Main Logo

Thursday 19 March 2020

කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?

   සිංහල ලිත් ඉලක්කම්


 කොවිඩ් හොඳ පරිප්පුවක් කර ගන්නවා ද?



ටිල්වින් සිල්වාගේ වැදගත් ප්‍රකාශයක් ඊයේ දෙරණ මධ්‍යහ්න ප්‍රවෘත්ති ප්‍රචාරයේ කියැවුණා. එය මේ සබැඳියෙන් අහන්න පුළුවන්.  

https://youtu.be/eviABa6xtUY?t=830. ටිල්වින් කියන දේ සාවධාන ව අසන්න. ඔහු  ජනාධිපති විවේචනය කරමින් කියන්නේ  මේ අවස්ථාවේ ඡන්දය කල්දාන්නෙ නැත, එහෙම කළොත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න වෙනවා කියන එක. ජනාධිපති එය නොකරන බවයි ඔහු කියන්නෙ. ටිල්වින්ට පාර්ලිමේන්තුව නැවත කැඳවන්න අවශ්‍ය ද? ඔහු පාර්ලිමේන්තුවේ නැති නිසා ඒක තරමක පශ්නයක් වෙන්නත් පුළුවන්. 


ඔහු ඊළඟට කියන්නේ ජනාධිපති මැතිවරණ කොමිසම ලවා ඡන්දය කල් දාගන්න ඉන්න බවක්. මැතිවරණ කොමිසම නාම යෝජනා භාරගෙන ඡන්දය කල් දැම්මොත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන නැහැ. ජනාධිපතිට අවශ්‍ය එය බවයි ටිල්වින් කියන්නෙ. ඉන් පසු ටිල්වින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා ඡන්දය කල්දාන්න කියා.  ඡන්දය කල් දැම්මට පාර්ලිමේන්තුව කැඳවන්න ඕන නැහැ. ටිල්වින් ජනාධිපති විවේචනය කළත් ඔහු අවසානයේ දී කියන්නේ ජනාධිපතිට අවශ්‍ය දේ කරන ලෙසයි. එනම් පාර්ලිමේන්තුව නොකැඳවා ඡන්දය කල් දාන ලෙසයි.  

අද නාම යෝජනා බාරගන්න අන්තිම දවස. ජනාධිපති මේ ලියන මොහෙත වන තුරුත් පාර්ලිමේන්තුව කැඳවලා නැහැ. ටිල්වින්ගෙ අවශ්‍යතාව ඉටුවෙන බවයි පේන්න තියෙන්නෙ. මාත් ඒකට කැමතියි. මේ යල්පැනපු (කල් ඉකුත් වූ) පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍යතාවක් නැහැ. කැඳෙවුවත් වැඩක් නැහැ. තම ආණ්ඩුවේ වැඩවලට වැය කරන්න මුදල් නොදුන් විපක්‍ෂය මේ ආණ්ඩුවේ වැඩවලට සහාය දේවි ද? සජිත් නව කොරෝනාව සතපහකට ගණන් ගන්නෙ නැති මිනිහෙක්. තමා ජනහමු පවත්වන එක කාටවත් නවත්වන්න බැහැ කියල ඔහු කියනවා. ඔහු නැවත ඉපදිලා ද? 

මැතිවරණ කොමිසම ඡන්දය කල් දාවි කියල හිතන්න පුළුවන්. ඒත් ඒක හිතිවිල්ලක් පමණයි. කොමිසමේ සභාපති වැඩ කරන විධිය අනුව ඔහු මොකක් කරාවි ද කියල කියන්න බැහැ. අර ක්වොන්ටම් නිරීක්‍ෂණ වගේ. නිරීක්‍ෂණය කළාට පස්සෙ තමයි කියන්න පුළුවන් ප්‍රතිඵලය කුමක් ද කියා. දැනට කියන්න පුළුවන් ඡන්දය කල් දාන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලා. එහෙම කල් දානව නම් මාත් කැමතියි. 

වසා දැමීම (ලොක්ඩවුන්) ගැන ඉස්සෙල්ල ම කතා කළ අය අතර මුහුණු පොතේ වීරයන්ට අමතර ව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ද සිටියා. ඔවුනුත් වීරයන් තමයි. ඔවුන්ට මුහුණු පොත අවශ්‍ය නැහැ. ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය ලබා දෙනවා. මොනව වුණත් ඔවුන් බටහිර වෛද්‍යවරු. ජනමාධ්‍ය අපට නැතත් ඔවුන්ට සලකන්න ඕන. 

