Main Logo

Saturday 6 June 2020

අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9





අලුත් පාර්ලිමේන්තුවක් එපා කාට ද?



ඒ ගමන පැෆරල් සංවිධානය කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස සැලකිය හැකි හෙට්ටිආරච්චි කියල ජනාධිපතිවරයාට පැරණි පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. කැඳවිය යුතුයි කියලා. මා ඒ ප්‍රවෘත්තිය දැක්කෙ වෙබ් අඩවියක. මෙය ලියන්නේ එවැනි ප්‍රකාශයක් කර ඇති බව උපකල්පනය කරමින්. පැරණි පාර්ලිමේන්තුව ගැන මොහු කියවන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙවැනි වගන්තියක් තියෙන නිසා වෙන්න පුළුවන්.


"70 (7) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය."

මේ හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වුවහොත් කිරීමට බලය ඇති දේ. මේ හදිසි තත්වය මහජන ආරක්‍ෂක පනතේ සඳහන් හදිසි අවස්ථාවක් පැනවීමෙන් උද්ගත වන තත්වයක් පිළිබඳවයි. එවැනි හදිසි අවස්ථා නීති පැනවීම පාර්ලිමේන්තුවට දැන්විය යුතුයි. එහෙත් ජනාධිපතිවරයා එවැනි හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර නැහැ. ඉතින් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව රැස්කරන්නේ අහවල් දේකට ද? අනෙක් අතට පැෆරල් ප්‍රධානියා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුතු ය කියන්නේ මොන බලයක් තමන් වෙත පවරා ගැනීමෙන් ද? 

මෙලොව ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂයන් හැටියට පෙනී හිටින බටහිර රටවල් කිහිපයක් තියෙනවා. අප වැනි රටවල මැතිවරණ පැවැත්වෙන විට ඒ නිරීක්‍ෂණය කිරීම සඳහා ඔවුන් නියෝජිතයන් පිරිසක් එවනවා. බටහිර රටවලටත් යවනවා ඇති. ඒත් ඔවුන්ට අනුව බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රැකෙනවා. අපේ රටවල් එහෙම නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් අපේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය කියන එක රැකෙන බවට වග බලාගන්න ඕන.

මේ එවන නියෝජිත පිරිස්වලට අමතර ව මෙරට ඊනියා මැතිවරණ නිරීක්‍ෂණ කමිටු ක්‍රියාත්මක වෙනවා. ඒවා නිත්‍ය කමිටු. හැමදාමත් තියෙනවා. පැෆරල් සංවිධානයත් ඉන් එකක්. සමහරව විට ඉන් ප්‍රධාන ම සංවිධානය වෙන්න පුළුවන්. ඔවුන් තම බටහිර ස්වාමිවරුන් වෙනුවෙන් මෙරට ක්‍රියා කරන මුර බල්ලන්. මූර දේවාතාවන් හා මුර බල්ලන්. ජනමාධ්‍යයෙන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන්ට වොයිස්කට් ලබා දෙනවා. මුර බල්ලන් පෙනී සිටින්නේ සුද්ධවන්තයන් ලෙස. ඔවුන් දිවිහිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා වෙන්න ඇති. 

ඒත් ප්‍රශ්නය මෙවැනි සංවිධාන නඩත්තු කෙරෙන්නේ කෙසේ ද යන්නයි. ඔවුන්ට මුදල් හා වෙනත් ප්‍රතිපාදන ලැබෙන්නේ කොහෙන් ද? ආණ්ඩුව මොවුන් ද ඇතුළු සියළු ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලැබෙන්නේ කොහෙන් ද කොහොම ද කියල හොයලා බලන්න ඕන. අද රටේ විදේශීය මුදල් රටේ යහපතට නොව ඇතැම් සංවිධානවල යහපතට සංසරණය වෙනවා. 

මෙරට සිංහල ජාතිකත්වයට විරුද්ධ සියල්ලන්ට අවශ්‍ය පරණ පාර්ලිමේන්තුව කොහොම හරි නැවත කැඳවන්න. එය සිංහල ජාතිකත්වයට එරෙහි පාර්ලිමේන්තුවක්. සිංහල ජාතිකත්ව කඳවුර බිඳීමත් ඉන් එක් කොටසක් එ ජා ප සමග එකතු වීමත් නිසා සිදු වූ විකෘතියක්. මේ විකෘතිය පවත්වා ගෙන යෑමයි සිංහල ජාතිකත්ව විරෝධීන්ගේ අවශ්‍යතාව. පැෆරල් සංවිධානයත් කැරොල් කරත්තයේ ඉන්න බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා. 

