Main Logo

Thursday 26 March 2020

පිරිතේ වැදගත්කම

    සිංහල ලිත් ඉලක්කම් 


පිරිතේ වැදගත්කම



මේ වෛර කිරීමට නොව මෛත්‍රී කිරීමට කාලයයි. අද ලෝකයේ කොවිඩ් 19 වැඩි පුර ම පැතිරෙන්නෙ ආයුධ බලයෙන් ඇතැම් විට ජනයා සමූලඝාතනය කර තම ආධිපත්‍යය පැතිර වූ රටවලයි. අප ඔවුන්ට වෛර කළ යුතු නැහැ. අපි ඒ පාලකයන්ටත් මෛත්‍රී කරමු. දැන් පැරණි වාමාංශිකයන්වත් භංගවේවා කියනු මා අසා නැහැ. ජ වි පෙ හා පෙරටුගාමීන් නම් තාමත් වෛරී ප්‍රකාශ තම රැස්වීම්වල උද්ඝෝෂණවල කරනවා. මේ ඔවුන්ටත් මෛත්‍රී කිරීමට කාලයයි. 


බටහිර ක්‍රමයේ කඩා වැටීමක් ගැන මා කලක සිට කියනවා. එය මාක්ස්වාදයේ කියන ධනපති ක්‍රමයේ කඩා වැටීම නො වෙයි. ඊනියා මානව අයිතිවාසකම් ඉහ වහා යෑමත් බටහිර කඩා වැටීමට හේතු වන බව මා කියා ඇති. මට ඒ ලිපි සොයා ගැනීමට බැහැ. මගේ ලේඛන කළමනාකරණය බෙහෙවින් දුර්වලයි. 

අද එක්සත් රාජ්‍යවල ඇතැම් රෝගීන් තම රෝගය වසන් කරන්නේ එය තම මානව හරි පෞද්ගලික හරි අයිතියක් යැයි කියමින්. රටේ පොදු යහපතට වඩා මානව අයිතිය ඉහළ ගිය විට එවැනි දේ සිදු වෙනවා. එරට රෝගය පාලනය කිරීමට නොහැකි වීමට මානව අයිතිවාසිකම් ද එක හේතුවක්. 

රුසියාව චීනය වැනි රටවල මානව අයිතිවාසිකමට වඩා රටේ පැවැත්ම වැදගත්. සීසීටිවී කැමරා මගින් ඔවුන්ට පෞද්ගලික ජීවිත යම් ප්‍රමාණයකට සොයා බලනවා. මෙරටත් දැන් කාර්යක්‍ෂම වී ඇති බුද්ධි අංශ තම ජාල මගින් රෝගීන්  ආගිය තැන් සොයා බලනවා. එය හොඳයි. මානව අයිතිවාසිකම් වුණත්  වැඩි වීම හොඳ නැහැ. සිංහල කියමනක් තියෙනවා අතිරස වුණත් තිත්ත වෙනව කියලා. මා ඊයේ අනාර්ය අධිපරිභෝජනය ගැන කිවුවා. 

ඒ අතර දින කිහිපයකට ඉහත අපි පැරණි විධියට අලුතෙන් හිතමු කියාත් ලිවුවා. එ ලිපිවලට මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර ලැබී තිබෙනවා.  මා ඉන් දෙකක් ඉදිරිපත් කරනවා. මෙහි සිල්වා නමින් කියන්නේ මා ගැනයි. සමහරු පච නලියා කියාත් කියනවා. ඔවුන්ගේ කුලකවල ප්‍රධානීන් ඒ අනුමත කරන බවක් පේනවා. අපි ඔවුන්ටත් මෛත්‍රි කරමු.
    
"සිල්වා මරු කියවනව. කොවිඩ් වෛරසය කියන්නේ සිල්වාගේ වයසේ ඕක්කොම අතුගාල දාන්න හදපු වෛරසයක් වෙන්න බැරිද. තව රැකියා වෙලදපොලට නොගැලපෙන තරුන අයත් චුතවෙන වෛරසයක් මේක.. මීට අවුරුදු 200 කට පෙර ඉතිහාස කතාවල යුරෝපේ රටවල වෛරස් නැතුවම මිනිස්සු කන්න නොදී මරාදාපු ඉතිහාසයක් තියෙනව..වයසක මිනිස්සු සහ අභාද සහිත මිබිස්සුන්ට…. ලියපු ෆෙස් බුක් සටහනක ලෝක ආර්තිකය කොවිඩ් හරහා කටයුතු කරන ආකාර සටහන් කරල තිබ්බ..මේ උවදුරෙන් ගැලවෙන්න ඕන මුකුත් ක්‍රමවේදයක් ගැන සිල්ව ලියල නැහැ."


