Main Logo

Wednesday 24 June 2020

කොරෝනාව හා වම්මුන්ගේ සතුට

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





කොරෝනාව හා වම්මුන්ගේ සතුට

කොරෝනා තව ඉවර නැහැ. හමුදාවේ හා සෞඛ්‍ය සේවාවන්හි මැදිහත් වීමෙන් අප පළමු වටය ජයගෙන තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කෙරුණක්. සෞඛ්‍ය සේවාවන්හි යන්නෙන් අදහස් කරන්නේ නැහැ බටහිර වෛද්‍ය විිද්‍යාවක්. මෙහි දී සිදු වුණේ සෞඛ්‍ය පරිපාලනයක්. එහෙත් හමුදාවන් නොවන්නට මේ එකක්වත් මේ ආකාරයෙන් සිද්ධ වන්නේ නැහැ. හමුදාව කෙළේ ආසාදිතයන් හා ආසාදිතයන් විය හැකි අය හඹා යෑමක්. තරමක් හරි ප්‍රශ්නයක් වුණේ වැලිසර නාවික හමුදා කඳවුර. විශාල පිරිසක් එකට රඳවා තැබීම ප්‍රශ්නයක් වෙන්න ඇති. 


විවිධ රටවල් කොරෝනා උවදුරට මුහුණ දුන්නේ විවිධ ආකාරයෙන්. ඇතැම් රටවල් ආර්ථිකය වසා දැමීමට කැමති වුණේ නැහැ. එහෙත් ආර්ථිකය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ආර්ථික විද්‍යාව කියන ආකාරයට කිට්ටුවෙන්වත් යන විධියට නො වෙයි. බටහිර භෞතික විද්‍යාව පට්ටපල් බොරුවක් වුවත් එහි ඇතැම් දේ යම් ප්‍රමාණයකට වැඩ කරනවා. ආර්ථික විද්‍යාවේ එහෙමවත් කෙරෙන්නේ නැහැ. 

බටහිර සමාජ විද්‍යාව (Sociology) ඇරඹුණු දවස්වල ඇතැමුන් ඇසූ ප්‍රශ්නයක් වුණේ නවකතා තියෙද්දි සමාජ විද්‍යාවක් මොකට ද කියා. නවකතාවෙන් සමාජ විවරණයක් කෙරෙන බවයි එකල සිතා සිටියේ. අදත් බොහෝ දෙනා නවකථා ගැන එලෙස කතා කරනවා. මිලාන් කුන්දේරා තම ආර්ට් ඔෆ් ද නවල් (The Art of the Novel) කෘතියෙන් කියන්නේ වෙනත් දෙයක්. එහෙත් අර පරණ නවකතා කතාවත් තාම තියෙනවා. බටහිර බුද්ධිමතුන් කොතරම් උත්සාහ කළත් විෂය වෙන් කිරීම ලෙහෙසි නැහැ. බටහිර ඊනියා ස්වාභාවික විිද්‍යා ආකෘතියට සමාජයීය විද්‍යාවන් (Social Sciences) හා මානව ශාස්ත්‍ර යට කරන්න බැහැ. ඉතිහාසය ඊනියා විද්‍යාවක් කරන්න ගිය කාල් මාක්ස් තමයි මේ සම්බන්ධයෙන් අසාර්ථක ම පුද්ගලයා. 

මා මෙසේ කියන්නේ සමාජයීය විද්‍යාවන් අවතක්සේරු කිරීමට නො වෙයි. ඇතැම් ජාතිකවාදීනුත් කියන්නේ මා සමාජයීය විිද්‍යා හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කරන බවයි. නැහැ මා කියන්නේ ඒ ක්‍ෂෙත්‍ර බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන්න ඕන නැහැ කියන එක. කොවිඩ් නිසා ඇති වන ආර්ථික ප්‍රශ්නවලට බටහිර ආර්ථික විද්‍යාව තවම විසඳුම් හිතලවත් නැහැ. කොහොමත් ඔය ඔක්කොම හිතළු තමයි. සමහර ක්‍ෂෙත්‍රවල හිතළු යම් ප්‍රමාණයකට වැඩ කරනවා. 

