Main Logo

Saturday 7 March 2020

එංගලන්තයේ වැඩ කිඩ

           සිංහල ලිත් ඉලක්කම්


එංගලන්තයේ වැඩ කිඩ




පසුගිය දා තිළින ගමගේ කොමිසමක් ඉදිරියේ ඉතා වැදගත් ප්‍රකාශයක් කරල තිබුණා. ඔහුගේ ප්‍රකාශයෙන් කියැවුණේ මෙරට බිරිතානි මහා කොමසාරිස් කාර්යාලයෙන් නාවික හමුදාවෙන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් යැයි කියැවෙන නඩුවේ දී ඒ නඩුව විනිශ්චය කළ තමාට බලපෑම් සිද්ධ වූ බවයි. මේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් සොයා බැලීමට රජය කටයුතු කළ යුතුයි. එය සත්‍යයක් ද නැත් ද යන්න දැන ගැනීමට අපට අයිතියක් තියෙනවා. 


තිළිණ ගමගේට අනුව ඔහු මහා කොමසාරිස් කාර්යාලයට කියා ඇත්තේ අප තවදුරටත් බිරිතානියේ (එංගලන්තයේ) යටත්විජිතයක් නොවන බවයි. එහෙත් එසේ කියා වැඩි කල් යෑමට පෙර ඔහුගේ වැඩ තහනම් කෙරී තිබෙනවා. එය එසේ නම් එයට වග කියන්න ඕන කවුද? 

අප අවුරුදු තිහක පමණ කාලයක තිස්සේ කියන්නේ මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවයි. ඇතැම් ජාතිකවාදී යැයි කියන පඬියන්ට අප මේ කරුණු බොහොමයක් බටහිරට ඈඳීම ගැන ඇත්තේ අප්‍රසාදයක්. ඔවුන්ට අනුව සියල්ල සිදුවන්නේ ලංකාවේ හා ලංකාවේ ම පමණයි. අප මුස්ලිම් අන්තවාදය හා පාස්කු ප්‍රහාරයත් බටහිරයන්ට ඈඳනවා.  

චම්පක අවංක නායකයකු යැයි සිතා සිටි එ ජා ප හිතවත් ජාතිකවාදීන්ට මා හැමදාමත් ප්‍රශ්නයක් වුණා. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකු මට ගෞරව කරන බවක් බොරුවට කියනවා. ඔවුන් කරන්නේ ඔළුව අතගා ටොකු ඇනීමක්. ඔවුන් ඔළුව අතගාන්නේ තමන්ට ලකුණු ටිකක් දා ගැනීමට පමණයි.

චම්පකට එකල වැඩියෙන් ම ආධාර කෙළේ එ ජා ප හිතවත් ජාතිකත්වයට නැඹුරුවක් තිබූ අය. ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය සමග එකතු වීමට මනාපයක් තිබුණේ නැත්තේ තම ජාතිකත්වයේ බටහිර ලැදියාවක් ද (සමහර විට ගැතිකමක්) තිබුණු බැවින්. අදත් එසේමයි. ශ්‍රී ල නි පක්‍ෂයේ යටත්විජිත විරෝධයක් තිබුණා. චම්පක මේ අතරට ආ ඊනියා ගැලවුම් කාරයා. සෝම හාමුදුරුවන් පසුපස ගිය කෝට්ටේ මහරගම පිළියන්දළ කැස්බෑව ආදී ප්‍රදේශවල ඊනියා උගත් බුද්ධිවාදී ජාතිකත්වයක් ඇති අයට චම්පක බලාපොරොත්තුවක් ගෙන ආවා. ඔවුන් චම්පක වටා රොක් වුණා. චම්පක කවුරුන්දැයි හෙළිදරවු වීමෙන් පසුව ඒ අය අතරමං වෙලා. 

අද ඔවුන්ගෙන් ඇතැමකු පොහොට්ටුවාදීන් වෙලා. තවත් සමහරු මුහුණුපොතේ සකර්බර්ග් වම සමග එකතු වී පඬියන් ලෙස කාලය ගත කරනවා. ඔවුන්ගෙන් හා සකර්බර්ග් වමෙන් සත පහක වැඩක් වෙන්නේ නැහැ. ඇතැම් ජාතිකවාදීන්ට අනුව සකර්බර්ග් සමග සංවාද කරන එක වැඩක් නැති වැඩක්. ඒකත් ඇත්ත. එහෙත් ඒ ජාතිකවාදීන් තමන් අවුරුදු තිහකට පෙර තම ස්වයංභූ ඥානයෙන් ජාතිකවාදීන් වූ බව කියන්න හදනවා. 

