Main Logo

Monday 1 June 2020

අපට නැති අපේ අධ්‍යාපනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





අපට නැති අපේ අධ්‍යාපනය

තපස්සු භල්ලුක ගැන දන්නවා ද
(http://www1.kalaya.org/2020/05/blog-post_31.html) ලිපියට ප්‍රතිචාර කිහිපයක් තිබුණා. මා නුදුටු ප්‍රතිචාරත් තියෙන්න ඇති. මා ගරු කරන හාමුදුරුනමක් මට පහත සඳහන් මූලාශ්‍ර එවා තිබුණා. කාගෙ කාගෙත් දැන ගැනීම සඳහා මා එය පළ කරනවා. බලාගෙන යනකොට තපස්සු භල්ලුක කතාව පඬි නැට්ටන්ට සුරංගනා කතාවක් කියල අහක දාන්න බැහැ. පඬි නැට්ටන් මා මෙන් නොව මහා මූලාශ්‍රකාරයන්.  


“අමාවතුර, පූජාවලිය, දළදා පූජාවලිය, මහාභිනික්මන කාව්‍ය ප්‍රස්තාවනාව හා අන්තර්ගතය, සිංහල බෝධිවංශය, ථූපවංසය, නීලකොබෝ සන්දේශය, සඳකිඳුරු දා කව. බුත්සරණ. පියදාස සිරිසේන නවකතා එකතුවේ සුචිරිතාදර්ශය හෙවත් සරත් කුමර චරිතය. ලංකා ශිලාලේඛන සංග්‍රහයේ හතර වන වෙළුමෙ අංක 18,39,40 යන පරිච්ඡේද, මහාවග්ගය, ජාතක නිදානය, ලලිත විස්තරය, තිරියාය සංස්කෘත ශිලාලේඛනය, ගිරිහඬු වෙහෙර පිළිබඳ විසුද්ධිමාර්ගයේ විස්තරය, හිරිහඬු සෑ විහාර භූමි සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු හැන්සාර්ඩ් 1977, පේරාදෙණිය හිදගල විහාරයේ පැරණි බිතුසිතුවම් හියුංසාන් භ්‍රමනවෘතාන්තය.”

මේ අතර තවත් අයකු අන්තර්ජාලයෙන් ලබා ගත් උපුටනක් එවා තිබුණා. එහි චිත්‍රයක් ද තිබුණා. එහි තපස්සු භල්ලුක ඇඳලා තිබුණෙ බුරුම වැසියන් වගේ! තවත් අයකු කියා තිබුණේ මා සනීප රටකට ගොස් බයිලා කියන බවත් රටට වැඩක් කිරීමට නම් කුවේට් වැනි රටකට යා යුතු ව තිබුණු බවත්. තවත් අයකු අසා තිබුණා තපස්සු භල්ලුක නම්වලින් ඔවුන්ගේ රට ගැන හෝඩුවාවක් දැනගත හැකි ද කියා. 

මගේ එක් උත්සාහයක් වන්නේත් තපස්සු භල්ලුක දෙබෑයන්ගේ රට ගැන දැන ගැනීමට. හත්වැනි  සියවසේ පමණ ලියැවුණු මා හිතන විධියට චීන දේශ සංචාරක වාර්තාවකට අනුව ඇෆ්ගනිස්ථානයේ භල් නම් ප්‍රදේශයක භල්ලුක ඉපදුණා කියනවා. එහෙත් එය පසුව එකතු කරන ලද කතාවක් බවයි පේන්න තියෙන්නෙ. මා දැනට නම් මට තියෙන තොරතුරු අනුව හිතන්නෙ තපස්සු භල්ලුක බුරුම (මියන්මාර) වැසියන් කියා. අර මූලාශ්‍රවලින් අපට පිහිටක් ලැබේවි දැයි කියන්න බැහැ.  

හොඳ ම ප්‍රතිචාරය වුණෙ තපස්සු භල්ලුක කතාව දහම් පාසලේ උගන්වනවා කියන එක. අප ඇතැම් දේ දැන ගන්නෙ පාසලෙන්. ඉතින් දහම් පාසලෙන් දැන ගත්ත ම තියෙන වරද මොකක් ද? මා බොහෝ කලක සිට කියන කතාවක් තමයි දහම් පාසලේ ඉතිහාසය (විශ්වවිද්‍යාලවල ඊනියා ඉතිහාසඥයන්ගේ ඉතිහාස කතා නොව) ඉගැන්විය යුතු ය කියා. අපට බුදුදහම කෙසේ වෙතත් බුද්ධාගම (සිංහල ථෙරවාද බුද්ධාගම) ඉතිහාසයෙන් වෙන් කරන්න බැහැ. 

