Main Logo

Showing posts with label වරිගසභා. Show all posts
Showing posts with label වරිගසභා. Show all posts

Saturday, 22 September 2012

ජාතිවාදය, ජාතිවාදී පක්‍ෂ හා මැතිවරණය

පසුගිය දා පැවති පළාත් සභා මැතිවරණයෙන් දෙනු ලැබූ පණිවුඩ කිහිපයකි. උතුරු මැද හා සබරගමු පළාත් සභාවල ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයට සිංහලයන්ගේ ඡන්දවලින් 60%ට වඩා ලැබී ඇත. එය ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්දවලට වඩා යම් ප්‍රමාණයක් අඩු ය. එයට හේතුව ප්‍රාදේශීය නායකයන්ගේ දුර්වලකම් හා ආණ්ඩුවේ දූෂණ හා නාස්තිය ය. එහෙත් තවමත් ජනතාව මහින්ද රාජප’’ක්‍ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා සිටින බව පැහැදිලි ය. ඒ මහතා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ද වඩා මහජනයාට හා ඔවුන්ගේ සිතුම් පැතුම්වලට සමීප ය. චන්ද්‍රිකා හා විජය තම දෙමළ ජාතිවාදී සිංහල බෞද්ධ විරෝධී පවිටු අරමුණු සඳහා ශ්‍රී ල නි පක්‍ෂය ගසාකෑවා මිස ඔවුන්ගෙන් පක්‍ෂයට හෝ රටට හෝ වැඩක් නො සිදුවිය. පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ඉගෙනගත යුතු පාඩම නම් දූෂණය හා නාස්තිය නැතිකිරීමට වහා ක්‍රියා කළයුතු බව ය. එ ජා පක්‍ෂය ජාතිකත්වය කරා යොමු නොවුණහොත් ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණ කිරීමට නො හැකි ය. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො වේ. එය පක්‍ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි.

නැගෙනහිර පළාතේ මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට මෙන් ම මුස්ලිම් කොංග්‍රසයට ද තිබුණේ ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රතිපත්තිය පමණකි. ඊනියා උගතුන්ට දෙමළ හා මුස්ලිම් ජාතිවාද නොපෙනෙයි. එහෙත් ඉහත සඳහන් පක්‍ෂ දෙකට ඇත්තේ ජාතිවාදය පමණකි. නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී තරම් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදාගත් මැතිවරණයක් චෙල්වනායගම්ගෙන් පසුව තිබී නැත. එහෙත් දෙමළ හා මුස්ලිම් ජනතාව ක්‍රම ක්‍රමයෙන් ජාතිවාදයෙන් ඉවත්වීම අරඹා ඇත. මෙවර දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් යම් ප්‍රමාණයක් සංධානයට ඡන්දය දී ඇති බව පැහැදිලි ය. මෙරට සිටින සියළු ජනකොටස්වල ඡන්දය දිනාගත හැක්කේ සංධානයට හා එ ජා පක්‍ෂයට පමණකි. ඒ
පක්‍ෂ පමණක් රට පුරාම විහි දී ඇත. ඊනියා වාමාංශික යැයි කියාගන්නා පක්‍ෂවලට ජන පදනමක් නැත. ජ වි පෙට ඇත්තේ 3%ක ජන පදනමකි. එය ඉදිරියේ දී තවත් අඩුවනු ඇත. අද ජ වි පෙ ඇතුළු සියළු වාමාංශික පක්‍ෂ හා ඊනියා ලිබරල් මතධාරීහු බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ශ්‍රී ල නි පක්‍ෂය බටහිරයන්ගේ නියෝජිතයකු නොවන නමුදු ඔවුන්ට ද තවමත් ජාතික වූ ආර්ථික ප්‍රතිපත්තියක් නැත. ශ්‍රී ල නි ප වහාම ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට යොමු විය යුතු ය. එහෙත් ඔවුන්ගේ නිදහසට කිවයුත්තේ අපට ද තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකසාගත හැකි වී නැති බව ය. එයට තවමත් හරහට ඇත්තේ ජනතාව බටහිර ක්‍රමයේ ඊනියා සංවර්ධනයක් හා ජීවන රටාවක් බලාපොරොත්තු වීම ය. ජාතික ආර්ථිකයක හා ජීවන ක්‍රමයක කෘෂි රසායනික පොහොර හා බටහිර විද්‍යාව තිබිය හැකි නො වේ. එහෙත් තවමත් මෙරට ඊනියා උගත්තු අග්ගඤ්ඤ සූත්‍රය වෙනුවට ඩාවින්ගේ පර්ණාමවාදය හා මහා පිපිරුම විශ්වාස කරති. ඇතැම් ජාතික චින්තකයෝ ද පුනබ්භවය විශ්වාස නොකරති.

පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නියඟය හා වර්ජන මධ්‍යයේ ය. ඉසෙඩ් ලකුණු විභාග හා ඊනියා අධ්‍යාපන අරබුදයක් ගැන කියන ලද ආණ්ඩු විරෝධී කතා මධ්‍යයේ ය. තමන් මහා විශාරදයන් යැයි සිතාගෙන සිටින සරසවි ඇදුරන්ගේ උද්ඝොෂණ හා රැළි මධ්‍යයෙහි ය. එහෙත් මේ එකකින්වත් ජනතා මතය වෙනස් කිරීමට නොහැකි වී ඇත. බහුතර ජනතාවට උපාධි නැතිකම නිසාදෝ ඔවුන්ට පුස්සන් හඳුනාගැනීමේ හැකියාව ඇත. සරසවි ඇදුරන් පළාත් සභාමැතිවරණයේ දී තම ඊනියා ජනතාවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සහභාගි නොවූයේ තම තරම තේරුම් ගෙන ඇති නිසා දැයි නො දනිමි. පෙර මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු සරසවි ඇදුරෝ ඊරියගොල්ල මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව මැතිවරණ ව්‍යාපාරවල නිරත වූහ. වත්මන් සරසවි ඇදුරන් ඊනියා 6% වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණි නම් ඔවුන්ට අත්වන ඉරණම ඉතා පැහැදිලි ය. මෙරට සරසවිවලට ඇති අධිපතිවාදී බලය නොවන්නට හා විකල්ප අධ්‍යාපන ආයතන නොමැතිවීම නොවන්නට දෙමව්පියන් තම දරුවන් සරසවිවලට නොඑවනු ඇත. සරසවි ඇදුරන්ගේ තරම තවමත් මෙරට ජනතාව හඳුනාාගෙන නැත. ඔවුහු නිර්මාණශීලී නො වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් පුරසාරම් කීවත් විශ්වවි්‍යාලවලට ඇතුළත් වී ඇත්තේ තුන්වැනි වතාවෙහි ය. ආචාර්ය උපාධි නොමැත්තෝ එමට සිටිති. තමන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු යැයි කරුණු ඉදිරිපත් කරන මහාචාර්යවරයා මෙන් ම ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු ද දෙවැනි පන්තියේ ඉහළ ශ්‍රේණීයේ උපාධිවත් නැති ආචාර්යවරුන් ගැන දනිති. ජනතාව සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් නොගන්නා බව පැහැදිලි ය. සම්මේලනය ඒ බව ඉක්මණින් වටහාගත යුතු ය .

ශ්‍රී ල නි ප සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර තහවුරු වී ඇත. තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවුවත් ආණ්ඩුවේ චන්ද්‍රිකාවාදීන් විශාල පිරිසක් සිටියත් ශ්‍රි ල නි ප නායකත්වයට යම් ජාතිකත්වයක් ඇත. ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ආණ්ඩුව, විශේෂයෙන් ම ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියේ ය. අදත් ඒ බලපෑම් ඇත. විශේෂයෙන් ම පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දීම සම්බන්ධයෙන් ඒ බලපෑම් ඇත. උතුරු මැද හා සබරගමුව පළාත්වල පමණක් නොව නැගෙනහිර පළාතේ ද සංධානය ජයග්‍රහණය කළේ මේ බලපෑම් මැද ය. දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඉතා පහත් මට්ටමින් පිළිවෙළින් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදා ගනිද්දීත් සංධානය නැගෙනහිර පළාත් සභාව ද ජයග්‍රහණ්‍ර කළේ ය. එය සියළු විරෝධතා මැද ලත් විශිෂ්ට ජයග්‍රහණයක් විය. ශ්‍රී ල නිප ඇතැම් නායකයන්ගේ වැරදි තීන්දු නොවන්නට සංධානයට ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කය ද ජයග්‍රහණය කරන්නට තිබිණි. පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය ජාතිවාදී නායකයන්ට මිස සාමාන්‍ය මුස්ලිම් හා දෙමළ ජනයාට නො චේ. ආණ්ඩුවේ වාමාංශික ඇමති ත්‍රිත්වයට හා චන්ද්‍රිකාගේ ඇමතිවරුන්ට ඒ පණිවුඩය නැගෙනහිර පළාතේ ජනයාගෙන් ලැබී ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාට බටහිරයන්ගේ මෙන් ම ඇතැම් ඇමතිවරුන්ගේ ද බලපෑම්වලට එරෙහිව නැගී සිටීමේ ශක්තිය ඇත. ඒ බලපෑම් හමුවෙහි ජනතාවගෙන් අතිමහත් බහුතරය ඒ මහතා සමග සිටින බව පළාත් සභා මැතිවරණයෙන් කියැවෙයි.

