Main Logo

Sunday 22 March 2020

කොවිඩ් දේශපාලනය

        සිංහල ලිත් ඉලක්කම් 


කොවිඩ් දේශපාලනය



කොවිඩ් 19 දේශපාලනයෙන් වෙන් වන්නේ නැහැ. හැමෝ ම වගේ කොවිඩ් මගිනුත් දේශපාලනයක් කරනවා. මා කතා කරන්නේ වජිර අබේවර්ධන ගැන පමණක් නො වෙයි. මුහුණු පොතේ පඬි නැට්ටන් කරන්නේත් දේශපාලනයක්. මාත් දේශපාලනයක් කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා කොවිඩ් 19 මගිනුත් කියනවා. තවත් දේත් කියනවා. 


බටහිර වෛද්‍යවරුන් වෛරසය, මැලේරියාව, ක්විනීන් ආදිය ගැන හොඳින් පැහැදිලි කරනවා ද? මැලේරියාව හා කොවිඩ් 19 අතර ඇති සමානකම් වෙනස්කම් මොනවා ද? වෛරස් මගින් හා වෙනත් ආකාරවලට බෝවෙන රෝග අතර සමානකම් වෙනස්කම් මොනවා ද?  

කොවිඩ් 19 මගින් නිව්මෝනියාව හැදුණොත් එයට (නිව්මෝනියාවට)  වෙන ම වෙදකම් කරන්න පුළුවන් ද? එවිට කොවිඩ් 19ට වෙන්නෙ මොකක් ද? මට තවත් ප්‍රශ්න තියෙනවා. මා ප්‍රශ්න කරන්නේ මගේ නොදැනුවත්කම නිසා. මේ කිසිවක් නිසා අප පරෙස්සම් නොවී සිටිය යුතු නැහැ. කොවිඩ් දෙයියන්නෙ ලෙඩක්, වෙනත් දෙයියන්නෙ ලෙඩවලට වඩා වේගයෙන් පැතිරෙන්නක්. ඒ නිසා ම හුඟක් පරෙස්සම් වෙන්න ඕන.

ඉතාලියෙ රෝගය පැතිරෙන්නෙ එරට ඊනියා නව ලිබරල්වාදයේ මොන ඉනිමක් නිසා හරි සෞඛ්‍යයට අවශ්‍ය මුදල් වියදම් නොකළ නිසා ද? එතකොට ස්පාඤ්ඤය හා ප්‍රංශය යන අනෙක් කතෝලික සංස්කෘතියෙ රටවල රෝගය පැතිර යන්නෙත් ඒ හේතුව නිසා ද? ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල එලෙස ම නොවුණත් ආසියාතික රටවලට වඩා වේගයෙන් රෝගය පැතිර යන්නේ ඔවුනුත් සෞඛ්‍යයට මුදල් වෙන් කර නැති නිසා ද? දුප්පත් ආසියාතික රටවල බටහිර රටවලට වඩා හොඳ සෞඛ්‍ය සේවා තියෙනවා ද? ඒ රටවල මුදල් ඇමතිවරු සෞඛ්‍යයට හුඟක් මුදල් වෙන් කරනවා ද? ඔවුන්ට දෙවැනි ඉනිම නැත් ද? ලංකාවෙ නම් දෙවැනි ඉනිම නාට්‍යය හරි ජනප්‍රියයි කියල කියනවා. 

ඒ දේශපාලනයට අමතර ව වෙනත් දේශපාලන ද තියෙනවා. අර යාපනයට පැමිණි ස්විට්සර්ලන්ත පූජක තැන ආවෙ කවදා ද? ආවෙ කොහෙන් ද? කටුනායකින් ද පලාලෙයින් ද? වෙනත් තැනකින් ද? ඔහුට නිරෝධායනය අවශ්‍ය වුණේ නැද්ද? ඔහු නිෂාන්ත සිල්වා මුණ ගැසුණ ද? ස්විට්සර්ලන්තයට ගිය තවත් ප්‍රභූන් මුණ ගැසුණ ද? නිකමටවත් ලංකාවෙ දි  ගානියා මුණ ගැසුණ ද? 

