Main Logo

Monday 8 June 2020

සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය


වරක් කාලෝ ෆොන්සේකා සුපිරි වම්මුන්ගෙන් තරමක හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ල නි ප සමග හවුල් ආණ්ඩුවලට ගිය සමසමාජයට විප්ලවය කර ගන්න බැරි වුණා නම් එසේ හවුල් ආණ්ඩුවලට නොගොස් සමසමාජයෙන් වෙන් වුණු අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි ද යන්න ඒ ප්‍රශ්නයයි. මට මතක හැටියට අපේ පරම්පරාවේ සුපිරි විප්ලවවාදීන් ද මහා ප්‍රාඥයන් ද  එයට ප්‍රතිචාර දැක් වූයේ නැහැ. මා කියන්නේ සුමනසිරි ලියනගේ වැනි අය ගැන නොවෙයි කියල  කියන්න ඕන.


කාලෝගේ ප්‍රශ්නය මහා බැරෑරුම් ප්‍රශ්නයක් නො වෙයි. කම්කරු පංති නායකත්වයේ පාවාදීම වැනි සුපුරුදු කතාවක් කියල සමසමාජයට ම බනින්න පුළුවන්කම තිබුණා. එහෙත් අදත් එකී ප්‍රාඥයන් මොනවද කරල තියෙන්නෙ කියල අහන එක වැඩකට ඇති ප්‍රශ්නයක් නො වෙයි. ලංකාවේ ජනගහණයෙන් කී දෙනකු ඔවුන් ගැන දන්නේ ද කියන එක ඊට වඩා වැදගත් ප්‍රශ්නයක්. අර සකර්බර්ග වම්මුන් ගැන කියන්න තියෙන්නෙ එයටත් වඩා අසරණ දෙයක්. ඔවුන් ගැන වෙල්ලාලයන්වත් කී දෙනකු දන්නවා ද? පිලිප් එන් එම් කොල්වින් ලෙස්ලි ගේ සිට සකර්බර්ග් වම්මුන් දක්වා ලංකාවේ වාම බුද්ධි වර්ධනය පිළිබඳ හොඳ ම රචනාවට විශාල දත්ත ප්‍රමාණයක් ප්‍රදානය කරනවා. රචනා අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනට පෙර ලැබෙන්න සැලැස්විය යුතුයි.  

සුමන්තිරන් සිංහලෙන් ලියන ඊනියා කුණු ගොඩවල් කියවනවා ද දන්නේ නැහැ. ඔහු මේ වම්මුන් කී දෙනකු ගැන දන්නවා ද? එහෙත් සුමන්තිරන් ගැන දන්නා සිංහලයන් සංඛ්‍යාව සකර්බර්ග් වම්මුන් ගැන දන්න සිංහලයන් සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි වෙන්න ඕන. කමක් නැහැ සත්‍ය වූ  අඩු තරයේ මතය සම්මතය වන්න අවුරුදු සිය ගණනක් යනවා. කවුරු කවුරුත් එතෙක් ඉවසා වදාරා සිටිත්වා!

මට කතා කරන්න ඕන සුමන්තිරන් හා අර නඩු ගිය අය ගැන. ඔවුන්ගේ පිළිගැනීම වුණෙ මහාමැතිවරණයට නියම කළ දිනය පහු වෙලා ඇති බැවින් ජූනි 3වැනි දාට පෙර පාර්ලිමේන්තුව රැස්වන්න බැරිය යන්න ය. ඒ මත පදනම් ව ඔවුන් කීප විධියකට තර්ක කළා. නීති විශාරද සජිත් ප්‍රේමදාස තම නීතිඥයා මගින් තර්ක කළේ ජනාධිපති තම පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ නියෝගය අවලංගු කර පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු ය කියා. සුමන්තිරන් කිවුවේ වෙන ම කතාවක්. ඔහුට අනුව ජූනි 3 වැනි දාට පෙර පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි බැවින් ජනාධිපති නියෝගය අවලංගු වනවා. ඔහු අවලංගු කරන්න කියා කීවුවේ නැහැ. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් උසාවි ගියේ නැහැ. ඔවුන් අතර නීතිඥයන් නැද්ද? දන්නා කියන නීතිිඥයන් නැතිව නඩු කියන එක විකිණෙන වැඩක්. සමහර විට ඔවුන් රනිල් මෙන් දැන හිටියා ද දන්නේ නැහැ අදාළ නඩු පරදින බව. 

අනෙක් පැත්තේ (පැතිවල) නීතිඥයන් කියා සිටියේ ජනාධිපතිට තම නියෝගය අවලංගු කිරීමට නොහැකි බවයි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව ඔවුන් කියා සිටියා. ඒකත් ඇත්ත. ඒ අනුව නීතියෙ කොහෙ හරි ලියැවිලා නැත්නම් අදාළ දේ නීත්‍යානුකූල ව කරන්න බැහැ. ජනාධිපතිටවත් කරන්න බැහැ. ඕක ඉදිරියට කාට කාටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ තර්කය හොඳ තර්කයක් නො වෙයි. නීතිය හැමෝට ම ඉහළින්. ඉතින් මොනව කරන්න ද? ජනාධිපතිට තම නියෝගය අවලංගු කරන්න බැහැ. නීතියෙ හැම දෙයක් ම දක්වල තියෙන්න ඕනද? 

