Main Logo

Showing posts with label විඤ්ඤාණය. Show all posts
Showing posts with label විඤ්ඤාණය. Show all posts

Monday, 16 April 2012

කපිල පීරිස් මහතාගේ මනස

කපිල පීරිස් මහතා නැවතත් හොරගල් ඇහිලීම පටන්ගෙන ඇත. පසුගිය අප්‍රියෙල් මස 4 වැනි දා කෙම් පහන්වල ඇත්ත නැත්ත ගැන ලිවීමේ දී ඔහු ඉතා පැහැදිලිව මා විසින් අවුරුදු විසිපහක් පමණ කාලයක් තිස්සේ කරන ලද දේ අභියෝගයට ලක්කරයි. මහු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය හෙළා දකියි. විඤ්ඤාණය ද ඇතුළු සියළු සංකල්ප ශූන්‍ය බව මා කියන විට ඔහු එය හෙළා දකියි. කළ යුත්තේ තර්ක කීිරීම නොව භාවනා කිරීම මගින් ඊනියා පරමාර්ථ ධර්ම ඔස්සේ දුකින් නිදහස් වීමට උත්සාහ කිරීම බව පවසයි. කපිල පීරිස් මහතා අවසානයේ දී කරන්නේ අපේ ප්‍රවාද තැනීමට ඇති සීමිත ඉඩ වුව ද නැති කිරීම ය. ඔහුගේ ප්‍රකාශවලට පිළිතුරු දීමට යෑමේ දී අපේ ප්‍රවාද ලිපිවල රිද්මය කැඩී යයි. ඇතැම් විට ඒ මහතාට අවශ්‍ය ඒ ඉඩ ඇහිරීම විය හැකි ය. එබැවින් විදුසර අපට ලබාදෙන ඉඩ ඇහිරීමට ක්‍රියා නොකර අපේ මත පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

කලකට පෙර කපිල පීරිස් මහතා බටහිර විද්‍යාවට වැදගත් කමක් ලබා දෙමින් අපේ පැරණි දැනුම් බටහිර විද්‍යාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහු රේ විජේවර්ධන මහතා වැන්නන් රටට වැඩදායක යමක් කළ කරන විද්‍යාඥයන් ලෙස හැඳින් වීය. ඒ අය බටහිර විද්‍යාව මෙරට යොදා ගත්තා මිස වෙනත් දෙයක් නො කළහ. ඒ අය එසේ කිරීම පිළිබඳ මට පුදුමයක් නැත. එහෙත් කපිල පීරිස් මහතා ඔවුන්ට සහතික ලබා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එදා එසේ කළ ඒ මහතා අද බටහිර විද්‍යාවේ සීමාකම් ගැන කතා කරන්නේ ඒ පිළිබඳ ව අදහස් දක්වන පළමු තැනැත්තා ඒ මහතා ය යන හැඟීම පාඨකයන්ට ඇති කිරීමට උත්සාහ දරමිනි. බටහිර විද්‍යාව මනීන්ද්‍රිය ඉන්ද්‍රියක් ලෙස යොදා නොගැනීම එහි මූලික ම අර්බුදය බව තමා පෙර සඳහන් කර ඇතැයි කපිල පීරිස් මහතා අප්‍රියෙල් 4 වැනි දින ලිපියෙහි සඳහන් කරන්නේ කිනම් අරමුණකින් ද යන්න පැහැදිලි ය. ඒ මහතාට අවශ්‍ය බටහිර විද්‍යාවේ අර්බුදය ගැන වැදගත් ම අදහස් ඒ මහතා අතින් දැක්වී ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීම ය.