බ්ලේක්ලා ද නවනීදම්පිල්ලෙලා ද මනමෝහන්සිංලාද කරුණානිධිලා ද ආණ්ඩුව හා ජනතාවගෙන් බහුතරය අතර ඇති සම්බන්ධය තේරුම් ගත්තත් නැතත් දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඒ බව තේරුම් ගත යුතු ය. මෙරට ජාතිවාදය ඇත්තේ ඇතැම් දෙමළ හා මුස්ලිම් නායකයන් අතර ය. සාමාන්‍ය දෙමළ ජනතාව ජාතිවාදය දෙසට තල්ලු කරන්නට උත්සාහ ගත්තේ චෙල්වනායගම් ය. එහෙත් පොන්නම්බලම් රාමනාදන්ගේ කාලයේ සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ සිටියහ. මුස්ලිම් ජනයා ජාතිවාදයට යොමු කළේ අෂ්රොෆ් ය. ඔවුහු බලයට පැමිණීමට හා රට බෙදීම සඳහා ජාතිවාදය යොදාගත්හ. සිංහලයෝ ජාතිවාදී නොවූහ. කතෝලික පෘතුගීසීන්ගෙන් මුස්ලිම් ජනයා ආරක්‍ෂාකර ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ හා කන්ද උඩරට පදිංචි කළෝ සිංහල බෞද්ධ රජවරු ය. පසුව කතෝලිකයන් ලන්දේසි රෙපරමාදුවරුන්ගෙන ආරක්‍ෂාකර උඩරට පෙදෙස්වල පදිංචි කළෝත් සිංහල බෞද්ධ රජවරු ය. 1506 සිට ම යුරෝපීය ආක්‍රමණවලට විරුද්ධව සටන්කළෝ සිංහලයෝ ය. සංකිලි පමණක් පෘතුගීසීන්ට එරෙහිව සටන් ලර ඇත. එහෙත් ඔහු කතෝලිකයන්ට ද බෞද්ධයන්ට ද අමානුෂික වධහිංසා පැමින වූ කෘර පුද්ගලයෙක් විය.

ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළේ සිංහලයන් පමණකි. 1817-18, 1848 නිදහස් සටන් පමණක් නොව ඉන්පසුව ඇති වූ පංචමහා වාද, අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය ද සිංහල භාෂා ව්‍යාපාරය ද ඉංගිරිසින්ට එරෙහිව කරන ලද සටන් විය. ඒවා නිදහස් සටන් ලෙස නොපෙනේනේ පෙත්සම් මගින් තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසින් බව පෙන්වා එමගින් ඉංගිරිසි රජු යටතේ සීමිත බලතල ඉල්ලූ පිරිසක් නිදහස් සටන මෙහෙයවූවන් ලෙස දකින්නන්ට පමණ ය. ඔවුන්ට එසේ දැකීමට පුරුදු කර ඇත්තේ ඉංගිරිසින් ම වීම මෙහි විශේෂත්වය ය. සිංහලයන් අදත් සටන් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ය. විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ව්‍යාපාරයට එක්වීමට උත්සාහ කරන දන්ත චෛද්‍ය මහාචාර්යවරයකුට නොතේරුණ ද අපි බටහිර නූතනත්වයට මෙන් ඊනියා පශ්චාත්නූතනවාදයට ද එරෙහි වෙමු. අප ආභාසය ලබන්නේ තිථි නැතිව උප්පාද භංගය ගැන කියන ථෙරවාදයෙන් මිස පශ්චාත්නූතනවාදයකින් නො වේ. මේ පුහු මහාචාර්යවරුන් ගැන එතරම් තැකීමක් කිරීමට ද අනවශ්‍ය ය. එහෙත් අප ඔවුන් ගැන ද කතාකරන්නේ ජනතාවට අපේ ස්”ථාවරය පැහැදිලි කිරීම අවශ්‍ය බැවින් ය.

