Main Logo

Monday 22 June 2020

සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9




සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය



දෙසීයට තුනේ කණ්ඩායමට අමතර ව ඊනියා සමාජවාදයක් ගැන කියවන තවත් කණ්ඩායම් කිහිපයක් ලංකාවේ තියෙනවා. සමාජවාදයත් ජාතිකවාදයත් එකතු කරන්න බලාපොරොත්තුවන කණ්ඩායමක් තමන් ජාතිකවාදී කඳවුරේ  එකම නියෝජිතයා ලෙස සලකමින් ක්‍රියා කරනවා. ඔවුන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන පක්‍ෂයක හිතවතුන්. ඒත් ඒ හිතවත්කම නොපෙනෙන විධියටයි ක්‍රියා කරන්නේ. ඔවුන් ජාතිකත්වයට විරුද්ධ වන්නේ නැහැ. 

එහෙත් වෙනත් කණ්ඩායම් තියෙනවා ඊනියා සමාජවාදයක් ගැන කියමින් ජාතිකත්වයට පහර ගසන. ඔවුන්ගේ කණ්ඩායම දෙලක්‍ෂයට තුනේ කණ්ඩායමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් මෙවර මැතිවරණයේ දී දෙසීයට තුනේ කණ්ඩායමට ඡන්දය දෙන්න සූදානම්. දෙසීයට තුනයි දෙලක්‍ෂයට තුනයි එකතු කළ විට දෙලක්‍ෂයට තුන්දහස් තුනක් ලැබෙනවා. ලොකු ගණනක්. මේ කවුරුත් සිංහල ජාතිකත්වයට විරුද්ධයි. ඔවුන්ගේ ඊනියා සමාජවාදය යනු අන් කිසිවක් නොව සිංහල ජාතිකත්වය නැති කිරීමයි. මාක්ස් තියා අද බටහිර රටවල ඉන්න ඊනියා පශ්චාත්මාක්ස්වාදීන්වත් සිංහල ජතිකත්වයෙ තියෙන "අසාධාරණය" දකින්නෙ නැතිව ඇති. 

සමාජවාදී අදහස් යුරෝපයේ මාක්ස්ට පෙරත් තිබුණා. බුදුදහමේත් ඒ අදහස් තිබුණා කියන එක බුදුුහාමුදුරුවන්ට කරන අගෞරවයක්. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හාමුදුරුවරු බිම්බිසාර භංගවේවා අනේපිඬුගෙ වස්තුව ජනසතු කරනු ආදී සටන්පාඨ කියමින් පෙළපාලි ගියේ නැහැ. එකල භික්‍ෂූන්වහන්සේ අනාථපිණ්ඩික කියන එකේ තේරුම දැන හිටින්න ඇති.  මෙයින් කියන්නේ මහා කාරුණිකයන් වහන්සේට යටත්විජිත හේරත් වැනි නිර්ධනයන් ගැන කරුණාවක් නොතිබුණා කියන එක නො වෙයි. උන්වහන්සේගේ මග වෙනස් එකක්.  

මාක්ස්ට පෙර ඊනියා සමාජවාදී අදහස් දැරූ අය ගැන මාක්ස්වාදී සාහිත්‍යයේමත් සඳහන් වෙනවා. සෙන්ට් සයිමන්, ෆුරියර්, රොබට් ඕවන් ගැන එහි කියැවෙනවා. ඒත් ඒ කියැවෙන්නේ මනෝරාජික සමාජවාදීන් ලෙස. මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා. මා කියවූ තැන් මට මතක නැහැ. මාක්ස් සහ එංගල්ස් තමයි ඊනියා විද්‍යාත්මක සමාජවාදය ලෝකයට හෙළි පෙහෙළි කළෙ. මොන තරම් දෙයක් ද? එතුමන්ගේ විද්‍යාත්මක  ඇසට බර්ලින් තාප්පය ගොඩ නැගීම හා බිඳ වැටීම නොපෙණුන එකයි ප්‍රශ්නය.

මාක්ස්වාදයෙ නිවැරදි බවට ලයිකා බැල්ල ඉදිරිපත් කරල වැඩක් නැහැ. ඒ ලෙනින්ගෙ විශේෂයෙන් ම ස්ටැලින්ගෙ ඒකාධිපතිවාදයෙ ප්‍රතිඵල. ලී ක්වාන්ට සෝවියට් දේශය වගේ රටක් ලැබුණ නම් මොනව කරයි ද? සිංගප්පූරුව වගේ පොඩි රටක් එක්ක ඔය කියන සම්පත් නැතිව ඔහු කර ඇති දේ කල්පනා කරන්න. මෙයින් කියන්නෙ හැම ඒකාධිපතිය ම රට සම්මත අර්ථයකින් දියුණු කරනවා කියන එක නො වෙයි. 

අපට අහන්න තියෙන ප්‍රශ්නය ඇයි සෝවියට් දේශය කඩා වැටුණෙ කියන එක. දැන් ලයිකල හොයා ගන්න බැරි ද? මාක්ස්ගෙ විද්‍යාත්මක චින්තනයට ඒක අහුවුණෙ  නැත්තෙ ඇයි? මෙයින් කියන්නෙ ඊනියා විද්‍යාත්මක චින්තනය හරි කියන එකත් නොවෙයි. අර දෙලක්‍ෂයට තුන්දහස් තුනට සමාජවාදයක් ගැන විශ්වාසයක් තියෙනවා ද? බලාපොරොත්තුවක් තියෙනවා ද? බලාපොරොත්තුව පොරොත්තු ලේඛනය වගේ ව්‍යවහාර පස්සෙ එකතු වුණා ද දන්නෙ නැහැ. අපට පැතුම් තිබුණ. ඒ තුන්දහස්තුනට සමාජවාදය ගැන පැතුමක් තියෙනවා ද? 