කපිල පීරිස් මහතා සැදැහැත් බෞද්ධයකු විය හැකි ය. එහෙත් ඒ මහතා වුව ද භාවනා කරන බවක් මම නො දනිමි. ඒ කෙසේ වෙතත් මනස විඤ්ඤාණය ආදිය ගැන භාවනා කිරීමකින් තොරව මා පවසන දෑ ප්‍රතික්‍ෂෙප කිරීමේ පරම අභිලාෂය ඒ මහතාට වෙයි. භාවනා කළත් නොකළත් සංකල්ප යොදා ගැනීමෙන් අප කරන්නේ මගඩියකි. සංකල්පීය ලෝකය ශූන්‍ය බව වටහා ගැනීම නිවන් අවබෝධ කරගැනීම යැයි මම සිතමි. එහෙත් එය වටහා ගන්නේ තර්කයෙන්වත් මනසෙන්වත් විඤ්ඤාණයෙන්වත් වෙනත් එවැන්කින්වත් නොවන බව මගේ වැටහීම ය. පටිච්ච සමුප්පදායෙන් අපට කියන්නේ අවිද්‍යාව නැති විට නාම රූප විඤ්ඤාණ ආදිය නැති බව ය. විඤ්ඤාණයක් ඇත්නම් එතැන අවිද්‍යාව වෙයි. එහෙත් පිරිනිවන් පානා තෙක් රහතන් වහන්සේලා විඤ්ඤාණය යොදා ගනිති. එසේ වුවත් එලෙස යොදා ගන්නේ එය මායාවක් බව අවබෝධ කරගනිමිනි. නැති විඤ්ඤාණය ඇති ලෙස ගැනීම මායාවක් බව උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇත. ගිණි හුළක් කැරකැවීමේ දී අපට පෙනෙන ගිනි වළළ්ල මායාවක් බව අපි දනිමු. රහතන් වහන්සේ විඤ්ඤාණය මායාවක් බව දනිති. එහෙත් එය අප ගිනි වළල්ල ගැන දැනගැනීම මෙන් නොවන බව අවධාරණය කළ යුතු ය.

බුදුන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ දැයි කපිල පීරිස් මහතා අසයි. ඒ මහතා එසේ අසන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගැරහීමටත් මා බෞද්ධයකු නොවන බව කීමටත් ය. කලකට පෙර කපිල පීරිස් මහතා උදයසිරි වික්‍රමරත්න මහතා කී දෙයක් අනුමත කරමින් පැවසුවේ මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයකු නොවන බව ය. භාවනා නොකිරීමෙන් නිසි අවබෝධයක් ලැබිය නොහැකි යැයි පවසන කපිල පීරිස් මහතා අනෙක් අය පවසා ඇති අදහස් වැරදි යැයි කියන්නේ භාවනාවෙන් ලත් දැනුමක් උපයෝගී කරගනිමින් දැයි ප්‍රශ්න කරමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනු පෘථග්ජන මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම පිළිබඳ ප්‍රවාදයකි. අවශ්‍ය නම් එය ඥානවිභාගයක් ලෙස හඳුනාගත හැකි ය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳ කපිල පීරිස් මහතා ප්‍රසිද්ධ විවාදයකට එනු ඇතැයි අපේක්‍ෂා කරමි. හොරගල් අහුලන්නේ නැතිව කෙලින් ම වාද කිරීම උචිත යැයි සිතමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ නිවන් දැකීමක් ගැන නො වේ. සත්ත්වයන් දැනුම නිර්මාණය කරන බවත් (සොයා