එක් එක් ආගම්වල විදේශීය පූජ්‍ය පක්‍ෂය පූජකවරු ලංකාවෙ දකින්න පුළුවන්. බටහිර භික්‍ෂූන් වහන්සේ ද කොළඹ හා වෙනත් ප්‍රදේශවල බණ කියනවා. එක් ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් පැවසුවේ එවිට ඇතැම් උපාසකම්මලා කොණ්ඩෙ කඩා ගෙන බණ අහන්න දුවනවා කියා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. 

ස්විට්සර්ලන්ත පූජක තැන සිංහල කිතුණුවන් වෙනුවෙන් දේව මෙහෙය පැවැත්තුවෙ නැද්ද? ඔහු ලංකාවේ දී දෙවියන්වහන්සේට සේවය කරන්නේ යාපනයේ දී පමණ ද? පියසිරි අමරකෝන් ඉදිරිපත් කරන ලිපි ලේඛනවලට අනුව මෙරට බෙදීමක් ගැන පළමුවෙන් ම කතා කරල තියෙන්නෙ 1802 දී පමණ (1902 දී නොවෙයි) ගාල්ලේ පවත්වන ලද මිෂනාරි පූජකවරුන්ගේ රැස්වීමක දී. බටහිරින් පැමිණෙන කතෝලික/කිතුණු පූජකවරුන් ගැන අප සැලකිල්ලෙන් ඉන්න ඕන. ඔවුනුත් එක්තරා විධියක නිරෝධායනයකට ලක් කරන්න ඕන. ඒ කොහොම වුණත් ස්විට්සර්ලන්ත පූජක තැන යාපනයේ ජනයාට මොන වෛරසය දුන්නත් කොවිඩ් 19 දී නැතැයි මා ප්‍රාර්ථනය කරනවා. 

ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාව අපට දුන් වෛරසයක්. ඒ බටහිර වෛද්‍ය විද්‍යා අර්ථයකින් නොවන බව අමුතුවෙන් කිව යුතු නැතත් පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කියන්න වෙනවා. පඬි නැට්ටන් අංක එකේ බුද්ධිමතුන්. ඒත් ඔවුන්ට තමන්ගේ ම වූ සංකල්පයක් ප්‍රවාදයක් නැහැ. ඉන්දු ලංකා ගිවිසුම මට මතක් වෙන්නෙ ස්විට්සර්ලන්ත පූජකතුමා නිසා. බැරි වෙලාවත් අප පොලිස් බලතල පළාත් සභාවලට දීල තිබුණ නම් ඒ පූජකතුමා පැවැත් වු දේව මෙහෙයවලට සහභාගි වූ ජනතාව ගැන සෞඛ්‍ය පරීක්‍ෂණ කරන්න පොලිස්පතිතුමාට හා හමුදාපතිතුමාට අවසර ලැබේ වි ද? අද සෞඛ්‍ය පරීක්‍ෂණ කෙරෙන්නෙත් හමුදාව පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය හා තවත් අය එක් වී කණ්ඩායමක් ලෙස. 

සකර්බර්ග් වම හා ජ වි පෙ, කෙකරගාමි ආදී වෙනත් වම්මුන් සජිත් ප්‍රමුඛ දක්‍ෂිණාංශිකයන් අද එක් වී තියෙන්නෙ කොවිඩ් 19 මගින්වත් ආණ්ඩුව පෙරලන්න. මොන බොරු කතා කිව්වත් මොවුන් සියල්ලටම පොදු සාධකයක් තියෙනවා. එය මහා පොදු ද කියා මා දන්නේ නැහැ. ඒ සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධය. යළි ඉප දී ඇති සජිත්ට ධම්මපදයේ ගාථා කියා ජනතාව රවටන්න බැහැ. අර ඉතාලි වක්‍ර ගැන කතා කරන අයත් හීන් නූලෙන් ආණ්ඩුවට විරුද්ධ ව සිංහලත්වයට විරුද්ධ ව වැඩ කරන අය. 

මා දැක්කා කොටින්ට ඇපල් අරන් ගිය ඔස්ටින් ප්‍රනාන්දු හින්දුත්වය ගැන ලියල තියෙනවා. ඔහු ඇත්තට ම ලියන්නේ සිංහලයන්ට විරුද්ධ ව. ඔහු ගැන කියන විට මට එදත් අදත් මතක් වන්නේ ඔබ ඇපල් මලක් වාගේ ගීතය. ඒ ඇපල් මල්වල පියකරු බව නිසා.

