Main Logo

Tuesday 14 July 2020

ජාතික ගීය ගයන භාෂාව

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9



ජාතික ගීය ගයන භාෂාව  


ජාතික ගීය ගැයිය යුත්තේ කිනම් බසකින් ද යන්න නැවතත් කතා බහට ලක් වෙනවා. ජාතික ගීය ගැයිය යුතේ කිනම් බසකින් ද යන්න අමුතුවෙන් තීරණය කරන්න ඕන නැහැ. එය තීරණය වී අවසන්. රනිල් සුමන්තිරන් ආණ්ඩුව යටතේ ජාතික ගීය දෙමළ බසින් ද ගැයුවා කියා කියනවා. එය වැරදියි. සමහරවිට රනිල් හා සුමන්තිරන් එසේ සිතා ගෙන ඉන්න ඇති. ඇතැම් දෙමළ කතා කරන ජනයාටත් ජාතික ගීය දෙමළ බසින් ගැයුවා කියා හැඟීමක් එන්න ඇති. සිංහල විරෝධී පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට අර  කියන්නා වගේ මෝඩ සතුටක් ලැබෙන්න ඇති. එහෙත් මෙරට ජනරජ ව්‍යවස්ථා සම්මත වීමෙන් පසු කිසි දා ජාතික ගීයක් දෙමළ බසින් ගයා නැහැ. 


එහෙ ම  නම්  අර එක්තරා නිදහස් දිනයක ජාතික ගීය දෙමළ බසින් ගායනා නොකෙළේ ද කියා කවුරු හරි අහන්න පුළුවන්. එදා ගීයක් දෙමළ බසින් ගැයුවා. අප එයට විරුද්ධ වුණා. ඒ එය ඊනියා දෙමළ ජාතික ගීය එහෙම නැත්නම් දෙමළෙන් ගැයු ජාතික ගීය කියා ප්‍රසිද්ධ කළ නිසා. එහෙම එකක් සිදු වී නැහැ. කාටවත් ජාතික ගීය දෙමළෙන් ගයන්න බැහැ. ශ්‍රී ලංකා මාතා හැරෙන්න වෙනත් ජාතික ගීයක් නැහැ. එදා ඒ ගයා ඇත්තේ දෙමළ ගීයක් මිස ජාතික ගීය නො වෙයි. 

එහෙත් මා මෙයින් කියන්නේ කිසිම රාජ්‍ය උත්සවයක ඒ දෙමළ ගීය ගැයීම සුදසු කියන එක නො වෙයි. එය කිසිම රාජ්‍ය උත්සවයක ආරම්භයේදීවත්  මැදවත් අවසානයේදීවත් ගැයිය යුතු නැහැ. අවශ්‍ය ම නම් පඬි නැට්ටකුට ගෙදර ඉඳන් නිදහස් උත්සවය හරි වෙනත් රාජ්‍ය උත්සවයක් හරි පැවැත්වෙන අවස්ථාවක ඒ ගීය ගයන්න පුළුවන්. එය කිසිසේත් ම රජය සම්බන්ධ උත්සවයක දී ගැයිය යුතු නැහැ.   

ජාතික කොඩිය හා ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. අදාළ වගන්ති මෙසේ යි. ව්‍යවස්ථාවෙහි ඉංගිරිසි පරිවර්තනයෙහි සඳහන් දේ ද මෙහි සඳහන් කරනවා.

"6. ශ‍්‍රී ලංකා ජනරජයේ ජාතික කොඩිය, දෙවැනි උපලේඛනයෙහි නිරූපිත සිංහ කොඩිය වන්නේ ය.

7. ශ‍්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ‍්‍රී ලංකා මාතා" ගීය වන්නේ ය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේ ය.


6. The National Flag of the Republic of Sri Lanka shall be the Lion Flag depicted in the Second Schedule.

7. The National Anthem of the Republic of Sri Lanka shall be “Sri Lanka Matha”, the words and music of which are set out in the Third Schedule."


දෙවැනි උපලේඛනයෙහි ඇත්තේ බෝපත් සහ  තීරු සහිත සිංහ කොඩිය. දෙමළ පිටපතේත් එය එසේ ම සඳහන් වෙනවා කියා හිතනවා. ඉංගිරිසි පිටපතේ  ඇත්තේ  බෝපත් සහ තීරු සහිත සිංහ කොඩියමයි. කොඩිය ඉංගිරිසියට හරි දෙමළට හරි පරිවර්තනය කරන්න බැහැ. දෙමළ පිටපතේ සිංහ කොඩිය වෙනුවට නන්දි කොඩිය සටහන් කරන්න බැහැ. 