ගැනීමක් නොව) එය තම ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂව කෙරෙන බවත් ඉන් කියැවෙයි. ඊනියා විද්‍යාව පමණක් නොව සාහිත්‍යය නාට්‍ය ආදිය ද එවැනි සාපේක්‍ෂතාවක් දරන්නේ යැයි අපි කියමු. දැනුම යම් චින්තනයක් මත පදනම් වන්නේ යැයි ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙයි. උදයසිරි වික්‍රමරත්න මහතාගේ සුද්දෙක් ඔබ අමතයි නම් නාට්‍යය නිර්මාණය කෙරී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදී අදහස් උපයෝගී කරගනිමිනි. උදයසිරි වික්‍රමරත්න මහතා ඒ බව නොදන්නවා නො වේ. එහෙත් ඉතා අකෘතඥව ඒ මහතා මා බෞද්ධයකු නොවන බවත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බවත් පවසයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ද සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ඥානවිභාග ප්‍රවාදයක් බව කපිල පීරිස් මහතාටත් උදයසිරි වික්‍රමරත්න මහතාටත් අමතක වී ඇති බව පෙනෙයි.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුව අප නිර්මාණය කරන දැනුම විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. විඤ්ඤාණය හට ගැනෙන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. විඤ්ඤාණය යනු මායාවකි. නිවන් අවබෝධය යනු ඒ මායාව මායාවක් බව අවබෝධ කරගැනීම ය. නැතහොත් නිවන ද විඤ්ඤාණයට සාපේක්‍ෂ වන්නේ නම් හා නිවන් දැකීමෙන් පසුව ද විඤ්ඤාණය පවතින දෙයක් ලෙස සැලකෙන්නේ නම් නිවන් අවබෝධයෙන් පසුව ද අවිද්‍යාව වෙයි. ඒ පටිච්චසමුප්පදායට අනුව විඤ්ඤාණය හටගන්නේ ද අවිද්‍යාව හේතුකොටගෙන බැවිනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ දී ලැබූ අවබෝධය කිසිම විඤ්ඤාණයකට සාපේක්‍ෂව ලත් එකක් නොව විඤ්ඤාණය මායාවක් බව අවබෝධ කරගැනීමෙන් ලද්දකි. කපිල පීරිස් මහතා අන්‍යාලාපයෙන් අසන්නේ භාවනා නොකර මා එවැනි නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන්න ය. සමහර විට එය පසුගිය භවයන් හි දී භාවනා කිරීමෙන් මා ලත් දැනුමක් විය හැකි ය. ඒ එසේ නොවුවත් භාවනානුයෝගී පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේ ගේ නිවනේ නිවීම පෙත් පෙළෙහි ද එවැනි අදහස් දැකගත හැකි ය. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක් බව අවබෝධ කරගන්නේ විඤාණයකින් නොවන බව නම් මට පැහැදිලි ය. එහෙත් එතැනින් එහාට යෑමට නම් භාවනාව අත්‍යවශ්‍ය වෙයි.

