Main Logo

Monday 30 March 2020

වෛරසය ගැන තවත් කතාවක්

   සිංහල ලිත් ඉලක්කම්


වෛරසය ගැන තවත් කතාවක් 




අවුරුදු පන්සීයකට පමණ පසුව බටහිර ලෝකය කඩා වැටීමට පටන් අරන්. එය ඊනියා ධනවාදයේ කඩා වැටීමක් නො වෙයි. සමාජවාදය ඇති වීමක් ගැන මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් ආදී කිසිවකු කියන්නේ නැහැ. බටහිර ලෝකයේ කඩා වැටීමට පිළිතුරක් දිය හැක්කේ ථෙරවාදයටයි. මා බටහිර ලෝකය කඩා වැටෙන බවත් ථෙරවාදී සංස්කෘතියකට එයට පිළිතුරක් බවත් කියන්නේ දශක කිහිපයක සිට. එහෙත් එය මෙතරම් ඉක්මනට සිදු වේවි කියා මා හිතුවේ නැහැ. 


එහෙත් මෙරට ඉන්නා ථෙරවාදීන්ට ඒ ගැන අවබෝධයක් නැහැ. ඔවුන් දෙකොටසකට බෙදන්න පුළුවන්. එක් කොටසක් ඊනියා නූතනවාදී ථෙරවාදීන්. ඔවුන් බුද්ධිවාදීන්. ඔවුන්ගේ බයිබලය (ඇත්තට ම බයිබලය) වී ඇත්තේ රාහුල හාමුදුරුවන් ලියූ බුදුන් වදාළ ධර්මය. එය ථෙරවාදය නූතනත්වය බුද්ධිවාදය සමග ගැලපීමට කරන ලද අසාර්ථක උත්සාහයක් පමණයි. දෙවැනි කොටස අශෝක නැත්නම් මහානාම ථෙරවාදීන්. ඔවුන් බොහෝ විට පදනම් වන්නේ විසුද්ධි මාර්ගය පොතෙහි කියන එක අතිශයෝක්තියක් ම නො වෙයි. මේ දෙකොටස ම මට විරුද්ධයි. මගේ වචන පාවිච්චියටත් විරුද්ධයි. ඔවුන් බොහෝ දෙනකුට අනුව මා මන්ද බුද්ධියෙක්. 

මහානාම හිමියන් ලියූ මහාවංසය අපේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයකට සීමා කර තියෙනවා. අපේ ඉතිහාසය එයට වඩා පැරණියි. එහෙත් මා කියන්නේ නැහැ එය අවුරුදු විසපහන්දාහක් පමණ පැරණියි කියා. මෙරට එයටත් වඩා කාලයක් මිනිසුන් වාසය කර ඇති නමුත් එකල හා මෙකල අතර අඛණ්ඩ සංස්කෘතික සම්බන්ධයක් නැහැ. අපේ ඉතිහාසයේ අඛණ්ඩ සම්බන්ධය ඇති වන්නේ කවදා සිට ද යන්න මා දන්නේ නැහැ. එය පසුව දැන ගත යුත්තක්. මහාවංසයේ යම් යම් ගැටළු ඇත්තේ අපේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයකට සීමා කිරීමට යෑමෙන්. පඬියන්ට දෙදහස් පන්සීයේ රෙද්දක් ගැන කීමට සිදු වී ඇත්තේත් එබැවින්. නැත්නම් ඔවුන්ට ඊට වඩා දිග රෙද්දක් ගැන කියන්න තිබුණා.

ඇමරිකන් (උතුරු හා දකුණු) ඉතිහාසය කොලම්බස්ට එහා යන්නේ නැහැ. කොලම්බස් එහි යෑමට පෙර ඒ රටවල විවිධ සංස්කෘතීන් තිබුණා. එහෙත් ඒ සංස්කෘතීන් බටහිරයන් විසින් විනාශ කෙරුණේ ඒ ජනතාවත් සමග. ඇමරිකන් ඉතිහාසය කොලම්බස්ට එහා යන්නේ නැත්තේ මේ අඛණ්ඩත්වය නැති නිසා මිස මිනිසුන් නොසිටි නිසා නො වෙයි. ඕස්ත්‍රේලියාව ගැනත් එසේමයි. ඒ රටවල නව සංස්කෘතීන් ගොඩ නැගුණේ සමූලඝාතනවලින් පසුව. මුළු මහත් බටහිර සංස්කෘතිය ම ගොඩ නැගී ඇත්තේ මිනී කඳු මත. අද කොවිඩ් 19ත් එහි ප්‍රතිඵලයක්. කොලම්බස් කියන්නෙ මහා පාපතරයෙක්. එහෙත් අප ඔහුට වෛර කරන්න ඕන නැහැ. අපි මේ පාපයෙන් ගොඩ එන්න උත්සාහ කරමු. දැන් බටහිර වෛරී සංස්කෘතිය නිසා දුර්වල වී ඇති දෙවියන් ශක්තිමත් කරමු. 