අද මෙරට ඇති සිංහල බෞද්ධ අධිපතිවාදයක් ගැන ඊනියා උගත්තු බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරමින් කියති. මෙරට ලිබරල් හා මාක්ස්වාදී මත දරන්නන් දන්නේ බටහිර දැනුමට හූමිටි තබමින් ඒ නැවත ප්‍රචාරය කිරීමට ය. පට්ටපල් බොරුවක් වූ බටහිර දැනුම වෙනුවට අපි ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. මෙරට ඇත්තේ සිංහල බෞද්ධ අධිපතිවාදයක් නොව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයකි. දෙමළ ජාතිවාදය ද බටහිරයන් විසින් ඇතිකරනු ලැබ පෝෂණය කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. නැතිනම් අඩුම තරමෙන් දුර්වල කිරීමට ය. අපි දෙමළ ජාතිවාදයටව ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයට ද එරෙහිව සටන් කරමු. සරසවි ඇදුරන්ගේ සටන ද ඊනියා අධ්‍යයනික වසන්තයක් මගින් අරාබි වසන්තයක් ඇතිකිරීම සඳහා ය. ඔවුන් මෙහෙයවනු ලබන්නේ එ ජා ප හා ජ වි පෙ මගිනි. බටහිර නූතනත්වවාදී, පශ්චාත්නූතනවාදී හා පශ්චාත්මාක්ස්වදී අදහස්වලින් මෙහෙයවෙන සරසවි ඇදුරන් වැටුප් වැඩිකිරීම නමැති කැරට් අලය පෙන්වා බොරු 6%ක් ගැන කතාකරමින් වර්ජ’’නවලට මෙහෙයවීම අසීරු කරුණක් නොවන්නේ ඔවුන් උගතුන් විය හැකි නමුදු බුද්ධිමතුන් නොවන බැවිනි. ශ්‍රි ල නි ප එදා ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය දිනාගැනීමට සමත්විය. දෙමළ ජාතිවාදය පසුපස යමින් අෂ්රොෆ් මුස්ලිම් ජාතිවාදයක් ඇති නොකරන්නට ශ්‍රි ල නිප මේ වන විට මුස්ලිම් ජනයා අතරය ම් ප්‍රමාණයකට තහවුරු වීමට තිබිණි. අද සංධානයට දෙමළ ජනයාගේ ද ඡන්දය ලැබෙයි. ඒ සියළු සිංහල විරෝධීන් පළාත්සභාවලට තව තවත් බලය ඉල්ලද්දී ය. පළාත්සභාවලට තවත් බලය අවශ්‍ය නොවන බව නැගෙනහිර පළාතේ ජනතාව ද කියා ඇත. අද කළ යුත්තේ හැකිනම් පළාත්සභා අහෝසි කිරීම ය. අද අවශ්‍ය දේශපාලනඥයන්ට නොව ජනතාවට තම එදිනෙදා කටයුතු කරගත හැකි ආකාරයට පරිපාලන බලතල බෙදාහැරීම ය. එය බටහිර ක්‍රමයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ගම්සභාවලින් නොව වරිග සභා ආකෘතියේ සභාවලින් කරගත යුතු ය.