සංගත ආකෘති තැනීම පිලිබඳ ව ද කපිල පීරිස් මහතා ගරහයි. ඒ මහතාට ඇත්තේ නිවන් අවබෝධ කිරීමේ අවශ්‍යතාව පමණක් විය හැකි ය. එහෙත් මට නම් එයට අමතරව දේශපාලන අවශ්‍යතා ද වෙයි. ඒ දේශපාලන අවශ්‍යතා සඳහා නිවන කල්දැමීම ද මට ප්‍රශ්නයක් නො වේ. අද මුළු මහත් ලෝකය ම බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී ඇත. අපේ නිදහස සම්පුර්ණ වන්නේ අප බටහිර දැනුමෙන් ද නිිදහස් වූ විට ය. එහි දී අපි බටහිර දැනුම විවේචනය කිරීමටත් අපේ දැනුමක් නිර්මාණය කිරීමටත් මැදිහත් වෙමු. පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ අප කළේ එයයි. අපි එහි සාර්ථකත්වය විශේෂයෙන් ම දේශපාලනයෙහි දී අත්දුටුවෙමු. එහෙත් තවදුරටත් කළ යුතු දෑ කිහිපයක් ඉතිරි වී ඇත. ඒ සම්පුර්ණ වන තුරු අපි අපේ ව්‍යායාමය අත් නො හරිමු. බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කපිල පීරිස් මහතා කතා කිරීමට පළමුව අප ඒ පිළිබඳ ව අපේ විවේචනය ඉදිරිපත් කර ඇති අතර රේ විජේවර්ධන මහතාගේ ගණයේ බටහිර විද්‍යාව පිළිගත් අය සමග ඒ පිළිබඳ නොයෙකුත් වර වාද කර ඇත්තෙමු. කපිල පීරිස් මහතා බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සමග බටහිර විද්‍යාව විවේචනය කරමින් විවාදවලට එළඹි අවස්ථා ගැන අපි නො දනිමු. එහෙත් බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කතාකළ පළමු තැනැත්තා වීමට ඒ මහතාට අවශ්‍ය නම් එය ලබාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් කිවයුතු දෑ වෙයි. අප සංගත ව කරුණු ඉදිරිපත් කළ යුතු යැයි ද වියුක්ත ප්‍රවාද නිර්මාණය කළ යුතු යැයි කියන්නේ ද ඒ ඔස්සේ ඊනියා පරමාර්ථ සත්‍යයක් දැන ගැනීමට නොව එසේ නොමැතිව අද දවසේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම පරාජය කළ නොහැකි බැවිනි. එහෙත් අපේ වෑයම එයට පමණක් සීමා නො වේ. ඈත අතීතයේ සිට මිනිසුන් දෙවියන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත් බව අපි දනිමු. පැරණි සිංහලයෝ ද එසේ කළහ. ගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේ දී දෙවියන්ගෙන් දැනුම ලබා ඇත. අවුරුදු තුන හතරක කාලයක සිට අපි දෙවියන්ගෙන් ද දැනුම ලබාගනිමු. අප බොහෝ විට කියා ඇති පරිදි රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් අපට දැනුම ලැබී ඇත්තේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙනි. එමෙන් ම ගොවිතැනෙහි දී ද වෙදකමෙහි දී ද අපි දෙවිවරුන්ගෙන් දැනුම ලබමු. ඉදිරියෙහි දී වෙනත් කරුණුවල දී ද එසේ දැනුම ලබාගැනීමට අපේක්‍ෂා කරමු. ඒ ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුමකි. භාවනානුයොාගීව ඒ දැනුම ලබාගැනීමට හැකි කිහිප දෙනෙකු ම පසුගිය අවුරුදු තුන ඇතුළත බිහි වී ඇත. එහෙත් ඒ දැනුම ද සංකල්පීය දැනුමක් බවත් එහි ඊනියා සාර්ථකත්වය ද සංගත වීම මත පදනම් වන බවත් අපි කියමු. ඇතැම් විට ආධ්‍යාත්මික ව ලබාගන්නා ලෞකික දැනුම සාර්ථකත්වයකට පත්වීමෙන් පසු අපේ දැනුම තාර්කිකව හා ඉන්ද්‍රියානුභූතව නිර්මාණය කිරීම අපට අත්හැරීමට හැකිවනු ඇත.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ බටහිර විද්‍යාවේ මූලික ම අර්බුදය මනේන්ද්‍රිය මගහැරීම නොවන බව ය. එය ද එක් හේතුවක් වෙයි. එහෙත් ඒ අතර තවත් කරුණු බොහෝමයක් වෙයි. කපිල පීරිස් මහතා නොදනිතත් මේ කරුණු රාශියක් අපි සාකච්ඡා කර ඇත්තෙමු. මනස යොදා ගත්ත ද එයින් ඊනියා සත්‍යවූ දැනුමක් ලැබේ යැයි විශ්වාස නොකළ යුතු ය. අපට ලැබෙන්නේ අපේ කටයුතු සඳහා විශ්වාස කළ හැකි දැනුමක් පමණකි. මනස ඇතැයි සැලකුව ද නැත් ද ලෞකික වශයෙන් අපට ලැබෙන දැනුම හුදු සම්මුති දැනුමක් පමණකි. ඒ දැනුම ද මනසට සාපේක්‍ෂ වෙයි. එක් එක් අයගේ භාවනා ක්‍රම මත, විශ්වාස මත ඒ ඒ අයට සාපේක්‍ෂ දැනුම් ලැබෙයි. ඒ දැනුම් නිවන් අවබෝධය සමග පටලවා ගත යුතු නො වේ. නිවන සාපේක්‍ෂ වන්නේ කුමකට දැයි ඇසීම ම වැරදි ප්‍රශ්නයකි. නිවන යනු දැනුමක් නො වේ. නිවන් අවබෝධය යනු ගුරුත්වාකර්ෂණය අවබෝධ කර ගැනීම වැන්නක් නො වේ. නැති ගුරුත්වාකර්ෂණයක් ඇතැයි අප අවබෝධ කරගන්නේ අපේ මනස්වල ම ප්‍රශ්නයක් නිසා ය.

