Main Logo

Monday 29 June 2020

ලොකු චිත්‍ර කතාවක්

         

                         සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






ලොකු චිත්‍ර කතාවක්

අගමැති මහින්ද රාජපක්‍ෂ ලොකු චිත්‍රය ගැන අවධානය යොමු කරන්න කියලා. ඒක වැදගත් ප්‍රකාශයක්. තොණ්ඩමන්ගෙ අවමගුල, කරුණාගෙ ප්‍රකාශය ආදිය මේ ලොකු චිත්‍රයෙ නොවැදගත් තිත් කිහිපයක් වෙන්න පුළුවන්. ලොකු චිත්‍රයෙ අදහස එක් එක් අය එක් එක් විධියට කියනවා. සමස්තය දෙස බලන්න කියන එක එය ම නොවුණත් එයට කිට්ටු අදහසක් ගෙනෙනවා. 


කාල් මාක්ස් අපට මහා ම මහා ලොකු චිත්‍රය පෙන්නුවා. ඒත් ඒ චිත්‍රය ගොම ගෑවිලා ඉවත දමන්න සිදු වුණා. ලොකු චිත්‍රය වුණත් අනන්‍ය නැහැ. ලොකු චිත්‍ර රාශියක් තියෙනවා. එක් එක් අයගෙ ලොකු චිත්‍ර වෙනස් වෙනවා. වාස්තවික වූ ලොකු චිත්‍රයක් ද නැහැ. අප බලන්නේ මොන ලොකු චිත්‍රය ද යන ප්‍රශ්නය තියෙනවා. මා කියන්නේ අප බැලිය යුත්තේ මොන ලොකු චිත්‍රය ද කියන ප්‍රශ්නයක් ඇති විය හැකි බවයි. කොහොමටත් එක් එක් අය බලන්නේ එක් එක් චිත්‍ර. ඒ ඒ අය නිර්මාණය කරන චිත්‍ර. 

හැබැයි ඒ අතර අපට ඇතැම් විට ලොකු චිත්‍රයේ ඇතැම් පොඩි කොටස් ගැන ද අවධානය යොමු කරන්න වෙනවා. තොණ්ඩමන්ගේ අවමංගල්‍යය කරුණාගේ ප්‍රකාශය (ඒ ප්‍රකාශය වැඩක් ඇති එකක් වුණත්) වැනි දේ නම් එතරම් දුරට විකාශය වන්නේ නැහැ. පෙරෙට්ටුගාමීන්ගේ උද්ඝෝෂණත් කොළඹ නගර සභා සීමාවෙන් පිටතට යන්නේ නැහැ. ඒ ගැන සතපහකවත් උනන්දුවක් දක්වන්න අවශ්‍ය නැහැ. සජිත්ගේ හා අනුරගේ ප්‍රකාශ ගැන තරමක උනන්දුවක් දැක්වීම නම් හොඳයි. ඒ ඔවුන්ගේ ප්‍රකාශ ඔවුන්ට ම අවාසි නිසා. මේ දෙදෙනාගේ දුස්සංයෝගයෙන් ආණ්ඩුවක් පිහිටෙව්වොත් හරින් ප්‍රනාන්දුට ඒකෙ ඇමතිකමක් ලැබෙයි ද වගේ සකර්බර්ග් ප්‍රශ්නවලට පිළිතුරු මුහුණු පොතේ ලියන්න පුළුවන්. 

මහින්ද රාජපක්‍ෂගේ ලොකු චිත්‍රය කුමක් ද කියා මා දන්නෙ නැහැ. එහෙත් ඔහු ජාතිකවාදී කඳවුරක් ගැන කිවුවා. ඔහු ජාතිකවාදී කඳවුර පැත්තෙන් දකින ලොකු චිත්‍රයක් ගැන කතා කළ බවයි ඒත්තු ගියේ. ඒත් ජාතිකවාදී කඳවුරේත් ලොකු ලොකු චිත්‍ර කිහිපයක් තියෙනවා. ඒ චිත්‍ර තමයි ලොකුවට පේන්න තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ චිත්‍රයකුත් තියෙනවා. අපත් චිත්‍රයක් අඳිනවා. ඒක ලොකු චිත්‍රයක් වුණත් පොඩියි. එය ජනමාධ්‍යයෙන් පොඩි (කුඩා යන අරුතින්) කරලා.  