මෙරට වම්මුන්ට මහා සතුටක් ඇති වෙලා. මගේ පැරණි වාම මිතුරකු ලියල තිබුණ ජනාධිපතිතුමා මහා බැංකු නිලධාරීන්ට බන්ධනාගාර නිලධාරීන්ට දොස් කියන්නෙ විසඳුම් නැතිව කලබල වීම නිසා කියල. සුළු හා මධ්‍යම නිෂ්පාදකයන්ට ණය සහන දෙන එක ආදියට අමතර ව අපි තව දේ හිතන්න ඕන. මහා බැංකු ආර්ථික විද්‍යාඥයන්ගෙන් විශාල දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. දේශීය නිෂ්පාදන වැඩි කිරීම මූලික දෙයක්. ඇතුළත්මුදලි වැඩ කළෙ පිටින් ගේන එක මෙරට නිෂ්පාදනය කරන එකට වඩා ලාබ නම් පිටින් ගෙන්නන්න ඕන කියන ප්‍රතිපත්තිය අනුව. 

එය  රටට අහිතකර ප්‍රතිපත්තියක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එයින් කියන්නෙ අපි හැම දෙයක් ම මෙරට නිෂ්පාදනය කරන්න ඕන කියන එක නො වෙයි. ඒත් ඊනියා විවෘත ආර්ථිකය නිසා රටට වුණු අයහපත කොතෙක් ද කියන එක හොයන්න විශේෂඥයන් පත් කරන්න අවශ්‍ය නැහැ. අපි හැමදාමත් මැද පිළිවෙතක් ගැන කතා කළත් එවැනි පිළිවෙතක් මත ප්‍රතිපත්ති සකස් කළ බවක් නම් පේන්න නැහැ. දැනට ඇතැම් භාණ්ඩ ආනයනය නොකිරීමට ගෙන ඇති තීරණය හොඳයි. 

මියන්මාරය කාම්බෝජය වැනි රටවල ඇති එක ශක්තියක් තමයි කෘෂිකාර්මික ස්වයංපෝෂිත බව. අපත් කෘෂිකාර්මික ස්වයංපෝෂිත බව ළඟා කර ගන්න ඕන. මෙයින් අදහස් කරන්නේ ආහාරයට ගන්නා සෑම දෙයක් ම නිෂ්පාදනය කරන එක නො වෙයි. ඒ වගේ ම හැම ගමක් ම හැම දේකින් ම ස්වයංපෝෂිත විය යුතු බවත් නො වෙයි. අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේ ම රටේ වැඩි පිරිසක් ආහාරයට ගන්නා දේ අප නිෂ්පාදනය කරන්න ඕන.  කොළඹ කේන්ද්‍රීය නොවන ආහාර බෙදා හැරීමේ ක්‍රමයක් තියෙන්න ඕන.  ඒ වගේ ම ආහාර නරක් නොවී දින කිහිපයක් තබා ගැනීමේ ක්‍රම ද පිළියෙළ කර ගන්න ඕන. ඒ සඳහා නූතන තාක්‍ෂණය යොදා ගැනීම වරදක් නො වෙයි. අප බටහිර දැනුම විශේෂයෙන් ම තාක්‍ෂණික දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එහෙත් බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වෙන්නෙත් නැහැ. 

මෙරට විවිධ වර්ගවල වම්මුන්ට තියෙන සතුට තමයි ලංකාවේ ආර්ථිකය ඉදිරි මාස 12-18 කාලයෙහි කඩා වැටෙනවා කියල හිතන එක. ඇත්තට ම ඔවුන්ට ඇත්තේ බලාපොරොත්තුවක්. ආණ්ඩුව කොරෝනා සෞඛ්‍යය ජයගත්තත් කොරෝනා ආර්ථිකයට පරාජය වේය කියා ඔවුන් හිතනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා. කොරෝනා සෞඛ්‍යයත් අප සම්පූර්ණයෙන් ම ජය ගෙන ඇතැයි කියා හිතන්න හොඳ නැහැ. ඊනියා දෙවැනි රැල්ලක් ඇති වීම මෙන් ම කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ ගණනක් ඉන්න ඉන්දියාවත් ප්‍රශ්නයක්. ඒ සියල්ලට ම මුහුණ දෙන්න ආණ්ඩුව සූදානම් විය යුතු බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. 

වම්මුන්ට ඇති විකල්පයකුත් නැහැ. ඔවුන් සමහරුන් හිතනවා වෙන්න පුළුවන් ඊනියා සමාජවාදී ආර්ථිකයකට යන්න. ඒක පුටින්ගෙන් අහල හිටිය නම් හොඳයි. වම්මුන්ට ඇත්තේ ජාතිකත්වයක් ඇති රජයක් බලයට පත්වීම පිළිබඳ ප්‍රශ්නය. ඔවුන්ට දකින්න ඕන සිහිනය මේ ආණ්ඩුව සෑම අංශයකින් ම කඩා වැටීම. එය  කොමියුනිස්ට් සිහිනය වගේ ම සිහිනයක් පමණක් වනු ඇති.