මුස්ලිම් ආක්‍රමණය මූලික වශයෙන් ම බටහිරයන් ඇති කළ එකක්. ඔවුන් මෙරට ඇතැම් ජාතිකවාදීන් ඒ සඳහා යොදවා ගත්තා. නෝර්වේ එයට මූලික වුණා. අපට ඒ සම්බන්ධයෙන් මුල සිට ම ප්‍රශ්න තිබුණා. අද වන විට ඒ බොහෝමයක් පැහැදිලියි. මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ ව එකල කළ දෙයින් වාසි ගත්තේ මුස්ලිම් අන්තවාදීන් හා එ ජා පක්‍ෂය. අද ඒ තත්වය වෙනස් වෙලා. අද පලස්තීන කතා වැඩක් නැහැ. මුස්ලිම් අන්තවාදයේ අද යටත්විජිත විරෝධයක් නැහැ. මුස්ලිම් අන්තවාදය දශක කිහිපයක් තිස්සේ බටහිරයන් විසින් මෙහෙයවෙනවා.

මෙරට දෙමළ ජාතිවාදය නම් මුළුමනින් ම ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන්ගේ නිර්මාණයක්. එය 1800 පමණ සිට ක්‍රියාත්මක වූ බවට දැන් සාක්‍ෂි තියෙනවා. අදත් තිළිණ ගමගේ කියන දේ කුමක් වුවත් ඉංගිරිසින් තමයි දෙමළ ජාතිවාදය පිටුපස ඉන්නේ. ඊනියා ඩයස්පෝරාව හෙවත් විසිරුණු දෙමළ ජනයා නඩත්තු කෙරෙන්නේ ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් විසින්. 

මෙරට බිරිතානි මහා කොමසාරිස් කාර්යාලය පසුගිය වසර හැත්තෑවක පමණ කාලයෙහි ක්‍රියාත්මක වී ආකාරයත් ඊට පෙර ආණ්ඩුකාරයන් හා ඉංගිරිසි නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරයත් දැන ගන්න ඕන. රාජ්‍ය ලේඛනාගාරයේ ලිපි ලේඛන කියවා ඒ ගඋන දැන ගන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සමුළුවෙන් එක්සත් රාජ්‍ය (ඇමරිකාව) අයින් වුවත් 30/1 හා අදාළ අනෙක් යෝජනා අයින් වන්නේ නැහැ. අප එ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණු එක හොඳයි.  අප ඒ යෝජනාවලට දිගින් දිගට ම විරුද්ධ වෙන්න ඕන. ගෝඨාභය රජය එය කරාවි. එමෙන් ම ලංකාවේ ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට කිසිම ඉඩක් මේ ආණ්ඩුවෙන් ලැබෙන එකක් නැහැ.

ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධ වූ ද විිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැස කැවූ කණ්ඩායමක් අද සුපිරි ජාතිකවාදීන් වීමට තැත් කරනවා. ඔවුන් ආණ්ඩුව විවේචනය කරන්නේ ආණ්ඩුව යහමග යැවීමට ම නො වෙයි. ආණ්ඩුව ඔවුන් හඳුනා ගන්න ඕන. 

දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ අයට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට බැරි වෙන එකක් නැහැ. එහෙත් පළමුව දෙමළ ජාතිවාදය පිටුපස ඉන්නවුන් හඳුනාගත යුතුයි. ඒ ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින්. ඔවුන් තමයි බටහිර අනෙක් රටවල් ද අපට විරුද්ධ ව මෙහෙයවන්නෙ. කලකට පෙර එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ලංකාවට ඇවිත් නැටූ නාඩගම් අපට අමතක වී නැහැ. 

අවුරුදු දෙසීයයකට වඩා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට, එරෙහිව එංගලන්තයේ ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වන්නේ තිළින ගමගේ අප නොදන්නා එහෙත අපේ කතන්දරය අනුව අපට හිතාගත අයුරකින් මහා කොමසාරිස් කාර්යාලය ක්‍රියා කර ඇති බව පවසන බවයි  යි. අප කතන්දර හදන්නේ බටහිර අච්චුවේ නොවන බවත් පස්වැනි සියවසට පෙර අප කතන්දර හදා ඇති බවත් සකර්බර්ග් දකුණේ ජාතිකවාදීන්ට මතක් කර දෙන්න ඕන.