ඔවුන්ට ඒ එකක්වත් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ ගැන ඊනියා තාර්කික පදනමක් තියෙනවා ද? අර මොකක් ද විචාරාත්මක ක්‍රමයක් තියෙනවා ද? ඒ මාක්ස්වාදය ද? වෙන එකක් ද? වෙන එකක් නම් ඒ මොකක් ද? අපටත් මේ නහින දෙහින කාලෙ කියව ගන්න ඒ තාර්කික විචාරාත්මක පදනම කියනවා ද? එහෙමත් නැත්නම් එවැනි ක්‍රමයක් ගැන අධ්‍යයනයක් හැදෑරීමක් පර්යේෂණයක් හරි වෙන මොකක් හරි කරනවා ද? කරන දෙයක් ගැන අපටත් කියන්න. 

ඒත් අපට කියන්න හරියට ම කරන්නෙ මොකක් ද කියලා. මොන විධියක හරි සමාජවාදයක්/කොමියුනිස්ට්වාදයක් තියෙන්න පුළුවන් කියල හිතනවා ද? එහෙම හිතල ඒ මොකක් ද ඒක සාක්‍ෂාත් කර ගන්නෙ කොහොම ද කියල පර්යේෂණ කරනවා ද? එහෙම නැත්නම් මේ ක්‍රමය අසාධාරණ නිසා ක්‍රමය නැති කරන්නෙ හරි වෙනස් කරන්නෙ හරි කොහොම ද කියල අධ්‍යයනය කරනවා ද? මේ ලෝකයේ අර කියන ප්‍රාථමික කොමියුනිස්ට් සමාජයෙ හැරුණා ම ඔය කියන සමාජවාදයක්වත් තිබිල නැත්තෙ මොක ද? ඔය කියන ප්‍රාථමික කොමියුනිස්ට් සමාජය තිබුණු බවට කාට හරි අවශ්‍ය නම් ඓතිහාසික සාධක තියෙනවා ද? මට ඒ සාධක අවශ්‍ය නැහැ.  උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් පර්යේෂකයකුවත් තාර්කිකයකුවත් හදාරන්නකුවත් අධ්‍යයනය කරන්නකුවත් නොවන මට අග්ගඤ්ඤ සූත්‍රය තියෙනවා. 

මට හිතුණහ ම අග්ගඤ්ඤ සූත්‍රය මත පදනම් වෙලා කතන්දර ගොතනවා. විශ්වය ගැන කැලණිය විශ්වවිද්‍යාලෙ වසන්ත එක්ක මා ගෙතූ කතාවක් තියෙනව. එහි කියැවන්නෙ අගක් මුලක් නැති චක්‍රීය විශ්වයක් ගැන. කාට හරි අවශ්‍ය නම් කැලණිය විශ්වවිිද්‍යාලයෙ ගණිත අධ්‍යනංශයෙ උගන්වන වසන්ත කටුගම්පොළගෙන් විස්තර දැන ගන්න පුළුවන්.  සමාජවාදය ගැනත් මට කතාවක් තියෙනවා. ඒක සමාජවාදයට වඩා කොමියුනිස්ට් සමාජය ගැන කතාවක්. ඒක කවදාවත් ඇති වෙන එකක් නො වෙයි. පෘථග්ජනයන් අතර පොරවල් නොපොරොවල් උගතුන් නූගතුන් සූරා කන්නන් සූරා කෑමට ලක්වන්නවුන් සාධාරණය අසාධාරණය, විවිධ සමාජ කොටස් (පංති හරි වෙන මොනව හරි), පාලකයන් පාලිතයන් (අපේ රටේ පාලිත කියල සමහරුන්ට නම් දාලා තියෙනවා සමහරුන්ට මහීපාල  කියල නම් දාලා තියෙනවා, දැන් නම් එහෙම නම් දාන්නෙ නැහැ දැන් දාන්නේ පලකේෂ් වගේ නම්),  ආදිය හා ආදීන් නැති වන්නෙ නැහැ. සිංහල බෞද්ධ සමාජයෙ සෑහෙන ප්‍රමාණයකට ඔය කියන අසාධාරණකම් අඩුවෙන් තිබුණෙ. දැන් මේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ සමාජයක් නොව බටහිර ක්‍රිස්තියානි සමාජයක්.

කාට හරි කියන්න පුළුවන් සමාජවාදය කියන්නෙ මොකක් ද කියන එක මට තේරෙන්නෙ නැහැ කියා. ඇත්ත කවුරුන්වත් දන්නෙ නැහැ සමාජවාදය කියන්නෙ මොකක් ද කියල. කම්කරු පංති ආඥාදායකත්වය (Dictatorship of the Proletariat) පිහිටුවනව කියන්නෙ මොකක් ද? ඒක කරන්නෙ කම්කරු පංතිය ද වෙනත් කවැරුන්වත් ද?   සමාජවාදී සමාජයක් කියන්නෙ ඊනියා පංති රහිත සමාජයක් නො වෙයි. ඊනියා පංති රහිත සමාජයකට යනවා කියන ගමනෙ ඇති කරන සමාජයක්. කොහොමත් මා කියන්නෙ මේ මිහිපිට විෂමතා රහිත සමාජ ඇති වන්නෙ නැහැ කියන එක. සමාජවාදීන්ටත් අවශ්‍ය අවසානයේ කොමියුනිස්ට් සමාජයක් බිහි කරන්න නොවැ. මෙරට සමාජවාදී තුන්දහස්තුනට නම් කොමියුනිස්ට්, සමාජවාදී සමාජ කියන්නෙ ඊනියා සිංහල බෞද්ධ සමාජ ආධිපත්‍යය නැති කිරීම.