නිවන යනු දැනුමක් නොව සියළු ලෞකික දැනුම් නැති දැනුම් බව අවබෝධ කර ගැනීම ය. එය ඊනියා විඤ්ඤාණයක් මත පදනම් ව, ඊනියා විඤ්ඤාණයකට සාපේක්‍ෂව, දැන ගන්නක්වත් දැක ගන්නක්වත් නො වේ. එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කර ගැනීමකි. ඒ එකක්වත් සංකල්ප නො වේ. සංකල්පීය ලෝකය ශූන්‍ය වෙයි. මා සඳහන් කරන කරුණු කපිල පීරිස් මහතා විශ්වාස කරන බුදුදහමට පටහැණි වනවා විය හැකි ය. එහෙත් එපමණකින් මා බෞද්ධයකු නොවේයැයි කීමට ඒ මහතාට නො හැකි ය. ඒ මහතා නිවැරදි බුදුදහම දන්නේ යැයි ඒ මහතාට කිව හැකි ද? ඒ සඳහා ඇති මිනුම් දණ්ඩ කුමක් ද?

අද සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිර මතිමතාන්තර පුනරුච්චානය කරන පඬියන්ට මා ප්‍රශ්නයක් වී ඇත. කපිල පීරිස් මහතා දැනුවත් ව හෝ නො දැනුවත් ව හෝ ඔවුන්ට ආයුධ සපයයි. මා කපිල පීරීස් මහතා කියන පිරිසිදු බුද්ධාගමෙහි නොවන බව කීමෙන් ඉන් වාසි ගනු ඇත්තේ පඬියන් ය. ඔවුන් සිංහල බෞද්ධයනට කියනු ඇත්තේ මා අඩු තරමෙන් බෞද්ධයකුවත් නොවන කුහකයකු බව ය. එවිට සිංහල බෞද්ධ ජනතාව අතර මා නොපිළිගන්නා තත්වයකට පත්කර පාළුගෙයි වළං බිඳීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ තම කාර්යය ඉටු කිරීමෙන් පසු, එනම් මා බෞද්ධයකු නොවේ යැයි පඬියන් ද සමග එකතු වී මතයක් ඇති කිරීමෙන් පසු තවමත් කකුලක් මාක්ස්වාදයේ ගසාගෙන සිටින ව්‍යාජ ජාතිකවාදී පක්‍ෂයකට උඩගෙඩි දී කපිල පීරිස් මහතා ඔවුන් සමග හෝ පඬියන් සමග හෝ වාදවලට නොඑළඹෙන නිසා ය. කපිල පීරිස් මහතාගේ බුදුදහම සමග එකඟ නොවන්නන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇතත් කපිල පීරිස් මහතා ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කිසිවක් නො කියයි. ඔහුට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු ඇතැයි සිතන මනස මා නැතැයි කීම පමණක් ද?

Monday, 12 March 2012

බටහිර යටත්විජිතවාදයෙන් නිදහස්වීම

අපි සියල්ලෝ ම නැති ආත්මයක්, නැති විඤ්ඤාණයක්, නැති මනසක් ඇතැයි ගනිමින් කෙළවරක් නොපෙනෙන සංසාරයේ සැරිසරමු. ඔවුන්ගෙන් සමහරකු නැති නිදහසක් ඇතැයි ගනිමින් ජෙනීවාහි හා වෙනත් සංසදවල බටහිරයන් අපට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම්, යුද්ධාපරාධිකරණ ආදිය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම් කුමන්ත්‍රණ ලෙස සලකති. තවත් සමහරු නැති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි ගනිමින් එයට විසඳුම් ඉදිරිපත් කරති. උගත් පාඩම් කොමිසමේ මහත්වරු ද ඇතැම් වාමාංශික යැයි කියාගන්නා ඇමතිවරු ද ඒ ගණයට අයත් වෙති. මේ අතර මගේ ලිපි තම වෙබ් අඩවියේ පළකර ඒවාට තම දේශපාලන අඥාන හිතවතුන් ලවා විවේචන ලියා ගන්නා ව්‍යාජ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරිකයෝ නැති ජර්මන් ප්‍රොතෙස්තන්තයක් ඇමරිකාවේ ඇතැයි සිතති. ඔවුන්ගේ ම එකෙක් නැති සංකල්පීය ශූන්‍යතාවක් ඇතැයි ගනිමින් මට නැති මාධ්‍යමිකවාදයක් ඇති කිරීමට උත්සාහ කරයි. නැති දේ ඇතැයි ගැනීම එසේ ගන්නා අයට අවසානයේ දී දුකක් වෙයි.