Saturday, 12 May 2012

ඉන්දීය ක්‍ෂෙත්‍ර චාරිකා

ඉන්දීය ඇමතිවරු මන්ත්‍රීවරුන් තනි තනිව මෙන් ම කණ්ඩායම් වශයෙන් ද සති දෙකකට වරක් පමණ ලංකාවට පැමිණීම දැන් පුරුද්දක් බවට පත් වී ඇත. ඔවුන්ට අමතරව එරට නිලධාරීහු ද මෙරටට පැමිණෙති. ඔවුන් මෙරටට එන්නේ අපේ සුව දුක් බැලීමට නොවන බව පැහැදිලි ය. ඉන්දියාව හෝ එයට පෙර එහි තිබූ ප්‍රදේශ හෝ අපේ ලොකු අයියා හෝ සහෝදරයකු හෝ ලෙස ක්‍රියා කර නැත. ඉන්දියාවට නිදහස ලැබෙන කාලයේ සිට ම තිබුණේ ලංකාව ද එයට ඈඳා ගැනීමේ අවශ්‍යතාව ය. යම් අයුරකින් පෝක් සමුද්‍ර සන්ධිය නොතිබෙන්නට අප ඇතැම් විට ඉන්දියාවේ තමිල්නාඩුවේ ම කොටසක් හෝ වෙනත් ප්‍රාන්තයක් හෝ බවට පත්වීමට ඉඩ තිබිණි. එසේ වී නම් සිංහලයන්ට අත්වීමට තිබූ ඉරණම සිතාගත හැකි ය. ඉන්දියාව තවමත් ඒ අදහස නැතිකරගෙන ඇතැයි සිතිය නො යුතු ය. නේරුලාට ඉන්දිරා ගාන්ධිලාට රජිව්ලාට ද ඒ අදහස තිබුණු අතර දැනටත් සෝනියාලා හා මංමෝහන්සිංලා මෙන් ම කරුණානිධිලා හා ජයලලිතාලා ද ඒ අදහස දරති. පසුව කී දෙදෙනා වඩාත් කැමතිවනු ඇත්තේ ලංකාව තමිල්නාඩුවේ ම කොටසක් කර ගැනීමට ය. මේ අදහස නොදැරු රාජ්‍ය නායකයකු ඉන්දියාවේ සිටියේ නම් ඒ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතා විය යුතු ය. ඉන්දීය නියෝජිතයන් මෙරටට පැමිණෙන්නේ දෙමළ ජනතාවට ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට ය. ඔවුහු බලය බෙදීම ගැන කතාකරති. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා යන විසඳුම් ගැන කතාකරති. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලකරති. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව ඉන්දියාව බටහිරයන් හා අනෙක් සිංහල විරෝධීන් ඉගෙන ගන්නේ කවදාද?