පඬි නැට්ටකු මේ ප්‍රතිචාරයට හිනහ වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් ගුරුත්වාකර්ෂණ බලයක් ගැන දැන ගන්නෙ බොහෝ විට පාසලෙන්. ගුරුත්වාකර්ෂණ බලය කියා එකක් තියෙනවා කියල පාසලේ දී කියනවා. ඕන නම් නිවුටන් ගැනත් චලිත නියම ගැනත් ඉගෙන ගන්නවා ඇති. ඒත් මේ චලිත නියම මොන තරම් පට්ටපල් බොරුවක් ද කියල පාසලේ දි තබා විශ්වවිද්‍යාලෙදිවත් කියල දෙන්නෙ නැහැ. ලංකාවෙ විශ්වවිද්‍යාලවල හිතන්න පුරුදු කරන්නෙ නැහැ. 

චලිත නියම වලංගු වෙන්නෙ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවල (Inertial Frames of Reference). එහෙත් අවස්ථිති සමුද්දේශ රාමුවක් කියන්නෙ මොකක් ද කියල දන්න මිනිහෙක් මේ ලෝකෙ නැහැ. වෙන ලෝකෙක ඉන්නවා ද දන්නෙ නැහැ. අවස්ථිති සමුද්දේශ රාමුවල ඉඳන් නිරීක්‍ෂණය කරන්න බැහැ. නිරීක්‍ෂකයකු ගිය ගමන් අවස්ථිති සමුද්දේශ රාමුව අවස්ථිති වෙන්නෙ නැහැ! 

කොහොමටත් අවස්ථති සමුද්දේශ රාමු කියන්නෙ වියුක්ත සංකල්පයක්. අර්නස්ට් මාක් කියන වියනා චක්‍රයෙ පුරෝගාමියකු භෞතික විද්‍යාවෙ මේ වියුක්ත සංකල්පවලින් සංයුක්ත සංසිද්ධි විස්තර කිරීමට විරුද්ධ වුණා. ඔහුට යම් සිංහල බෞද්ධ බලපෑමක් ද තිබුණා. ඔහු ගාල්ල පැත්තෙ හාමුදුරුනමක් සමග ලිපි ගණු දෙනු කරගෙන තියෙනවා. 

මාක් සංයුක්ත සංකල්ප ගැන විශ්වාස කළ බවයි පේන්න තියෙන්නෙ. එහෙත් සිංහල බෞද්ධ අපට සංයුක්ත සංකල්පත් බොරු. අවිජ්ජා පච්චයා සංඛාරා. වියුක්ත සංකල්ප, ප්‍රවාදවලට (කතන්දරවලට) මා පට්ටපල් බොරු කියා කියනවා. පට්ටපල් බොරුත් ඇතැම් විට යම් අවශ්‍යතා යටතේ වැඩ කරනවා. ඒ අතර කිසි ම ආකාරයකින් වැඩ නොකරන මාක්ස්වාදය වගේ දැනුම් පද්ධතීන් ද තියෙනවා. ඒවා පට්ටම පට්ටපල් බොරු. 

මෙරට වම්මුන්ට අද ධනවාදයට විරුද්ධව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. මා බටහිර ක්‍රිස්තියානි ධනවාදය හොඳයි කියනවා නො වෙයි. වම්මුන්ට එකතු වෙච්ච තැනක පොර කතා කියනවා හැරෙන්න ධනවාදයට විරුද්ධ ව ඇඟිල්ලක් හොලවන්න බැහැ. අද පැරණි වමේත් ඉන්පසු බිහි වු එක්ස් කණ්ඩයමේත් (එය තියෙනවා ද) අනෙක් සකර්බර්ග් වම්මුන්ගේත් තත්වය ඒකයි. ජ වි පෙ ගැනත් කතාව තව ටික කාලයකට පමණයි.  

මාක්ගෙ අදහස් තරුණ අයින්ස්ටයින්ට බලපෑවා. ඔහු තම සාධාරණ සාපේක්‍ෂතාවාදය සංස්කරණය (නිර්මාණය) කෙළෙ ඔය ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු නැති ව. ගුරුත්වාකර්ෂණ බලය ද එවිට නැති වෙනවා. එහෙත් අදත් බටහිර විද්‍යාඥයන් කියන්නෙ අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නෙ කොහොම ද කියල තේරුම් කළ බවයි. අයින්ස්ටයින් මැක්ස්වෙල්ගෙ ඊනියා ක්‍ෂෙත්‍රය (Field) කියන සංකල්පය යොදා ගත්තා. මෙහි දී වැදගත් වෙන්නෙ ඊනියා ද්‍රව්‍ය හා විකිරණ නිසා අවකාශ - කාලය එක් එක් අගය ගැනීම. එසේ එක් එක් අගය ගැනීම නිසා අවකාශ- කාලයෙ වක්‍රතාව කියා එකක් ගණනය කරන්න පුළුවන්. පොල් වැටෙන්නෙ අවකාශ කාල වක්‍රතාව වෙනස් වීම නිසා.