සුමන්තිරන් ඒක දැන ගෙන ද මන්ද තර්ක කෙළෙ වෙනත් විධියකට. ඔහු කිවුවෙ ජූනි 3 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි බැවින් ජනාධිපති නියෝගය ඉබේට ම අවලංගු වන බව. එහෙම කතාවකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ. එහෙත් සුමන්තිරන් එහෙම කිවුවා. උසාවියෙ දි සුමන්තිරන් තවත් කැල්ලක් එකතු කළා. උසාවියෙ නඩුව අහන දවස් වෙන විට ජනාධිපති පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කැඳවපු දවස ද පහුවෙලා. සුමන්තිරන් කිවුව ඒක නිසා කොහොමටත් ජනාධිපති නියෝගය ඉබේට ම අවලංගු වෙලා කියලා. උසාවිය සුමන්තිරන්ගෙ කතාව පිළිගත්තෙත් නැහැ. අනෙක් පැත්ත තර්ක කෙළෙ ජනාධිපති නියෝගයෙන් පස්සෙ රාජකාරිය මැතිවරණ කොමිසමට භාර වෙනවා කියලා. ජනාධිපතිවරයාටවත් මැතිවරණ කොමිසමේ කටයුතුවලට ඉන්පසු මැදිහත් වෙන්න බැහැ කියල. 

දැන් මැතිවරණ කොමිසම තමයි බලපුළුවන්කාරයා. දැන් බලපවත්වන්නෙ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත. මේව ඔක්කොම ජේ ආර්ගෙ වැඩ. ඒ පනතෙ 24(3) වගන්තිය අනුව මැතිවරණය කල්දාන්න මැතිවරණ කොමිසමට පුළුවන්. මැතිවරණ කොමිසම තම බලතල අනුව මැතිවරණය ජුනි 20 වැනිදාට නියම කරලා. ඒකත් දැන් කරන්න බැරි බව පැහැදිලියි. අද රැස්වෙන මැතිවරණ කොමිසමට වෙනත් දිනයක් නියම කරන්න පුළුවන්. මා නම් මුල ඉඳල ම කිවුවෙ නුවර පෙරහැර කාලෙට  කිට්ටුවෙන් මැතිවරණෙ තියන්න කියලා. මැතිවරණ කොමිසම මොනව කරාවි ද දන්නෙ නැහැ. හූල් මොන වගේ දෙයක් කියාවි ද? ඔහු කියල නැහැ පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා. ඔහු කියල තියෙන්නෙ ඔහුට සිංහලෙන් ලියන කුණුගොඩවල් ඉදිරිපත් කරන මාධ්‍යවේදීන්ට ඡන්දෙ දෙන්න එපා කියල! වචන අර්ථනිරූපන හා තර්ක. 

මා හිතන්නෙ කවුරු කවුරුත් අමතක කරපු කතා දෙකක් තියෙනවා. නීතිිඥයකු තබා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නොවන මා කියන දේ වැරදි වෙන්න පුළුවන්. මා  විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස බැරුව ආපසු ආවෙකු පමණයි. පළමුවෙන් ම පාර්ලිමේන්තුව මාස තුනකට පෙර රැස්වෙන්න ඕන කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 70 (5) උත්තරීතර වූ එකක්වත් පරම පූජනීය වූ එකක්වත් නොවෙයි. එය 70(6) න් ම කඩා තියෙනවා. 70(6) අනුව යම් අවශ්‍යතා යටතේ අභිනව පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස හතරක් ඇතුළත කැඳවන්න පුළුවන්. 

කොහොමටත් මැතිවරණ පනතේ 24(3) යටතේ කියැවෙන්නේ නැහැ ඔය මාස තුනේ කතාව. එහි දී මැතිවරණ කොමිසමට කොන්දේසි පනවා නැහැ. එහෙත් මෙයට වඩා වෙනත් දෙයක් දෙපැත්ත ම (වාර්තාවල අනුව) නොසලකා හැර තිබුණා. ජනාධිපතිවරයාට මැතිවරණය සම්බන්ධයෙන් මැදිහත් වීමට පාර්ලිමේන්තු පනතේ 113න් බලය පැවරී තියෙනවා. මා එය කලින් කිහිප වතාවක් ම උපුටා දක්වා තිබෙනවා. 

පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ ක්‍රියාවලිය මෙසේයි. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2), 70(1), 70(5) යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එහි දී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයත් අභිනව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කැඳවන දිනයත් සඳගන් කරන්න ඕන. ඉන් පසු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසම එකී දිනයේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා. යම් හෙයකින් එසේ කිරීමට බැරි වුවහොත් මැතිවරණ කොමිසම 24(3) යටතේ වෙනත් දිනයක හරි වෙනත් දිනවල හරි මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා. ඒ කිසිම කොන්දේසියකට යටත් නොවී. දැන් ජනාධිපතිවරයා මේ සියල්ල බලා සිටිනවා. යම් හෙයකින් මැතිවරණ කොමිසම තම රාජකාරිය හරියට ඉටුකර නැත්නම් ජනාධිපතිවරයා මැතිවරණ පනතේ 113 යටතේ මැතිවරණය පැවැත්වීමේ වෙනත් දින නියමයක්  කරනවා. මැතිවරණ කොමිසමට තමන්ට අවශ්‍ය කාලයක් මැතිවරණය නොපවත්වා ඉන්න බැහැ. අපිත් බලන් ඉන්නවා.