"පුස්කොලෙක ලියල තියෙන හින්ද පිලිගන්නවා නමෙයි, අවුරුදු සිය ගණනක පරීක්ෂණ වලින් තමයි තහවුරු වෙලා තියෙන්නේ. වෙලා තියෙනවනන් කියවන්ඩ  පුළුවන්: 
https://en.wikipedia.org/.../History_of_electromagnetic...
"In 1887, the German physicist Heinrich Hertz in a series of experiments proved the actual existence of electromagnetic waves"



පළමු ප්‍රතිචාරය වෛරයෙන් ලියුවක්. මා මරු කියවන්නේ නැහැ. මා තව කලක් ජීවත් වේවි. මා මේ උවදුරෙන් ගැලවෙන්න ක්‍රම වේදයක් ලියල නැතිළු. මා දිගට ම කියා සිටියේ අපේ පැරණි ක්‍රමවලට යා යුතු බව. බටහිරට තමයි උවදුරෙන් ගැලවෙන්න ක්‍රමයක් නැත්තෙ. බටහිර වෛද්‍ය විද්‍යාවට කිසිම දෙයක් කරන්න බැහැ. එහෙත් අවාසනාවකට ලංකාවේත් සෞඛ්‍ය ආධිපත්‍යය දරන්නේ බටහිර වෛද්‍යවරුන්. සෞඛ්‍ය ඇමතිණිය ආයුර්වේද පාරම්පරික වෙදමහතුන් බටහිර වෛද්‍යවරුන් සමග එකට කැඳවා සාකච්ඡා කරන්න ඕන. එහෙත් එය කෙරෙන්නේ නැහැ. අද බටහිර වෙදකමටත් කරන්න පුළුවන් කොත්තමල්ලි දෙන එක පමණයි. එහෙත් කොත්තමල්ලි වෙනිවැල්ගැට අයිතිකරුවන් පැත්තක. ඒ ගැත් සංඛ අහන්නෙ බටහිර දැනුමැත්තන්ගෙන්! එයට හේතුවත් බටහිර දැනුම් ආධිපත්‍යය.

දෙරණ වැඩසටහන් දෙක තුනකින් හෙළ වෙදකම ගැන කතා කළා. එහෙත් ඊයේ අලුත් පාර්ලිමේන්තුවට එක ම දේශීය වෛද්‍යවරයකුටවත් ආරාධනය කෙළේ නැහැ. අඩු තරමෙන් දේශීය දැනුමක් ගැන කතා කරන්න කිසිවකු හිටියේ නැහැ. පාදෙණිය හා බටහිර වෛද්‍ය නිලධාරී සංගමය විදේශීය වාර්තා කියවනවා. ඔවුන් ඒ අතර දේශීය වෙදකම ගැන ද කියවනවා. බටහිර ඊනියා විශේෂඥයන්ට තම රටවල කිසිවක් කර ගන්න බැරිව තියෙද්දී ඔවුන්ගේ කතන්දර කියවීම කෙතරම් වැඩදායක ද? 

චීනයේ රෝහල්වල බටහිර වෙදකමත් සාම්ප්‍රදායික වෙදකමත් එකට එක ම රෝහලේ තියෙනවා. අපේ බටහිර වෛද්‍යවරු එයට ඉඩ දෙන්නේ නැහැ. ඊනියා එතික් කමිටු ගැන කතා කරනවා. කලකට පෙර  කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද ආයතනයේ බටහිර වෛද්‍යවරුන් ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්නය ආවා. බටහිර වෛද්‍ය සභාව බටහිර වෛද්‍යවරුන්ට ආයුර්වේද ආයතනයේ ඉගැන්වීම තහනම් කළා. උපකුලපති ජී එල් පීරිස් ද බටහිර වෛද්‍යවරුන්ගේ පැත්තේ හිටියේ. මා කියා සිටියේ බටහිර වෛද්‍ය පීඨයේ ගුරුවරුන් විශ්වවිද්‍යාලයේ සේවකයන් නිසා ඔවුන් විශ්වවිද්‍යාලය නියම කරන තැනක ඉගැන්වීමට බැඳී ඇති බව. කාලෝ ෆොන්සේකා වැනි අය බුද්ධිවාදී ව පැත්තක් ගන්නේ නැතිව හිටියා. අවසානයේ දී විශ්වවිද්‍යලයීය ප්‍රතිපාදන  කොමිසමේ සභාපති වෛද්‍ය අර්ජුන අළුවිහාරේ තීරණය කළා තමන් ආයුර්වේද ආයතනයේ උගන්වන බව. ඔහු දක්‍ෂිණාංශිකයකු වෙන්න පුළුවන්. එහෙත් ඔහුට පිට කොන්දක් තිබුණා. කෙසේ නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් වුණා. 

සෞඛ්‍ය ඇමතිණියට හා ආණ්ඩුවට පුළුවන් ඊනියා එතික් කමිටුවලට උඩින් තීරණ ගන්න. ආයුර්වේද හා පාරම්පරික වෙදමහතුන් සාකච්ඡාවලට කැඳවන්න. බටහිර වෛද්‍ය සභාව ලංකාවේ ලියා පදිංචි ආයතනයක් මිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආයතනයක් නො වෙයි. බටහිර වෛද්‍ය සභාව ලංකාවේ අවශ්‍යතාවලට යට වෙන්න ඕන. 