මේ ආණ්ඩු විරෝධීන් මැතිවරණය කල්දාන්න කියල ඉල්ලුවා. ඒ කොවිඩ් 19 මර්දනය කරන්න නො වෙයි. තමන්ගෙ මුකවාඩම ගලවලා වෙනත් අයකුට දෙන දෙන වජිර අබේවර්ධනලා දැක්ක ම කොවිඩ් 19 හිනා වෙනවා. නැහැ කොවිඩ්ට හිනා යනවා. මොවුන් දැන ගෙන හිටියා ඉක්මන් මැතිවරණයකින් ආණ්ඩුවට වාසි බව. ඔවුන්ට අවශ්‍ය වුණෙ අර කල් ඉකුත් වූ පාර්ලිමේන්තුව නැවත කැඳවලා අගෝස්තු වෙනකම් ආණ්ඩුවට මුදල් නොදී ආණ්ඩුව අප්‍රසාදයට පත් කර තමන්ට බලයට එන්න අවස්ථාවක් හදා ගන්න. 

මා හිතන්නේ ජනාධිපතිතුමා මොවුන්ගෙ උද්ඝෝෂණවලින් කලබල වුණෙ නැහැ. ඔහු පාර්ලිමේන්තුව නැවත කැඳෙවුවෙ නැහැ. කැඳවන්නෙ අහවල් කෙංගෙඩියට ද? කොවිඩ් මර්දනය කරන්න පාර්ලිමේන්තුවෙන් සහායක් ලැබෙන්නෙ නැහැ. ඔවුන් එයට අකුල් හෙළනවා පමණයි. නාම යෝජනා භාර ගැනීමට කොවිඩ් බාධාක් නො වෙයි. නාම යෝජනා භාර ගත්තට පසු වැඩේ භාර වෙන්නෙ මැතිවරණ කොමිසමට. කොමිසම එය අකුරට ම කළා. සජිත්ලා වැළ නොකැඩී කොමිසමට ස්තුති කළා.

ඒ්ත් සිංහල විරෝධී වමටත් දකුණටත් නොතේරෙන දෙයක් තියෙනවා. දැන් අර කල් ඉකුත්  වූ පාර්ලිමේන්තුව නැතුව ජනාධිපතිතුමාට අමාත්‍ය මණ්ඩලයත් එක්ක ආණ්ඩු කරන්න පුළුවන්. අමාත්‍ය මණ්ඩලය වෙනස් කළත් කමක් නැහැ. ඒත් ප්‍රශ්නයක් වෙන්නෙ ඇමතිවරුන් පත් කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් පමණක් වීම. දැන් මන්ත්‍රීවරුන් නැහැ. 

කොවිඩ් ගිහිල්ලත් මාස දෙකක් පමණ වන තුරු මැතිවරණයක් පවත්වන්න බැහැ. මා කලින් දවසක කී පරිදි නුවර පෙරහැර පවත්වන කාලය වන තුරු මැතිවරණයක් පවත්වන්න අමාරු වෙයි. ආණ්ඩුව කොවිඩ් මර්දනය කරල ජනතාවට තව සහන සලසල මැතිවරණයට ඉදිරිපත් වුණොත් සකර්බර්ග්ටත් සජිත්ටත් දෙයියන්ගෙ ම පිහිටයි. අප සියල්ලන් ම පරෙස්සන් වුණොත් කොවිඩ් පරදන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

කොවිඩ් අපේ නොවෙයි දෙයියන්නෙ. නුවර දෙයියන්නෙවෙල කියල ගමක් තියෙනවා. ඒ දෙයියන් රාජසිංහ රජු වෙන්න පුළුවන්. ඒ ගම කොවිඩ්වෙල ලෙස නම් කරන්න කියල නම් මා කීයටවත් කියන්නෙ නැගැ.  සදා පූජිත කොවිඩ්වේලගම කීයල නම් මැතිවරණයට පස්සෙවත්  නම් කරන්න වෙන එකක් නැහැ.