ජාතික ගීය සම්බන්ධයෙනුත් එසේමයි. එය පරිවර්තනය කරන්න බැහැ. ඉංගිරිසියෙන් ජාතික ගීය සඳහන් කර ඇත්තේත් ඉංගිරිසි අකුරෙන් ශ්‍රී ලංකා මාතා යනුවෙන් මිස ශ්‍රී ලංකා මමී හරි මම් හරි මේටර් හරි වශයෙන් නො වෙයි. ජාතික ගීය දෙමළට පරිවර්තනය කරන්නත් බැහැ. මාතා යන්න තායි හරි වෙන මොකක් හරි ලෙස පරිවර්තනය කරන්නත් බැහැ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පිටපතෙහි සිංහ කොඩිය වෙනස් නොවී තිබුණත් ජාතික ගීය අදාළ උපලේඛනයේ වෙනස් වෙලා. එය ඉබේට වෙනස් වන්න බැහැ. ප්‍රශ්න රාශියක් තියෙනවා. එය වෙනස් කළේ කවු ද? කාගේ අනුදැනුමෙන් ද? එය ව්‍යවස්ථා පිටපතට ගියේ කෙසේ ද? නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්පත් කරන නිලධාරීන් එය කියවූයේ නැද්ද? ආදි වශයෙන්. මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගැනීමයි අද කළ යුත්තේ. ඒ මිස ජාතික ගීය ගයන්නේ කුමන භාෂාවකින් ද යන්න කතා කිරීමට අවශ්‍ය නැහැ. ජාතික ගීය ගැයිය යුත්තේ සිංහල පිටපතේ ඇති අන්දමටයි. එය තමයි ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ දී ඉදිරිපත් කරන ලද පිටපත. 

මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්ති මෙසේයි. 

"23. (1) සියලූ ම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීම ද, එකී සියලූ ම නීති සහ අනු නීති පළ කිරීම ද, ඉංග‍්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් ම විය යුත්තේ ය,

එසේ වුව ද, ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද යන්න පාර්ලිමේන්තුව විසින් යම් නීතියක් පනවන අවස්ථාවේ දී තීරණය කළ යුතු ය,

එසේ ම තවදුරටත්, අනෙකුත් සියලූ ලිඛිත නීති සහ අනුනීති සම්බන්ධයෙන් වන විට පාඨ අතර අනනුකූලතාවක් ඇති වුවහොත් ඒ ලිඛිත නීති හෝ අනුනීති පනවන ලද්දේ හෝ සම්මත කරන ලද්දේ හෝ සාදන ලද්දේ හෝ යම් භාෂාවකින් ද, ඒ භාෂාවෙන් වූ පාඨය බලපැවැත්විය යුතු ය."

ඒ අනුව නීති පැනවීමේ දී එ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් වෙනසක් ඇති වුවහොත් බලපැවැත්විය යුත්තේ කවර පාඨය ද  යන්න පාර්ලිමේන්තුව නීතිය පනවන අවස්ථාවේ දී තීරණය කළ යුතු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතියයි. එය  පනවන ලද අවස්ථාවේ බලපැවැත්විය යුත්තේ කවර භාෂාවක පාඨය ද යන්න පාර්ලිමේන්තුව තීරණය කළා ද යන්න කියන්න බැහැ. එය දෙමළ කියා නම් වෙන්න බැහැ. 

ඒ අතර ඊළඟ උපවගන්තියෙන් කියන්නේ  පාඨ අතර වෙනසක් වේ නම් නීති පනවන ලද හෝ සම්මත කරන ලද හෝ භාෂාව බලපැවැත්විය යුතු බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලද භාෂාව ඉංගිරිසි හරි දෙමළ හරි වෙන්න බැහැ. මේ සියල්ලෙන් පැහැදිලිවන්නේ රාජ්‍ය උත්සවවල දී ජාතික ගීය සිංහලෙන් ගැයිය යුතු බවයි. එහි වෙනත් තීරණ ගන්න දෙයක් නැහැ. 

රාජ්‍ය උත්සව ආරම්භයේ මැද අවසන කොතැනකවත් අර දෙමළ පරිවර්තනය ගයන්න බැහැ. රාජ්‍ය උත්සවවල හින්දි ගීත ගයන්නෙත් නැහැ. ජේ බී දිසානායකට අනුව අරාබිත් රටේ කතා කරන භාෂාවක්. රාජ්‍ය උත්සවවල දී අරාබී ගීතයකුත් ගයමු ද? වාග් විද්‍යාඥයාට වැදි බස අමතක වෙලා. ඒකට කමක් නැහැ. අපි වැදි බසිනුත් ගීයක් ගයමු. බහු සංස්කෘතික රටක හැම එකක් ම තියෙන්න එපැයි.


අද ඇත්තේ ජාතික ගීය ගැයිය යුත්තේ මොන භාෂාවෙන් ද යන ප්‍රශ්නය නොව ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයේ ශ්‍රී ලංකා තායි ඇතුළත් වුණේ කෙසේ දැයි සෙවීමයි. ව්‍යවස්ථාවේ දෙමළ පිටපතෙන් ශ්‍රී ලංකා තායි ඉවත් කර ශ්‍රී ලංකා මාතා දෙමළ අකුරෙන් ලිවීමට කටයුතු කිරීමයි.