මේ අතර රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග ද ඉන්දියාවට යති, එති. ඔවුන් යන්නේ දඹදිව නොවන බව නම් ඉතා පැහැදිලි ය. චන්ද්‍රිකා කුමාරතුංග සිතන්නේ ඊනියා ඉන්දු ලංකා සබඳතා ඇගේ උරුමයට ලැබුණු දෙයක් ලෙස ය. ඉන්දිරා නැන්දා (ආන්ටි) ගෙන් ඇයට ඒ සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් හිමි වී ඇතැයි සිතනවා විය හැකි ය. සෝනියා අක්කා (නංගි) නිතර හමු වී ගෙවල්වල තොරතුරු කතා කරනවා මෙන් ඉන්දු ලංකා සබඳතා ගැන කතාකරගත හැකි යැයි ඇය සිතනු නො දනුමාන ය. ඇයට අමතක වී ඇත්නම් මතක් කළ යුත්තේ ඇගේ මව සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කළේ බමුණු කුලයේ ගාන්ධිලා සමග නොවන බව ය. රනිල් වික්‍රමසිංහ දිල්ලි යන්නේ බටහිරයන් කියන්නේ නම් මොන දිල්ලියට ගියත් කම් නැත යන තේරුමෙන් මිස වෙනත් අර්ථයකින් නො වේ. ඔහු යාපනයට ගොස් මැයි දිනය පවත්වන්නේ යාපනයේ කම්කරු පංතියක් ඇමතීමට නොවන බව නොදන්නකු ඇතැයි නො සිතමි. එහෙත් ඔහු එහි යන්නේත් දෙමළ ජාතික සංධානය සමග මැයි දිනය පවත්වන්නේත් බටහිරයන්ගේ අවශ්‍යතාවට බව බොහෝ දෙනා නො දනිති. බටහිරයන්ගේ කීමට මෙරට ක්‍රියා කරන පක්‍ෂ අතර එ ජා ප, දෙමළ ජාතික සංධානය හා කෙකරගාමී (පෙරටුගාමී) පක්‍ෂ වෙයි. ඒ අතර බටහිරයන් විසින් මෙහෙයවනු ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මගින් නඩත්තු කෙරෙන පක්‍ෂ ද වෙයි. දෙමළ ජාතික සංධානය පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ආධාර කළේ ද බටහිරයන්ගේ අවශ්‍යතාවට ය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් විහිළු නො වේ. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ඇති කළෝ බටහිරයෝ ය. නිදහසෙන් පසුව ඒ ප්‍රශ්නය පවත්වාගෙන යෑමට හා ගින්නට පිදුරු දැමීමට ඉන්දියාව ක්‍රයා කර ඇත. ප්‍රභාකරන්ට මෙන් ම උමා මහේස්වරන්ට ද ආයුධ සපයා දෙමළ ත්‍රස්තවාදය නිර්මාණය කළේ ඉන්දියාව ය. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වූ අතර දෙමළ ත්‍රස්තවාදය ඉන්දියාව විසින් බිහි කෙරිණි. එහි දී ද ඉන්දියාවට බටහිරයන්ගේ සහාය ලැබිණි. ඉන්පසු ඒ ත්‍රස්තවාදය නැතිකිරීම සඳහා යැයි විවිධ අවස්ථාවල ඊනියා විසඳුම් ඉන්දියාවෙන් ඉදිරිපත් කෙරිණි. ඉන්දු ලංකා ගිවිසුම හා ඒ මත පදනම් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊනියා විසඳුම් අතර වෙයි. අප අමතක නොකළ යුත්තක් නම් පසුගිය කාලයෙහි ඉන්දියාව ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිර සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ බව ය. ඉන්දියාව නොදැනුවත්ව බටහිර රටවල් ඒ සම්බන්ධයෙන් කිසිවක් නො කළේ ය. අද ද එසේ ම ය. ජෙනීවා යෝජනා ඉන්දියාවේ සහභාගීත්වයෙන් කෙටුම්පත් කෙරී ඇති අතර ඒ යෝජනා සම්මත කර ගැනිම සඳහා ඉන්දියාව ආසියාතික රටවලට, විශේෂයෙන් ම දෙමල ජනයා යම් ප්‍රමාණයක් සිටින රටවලට බලපෑම් කර ඇති බව දැන් හෙළිවෙමින් පවතියි. මැලේසියාව හා මුරුෂියස් දුපත් එහි දී කැපී පෙනෙයි. එහෙත් බොහෝ ආසියාතික රටවල්, විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල් ඉන්දියාවට ඇහුම්කන් නො දිණි. අද ඉන්දියාවට ඔවුන් සිතන ආකාරයේ නායකත්වයක් දකුණු ආසියාවේවත් නැත. ඉන්දියාව ආර්ථික අතින් දියුණු යැයි කීව ද මිසයිල තිබුණ ද දුර්වල රාජ්‍යයකි. බටහිර නොමැතිව ඉන්දියාවට පැවැත්මක් නැත. මෙරට දෙමළ ජනයා සිටින්නේ යැයි කියමින් අපේ කටයුතුවලට ඇඟිලි ගසන ඉන්දියාවට එහි බෞද්ධයන් සිටින බව පමණක් දැනට මතක් කරමු.