මට එය ප්‍රශ්නයක් නූණත් ජනමාධ්‍යයට අනුව මා මිථ්‍යා මත විශ්වාස කරන ගොඩේ බයියෙක්. ඒත් දරුවන්ට බටහිර විශ්වවිද්‍යාලවල උගන්නපු අයෙක්. ඩිල්කා සමන්මලීගෙන් අහන්න. මොරටුව විශ්වවිද්‍යාලයෙන් නම් කීයටවත් අහන්න එපා.  කොහොම වුණත් ජනමාධ්‍යයටත් දැන් වෙන් කිරීම ගැන කතා කරන්න වෙලා. නිරෝධායනය ටිකක් බර වැඩියි කියල තමයි අපටත් කලින් ම හිතුණෙ. කමක් නැහැ ජනමාධ්‍ය අපට වඩා සන්නිවේදනය දන්නවා. 

කාට හරි කියන්න පුළුවන් ද ප්‍රදේශ ජනතාවට හරි තොරතුරුවලට හරි වසා දැමීම ලොක්ඩවුන් වෙන්නෙත් මිනිසුන් හිර කූඩුවට දැමීම ලොක්අප් වෙන්නෙත් මොකද කියලා. මට ඉංගිරිසි ව්‍යවහාරය හරියට තේරෙන්නෙ නැහැ. හිර කූඩුවට දැමීම අප් වෙන්නෙත් ප්‍රදේශ වසා දැමීම ඩවුන් වෙන්නෙත් මොක ද? සී සෝ අප් ඇන්ඩ් ඩවුන් බේබි ගොස් ටු ලන්ඩන් ටවුන් ද? නෑ තාම ලන්ඩන් පාලම (බ්‍රිජ්) කඩා වැටිලා නැහැ. ඒක වෙන ම ළමා කවියක්, කතාවක්.  

මට තියෙන ප්‍රශ්නය ඒක නොවෙයි. ඔය ලොක්ඩවුන් නැත්තම් ප්‍රදේශ හරි රට ම හරි වසා දැමීම ප්‍රායෝගික නොවන දෙයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කිවුවට පස්සෙ වෛද්‍ය සංගමයෙ සභාපති අනුරුද්ධ පාදෙණිය මෙන්න ලොක්ඩවුන් බැහැ කියල කියනවා. පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් අස්වෙලා ද? අස්කරලා ද? වෛද්‍ය නිලධාරි සංගමය තම විදග්ධ අදහස් වෙනස් කර ගෙන ද? මා පුවත්පත් නිවේදනයක් බලාපොරොත්තු වන්නේ නැහැ. 

ලෝක බොර තෙල් මිල අඩු වෙලා. ඒකත් කොවිඩ් 19 ප්‍රතිඵලයක්. කොවිඩ්ට කරන්න බැරි දෙයක් නැද්ද? ලන්ඩන් පාලම තියා ගත්තොත් ඇති. ආණ්ඩුව තෙල් මිල අඩුකරන්නෙ නැතිව පාන් හා සැමන් මිල අඩු කරලා. සැමන් නමින් හඳුන්වන විවිධ මාළු පීනන්නෙ බොර තෙල්වල ද කියල කවුරුන්වත් අහල නැහැ. බොර දියේ මාළු බාන අය බොර තෙලේ මාළු බායි ද? 

ජනාධිපතිතුමා වගේ ම මාත් මාළු කන්නෙ නැහැ. කාගෙවත් මාළු කන්නෙ නැහැ. ඒත් පරිප්පු අඩු කරපු එක මටත් හොඳයි. කොළඹ විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍යයො එකල මගේ ජපන් කාරය ගැන බොහොම උනන්දුවක් දැක් වූවා. මට දැන් ඒ කාරයත් නැහැ. පෙට්‍රල් ඩීසල් මිල අඩු කළාට වඩා පරිප්පු මිළ අඩු කිරීම මටත් බොහෝ අයටත් වටිනවා. ඒත් බොර තෙලේ මාළු බාන අයට පරිප්පු සැමන් අඩු කිරීම ලොකු ප්‍රශ්නයක් වෙලා. 

නව කොරෝනාවෙන් බාහිර ලෝකය ම කොර වෙලා. ඒත් අපේ අය කොර වෙලා නැහැ. ඔවුන් සිරීපාදෙ යනවා. ඒ වඳින්න නොවෙයි. ෆුල්ෆන් ගන්න. ක්‍රිකට් ගහනවා. බීච් යනවා. (අපි නම් ඒ දවස්වල ගියෙ වැල්ලෙ). ලංකාව එක ම ෆන් ලෝකයක් ද? පරිප්පු මිල අඩු කළාට කොවිඩ් 19 හොඳ පරිප්පුවක් කර ගන්න එපා. ඩාලක් කර ගන්නත් එපා. ඩාල් හින්දි ද? ලෙන්ටිලක් කර ගන්නත් එපා.