Main Logo

Friday 27 March 2020

බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම

   සිංහල ලිත් ඉලක්කම් 


බමුණු කුලය කැඳ කෝප්පය ඉස්සීම 

පනස්හයේ ආණ්ඩු පෙරළියෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ බමුණු කුලය බිඳ වැටීම නමින් ලිපියක් ලිවුවා. ඔහුට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබුණා. ඒත් බමුණු කුලය බිඳ වැටුණේ නැහැ. තාමත් බමුණු කුලය තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ලිපිය ලිවුවෙ ආණ්ඩු පෙරළියට පස්සෙ.  ඊට කලින් ඔහු බමුණු කුලයක් ගැන කිවුවෙ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ඊ ඩබ් අදිකාරම් වැනි අය තමයි එක්තරා ආකාරයකින් ගත්ත ම වත්මන් පඬියන්ගෙ පුරෝගාමියො. මාත් ළමා වියේත් ගැටවර වියේත් ඔවුන්ගේ පොත් කියෙවුවා. ඔවුන් බටහිර මතවාද සිංහල පාඨකයට ගෙන ආ පුරෝගාමීන්. වික්‍රමසිංහ බටහිරින් කෙටිකතාව අරගෙන එය ජාතක කතාව සමග සන්සන්දනය කළා. අප බොහෝ විට සූදානම් වන්නේ වත්මනෙහි බටහිර තියෙන දේ අවුරුදු දහස් ගණනකට පෙර අපටත් තිබුණාය කියා පෙන්නන්න. සමහරුන්ට අනුව අප වැලන්ටයින් දිනත් පවත්වා තියෙනවා! ඒ එක්තරා විධියක ඉංගිරිසින් විසින් ඇති කෙරුණු හීනමානයක්.


බමුණු කුලය ලෙහෙසියෙන් බිඳ දාන්න බැහැ. එය බටහිර සංස්කෘතික ආධිපත්‍යය සමග සම්බන්ධයි. මාර්ටින් වික්‍රමසිංහත් සිංහල සංස්කෘතිය ගැන කතා කළත් අයත්වන්නේ බමුණු කුලයට. අද මේ වන විට බටහිර වෛද්‍ය දැනුම විතරක් නොවෙයි ආර්ථික දැනුමත් අසරණ වෙලා. ඒ බව කියන්නේ ඔවුන්මයි. එහෙත් සංස්කෘතික ව හා දේශපාලනික ව බටහිරයන් තවමත් බලවත්.

මෙරට ඇතැමුන් පිරිතේ වැදගත්කම නොසලකන්නේ ඊනියා පර්යේෂණ ඉල්ලමින්. අප සූත්‍ර කොටස් දෙකකට බෙදනවා. එක් කොටසක් ධර්මය ගැන. අනෙක් කොටස මිනිසුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන්. රතන සූත්‍රය අංගුලිමාල පිරීත ආදිය දෙවැනි කොටසට අයත් වෙනවා. ඇතැම්විට ඒ පිරිත් යනුවෙන් ද හැඳින්වෙනවා. විවිධ උවදුරු ආබාධ සෞඛ්‍යය ප්‍රශ්න ආදිය හේතුකොටගෙන ඒ පිරිත් දේශනා කරනවා. 

ඒ පිරිත් බටහිර විද්‍යාව වගේ නොව අවුරුදු දහස් ගණනක් පරීක්‍ෂාවට ලක් වෙලා හරි ගිහින්. එසේත් නැත්නම් ඉන් වැඩක් කෙරී තිබෙනවා. බටහිර දැනුම කල් යන විට යල් පනිනවා. නිවුටන් යල් පැන හුඟක් කල්. එහෙත් රතන සූත්‍රය යල් පැන නැහැ. ඊනියා පරයේෂණ අවශ්‍ය අයකුට ජපන් විද්‍යාඥයන් පිරිත් සම්බන්ධයෙන් කළ පර්යේෂණ තියෙනවා. අපට ඒ පර්යේෂණ අවශ්‍ය නැහැ. අවුරුදු දහස් ගණනක අත්දැකීම් තියෙනවා.

සමහරු පිරිත් විශ්වාස කළත් දෙවියන් සමග සන්නිවේදනය කළ හැකි බව පිළිගන්නේ නැහැ. හැමෝට ම දෙවියන් සමග සන්නිවේදනය කරන්න බැහැ. හැමෝට ම බටහිර විද්‍යාවේ පර්යේෂණ කරන්නත් බැහැ. ඒ සඳහා ශික්‍ෂණයක් අවශ්‍යයි. ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ දී පළමු උපාධියත් සමග අවුරුදු හතකවත් පුහුණුවක් අවශ්‍ය වෙනවා. ආධ්‍යාත්මික කටයුතු සඳහා ඊටත් වඩා ශික්‍ෂණයක් අවශ්‍යයි. අනුන්ගේ විද්‍යා පරයේෂණ මත යැපෙන්නන් අනුන්ගේ ආධ්‍යාත්මික අත්දැකීම් මත යැපෙන්න සූදානම් නැහැ. ඒ බටහිර දැනුම් ආධිපත්‍යයෙන් ඔවුන් මෙහෙයවෙන නිසා. 

පිරිත් ගැන විශ්වාසය තබන එහෙත් දෙවියන් සමග සන්නිවේදනය නොපිලිගන්නා තැනැත්තකු ඊයේ මා හැඳින්වූයේ මන්ද බුද්ධිකයකු ලෙසයි. ඔහු මා හොඳින් දන්නා කිහිප දෙනකුගේ පාසල් හා විශ්වවිද්‍යාල මිතුරෙක්. ඔහු ඉහළ ම බුද්ධිමතකු වෙන්න ඇති. 

