Main Logo

Thursday 2 April 2020

වෛරසයක් මගින් කරන ලෝක යුද්ධයක්

   සිංහල ලිත් ඉලක්කම් 


වෛරසයක් මගින් කරන ලෝක යුද්ධයක්


එක්තරා ආකාරයකින් කිවුවොත් මේ සිද්ධ වෙන්නේ ලෝක යුද්ධයක්. කුමක් වුණත් අප බිය විය යුතු නැහැ. පළමු කරුණ බිය නොවන්න යන්නයි. දෙවැන්න පරෙස්සම් වන්න යන්නයි. අප පරෙස්සම් වන්නේ බිය නිසා නො වෙයි. අප ජීවත් විය යුතු නිසාත් අප ජය ගත යුතු නිසාත්. 


මේ ලෝක යුද්ධය ඊනියා පළමු හා දෙවැනි ලෝක යුද්ධ වගේ නො වෙයි. අවුරුදු පන්සීයක පමණ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව මුස්ලිම් සංස්කෘතිය ගෙන යන යුද්ධයක්. මේ යුද්ධය ආයුධ මගින් කෙරෙන්නක් නො වෙයි. අද ආයුධවලින් වැඩක් නැහැ. පෙන්ටගනය අද අකර්මණ්‍යයයි. යුද්ධය කෙරෙන්නේ වෛරසයක් මගින්. සෑම යුද්ධයක් පිටුපස ම අදෘශ්‍යමාන බලවේගත් ඉන්නවා. අදෘශ්‍යමාන බලවේග යහපත් වෙන්නත් පුළුවන් අයහපත් වෙන්නත් පුළුවන්. මා පහත සඳහන් කරන්නේ මගේ හිතළුවක්. 

අර සිරීපාද අඩවියේ හාමුදුරුවන් දින කිහිපයකට පෙර මට කතා කළාට පසු මා ඒ සියල්ල ගැන හිතන්න පටන් ගත්තා. මා කියන දේ සමග බටහිර උගතුන් හා ඔවුන්ගෙන් අදහස්වලින් පෝෂණය වන ප්‍රාචීන උගතුන් කීයටවත් එකඟ වන්නේ නැහැ. ඔවුන් සුපුරුදු පරිදි මට හිනහ වේවි. මගේ මිථ්‍යා මත ගැන කියාවි. අපි මුලින් ම පටන් ගමු. ඒ හාමුදුරුවන්ට මෙන් මට ආධ්‍යාත්මික ශක්තියක් නැති බවත් කියන්න ඕන. 

පසුගිය පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර උන්වහන්සේ කාදිනල්තුමාට කතා කර තියෙනවා. එවැනි ප්‍රහාරයක් සිදු වීමට ඇති බවයි කියා තියෙන්නේ. මා දන්නා විධියට කාදිනල්තුමා එසේ කී බව ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. මා කාදිනල්තුමා මුණ ගැසී නැති බවත් වචනයක්වත් කතා කර නැති බවත් කියන්න ඕන. 

පාස්කු ප්‍රහාරය පන්සල්වලට නොව කතෝලික පල්ලිවලට එරෙහි ව ක්‍රියාත්මක වුණෙ ඇයි ද කියන එක ගැන මාත් ලියා ඇති. අද එය තවත් පැහැදිලි කර ගන්න පුළුවන්. එය අද වැඩේ පෙරහුරුවක්. හාමුදුරුවන් එහි දී ද කියා තිබෙන්නේ අමනුෂ්‍ය ප්‍රහාරයක් බවයි මගේ වැටහීම. යම් අමනුෂ්‍ය කොටසක් මුස්ලිමුන් පිටුපස ඉන්නවා කියාත් කියන්න පුළුවන්. අද ලෝකයේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට එරෙහි බලවත් ම සංස්කෘතිය මුස්ලිම් සංස්කෘතියයි. පාස්කු ප්‍රහාරය ලංකාවේ දී ක්‍රියාත්මක වූයේ එකල මෙරට බුද්ධි අංශය ඉතා දුර්වල වූ නිසා. 

පාස්කු ප්‍රහාරය ක්‍රිස්තියානි කතෝලික සංස්කෘතීන්ට විරුද්ධ ව මුස්ලිම් සංස්කෘතිය කළ එකක්. අද ක්‍රියාත්මක වන්නේ එහි ඊළඟ පියවරයි. අද වඩාත් ම ප්‍රහාරයට ලක් වන්නේ ක්‍රිස්තියානි කතෝලික රටවල්. චීනයෙත් යම් මුස්ලිම් විරෝධතාවක් තිබුණා. Uighur (මෙය උච්චාරණය කරන හැටි මා දන්නෙ නැහැ) මුස්ලිමුන් ට කරදර වන බවයි කියැවෙන්නෙ. වූහාන් ප්‍රදේශයට තමයි මුලින් ම වෛරස් ප්‍රහාරය එල්ල වුණේ.  එහි මුස්ලිමුන් ඉන්නවා ද නැද්ද යන්න නොවෙයි ප්‍රශ්නය. 

වෛරසයක් යුද්ධායුධයක් වූ විට හමුදාව කළ යුතු කාර්යය කුමක් දැයි මෙරට හමුදාව පෙන්වා දී තිබෙනවා. අපේ හමුදාව ලෝකයට ම ආදර්ශයක්. පෙන්ටගනයට ඒ ගැන කල්පනා කරන්න පුළුවන්. අද හමුදාවේ කාර්යභාරය විය යුත්තේ රෝගීන් හා රෝගීන් ඇසුරු කළවුන් සොයා ගැනීම, අදාළ පුද්ගලයන් නිරෝයාධනයට යොමු කිරීම ආදියයි. ආයුධයෙන් වෛරසයක් නැති කරන්න බැහැ. 