මා දැන් කියන්නෙ මගේ පොඩි ලොකු චිත්‍රයේ තියෙන විධියට. එය අගමැති චිත්‍රය නොවෙන්න පුළුවන්. එහෙත් එය ලොකු ප්‍රශ්නයක් නො වෙයි. කිසිම දෙදෙනකුගේ ලොකු චිත්‍ර සමපාත වෙන්නෙ නැහැ. ඒකෙන් කියන්නෙ ඒ ඒ අයට එකට වැඩ කරන්න බැරිය කියන එක නො වෙයි. හැම අතින් ම සජාතීය අදහස් දරණ මිනිසුන්ගෙ සංවිධාන, පක්‍ෂ, එකඟතා ලෝකෙ නැහැ. අපට පසුගිය සියවස් දෙකේ දේශපාලනය ගැන හිතන්න වෙන්නෙ මූලික වශයෙන් ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදය ඇසුරෙන්. එ කියන්නෙ වෙනත් ප්‍රශ්න නැහැ කියන එක නො වෙයි.     

මගේ ලොකු චිත්‍රය තරමක් වියුක්තයි. අප යම් තරමකටවත් වියුක්ත වුණෙ නැත්තන් බටහිරයන් සමග තරග කරන්න ඔවුන්ට විරුද්ධව කතන්දර ගොතන්න බැහැ. අප වියුක්ත වන්නෙ අපේ සංස්කෘතියේ මිස බටහිර සංස්කෘතියක නො වෙයි. අප වියුක්ත වන්නෙ බටහිරයන් අනුකරණයට නොවෙයි. සිංහලයන් පෘතුගීසීන්ට විරුද්ධ ව කාලතුවක්කු හැදුවෙ පෘතුගීසීන් අනුකරණය කරන්න නොව පෘතුගීසීන්ට ගහන්නයි. අප වියුක්ත වන්නෙ වියුක්ත කතා ගොතන්නෙ බටහිරයන්ට පහර දෙන්න මිස ඔවුන් අනුකරණයට නො වෙයි. මේ බව මා නොයෙක් වර කියා ඇති. 

ඉංගිරිසින් දෙමළ වෙල්ලාල ප්‍රභූන් (ඔවුන් ප්‍රභූන් වුණේ -කෙළේ කෙසේ ද යන්නත් ඉංගිරිසින්ගෙන් ම අහන්න ඕන) සිංහලයන්ට විරුද්ධ ව මෙහෙයවීම දහනවවැනි සියවසේ මුල සිට අද දක්වා කෙරෙන්නක්. එයට අමතර ව අද වෙනත් කුලවල ඇතැමුන් ද යොදා ගැනෙනවා. ඇතැම් සිංහල සම්භවයක් ඇතියවුන් ද යොදා ගැණුනත් ඔවුන්ට සිංහල සමාජයෙහි කළ හැකි ඉටි ගෙඩියක් නැහැ. ඔවුන්ට අඩු තරමෙන් යමක් තේරුම් ගන්නවත් බැහැ. දෙමළ විසුරුණු ජනයා විසින් ඉංගිරිසින් හා වෙනත් බටහිර රටවල්  සිංහලයන්ට විරුද්ධ ව යොදාගනු ලබනවා නොව ඉංගිරිසින් විසින් දෙමළ විසුරුණු ජනයා යොදා ගැනෙනවා. 