බටහිරට මෙන් ම ඉන්දියාවට ද අද අවශ්‍ය ලංකාව අස්ථායී කිරීමට ය. එයට හරස්ව සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස චන්ද්‍රිකා නංගි (අක්කා) හෝ සූරතල් රනිල් මල්ලී හෝ නො වේ. අද බටහිරට මෙන් ම ඉන්දියාවට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැට්ටවීමට ය. ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ක්‍ෂෙත්‍ර චාරිකා ඒ සඳහා ය. උගත් පාඩම් කොමිසමේ යෝජනා හෝ දහතුනට එහා යන ඊනියා විසඳුමක් හෝ ක්‍රියාත්මක කීිරීම ආණ්ඩු සිය දිවි නසා ගැනීමකි. ආණ්ඩුවේ සිටින වමේ යැයි කියන තුන් බෑ ජටිල (මාක්ස්වාදය ද ජටාවකි. එකල මාක්ස්වාදය තිබිණි නම් එය ද බ්‍රහ්මජාල සූත්‍රයෙහි නම් කෙරෙනු ඇත) ඇමතිවරුන් ගේ කැමැත්ත සත පහකට මායිම් කළ යුතු නැත. ඔවුන් අද ඇමතිකම් දරන්නේ ඔවුන් විරුද්ධ සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද නිසා ය. මහින්ද රාජපක්‍ෂ මහතාට අනුපාත ක්‍රමය යටතේ ද තුනෙන් දෙකක ඡන්ද ලබාගත හැකි බව අපි කලකට පෙර පෙන්වා දුනිමු. ඒ සිංහල ඡන්දවලින් සියයට හැත්තෑපහකට වැඩි ඡන්දයක් ලබා ගැනීමෙනි. ඒ සඳහා සිංහලයන් එකතු කරන සටන්පාඨ අවශ්‍ය විය. අද බටහිර, ඉන්දියාව හා මාක්ස්වාදී තුන් බෑයන් ආදීන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ලවා දෙමළ ජාතිවාදී ඉල්ලීම් ලබා ඉඩ දී ආණ්ඩුවට ඡන්දය දෙන සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කලකරවීමට ය. ඒ සමග කෙකරගාමින් ලවා තැන තැන සිද්ධි ඇතිකර මානව අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමින් ආණ්ඩුව පෙරළා දැමීම බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ උත්සාහය ය. මෙහි ඇති සරදම නම් එමගින් මාක්ස්වාදී තුන් බෑයන්ට ද ඇමතිකම් අහිමි වීම ය. තමන්ට අවශ්‍ය ඇමතිකම් නොව රටට සේවය කිරීමට යැයි මේ තුන් බෑ ජටිලයන් කීමට ඉඩ ඇත. එහෙත් ඒ බයිලා පමණ ය. තුන් බෑ ජටිලයන් දමනය කර ආණ්ඩුව පවත්වාගෙන යෑම ජනාධිපතිතුමාට අපහසු කාර්යයක් නො වේ.

ඒ සඳහා කළ යුත්තේ උගත් පාඩම් කොමිසමේ ජනතාවට පිළිගත හැකි යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීම ය. ආණ්ඩුව විසින් පත්කළ පමණින් කොමිසමක යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව අමතක නොකළ යුතු ය. ඒ අතර දහතුන ධන සෘණ සම්පුර්ණයෙන් අමතක කිරීම ය. පළාත් සභා අසාර්ථක බව උගත් පාඩම් කොමිසම ද කියයි. ආණ්ඩුව එය හිතට ගත යුතු ය. අසාර්ථක වූවක් දිගට ම ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ය. මේ ජයවර්ධන ව්‍යවස්ථාව එහෙන් මෙහෙන් තළා පෙළා සකස් කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවට කළ යුත්තේ මහින්ද චින්තනයෙහි ද සඳහන් ආකාරයට වෙනත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම ය. මහජනයාගේ වරමක් ද ලැබී ඇත්තේ එයට මිස ජයවර්ධන ව්‍යවස්ථාව අතනින් මෙතනින් සංශෝධනය කිරීමට නො වේ. මෙරටට ඔබින ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමේ දී අප අනුගමනය කළ යුත්තේ අපේ එක්සේසත් රාජ්‍යය. අවාසනාවකට මෙරට ඉතිහාසඥයන් හා දේශපාලන විද්‍යාඥයන් ඒ රාජ්‍යය ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත. එය ලංකාවට ම ආවේණික වූ රාජ්‍යයකි. අවශ්‍ය නම් නූතන වචන යොදා ගනිමින් එය ඒකීය රාජ්‍ය විශේෂයක් ලෙස හඳුනාගත හැකි ය. එහි දේශපාලනය මධ්‍යගත විය. එහෙත් පරිපාලනය උපරිම වශයෙන් විමධ්‍යගත විය. රාජ පුරුෂයෝ රජ අණ, එනම් රාජ්‍යයේ අණ ක්‍රියාත්මක කළ පිරිසක් වුහ. ඔවුහු එංගලන්තයේ මෙන් දරදඬු මධ්‍යගත පරිපාලනයකට අයත් පිරිසක් නොවුහ. ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැණුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ගම්සභාවලින්, වරිගසභාවලින් ආදියෙනි. මේ ගම්සභා හා රාජ සභාව අතර සම්බන්ධයක් නො වී ය. අද වචනවලින් කියන්නේ නම් ගම්සභාවල දේශපාලනඥයෝ නො වුහ. එකල ෆෙඩරල්වාදීන් වූ ඇතැම්හු අද අවස්ථාවාදීව ගම්සභා දේශපාලනඥයන්ට හිමිකර දීමට පිඹුරුපත් සැකසීම සිනහවට ලක්විය යුතු ය. ඒ අතර වර්තමාන පරිපාලන රටාව ද අනුගමනය කරමින් සංක්‍රමණීය පියවරක් ලෙස දිස්ත්‍රික් සභා පිහිටුවා ඒවාට ඇතැම් කාර්යයන් හිමි කර දිය හැකි ය. මේ දූිස්ත්‍රික්ක යථා කාලයේ දී සුද්දන්ගෙ මායිම් අනුව නොව භූගෝලීය, පාර්සරික, ඓතිහාසික හා සංස්කෘතික කරුණු පදනම් කරමින් රටවල් හා කෝරළ ලෙස (අටදහස් රට දොළොස්දහස් රට නුවර කලාවිය, පස්දුන් කෝරළය ආදී වශයෙන්) සකස් විය යුතු ය. දිස්ත්‍රික් සභාවල දේශපාලනඥයන් ක්‍රියාත්මක විය හැකි ය. මේවා කළ නොහැකි කාර්යයන් යැයි කොටින් පැරදවීමට බැරි බව කී ජටිලයන් හා ඇංකරයන් පවසනු ඇත. එමෙන් ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් අපට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවණු ඇතැයි කියමින් ජනතාව බිය වැද්දීමට ද ඔවුන් කටයුතු කරනු ඇත. එහෙත් උගත් පාඩම් කොමිසමේ යෝජනා හා දහතුන ධන යනු අවසානයක් නොව තව තවත් දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට මග පෑදීමක් පමණකි. චෙල්වනායගම් ප්‍රතිපත්තිය වූයේ දැන් ටිකක් පසුව හුඟක්් යන්න ය. ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාට එරෙහිව බටහිරයන් ආක්‍රමණය කළහොත් ජනතාව කිනම් අමාරුකම් මධ්‍යයෙහි වුවත් ජනාධිපතිතුමාට සහාය දෙන බව බටහිරයන්ටවත් ඔවුන්ගේ ගැත්තන්ටවත් නො වැටහෙයි.