මා ජාතිකත්වය පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විවේචනය කරන්නේ අද ඊයේ නො වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ සිට ම මම එසේ කරමි. එපමණක් නොව විශ්වවිද්‍යාල ඇතුළු ඔවුන්ගේ අධ්‍යාපනය ද විවේචනය කරමි. එහෙත් ව්‍යාජ දේශහිතෛශී ජාතික ව්‍යාපාරිකයන් පෙන්වීමට උත්සාහ කරන්නේ මා විශ්‍රාම යෑමෙන් පසුව පමණක් මෙරට ඇති බටහිර විශ්වවිද්‍යාල විවේචනය කරන බව ය. කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල ඇති වූ ප්‍රශ්නවල දී සිදුවූයේ කුමක් දැයි නොදන්නේ මෙවැනි අඳ බාලයන් පමණක් විය හැකි ය. මෙරට දෙමළ ජනතාවට නැති ඉතිහාසයක් ඇති කළෝ බටහිර මෙන් ම මෙරට ද සිටින පඬියෝ ය. ව්‍යාජ දේශහිතෛෂීහු ද ඒ නැති ඉතිහාසය ඇතැයි කීහ. ඇතැයි කී ඒ ඉතිහාසය නැති බව පෙන්වා දුන්නේ කාලය වෙබ් අඩවියෙන් මිස කසිකබල් වෙබ් අඩවිවලින් නො වේ. කසිකබල් වෙබ් අඩවියට අනුව දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව දන්නා බහුතරයක් ඇත. එහෙත් ඒ නැති බහුතරයකි. තවමත් බටහිර විද්‍යාවට පින් සිදුවන්නට තම ජීවිකාව කරගන්නන්ට බටහිර විද්‍යාව විවේචනය කිරීම නයාට අඳුකොළ බව මම ඔවුන් ඉඳහිට කරන ප්‍රකාශවලින් දනිමි. තම ගෝලබාලයන් ලවා මා ථෙරවාදයට විරුද්ධ මාධ්‍යමිකවාදියකු කර ප්‍රෙතෙස්තන්තවාදය ගැනවත් නොදන්නා අඥානයකු බවට පත්කර ජාතික ව්‍යාපරයෙහි පොල්මඃකාරයන් වීමට යත්න දරන මොවුහු මා බටහිර විශ්වවිද්‍යාලවල උගන්වමින් ම ඒ විවේචනය කළ ආකාරයට තමන් ජීවිකාව කරගැනීමට යොදාගන්නා බටහිර විද්‍යාව හා දැනුම විවේචනය නො කරති.

ධනවාදය හා ප්‍රොතෙස්තන්තවාදය ගැන අධ්‍යයනයක් කර පොතක් ලියු මැක්ස් වෙබර් ප්‍රොතෙස්තන්තවාදය ලෙස හැඳීන්වූයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රෙතෙස්තන්තය ය. මේ ප්‍රොතෙස්තන්තය කතෝලික චින්තනයට විරුද්ධ එකක් විය. එය බිඳී එන්නේ ම ප්‍රොටෙස්ට් යන ඉංගිරිසි වදනෙනි. වෙබර්ට අනුව ධනවාදය ඇතිවීමට ප්‍රොතෙස්තන්තවාදය බලපෑවේ ය. සිංහල ථෙරවාද බෞද්ධ චින්තනනයෙහි පදනම්වන නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ලෙස චින්තන පර්ෂදයෙහි අප කියන්නේ මේ සියල්ල පහළොස්වැනි සියවස අග ඇරඹි බව ය. අපි නාගර්ජුනපාදයන් වහන්සේ ලොව පහළ වූ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස පිළිගත්ත ද උන්වහනසේ මතුකළ බුදුන් වහන්සේ දෙසූ ශූන්‍යය (අභාවප්‍රාප්ත මහාචාර්ය ඩබ් ඇස්කරුණාරත්න මහතාගේ කෘති කියවීමෙන් බුදන් වහන්සේ ශූන්‍යය දේශනා කර ඇති ආකාරය දැනගත හැකි ය) හා සංකල්පීය ශූන්‍යභාවය ඉතා ඉහළින් අගය කළ ද සසරට සාපේක්‍ෂව නිවන ගැනීම සහ පරම ශූන්‍යතාවය නො පිළිගනිමු. අපේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය නො වේ. එය අයින්ස්ටයින්ගේ ඊනියා සාපේක්‍ෂතාවාදය ද නොවන්නේ ඔහු සැබවින් ම කතා කළේ සාපේක්‍ෂතාවක් ගැන නොව නිරපේක්‍ෂ ගැන වීම නිසා ය. නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය ද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට වෙනස් ය. අප මේ සියල්ල පිලිබඳව බොහෝ දේ ලියා ඇත.

