Main Logo

Wednesday 8 July 2020

මනාප පොරය හා සිරිසේන විරෝධය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





මනාප පොරය හා සිරිසේන විරෝධය

මනාප පොරය ඔඩු දුවන තත්වයකට ඇවිල්ලා. කුරුණැගල දිස්ත්‍රික්කයේ අගමැති මහින්ද රාජපක්‍ෂගේ ආධාරකරුවන් පිරිසකට පහර දී ඇති බවක් කියැවෙනවා. ඒ වෙනත් අපේක්‍ෂකයකුගේ වැයික්කියට ගියා කියන වරදට. එසේ යෑම වරදක් කියා කියන්නේ පහර දුන් අය බවයි හිතා ගන්න වෙන්නෙ.  මේ කතාව මුසාවක් ද කියන්න දන්නෙ නැහැ. ඒත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. 

ගම්පහ ප්‍රසන්න රණතුංගටයි පොළොන්නරුවේ රොෂාන් රණසිංහටයි සිරිසේන විරෝධයක් තියෙනවා. රොෂාන් රණසිංහ ගැන මට හරියට කියන්න බැහැ ප්‍රසන්න රණතුංග නම් ජාතිකවාදියකු නො වෙයි. ඔහු සමත් විභාග මොනවා ද කියා මා අහන්නෙ නැහැ. දේශපාලනයට ඒවායින් වැඩක් නැහැ. ආචාර්ය උපාධිධාරීන් 225 දෙනකු පාර්ලිමේන්තුවට යවා බලන්න. කෑගල්ල පැත්තෙ කවුද ගැමියකු මහාචාර්ය විශ්ව වර්ණපාලට කිව්වලු ඔබතුමා දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වුණාට දේශපාලනය දන්නෙ නැහැ කියල. කතාව එහෙම වුණත් නැතත් කතාවෙන් කියැවෙන දේ වැදගත්. 

ප්‍රසන්න රණතුංග තාත්තා නිසා දේශපාලනයට ආ කෙනෙක්. ඔහුට දේශපාලනය ගැනත් දැනුමක් නැහැ. නැත්නම් පොදුජන පෙරමුණ සමග සංධානයකට පැමිණ ඇති ශ්‍රී ල නි පක්‍ෂයට විටැද්ධ ව කතා කරයි ද? ඔහුගේ පියා ශ්‍රී ල නි පක්‍ෂ සාමාජිකයෙක්. ඔහු කියාවි දැන් හිටිය නම් ශ්‍රී ල නි පක්‍ෂයෙන් අස් වෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් අද ශ්‍රී ල නි පක්‍ෂයෙන් වෙන් වෙලා හදා ගත්ත පොදු ජන පෙරමුණ ශ්‍රී ල නි පක්‍ෂය සමග සංධානයකට එළඹිලා. සංධානයෙ ඉන්න පක්‍ෂයකට විරුද්ධ ව කතා කරන එක දේශපාලන දැනුවත් කමකින් කරන්නක් නො වෙයි. පොදු ජන පෙරමුණේ නායකයන් ප්‍රසන්න රණතුංගගෙයි රොෂාන් රණසිංහගෙයි භාෂණ නිිදහසට ගරු කරන බවක් පේනවා. 

ඔවුන් දෙදෙනාට ම ඇත්තෙ මනාප පොරයක්. සිරිසේන විරෝධය මනාප පොරය නිසා ඉස්මත්තට ඇවිල්ල. ඇතැම් සුපිරි ජාතිකවාදීන් ද සිරිසේනට විරුද්ධයි. මා ජාතිකවාදියකු බව සැබෑබ. ඒත් මා සුපිරි ජාතිකවාදියකු නො වෙයි. මට මහාවංසයෙත් අඩුපාඩුකම් පේනවා. අටුවා සියල්ල කියවා නැති වුවත් ඇතැම් අටුවාවලත් අඩුපාඩුකම් පේනවා. මා කීයටවත් හිතන්නෙ නැහැ මනස තියෙන්න හදවත ඇසුරෙන් කියා. බටහිර ඇතැමුන් කියන විධියට මනස කියන්නෙ මොළයේ ක්‍රියාකාරකම් නිසා ඇති වන දේකුත් නො වෙයි. ඔවුන් මනස මොළයට ඌනනය කරන්න හදනවා. බලන්න ඕන පඬි නැට්ටන් මනස ක්‍රියාත්මක වන ආකාරය මොළය ඇසුරෙන් පෙන්නන අපූරුව. අර මොළයක් නැතිව ගණිතය පිළිබඳ උපාධියක් පළමු පංතියෙන් සමත් වූ අය ගැන ඔවුන් අසා නැතුව ඇති.