බටහිරයන් මේ සියළු චන්ඩිකම් කරන්නේ දෙමළ ජාතිවාදය උපයෝගි කරගනිමිනි. දෙමළ ජාතිවාදය අද දේශපාලනික ව පවත්වාගෙන යනු ලබන්නේ් බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදය තවමත් වඩුකොඩෙයි යෝජනා අත්හැර දමා නැත. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, 1889 දී බෙදනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි බව ආදිය මෙන් ම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ද දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවසති. බටහිරයන් සිංහල ජනතාවට තමන් වරදක් කර ඇතැයි යන හැඟීම බටහිර ගැති කසිකබල් උගතුන් ලවා ඇතිකර ඇත. සිංහලයන් මේ බිය නැතිකර ගත යුතු ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වූවා නොව ඉංගිරිසින් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන ලබා නොදීමට දෙමළ ජාතිවාදය යොදාගෙන ඇත. මාස තුනකින් අවසන් වන දෙදහස් හයසීයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අඩු තරමෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීමට විරුද්ධ වන්නෝ සිටිත් ද? සාමාන්‍ය දෙමළ ජනයාට දහතුන්වැනි සංශෝධනයක් අවශ්‍ය නැත. දහතුන්වැනි සංශෝධනය යනු වඩුක්කොඩෙයි හා තිම්පු යෝජනාවලට තාවකාලික විකල්පයක් ලෙස බටහිර ආශිර්වාදය සහිතව ඉන්දියාව විසින් ජේ ආර් ලවා දෙමළ ජාතිවාදී නායකයන්ට දෙන ලද්දක් පමණ ය. දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් යනු බටහිරයන් අපට පෙන්වා දෙන ව්‍යාජයන් නොව ඔවුන්ගේ ජීවිත හින්දු හා බෞද්ධ ආකල්පවලට අනුව යහපත් මට්ටමකට ගෙන ඒම ය. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජ්ිතවාදී සංවර්ධනයක් ඔස්සේ පාරිභෝගික තණ්හාධික එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන තරගකාරී සමාජයක් ඇතිකිරීම නො වේ. අපි මානව අයිතිවාසිකම් සඳහා නව අර්ථකථනයක් දෙමු.