පහළොස්වැනි සියවස අගභාගයේ කතෝලික චින්තනයට අභියෝගාත්මක ව නව චින්තනයක් දකුණු යුරෝපයෙහි සංස්කරණය වීමට පටන් ගත්තේ ය. නව චින්තනයට ග්‍රීක චින්තනය ද යුදෙව් චින්තනය ද වෙබර් සඳහන් කරන පරිිදි කතෝලික පල්ලියෙහි ජෙසුයිට් වැනි නිකායවල කැපකිරීම ආදිය ද එකතුවීණි. ඒ අර්ථයෙන් අපි ඒ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. එය ප්‍රධාන වශයෙන් ම කතෝලික චින්තනයට එරෙහිව ඇතිවිණි. එහි මූලික ලක්‍ෂණ අතර සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කර එයට වැදගත් තැනක් දීම, ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දීම, ස්වාභාවික සම්පත් (ගැහැණුන් හා යුරෝපීය නොවන මිනිසුන් ද ඇතුළුව) මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය සඳහා මවා හෝ මැවී හෝ ඇතැයි සැලකීම (මෙය කතෝලික චින්තනයට ද පොදු වූ නමුත් ඔවුන්ට ඒ ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය), දෙවියන් වහන්සේ ලෝකය සුදු පිරිමියාට පවරා දී ඇතැයි සෑලකීම, ඒ හේතුවෙන් ස්වාභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය සූරාකෑමට යොමු වීම, තම සංස්කෘතිය එකම සංස්කෘතිය ලෙස සෑලකීම, එබැවින් ලෝකයාට එම සංස්කෘතිය පැටවීීමට කටයුතු කිරීම, තම ආර්ථික ක්‍රමය අනෙක් රටවලට ද පැටවීීම, ඒ සඳහා දේශපාලන හා අවි බලය යෙදවීම (චීනයට ද වෙඩි බෙහෙත් පිළිබඳ දැනුමක් තිබූ නමුත් ඔවුහු අනෙක් රටවලට තම සංස්කෘතිය පැටවීමට අවි බලය යොදා නොගත්හ), තරගකාරීත්වය අගය කිරීම, කතෝලික ත්‍රිකෝටික න්‍යාය අත්හැර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වෙත ආපසු යෑම, වියුක්ත චින්තනය, රූපික වියුක්ත දැනුම හා සාධාරණීකරණය (කතෝලික චින්තනයෙහි දැනුම සංයුක්ත විය. පැරණි වෛදික දැනුමෙහි සාධාරණීකරණයට වැදගත්කමක් නොවීය), ස්වසිද්ධාත්මක ක්‍රමය, ඌනිතවාදය, පද්ධතීන් සමස්තයක් ලෙස නොගැනීම, ඒ වෙනුවට පද්ධතිය යන්න කොටස්වල එකතුවක් ලෙස සෑලකීම, අනෙක් පැත්තට පද්ධතිය කොටස්වලට කැඩීම හා වෙන් කිරීම, ඒ සමග පද්ධතීන් යාන්ත්‍රික ලෙස ගැනීම, බාහිර ලෝකයක් ඇතැයි උපකල්පනය කිරීම, බාහිර ලෝකය වාස්තවික යථාර්ථයක් ලෙස සැලකීම, දෙවියන් වහන්සේ බාහිර ලෝකය යම් නීති පද්ධතියකට අනුව මවා ඇතැයි සැලකීම, ඒ නීති දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස මවා ඇති මිනිසාට විශේෂයෙන් ම සුදු පිරිමියාට දැනගත හැකි යැයි සැලකීම, සංසිද්ධිවලට බාහිර හේතු සෙවීම (මෙය දෙවියන් වහන්සේ බාහිර හේතුවක් වීම නිසා පැන නෑගෙන්නකි), පද්ධතියක අභ්‍යන්තරය ද ඊනියා බාහිර ක්‍රියා හා ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සැලකීම ආදිය වෙයි.

