Main Logo

Saturday 20 June 2020

සම්බන්ධන්ගේ සම්බන්ධකම්

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9



සම්බන්ධන්ගේ සම්බන්ධකම්

සම්බන්ධන්ගේ ඉන්දීය සම්බන්ධය ගැන තමයි අද වැඩියෙන් ලියන්න ඕන. ඒත් ඊට කලින් මංගල ගැන කියන්න අමතක වුණු දෙයක් ලියන්න ඕන. අපට ජී සී මෙන්දිස්ගේ ගෝල බාලයන්ට වගේ නොවෙයි, තපස්සු භල්ලුක ගැන දැන ගන්න ඕන. මා මියන්මාරයට පැමිණි පසු බොහෝ කරුණු දැන ගත්තා. තවත් කරුණු එකතු වෙනවා. තපස්සු භල්ලුක මියන්මාර වැසියන් බව මියන්මාරයේ බොහෝ දෙනා කියනවා. ඔවුන් සිටි ප්‍රදේශයත් වත්මන් යැන්ගොන් ප්‍රදේශය. මේ ප්‍රදේශයෙහි තමයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා තියෙන්නෙත්. යැංගොන් ප්‍රදේශයේ කේශ ධාතූන්වහන්සේ නිධන් කළ චෛත්‍ය දෙකක් තියෙනවා. ඉන් එක් තැනක දේවානම්පිය තිස්ස රජු ගැනත් සඳහන් වෙනවා. මට තවම මේ එකක්වත් දැක බලාගන්න බැරි වුණා. දෙවැනි චෛත්‍යය තමයි සුප්‍රසිද්ධ ෂ්වෙදගොන් චෛත්‍යය. 


තපස්සු භල්ලුක තමයි දැනට මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර ඇති පැරණි ම සම්බන්ධය. අවාසනාවකට ඉන් පසු හයවැනි සියවස පමණ වෙන තෙක් දෙරට අතර සම්බන්ධකම් ගැන කියැවෙන්නේ නැහැ. බුද්ධඝෝෂ හිමියන් ද මියන්මාරයට වැඩ ම කළ බව කියනවා. එමෙන් ම මියන්මාරයේ ද යක්‍ෂයන් නාගයන් පන්නා දැමූ කතා තියෙනවා. මට තේරෙන විධියට අශෝක සමයේත් පසුව පස්වැනි හයවැනි සියවස්වලත් ආසියාවේ ඉතිහාසය වෙනස් වී තියෙනවා. අපි ඒ ගැන හිමින් සැරේ කතාවක් හදමු. 

තපස්සු භල්ලුක තමයි දෙසරණ සරණ ගිය පළමු උපාසකවරු. අවසාන උපාසක කවුද කියා දැන් ම කියන්න බැහැ. ඒකට ශාසනය ඉවර වෙනකම් ඉන්න ඕන. ඇතැම් සිංහල බෞද්ධ විරෝධීන්ට ඒක ඉක්මණින් ම කරන්න ඕන වෙලා තියෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තවත් තහවුරු කරන්න. අප අතරත් ඉන්නවා දෙසරණ සරණ ගිය උපාසක මහත්තයෙක්. ඒ තමයි මංගල සමරවීර. දැනට ඔහු තමයි දෙසරණ සරණ ගිය අන්තිමයා.  ඔහුට සංඝයා වහන්සේ නැහැ. කවුද කිවුවෙ අපට තපස්සු භල්ලුක වැදගත් නැහැ කියලා. මංගල අපට මොන තරම් වැදගත් ද? හඳුන්නෙත්තිගෙන් අහන්න. හඳුන්නෙත්තිලා අර අපේ සංස්කෘතියෙන් ගන්න කොටසට අයිති වන්නෙ දෙසරණ ද දන්නෙ නැහැ. ඔවුන් හා ඔවුන්ගෙන් පැවත එන පෙරට්ටුගාමින් පොඩි හාමුදුරුවරුන් තාප්පවලින් පන්නන්නෙ සංඝයා වහන්සේ නැති නිසා වෙන්න ඇති. 

දැන් සම්බන්ධන් වෙත. සම්බන්ධන් කියල තියෙනවා ඉන්දියාව තමයි අපේ හොඳ ම මිත්‍රයා අප ඉන්දීය කොරෝනා ආසදිතයන් ගෙන්වා ගෙන සුව කරන්න ඕන කියා. ඒ වගේ ම කියල ලංකාවෙන් ගිහින් ඉන්න තම්ල්නඩුවෙ පදිංචි ආසාදිතයනුත් ගෙන්න ගන්න ඕන කියලා. ඉන්දියාව අපේ හොඳම මිත්‍රයා ද කියන එක ගැන නම් මට මිත්‍රශීලී හැඟීමක් නැහැ. අපට ඔය ලොකු රටවල් එක්ක මිත්‍ර වෙන්නත් බැහැ. අපි රාජ්‍ය තාන්ත්‍රික ව මිත්‍ර කියල කියමු. අර නීතිඥයන් තම ප්‍රතිවාදී නීතිිඥයන් උගත් මිත්‍රයන් වශයෙන් හඳුන්වන්නෙ. අපට බුදුදහම දඹදිවින් ලැබුණූ එක එකක්. ඒ ලැබුණු බුදුදහමත් අපි අපේ කරගත්තා අපේ ශාසනයක් හදලා. ඒත් අපට වැඩිය ලැබිල තියෙන්නෙ සතුරු වෙසින් හරි මිතුරු වෙසින් හරි ආක්‍රමණ. මෙහි දී කිව යුතු වැදගත් කරුණක් තියෙනවා. මියන්මාරයෙ ඉන්න සමහරු කියන්නෙ සිදුහත් කුමරු මියන්මාරයෙ උපන්නා කියලා. 