පසුගිය ජූනි 28 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ ලිපියක් තිබුණා මනස ශරීරය මත රැඳෙන ආකාරය ගැන කියන . මා මේ බටහිර විද්‍යාවෙන් උදාහරණ ගන්නවා නොවෙයි. පඬි නැට්ටන්ගේ පහන් සංවේගය සඳහා පමණයි මා ඒ කතාව කියන්නෙ. 

පොළොන්නරුවේ කෙසේ වෙතත් ගම්පහ නම් මනාප පොරය උග්‍ර බව පේනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල කතෝලික ඡන්දත් තියෙනවා. ඒ ඡන්දවල මනාප ලබා ගැනීමට පොදුජන පෙරමුණේ අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් අතර තරගයක් තියෙනවා. සිරිසේනට ගැවිච්ච අයත් ඒ අතර ඉන්නවා. ප්‍රසන්න රණතුංග ඉල්ලන්නේ ඒ ගෑවිච්ච අයට මනාප නො දෙන්නයි. මේ ඔහුගේ වහෙන් ඔරෝ කතාවක්. 

සිරිසේන වැරදිත් කරල තියෙනවා. හොඳ වැඩත් කරල තියෙනවා. 2018 ඔක්තෝම්බර් 26 පසුගිය ජනාධිපතිවරණයටත් බලපෑවා. රනිල් එලවා මහින්ද අගමැති කිරීමට සිරිසේනට ශක්තිය දෙන්න කී නිසා ඇතැම් ජාතිකවාදීන් මා සිරිජාතිකවාදියකු ලෙස හැඳුන්නුවා. එහෙත් තාවකාලික ව හරි රනිල් පන්නා දැමීම නිසා එම්සීසී ගිවිසුම අත්සන් කරගන්න බැරි වී ඇති බව අප දැන් දන්නවා. සිරිසේන කර ඇති හොඳ වැඩ අප අමතක කරනවා නම් ඒ එක්කෝ කුහකකමක් නැත්නම් දුෂ්ටකමක්. වෛරී දේශපාලනය නවත්වන්න ඕන. එහෙත් මනාප පොරය සමග වෛරී දේශපාලනය වැඩි වෙන බවත් අමතක කරන්න බැහැ. 

සිරිසේන නිකම් ම වැරදි කළාත් නොවෙයි. ඔහු අවුරුදු ගණනාවක් ශ්‍රී ල නි පක්‍ෂයේ ලේකම් ලෙස කටයුතු කරල තියෙනවා. වෛරී දේශපාලනය පවත්වාගෙන යෑම සුපිරි ජාතිකවාදීන් ඉතා ගරු කරන මහාවංස සම්ප්‍රදායටත් විරුද්ධයි. ප්‍රසන්න රණතුංගට ඒ බව කීමෙන් වැඩක් වෙන එකක් නැහැ. 

මහසෙන් රජු මුල දී ථෙරවාදයටත් මහාවිහාරයටත් විරුද්ධ වුණා. එහෙත් පසුව චෛත්‍ය හා වැව් හැදෙව්වා. මින්නේරිය වැව නිසා ජනතාව ඔහු මින්නේරිය දෙවියන් නමින් හැඳින්නුවා. සිරිසේන සහ මහසෙන් සංසන්දනය කිරීම නොවෙයි මට අවශ්‍ය. මහාවංස හා මහාවිහාර සම්ප්‍රදාය මතක් කිරීමට. මහාවංසය ඔහු කළ හොඳ වැඩ අමතක කළෙ නැහැ. සුපිරි ජාතිකවාදීන් මා මෙන් නොව මහාවංසය අකුරට ම පිළිගන්නවා. ඒත් ඒ  සම්ප්‍රදාය අනුගමනය කරන බවක් පේන්නෙ නැහැ.