දෙවැනි ප්‍රතිචාරය අපේ දැනුමට හිනහවෙන අයකුගේ. ඔහු කියන්නේ පුස්කොළ පොතක තිබූ නිසා පිළිගන්න නොව අවුරුදු එකසිය ගණනක පර්යේෂණ නිසා විද්‍යත් චුම්බක තරංග පිළිගන්න කියා. මේ පුස්කොළ පොතේ තියෙන පිරිත් ගැනයි ඔහු කියන්නෙ. පිරිතෙන් වැඩක් ඇති බවක් පරයේෂණලින් ඔප්පු වී නැතිළු. පර්යේෂණවලින් කිසිම දෙයක් ඔප්පු වන්නේ නැහැ. බටහිර ඇතැමුන් එහෙම හිතන් ඉන්නවා. විකිපීඩියාවේ ලිපිය ලියූ තැනැත්තාත් එහෙම හිතනවා ඇති. මැක්ස්වෙල්ගෙ කතාව හර්ට්ස් පිළිගැනීම අවුරුදු සිය ගණනක් පරණ නැහැ. එයට තාම අවුරුදු එකසිය පනහක් නැහැ. බටහිර නොවෙයි හැම දැනුමකින් ම කෙරෙන්නෙ (බුදුදහම දැනුමක් නොවෙයි. එය නොදැනුමක් දැනුමක් ලෙස ඉදිරිපත් කිරීමක්. මා ඒ ගැන ලියා ඇත්තේ බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියා. සහම්පති මහා බ්‍රහ්මයා හා බුදුහාමුදුරුවන් අතර වූ සාකච්චාව ගැන මා එසේ කියා ඇති) හරියන නැත්නම් වැඩ කරන ආකෘති ඉදිරිපත් කිරීමයි. ඉංගිරිසියෙන් ඉට් වර්ක්ස් කියල කියනවා. 

මැක්ස්වෙල් නිවුටන් ආදීන් කෙළේ වැඩ කරන හරියන ආකෘති ඉදිරිපත් කිරීම පමණයි. ඒවා හරි (නිවැරදි) නැහැ. මැක්ස්වෙල් මත පදනම් වෙලා පසු කලෙක (අවුරුදු අනූවකට පමණ පෙර පෝල් ඩිරුක් ක්වොන්ටම් ඉලෙක්ට්‍රො ඩයිනමික්ස් - Quantum Electrodynamics- ඉදිරිපත් කළා. එහි චුම්බක ඒක ධ්‍රැව - magnetic monopoles- ගැන කියනවා. එය හරියන පාටක් නැහැ. මැක්ස්වෙල් අනාථයි.) අයින්ස්ටයින්ට සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කිරීමේදීි බලපෑවේ මැක්ස්වෙල්ගේ ක්‍ෂෙත්‍රවාදය (Field Theory). එහෙත්  දැන් අයින්ස්ටයිනුත් වැඩ නොකරන තැන් තියෙනවා. අඳුරු ශක්තිය හා අඳුරු ද්‍රව්‍යය එයට උදාහරණ. 

පුස්කොළ පොතේ තියෙන දැනුමට ගරහන්න අපට උගන්වන්නෙ බටහිර අධ්‍යාපනයෙන්. පිරිත ගැන අපට අවුරුදු දෙදහස් පන්සියක අත්දැකීම් තියෙනවා. මැක්ස්වෙල්ගෙ අවුරුදු එකසිය පනහ වගේ නො වෙයි. එහෙත් අප අර ප්‍රතිචාර දැරූ අයට මෛත්‍රී කරනවා.  

පිරිතේ බලය ගැන අවිශ්වාස කරන අනුකාරකයකුට ජපන් විද්‍යාඥයන් පිරිත ගැන කර ඇති පර්යේෂණ හදාරන්න පුළුවන්. පිරීත හා ස්ඵටීකරණය අතර ඇති සම්බන්ධයක් ගැන ඔවුන් කියනවා. කෙසේ නමුත් මා යෝජනා කරනවා (මට දෙවියන් සමග සන්නිවේදනය කරන හාමුදුරුනමකින් ලැබුණෙ) තෝරාගත් චෛත්‍ය හතක දින පහළොවක් පිරත් සූත්‍ර පහක් සජ්ඣායනය කරවන ලෙස.  එමෙන් ම හැකි විහාරස්ථානවල දිනපතා අබතෙල් පහන් අට බැගින් තබන ලෙස. අපි කරල බලමු. මෙය රජයට කරන යෝජනාවක්. ආණ්ඩුව අපට සවන් දෙනවා ද? මා උගතකුවත් බුද්ධිමතකුවත් නොවෙයි. ඔබ සැමට තෙරුවන් සරණයි.