවශ්‍ය වන්නේ ඒ නව සංධානය ලියාපදිංචි කිරීමයි. එයට නිලධාරීන් අවශ්‍යයි. මා කලක් සිතා සිටියේ මහින්දගේ හා මෛත්‍රිපාලගේ නායකත්වයෙන් සංධානය ලියාපදිංචි කළ යුතු බවයි. එහෙත් දැන් තත්වය වෙනස් වෙලා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ. අපට අපේ ජනාධිපති කෙනකු නැති විට හිටපු ජනාධිපතීන් පත්කර ගැනීමේ වරදක් නැහැ. දැන් ඒ අවශ්‍ය නැහැ. හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපතිනියන්ට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ කාලය ඇවිත්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති නොවී උපදේශක තනතුරක් දැරුවාට කමක් නැහැ.  මා කියන්නේ නැහැ සංධානයේ සභාපති ලෙස ගෝඨාභය පත්කර ගත යුතු ය කියා. ඔහු පක්‍ෂ දේශපාලනයට උඩින් ඉන්න ඕන.        

ඔහුගේ අනුග්‍රහයෙන් නව සංධානයට පොද ජන  පෙරමුණෙන් සභාපතිවරයකු ද ශ්‍රී ල නි පක්‍ෂයෙන් ලේකම්වරයකු ද පත් කරගන්න පුළුවන්. දැනට ඉන්න ඇමතිවරුන් ඒ සඳහා යෝග්‍යයි. එහෙමත් නොවේ නම් පක්‍ෂ දෙකේ ම නැති දිනේෂ් ගුණවර්ධන වැන්නකු සභාපති ලෙසත් පක්‍ෂ දෙකෙන් සමලේකම්වරුන් දෙදෙනකුත් පත් කර ගන්න පුළුවන්. එසේ පත්කර ගෙන නව සංධානය ඉක්මණින් ම ලියා පදිංචි කළ යුතුයි. මැතිවරණය සඳහා නව සංධානයෙන් ඉදිරිපත් වෙන්න ඕන. එසේ නොකර සිටීම වුවමනාවෙන් ම ගෝඨාභය රාජපක්‍ෂ දුර්වල කිරීමක්.