අයින්ස්ටයින් අවස්ථිති සමුද්දේශ රාමු ගුරුත්වාකර්ෂණය වැනි පට්ටපල් බොරු නැති කළට අවකාශ - කාලය, එහි වක්‍රතාව වැනි පට්ටපල් බොරු ටිකක් එකතු කළා. මා කියන්න අදහස් කරන්නේ අප පාසලේ දී ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක් ගැන ඉගෙන ගන්නේ අවස්ථිති සමුද්දේශ රාමු, භ්‍රමණය වන රාමු, ව්‍යාජ බල, මෙරිගො රවුම්, ඩලම්බෙයාගෙ කතා ලග්රාන්ජ්ගෙ සූත්‍රගත කිරීම් ආදී කිසිවක් දන්නෙ නැතිව පමණක් නොව ඒ ගැන විචාරශීලි අදහසක්වත් ප්‍රකාශ කරන්නෙ නැතිව. මා කියන්නෙ ඒ සියල්ල දැනගත යුතු ය කියන එක නො වෙයි. අපට පාසලේ දි  විශ්වවිද්‍යාලෙදි උගන්වන්නෙ ඒ ඒ මට්ටමෙන්, සමාජ සම්මත දැනුම (බටහිරයන් සම්මත කර දී ඇති දැනුම) හා සමාජයට තම මතවාදී ආධිපත්‍යය තහවුරු කිරීමට අවශ්‍ය දේ. 

දහම් පාසල්වල ඉගැන්විය යුත්තේ සිංහල ථෙරවාද බුද්ධාගමේ සම්මත දැනුම මිස බටහිරයන් අපට සම්මත කරල දුන්න දැනුම නො වෙයි. දහම් පාසලේ අපේ ඉතිහාසය ඉගැන්විය යුත්තේ බටහිරයන් අපට සම්මත කරල දෙන්නෙ ඔවුන්ගෙ ඇහෙන් බලන ඉතිහාසයක් නිසා. මෙරට උගතුන් ඊනියා සම්මන්ත්‍රණ වැඩ මුළු ආදිය පවත්වල ගාම්භීර ව ඉදිරිපත් කරන ඊනියා පත්‍රිකාවලින් සිද්ධ වෙන්නෙ අර බටහිර ඇහින් බලන දැනුම තහවුරු කිරීම පමණයි. මේ සම්මන්ත්‍රණ පටන් ගන්න පෙර බෙර වාදන සහිත පෙරහැරවලින් දේශකයන් කැඳවා ගෙන ඒම ජාතික චින්තනයක් හැටියට කවුරු හරි හඳුන්වනවා ද? අද බොහෝ දෙනාට ඊනියා ජාතික චින්තනය වී ඇත්තේ මෙවැනි සළුපිළි ඇන්දවීම් පමණයි. අප එවැනි දෙයින් ඇඳ ගන්න ඕන නැහැ. 

මෙරට විශ්වවිද්‍යාලවලින් රටට වෙලා තියෙන සුගතිය මොකක් ද? මා හැමදාමත් කියන්නේ මෙරට විශ්වවිද්‍යාලවලින් වන එක ම සේවය ඇතැමුන්ට තම අනාගත සහකරුවන් සහකාරියන් සොයා ගැනීමට උදවු වීම පමණයි කියන එක. එහෙත් අපේ ලොකුම අභාග්‍යය විශ්වවිද්‍යාල නො වෙයි. ඒ අපට ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ, මලියදේව,  ධර්මපාල, ධර්මාශෝක, ශ්‍රී සුමංගල ආදී  පාසල් බෞද්ධ පාසල් ලෙස ගොඩ නගා ගැනීමට නොහැකි වීමයි. දහම් පාසලත් ඉරිදා ක්‍රිස්තියානි පාසල්වල අනුකාරකයක් තමයි. අප  කුඩා කල ගියෙ ඉරිදා ඉස්කෝලෙ. ඒත් අවුරුදු ගණනක විකාශයෙහි එය සිංහල බෞද්ධකමක් ඇති කර ගෙන තියෙනවා. තපස්සු භල්ලුක ගැන තව තවත් දහම් පාසල්වල උගන්වන්න ඕන.