බටහිර වෛද්‍ය නිලධාරි සංගමය 3A යුගය 3B යුගය 4 යුගය වගේ බටහිර වෛද්‍යවරුන් කියන කතා නැවත කියා ජනයා බිය වද්දනවා. මෙය බිය වැද්දීම පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. පරෙස්සම හා වෛරසය තුරන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. බටහිරයන් ප්‍රස්තාර වක්‍ර ඇඳීමට ඊනියා යුග නම් කිරීමට උපන් හපන්නු. අද කඩා වැටෙමින් ඇත්තේත් මේ යුග ප්‍රස්තාර ඉදිරිපත් කරන සංස්කෘතියයි. රෝගය ව්‍යාප්ත වෙනවා. අප කළ යුත්තේ එය වැළැක්වීමයි. නිරෝධායනය, මිනිසුන් - මිනිසුන් අතර හමුවීම් නැවැත්වීම ඒ සඳහා දැඩි පියවර ගැනීම ඒ අතර මිනිසුන්ට කන්න බොන්න (මත් පැන් නොවේ) දීම, ඖෂධ සැපයීම විශේෂයි. ඒ සඳහා ග්‍රාමීය යාන්ත්‍රණයක් යොදා ගන්න පුළුවන්. 

අප හැකි තාක් මස් මාංශ අනුභවයෙන් වළකින්න ඕන. කිකිළියන් බිත්තර දාන එක නවත්තන්න බැහැ. කුකුළන් හෝමෝන පිහිටෙන් දින කිහිපයකින් මැරෙන්න වැඩීමත් වළක්වන්න බැහැ. හෝමෝන නොදී ඉන්න බැරි ද? අදාළ ව්‍යාපාරිකයන්ට පාඩු වේවි. මා දන්නා හඳුනන අයත් බිත්තර ව්‍යාපාරයේ ලොක්කන් අතර ඉන්නවා. කරන්න දෙයක් නැහැ. අපි අලුතෙන් හිතන්න ඕන. පරාජය කිරීමට ඇත්තේ වෛරසයක්. ඒ පිටුපස ඉන්න අමනුෂ්‍යයන්. අර හිනහ වෙන ස්වයංපෝෂිත ආර්ථිකයට යන්න ඕනෙ. අපේ චින්තනයට යන්න ඕනෙ. 

මෙය කිසිසේත් ම මුස්ලිමුන්ට විරුද්ධ ව කරන අරගලයක් ලෙස නොසිතිය යුතුයි. මුස්ලිමුන්ට වෛර කළොත් ඉන් පෝෂණය වන්නේ අර අමනුෂ්‍යයන්. අප කළ යුත්තේ අමනුෂ්‍යයන් පරාජය කිරීමට ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමයි. වෛරසයක් මගින් කරන යුද්ධයක් ආයුධයෙන් හරි බටහිර ආර්ථික සැලසුම් මගින් හරි පරදවන්න බැහැ. බන්දුල ගුණවර්ධන කියන බ්‍රෙට්න්වුඩ් ගිවිසුම බිඳ වැටිල හුඟක් කල්. මා නව සමසමාජ පක්‍ෂයේ ඉන්න අවධියේ එය සිදු වුණා. අප හිතුවා විප්ලවය දැන් ළඟය කියා. ඒ අවුරුදු හතළිහකටත් පෙර. තවමත් විප්ලවය ආවෙ නැහැ. වෛරසය නම් ඇවිල්ල.  මා කියන දෙයක් ආණ්ඩුවට යන්නේ නැහැ.  
  
හමුදාව කරන වැඩේ හමුදාවට කරන්න ඇරල පොලීසිය කරන වැඩේ පොලීසියට කරන්න ඇරල බටහිර වෛද්‍යවරුන්ට තමන් බටහිරයන්ගෙන් ගන්නා ප්‍රකාශ කියවීමට ඉඩ ඇරලා, පාරම්පරික වෙදකම් අනුව කොත්තමල්ලි වෙනිවැල්ගැට ආදිය තම්බා බොන්නත් කැඳ බොන්නත් උපකාර කිරීමටත් බටහිර වෛද්‍යවරුන්ට පවරල ආණ්ඩුව ආධ්‍යාත්මික වර්ධනයටත් කටයුතු කරනවා නම් හොඳයි. ඒ පිරිත් කීමට හැකි උපකාර කිරීමෙන්. අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමෙන්. ධාර්මික ජීවිතයකට ජනතාව යොමු කිරීමෙන්.

විසාලා මහනුවරට වැඩියෙ එක බුදුහාමුදුරුවො. මා හිතන විධියට අද ලංකාවෙ හාමුදුරුවරුන් විසි තිස්දහස් නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ අතර සිල්වත් භික්‍ෂූන් වහන්සේ සිය නමක් ඇතැයි සිතමු. එය  ලොකු බලයක්. බුදුහාමුදුරුවන් තරමට නැතත් ඉන් විශාල ආධ්‍යාත්මික ශක්තියක් ගොඩ නගා ගන්න පුළුවන්.

මේ කිසිවකින් හමුදාවෙ වැඩවත් පොලීසියේ වැඩවත් සෞඛ්‍ය අංශවල වැඩවත් නැවැත්වීමක් යෝජනා නොකරන බව අවධාරණය කරන්න ඕන. මා සතියකට පමන පෙර කිවුව පැරණි විධියට අලුතෙන් හිතමු කියල. කිසිවකු එය සතපහකට ගණන් ගත්තෙ නැහැ. ඒකට කමක් නැහැ. අඩු තරමෙන් පෙන්ටගනය අද සතපහක් වටින්නෙ නැති තත්වයකට පත්වීම ගැන හිතන්න.