එහෙත් ආණ්ඩුව එසේ කරන බවක් පේන්න නැහැ. ආණ්ඩුවට උපදෙස් දෙන්නේ අර පළමු ගණයේ ථෙරවාදීන්. ඔවුන් රාහුල හිමියන් ලියූ පොත කියවා ඇත් ද කියා දන්නේ නැහැ. එහෙත් ඔවුන් බුද්ධිවාදීන්. වියත් මග බුද්ධිවාදී සංවිධානයක්. එහි නිර්මාතෘ ළඟක් වන තුරු මා කියන දේටත් ඇහුම් කන් දුන්නා. එහෙත් ඔහුට දැන් ප්‍රශ්න ඇති වී තිබෙන බවක් පේනවා. වියත් මගේ බොහෝ අයට මා අන්තවාදියෙක්. මිථ්‍යා මත ධාරියෙක්. අඩුම තරමෙන් මතභේදකාරී (controversial) පුද්ගලයෙක්. 

කලකට පෙර නාථ දෙවියන්ගේ කතාව ආවා. රජරට වකුගඩු රෝගය ගැන නාථ දේව මණ්ඩලයෙන් දැන ගෙන අප යම් කතාවක් කිවුවා. සුපුරුදු පරිදි බුද්ධිවාදී ථෙරවාදින් ද ඇතුළු බුද්ධිවාදීන් මට හිනහ වුණා. මා මිථ්‍යා මත ධාරියකු බව කිවුවා. එකල 360 වැඩ සටහනක දී ද මා වංක පුද්ගලයකු බව පෙන්වීමට උත්සාහයක් දැරුණා. 

අප රෝගයට  පාරම්පරික සිංහල බෙහෙත් කළා. එයින් රෝගීන් සුවපත් වුණා. රජරට චන්ද්‍රසේන මහාවිලච්චියේ අපේ වෙදකම් පැවැත් වූ පන්සලට පැමිණ එය ව්‍යාප්ත කිරීමට පොරොන්දු වුණා. ඉන් පසු ඔහු වෙන පැත්තකට ව්‍යාප්ත වුණා. දෙරණ අපෙන් රෝගීන් සුවපත් වූ බවට බටහිර වෛද්‍ය සහතික ඉල්ලා සිටියා. ඔවුන් මනුසත් දෙරණ පටන් ගත්තා. මනුසත් දෙරණත් රෝගයත් දිගට ම පවතිනවා. මනුසත් දෙරණ අද කොවිඩ් 19ට පන්සල්වල ආහාර බෙදනවා. ඒ අදහස ඔවුන්ට ලැබුණේ කෙසේ ද කියා කියන එකක් නැහැ. 

කොවිඩ් 19 ඇති කෙළේ පරීක්‍ෂණාගාරයක කියා මා හිතන්නේ නැහැ. එහෙත් එය පරීක්‍ෂණාගාරයක නිර්මාණය වෙන්න ඇති. මා ඒ ගැන කියන්න යන්නේ නැහැ. අවුරුදු පන්සීයක් බටහිරයන් ලෝකයේ ගෙනයන ලද වෛරී ලෝභ ක්‍රියා බොහොමයි. පෘතුගීසීන් අප රටේ කළ දේ අප දන්නවා. ඉංගිරිසින් වෙල්ලස්සේ දී කළ ඝාතන ඉතිහාසයේ ලියැවී තියෙනවා. අනෙක් රටවල එයටත් වඩා කෘරකම් සිදු වී තිබෙනවා. මේ වපුරන ලද වෛරය ආහාර කර ගන්නා අමනුෂ්‍යයන් පනස්දාහකට වැඩි පිරිසක් අද මිනිස් ලොවට පැමිණ තියෙනවා. කොවිඩ් 19 වෛරසය ඔවුන් නාගයන්ගේ ද උපකාරයෙන් තනාගත් එකක් බවයි සිරීපාද අඩවියේ භාවනානුයෝගීව වැඩ වසන හාමුදුරුනමක් මට පැවසුවේ. මේ වෛරසය තැනීමට අමනුෂ්‍යයන් හා නාගයන් රසායන විද්‍යාව දැන සිටින්න වුවමනාවක් නැහැ. සබන් දා හේදු කල වෛරසය ඉවත් වන්නේ ඇයි ද කියා රසායන විද්‍යාඥයකු කියනවා ද? 