මේ සියල්ල එක රැයකින් ඇතිවූවා නො වේ. ඉතාලි පුනරුදයෙන් ආරම්භ වී, පෘතුගීසි ස්පාඤ්ඤ ආක්‍රමණ, යටත්විජිතවාදය, ලූතර්ගේ රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රොතෙස්තන්තවාදය, ගැලීලියෝගේ ඊනියා පරීක්‍ෂණ, නිව්ටන්ගේ වියුක්ත ප්‍රවාද නිර්මාණය, එංගලන්තය පාප්වහන්සේගෙන් මිදීම, කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, හේතුවාදය, ධනවාදය, ආලෝකනය ආදී අවස්ථා රාශියක් පසුකර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ගමන්කර ඇත. මේ සියල්ල පහළොස්වැනි සියවසේ ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිය සටහන් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිතවාදය යන්න හුදු දේශපාලන සටන්පාඨයක් වී ඇති අතර ස්වභාව ධර්මය විනාශ වී යයි. බටහිරයන්ට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. ඔවුන්ට අද ප්‍රශ්නවලට විසඳුම් නැත. අද ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. එය ද වැඩි කලකට නො වේ. පශ්චාත්නූතනත්වය යනු නූතනත්වයේ කඩාවැටීම ය. ඔවුන්්ට අද සාධාරණ ප්‍රවාදවත් ගොඩනගා ගත නො හැකි ය. බටහිරයන්ගේ තකතීරු රසායනික කෘෂිකර්මය හේතුවෙන් අද පස විස වී සතුන් හා මිනිසුන් වස විස ආහාර වශයෙන් ගන්නා පිරිසක් බවට පත් වී ඇත. රජරට පෙදෙස්වල ගොවි ජනතාව පලිබෝධනාශක නිසා පසට එකතුවන ආසනික් හේතුවෙන් දින දෙකකට එක් අයකු බැගින් මිය යන තත්වයකට පත් වී ඇත. රජරට වකුගඩු රෝගීන්ගේ සිරුරුවල ආසනික් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙ හා වෙනත් තැන්වල කරන ලද පර්යෙෂණවල ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය කිත්සිරි සේනානායක, වෛද්‍ය කේ දහනායක, වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු තවත් බටහිර වෛද්‍යවරුන් හා සාරංග ෆොන්සේකා මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත්කරන ලද පත්‍රිකාවකට පසුගිය දා බටහිර වෝහාරික ව්‍යාධිවේදීන්ගේ සැසි වාරයක දී රිදී පදමක්කමක් හිමි වී ඇත. මා මෙවැනි පදක්කම් සතපහකටවත් මායිම් නොකරන නමුත් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට ඇස් ඇර බැලීමට පදක්කමේ දිස්නය හේතුවනු ඇත. මේ පරීක්‍ෂණ සිංහල විද්‍යාවක් නැවත බිහිකිරීම සඳහා ගත් සංක්‍රමණීය පියවරක් පමණකි. අද ඇතැමුන්ට කැලණිය විශ්වවවිද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ නැවැත්වීමට අවශ්‍ය වී ඇත. ඒ රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය සඳහා නම් නොවන බව පැහැදිලි ය. ජෙනීවාහි දී පමණක් නොව, රජරටේදීත්, කැලණියේදීත් වෙනත් විශ්වවිද්‍යාලවලත් ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අපේ ම මුදල්වලින් වස විස ගෙන ඒ අපේ ආහාර පද්ධතියට එකතුකර අපි මිය යන්නෙමු. බටහිර අධ්‍යාපනයෙන් බිහිකෙරෙන අයගෙන් ඉතා වැඩි පිරිස රටට ද්‍රෝහී ප්‍රතිපත්තියක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය වෙනුවෙන් අනුගමනය කරති. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සිංහල වෙදකම දියුණු බවත් මිනිසුන් ජීවත්කිරීමට නොව මැරීමට බටහිර කෘෂිකර්මය හේතු වන බවත් පැහැදිලි ය. අප බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වනු ඇත්තේ අවසානයේ දී බටහිර දැනුමෙන් නිිදහස් වීමෙනි.