දෙමළ ජාතිවාදයේ විකාශයේ එක් අවස්ථාවක දී කොටි ත්‍රස්තවාදය ඉන්දියාවේ ද සහාය ඇතිව ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති කෙරුණා. අද ඉංගිරිසින්ට හා වෙනත් බටහිර රටවලට ඇති ප්‍රශ්නය 2009 දී නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීමයි. ඉංගිරිසි හමුදාවක් අප රටට ඇතුල් නොවූ නමුත් කොටි ත්‍රස්තවාදය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඇති කරනු ලැබූවක්. නන්දිකඩාල් යනු බටහිරයන් ආසියාවේ ලැබූ විශාල ම පරාජයක්. ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන්ට එය දරාගත නො හැකි වුණා. ඔවුන් සියළු වෙර යොදා සිංහල බෞද්ධ මෛත්‍රිපාල යොදා ගනිමින් 2015 රනිල් සුමන්තිරන් බලයට පත් කෙළේ නන්දිකඩාල් ආපසු හරවන්නට. එහෙත් සිංහල ජාතිකත්වය ශක්තිමත් නිසා රනිල් සුමන්තිරන් ආණ්ඩුවට බටහිර අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි වුණා. 

අප 2015 සිට කළ යුතු ව තිබුණේ කෙසේ හෝ රනිල් සුමන්තිරන් ආණ්ඩුව පරාජය කිරීම.  2018 ඔක්තෝම්බරයේ දී අප මෛත්‍රිපාල යොදා ගනිමින්  කර ගත්තේ එයයි. 

ජනමාධ්‍ය එතරම් ප්‍රසිද්ධියක් නොදුන්න ද එම්සීසී ගිවිසුම හරහාත් රට බෙදීමක් සිදුවෙන්න තිබුණා.  2018 රනිල් ඉවත් නොකරන්න එම්සීසී ගිවිසුම අත්සන් කෙරෙන්න තිබුණා. 2018 ඔක්තෝම්බර් ජයග්‍රහණය රැකගැනීමට අප කටයුතු නොකළ නිසා රනිල් සුමන්තිරන් නැවත බලයට පත් වුණා. එහෙත් ඒ වන විට ආණ්ඩුව හොඳට ම දුර්වල වෙලා. බටහිර තානාපතිවරු දියවන්නාවට පැමිණ රනිල් සුමන්තිරන්ට සහාය දුන්නත් ආණ්ඩුව ශක්තිමත් කරන්න බැරි වුණා. ඔවුන්ට 2019 දී එම්සීසී ගිවිසුම අත්සන් කිරමට නොහැකි වූණේ සිංහල ජාතිකත්වය ශක්තිමත් වූ නිසාත් ආණ්ඩුව දුර්වල වූ නිසාත්.


2019 ජනාධිපතිවරණයෙන් සිංහල ජාතිකත්වය තවත් තහවුරු වුණා. පසුගිය දා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති තම උපන් දිනයට රුවන්වැලිසෑයේ දී ගැමුණුූ රජුගේ හා විහාර මහා දේවියගේ පිළිරූවලට මල් මාලා පැළඳවීම එහි සංකේතයක්. මෙවර අගෝස්තු මැතිවරණය පැවැත්වෙන්නෙ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවනවා ද නැත් ද යන්න තීරණය කිරීමට මිස කරුණාගේ ප්‍රකාශය ගැන තීරණයක් ගන්න නො වෙයි. 

කොහොමත් කරුණා කියන්නේ තමා කොටි සංවිධානයේ සිටිය දී හමුදාව හා සිංහලයන් මැරූ බවයි. ඔහු පුනරුත්ථාපනය කරන්න දෙයක් නැහැ.  මා ඒ පිළිබඳ ව කලින් ලියා ඇති. එහෙත් අපට එහි වැදගත් වන දෙයක් තියෙනවා. හමුදාව දෙමළ ජනයා සමුලඝාතනය කළ බවක් තියා ඝාතනය කළ බවක්වත් කරුණා කියන්නේ නැහැ. එය නම් බටහිරයන්ට විරුද්ධව යන්නක්. ඝාතකයන් බටහිරයන්ගේ අනුග්‍රහය ලැබූ කොටි මිස හමුදාව නොවන බවයි කරුණා කියන්නේ.