අමනුෂ්‍යයන් ද ඉතා බලවත්. සිදුහත් තවුසාගේ මාර පරාජය බුද්ධිවාදීව මානසික කටයුත්තක් පමණක් බවට පෙන්වීමට උත්සාහ කරන බුද්ධිවාදී ථෙරවාදීන්ට ඒ මාරයන් හා අමනුෂ්‍යයන් අතර ඇති සම්බන්ධය වැටහෙන එකක් නැහැ. අපට අද බටහිර ආත්මාර්ථකාමි සමාජයේ වෛරය නැති කරන  ශක්තියක් නිර්මාණය කිරීමට අවශ්‍යයයි. වත්මන් මාර පරාජයට දෙවියන්ට ශක්තිය දීම වැදගත්. ඒ සඳහා අර හාමුදුරුවන් පිරීත් කියන්න යෝජනා කළා. එහෙත් ආණ්ඩුවේ බුද්ධිවාදීන් එය සතපහකට ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව දැන් ගෙන යන ක්‍රියා මාර්ගය හොඳයි. එහෙත් එපමණින් සෑහීමකට පත් වෙන්න එපා. 

අද ජපානයෙන් බෙහෙතක් ගේන්න කටයුතු කරලා. මෙය ගැන විවිධ මත පළ කරනවා. අර කුරුළු උණ වෛරසයේ ව්‍යුහය ලොවට හෙළි කල මහාචාර්ය මලික් පීරිස් ජපන් බෙහෙත ගැන වෙන ම කතාවක් කියන බව සැළයි. ඒ බෙහෙත ගැන සායනික නැහැසුම් (clinical trials) හරියට කෙරී තියෙනවා ද? මට සායනික නැහැසුම් ගැන  විශ්වාසයක් නැහැ. රෝගීන් දෙදෙනකු එක වගේ නැහැ. සායනික නැහැසුම්වලින් ලැබෙන්නේ සම්භාවිතාවක් පමණයි. එහෙත් මගේ ප්‍රශ්නය සායනික නැහැසුම් ගැන උනන්දුවක් දක්වන ජපනුන් ඒ අවශ්‍ය පරීක්‍ෂා කර තිබෙනවා ද කියා.  ඒ බෙහෙත හරියනවා නම් වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. 

ඒත් අපි පිරිතුත් කියා බලමු. ඉන් දෙවියන්ගේ ශක්තිය වැඩි දියුණු වී අමනුෂ්‍යයන් සක්වළ ගලින් එහාට පන්නා දාන්න පුළුවන් නම් එහි වරදක් තියෙන්න බැහැ. මට මේ කිසිවක් ගැන ප්‍රායෝගික අත්දැකීමක් නැහැ.  මා බොහෝ විට ප්‍රායෝගික පරීක්‍ෂණවලින් අසමත්. සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නා අවධියේ  ඒ කිට්ටුව පිහිටි  දැන් ග්‍රිුනිච් නිරීක්‍ෂණාගාරය තියෙන හර්සට්මොන්සූ මාළිගාවට මසකට වරක්වත් සම්මන්ත්‍රණ සඳහා ගියා. එහි වැඩ කළ පර්යේෂකයන් අපට දේශන පැවැත්වීමට සසෙක්ස් විශ්වවිද්‍යාලයට පැමිණියා. එහෙත් මා අද වන තුරුත් දුරේක්‍ෂකයකින් අහස බලා නැහැ.

මා දෙවියකු තබා භූතයකුවත් දැක නැහැ. මා ප්‍රායෝගික කරුණුවලින් අදක්‍ෂයෙක්. එහෙත් මට කතන්දර හදන්න පුළුවන්. ඒ කතන්දර වියත් මගටත් ප්‍රයෝජනවත් වේවි. අපි පිරිත් කියමු.