මේ සමහර බුද්ධිමතුන් බුදුහාමුදුරුවන් දෙවියන් සමග සන්නිවේදනය කළ බව පිළිගන්නවා. සූත්‍ර ගණනාවක ම ඒ සන්නිවේදන ගැන සඳහන් වෙනවා. අප කවුරුත් පාහේ මහා මංගල සූත්‍රය දන්නවා. සමහරවිට ඔවුන් හිතනවා ඇති බුදුහාමුදුරුවන්ට පුළුවන් වුණාට අනෙක් අයට දෙවියන්ගෙන් පණිවුඩ ලබා ගන්න බැහැ කියා. එසේ පණිවුඩ හුවමාරු කර ගන්නන් මානසික රෝගීන් ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්. තවමත් පඬියකුවත් බුදුහාමුදුරුවන් මානසික ලෙඩකු ලෙස හඳුන්වා දී නැහැ.  

බමුණු කුලය තීරණය කෙරෙන්නේ බටහිර සංස්කෘතික ආර්ථික හා දේශපාලනික ආධිපත්‍යයෙන්. ඒ ආධිපත්‍යයට විවිධ මට්ටම්වලින් යටවූවන් ඉන්නවා. පිරිත ගැන විශ්වාසයක් නැති අය එක් මට්ටමක. පිරිත ගැන විශ්වාසයක් ඇති එහෙත් දෙවියන් සමග කෙරෙන සන්නිවේදනය නොපිළිගන්න අය තවත් මට්ටමක ආදී වශයෙන්. 

බමුණු කුලයට පැවැත්මක් ඇත්තේ බටහිර ආධිපත්‍යය නිසා. ඔවුන්ට ඔවුන්ගේ ම වූ මතයක් නැහැ. ඔවුන් දන්නේ බටහිර මතවාද සිංහලෙන් කීමට පමණයි. එහෙත් ඔවුන්ට රටේ බලයක් තියෙනවා. අද බමුණු කුලයේ බටහිර වෛද්‍යවරු ආයුර්වේද හා පාරම්පරික වෙදමහතුන්ගේ කාර්යභාරය කරට අරගෙන. ඔවුන් කැඳ කෝප්පය උස්සලා. 

කලකට පෙර සුද්දන්ගේ අධ්‍යාපනය ලැබූ කල පාසලේ දී අපේ ආහාර පහතට දැමීම සඳහා ඇසූ ප්‍රශ්නයක් වූයේ අද කැඳ බීල ද ආවෙ යන්න. එමෙන් ම අපේ දැනුම හෑල්ලුවට ලක් කිරීම සඳහා මහදැනමුත්තාගේ කතන්දර කියා දුන්නා. මේ කතන්දර ඉන්දියාවේ දැනුම පහතට දැමීම සඳහා ඉන්දියාවේ බිහිකළ කතා. 

අද බටහිර වෙදකමට කොරෝනා සමග සටන් කිරීමට වෙන් කිරීම (නිරෝධායනය) හැරෙන්න වෙනත් කිසිවක් නැති වූ විට, බටහිර වෛද්‍යවරුන් වෙදමහතුන්ගේ කැඳ කෝප්පය උස්සලා. ඒක හොඳයි.

කැඳ කොප්යට ඒ තැන ලබා ගන්නත් අපට ලොකු සටනක් කරන්න වුණා. අප පාර කැපුවා. අද බටහිර වෛද්‍යවරු ඒ පාරේ පිනුම් ගහනවා. ඒත් වෙදමහත්වරුන්ට නිරෝධායන කඳවුරුවල තැනක් නැහැ. විවිධ කමිටුවල වෙදමහත්වරුන් නැහැ. කැඳ කෝප්පය වෙදමහත්වරුන්ට ම බාර දෙන්න නැත්තේ ඇයි? බටහිර වෛද්‍යවරුන් කැඳ කෝප්පය උස්සන්නේ ඇයි? 

ආණ්ඩුව වෙදමහත්වරුන්ට බටහිර වෛද්‍යවරුන්ට දී ඇති තැන දෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිණියගේ පියා ධර්මදාස වන්නිආරච්චි මහතා චින්තන පර්ෂදයේ ආරම්භක සාමාජිකයකු වුණා. ඒ මහතා අසූ ගණන්වල කෝට්ටේ නාග විහාරයේ පැවති රැස්වීම්වලට පැල්මඩුල්ලේ සිට නොවරදවා ම පැමිණියා. ඔහු රෙද්ද බැනියම (කපටි කිට නොවෙයි) ඇඳි ජාතිකවාදියෙක්. එහෙත් පවිත්‍රාගේ කමිටුවල වෙදමහත්වරුන් කී දෙනකු ඉන්නවා ද? ජාතිකවාදීන් කී දෙනකු ඉන්නවා ද?  

මා දන්නා විධියට රාජගිරියේ ආයුර්වේද ගොඩනැගිල්ල ඔය වෙන් කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. වෙද මහත්වරුන්ට  කැඳ හදන්න නිසි උපදෙස් දෙන්න පුළුවන්. ඒත් බමුණු කුලය බිඳින එක ලෙහෙසි නැහැ. බමුණු කුලය කැඳ කෝප්පය උස්සලා. වෙද මහත්වරුන් තවත් පහතට බස්සලා.