ඒක පැත්තකින් තියන්න. සම්බන්ධන්ට තමිල්නාඩුව එක්ක සම්බන්ධකමක් තියෙනවා.  ඔහු මෑතක දී ඉන්දියාවෙන් පැමිණි අයකුගෙන් පැවත එන්නෙක්. අප ඇතැමුන් ද ඈතක සිට නමුත් එසේ පැවත එන්නන්. අප සමහරුන්ට ශාක්‍ය වංශයටත් නෑකම් ඇති. එහෙත් අප වංගයට (බෙංගාලය)  හරි කාලිංගයට (ඔඩිස්සා)  හරි මහාරාෂ්ට්‍රයට හරි රාජස්ථානයට හරි කපිලවස්තුවට හරි දුවන්නෙ නැහැ. අප එහෙ ඉන්න කොරෝනා ආසාදිතයන් ලංකාවට ගේන්න කියා කියන්නෙ නැහැ. අප ඒ වැසියන් සමග සම්බන්ධ නැහැ. 

දැන් ඔය ලංකාවෙන් ගියයි කියන අය කවුද? ඔවුන්ට පුළුවන් ද තමන් ලංකාවෙ රටවැසියන් බව ඔප්පු කරන්න. එහෙම නැත්නම් දෙමළ ජාතික සංධානය ලංකාවෙ කියන අය ගෙන්නවා ද? ඔවුන් මෙතෙක් කල් ලංකාවට ආවෙ නැත්තෙ ඇයි? ඔවුන් ඉන්දියාවට ගියේ නම් ඒ කවදා ද? ලංකාවෙන් ගියා කියන අයගෙ ඉන්දියාවෙ උපන් දරුවන් ලංකාවෙ රටවැසි කම අරගෙන තියෙනවා ද? මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම හරහා එක් එක් අය ලංකාවට එන එක වළක්වන්න බැහැ. 

සම්බන්ධන්ට තවමත් තමිල්නාඩුව සමග තියෙන සම්බන්ධය නැති කර ගන්න බැහැ. කවුරු හරි කියන්න පුළුවන් මේක මානුෂික ප්‍රශ්නයක් කියලා. එහෙම නම් අප ඉන්දියාවෙ කොයි කොයි පළාත්වලින් ද ආසාදිතයන් ගෙනෙන්නෙ? ඉන්දියාවෙ කොරෝනා ප්‍රශ්නය ඔඩු දුවලා. ආසාදිතයන් ලක්‍ෂ ගණනක්. ඔය ගේන ඉන්දියාවෙ කොරෝනා ආසාදිතයන් සුවපත් කරන්නෙ කෙසේ ද? සම්බන්ධන් ළඟ ඒකට ප්‍රතිකාරයක් තියෙනවා ද? ලංකාවෙ තියෙනවා ද? ලෝකෙ වෙනත් රටක තියෙනවා ද? අපි දන්නෙ නැහැ සම්බන්ධන් හරි සුමන්තිරන් හරි ප්‍රතිකාරයක් නිපදවල ද කියලා. ඒකට පේටන්ට් ගත්තා ද? මේ රෝගීන් සුවපත් වෙනව කියන්නෙ මොකක් ද?


ලංකාවෙ රෝහල් කීයක් තියෙනවා ද? ආසාදිතයන් කී දෙනකු ඒ රෝහල්වලට ඇතුල් කරන්න පුළුවන් ද? සම්බන්ධන් පැහැදිලිව ම කොරෝනා සමග දේශපාලනය කරන්න හදනවා. ඔහුට දැන් ඡන්ද නැති වේගන යන කාලෙ. මේකෙන්වත් ඡන්ද ටිකක් ගන්න පුළුවන්ද කියල බලනවා. ලංකාවෙ ප්‍රතිකාරයක් තියෙනවා නම් ඒක ඉන්දියාවට දෙන එක නේද කරන්න තියෙන්නෙ. සම්බන්ධන්ට හා දෙමළ ජාතික සංධානයෙ අනෙක් නායකයන්ට බැරි ද තමිල්නාඩුවට ගිහිල්ල ප්‍රතිකාරයත් දීල හෙදකමටත් සහභාගි වන්න. සිද්ධ වෙදකමේ  කරන්න කියන්නෙ මොකක් ද? ඉන්දියාවෙ ආයුර්වේද, සිද්ධ , යුනානි වෙදකම්වලට තැනක් නැද්ද? සම්බන්ධන් මේ දවස්වල කොළඹ ද ත්‍රිකුණාමලේ ද? නිකම් දැන ගන්න ඇහුවෙ.