ඒ අතර මැතිවරණ කොමිසම කල් බලනවා. මේ මැතිවරණ කොමිසමේ රාජකාරිය මැතිවරණ නොපැවැත්වීම ද කියල අහන්න වෙලා. ඔවුන් ජනාධිපතිවරණයක් නම් තිබ්බා. මා හිතන්නේ ඒ නොතියා බැරි නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 31(3)  වගන්තිය මෙහෙමයි. "31 (3) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේ ය."

ජනාධිපතිවරණය අහවල් දින අතර පැවැත්විය යුතුය කියා එහි කියනවා. මේ මැතිවරණ කොමිසමටවත් ජනාධිපතිවරණය නොතියා ඉන්න බැරි වුණේ එකයි. එහෙත් මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් එහෙම නීතියක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්  පසු මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසම යටතට පත්වෙනවා. ඉන් පසු ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත. එකී පනතේ 24(3) වගන්තිය අනුව මැතිවරණ කොමසාරිස් (දැන් කොමිසම) ක්‍රියාත්මක වෙනවා. 

"24(3) යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොට ගෙන යම් මැතිවරණ කොට්ඨාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම, මැතිවරණය සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ පළ කරන ලද  දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි  වූ අවස්ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු  ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර, ඒ වෙනත් දිනය, ගැසට් පත්‍රයෙහි නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන දහතරවන දිනයට  කලින් වූ දිනයක් නොවිය යුතු ය."

මේ මැතිවරණ කොමිසමට ඒ අනුව කටයුතු කරන්න පුළුවන් කියා හිතෙනවා ඇති. මෙය ඊනියා ස්වාධීන කොමිසමක් නොවෙයි. එය රනිල් අගමැති ව සිටි කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිර්දේශිතය මත පත්කෙරුණක්. ඒ ව්‍යවස්ථා සභාවෙන් ඊනියා ස්වාධීන අය පත් කෙරුණා කියා හිතනවා ද? හූල්ගේ ස්වාධීනකම දැන් කවුරුත් දන්නවා. ඔහු ඇතැම් විට කොමිසමටත් විරුද්ධ වන ආකාරයකට උසාවි යනවා. ඔහු කියා තියෙනවා සිංහලෙන් පළවන කුණු තමා නොකියවන බව. මෙයින් කියන්නේ කොමිසමේ සභාපති ස්වාධීන බව නො වෙයි. 

මේ මොනවා වුණත් කොමිසම දැනගත යුතු කරුණක් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වගන්තිය මෙසේයි. "113. මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියම කිරීමෙන් හෝ මැතිවරණයක් සඳහා දිනයක් නියම කිරීමෙන් පසු යම් වේලාවක ඒ නියමය අනුව යම් මැතිවරණ කොට්ඨාසයක කවර හෝ හේතුවක් නිසා මැතිවරණයක් පවත්වා නොමැති බව ජනාධිපතිවරයා සෑහීමකට පත්වන පරිදි පෙන්වා දෙනු ලැබුවහොත්, ඒ කොට්ඨාසයෙහි මැතිවරණයක් පවත්වන ලෙස, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දැන්වීමක් මගින් වෙනත් නියමයක් ජනාධිපතිවරයා විසින් කවර හෝ වේලාවක කරනු ලැබිය හැකි ය. "

මැතිවරණ කොමිසම මැතිවරණය කල් දැමීමේ සුපුරුදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා දාමයෙහි නිරත වුවහොත් අප්‍රේල් 25 (මට මතක හැටියට) වෙනුවට වෙනත් දිනයක් නියම කිරීමට ජනාධිපතිවරයාට හැකියි. හෙට්ටිආරච්චි මෙන් මා කියන්නේ නැහැ ජනාධිපතිවරයා එසේ කළ යුතුයි කියා. එහෙත් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම දිගින් දිගට ම කල් දැමීමට නොහැකියි.  අර නීතිය පිළිබඳ සේවාර්ජිත මහාචාර්යවරිය කුමක් කීවත් මෙහි යම් කියන වචනයෙන් සියල්ල යම්  වෙනවා. 

එහෙත් මා දන්නවා කිසිවකුට කියන්න පුළුවන් මැතිවරණ කොමිසමට 24(3) යටතේ ඒ දිනයේත් මැතිවරණය නොපවත්වා සිටිය හැකි බව. ඒසේ වුවහොත් මොක ද වෙන්නෙ කියන එක පසුව සලකා බලමු. සිංහලෙන් පළවන කුණු නොකියවන හූල් කෙසේ වෙතත් දේශප්‍රිය දැනගත යුතු කරුණක් තියෙනවා. සියළු සංස්කාරයන් අනිත්‍යයයි.