Main Logo

Showing posts with label විශ්වවිද්‍යාල. Show all posts
Showing posts with label විශ්වවිද්‍යාල. Show all posts

Wednesday, 1 January 2014

පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට


බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ ඇයි දැයි ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට  තවමත් වැටහෙන්නේ දැයි නො දනිමි. බොහෝ විට අපට වැටහෙන්නේ අප ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණ ය. අනෙක් දේ අපට නො තේරෙයි. එවිට අප බොහෝ විට කියන්නේ අදාළ කරුණ නිසි ලෙස තේරුම්කර දී නොමැති බව ය. පස්වැනි පංතිය තෙක් ඉගෙන ඉන්පසු පාසල හැර යන සිසුවකුට සාමාන්‍ය පෙළ මට්ටමේ උගන්වන ආකාරයෙන් (ආකෘතියෙන්) යමක් තේරුම්කර දුනහොත් බොහෝවිට ඔහුට එය අවබෝධ නොවීමට ඉඩ ඇත.

මෙරට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින්ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැඳී තිබීම ය. ළමුන් පාසල්වලට ඇතුළත්කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්කාර සම්බන්ධය සමග ගැට ගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයයට අනූනමයක් නොව එයටත් වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නේ හොඳ යැයි කියන සමාජ වැදගත්කමක් ඇති රැකියාවක් කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපෙරොත්තුවෙන් හෝ නො වේ.

බටහිර රටවල මෙය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඒ රටවල ආර්ථිකය විසින් ඇතිකෙරෙන රැකියාවලට පුහුණු කිරීම සඳහා සැකසී ඇති බැවිනි. එහෙත් අප වැනි රටවල එසේ නො වේ. අපේ අධ්‍යාපනය කලින් ම සකස් කෙරී ඇත. ඒ බොහෝ දුරට බටහිර අනුකරණයකි. අප රැකියා ඇතිකරන්නේ ඉන්පසුව ය. එය ද අතනින් මෙතනින් කෑලි එල්ලූ මෙරටට නොගැලපෙන ආර්ථිකයක් හා ඊනියා සංවර්ධනයක් ඉලක්ක කරගනිමිනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති නමුත් සමාජයවත් ආණ්ඩුවවත් ඒ පිළිගැනීමට තවමත් සූදානම් නැත. බොහෝ විට කෙරෙන්නේ විසඳුම ලෙස ඉංගිරිසි කලිසමට ( ඇඳුමට - මෙය චීන ද ඉංගිරිසි ද යන පඬිකතා අවශ්‍ය නො වේ) අණ්ඩ දැමීම, කෑලි එල්ලීම, පමණ ය. එයින් ප්‍රශ්නය තවත් අවුල් වෙයි.

ප්‍රාථමික අධ්‍යාපනයෙන් කෙරෙන්නේ දරුවන්ට ඉතා සංයුක්ත දැනුමක් තොරතුරු ලෙස ලබා දීම ය. එහි වියුක්ත බවක් නැතිවා නො වේ. අකුරු කියවීම හා ලිවීම වුව ද තරමක් වියුක්ත ය. ශබ්දයක් සංකේතයකින් නිරුපණය කිරීම සු්‍රළු වශයෙන් වුව ද වියූක්ත ක්‍රියාවකි. ඇතැම් සිසුනට අකුරු කියවීම ද ප්‍රශ්නයක් වන්නේ එබැවිනි. අංක ගණිතය කෙසේ වුවත් එයටත් වඩා වියුක්ත ය. සිසුන් සෑහෙන සංඛ්‍යාවකට අංක ගණිතය අමාරු වීම පුදුමයක් නො වේ.

හයවැනි ශ්‍රේනියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයට වඩා විශ්ලේෂණයට තරමක් බර අධ්‍යාපනයකි. එහි වියුක්ත බව වැඩි ය. එහෙත් ඔරොත්තු නොදෙන්නක් නො වේ. එසේ වුවත් වියුක්ත චින්තනය අසීරු සිසුහු මේ අවස්ථාවේ දී අධ්‍යාපනයෙන් සමුගනිති. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ ගණිතය බොහෝ සිසුන්ට අසීරු ය. බොහෝ සිසුහු ගණිතයෙන් අසමත් වෙති. බටහිර විද්‍යාව දිගට ම හැදෑරීමට බලාපොරොත්තු නොවන සිසුන් සඳහා වියුක්ත බව අඩු ගණිත නිර්දේශයක් සකස් නොකරන්නේ එයින් ඒ සිසුන්ගේ සමාජ වැදගත්කම අඩුවන්නේ යැයි සිතන බැවින් ද? ඒ සිසුන්ට තමන්ට හැකි ගණිතයකින් සමත්වීමට ඉඩ නොදී වියුක්ත බවින් වැඩි ගණිතයකින් අසමත් කිරීමෙන් ඔවුන්ගේ සමාජ වැදගත්කම වැඩිවන්නේ ද? 

උසස් පෙළ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. සෞන්දර්ය විෂය වුව ද හැදෑරෙන්නේ වියුක්ත පසුබිමක ය. ප්‍රායෝගික පරීක්‍ෂණ නොවන්නට ගීතයක් ගැයීමට, චිත්‍රයක් ඇඳීමට නොහැකි සිසුන් වුව ද චිත්‍රකලාවේ ඉතිහාසය, එනම් බටහිරයන්ට සාපේක්‍ෂව ලියැවුණු ඉතිහාසය බටහිර විචාරය ආදී කරුණු දැනගෙන අදාළ විෂයයන්ගෙන් උසස් පෙළ සමත්වනු ඇත. අනෙක් අතට හොඳින් වියුක්ත ව සිතීමට හැකි එහෙත් ප්‍රායෝගික ව පරීක්‍ෂණ කිරීමට අසමත් සිසුන්ට බටහිර විද්‍යාවේ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් අසාධාරණයක් සිදුවෙයි. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. බුදුදහමෙහි සමාජ දර්ශනය වැනි බුදුන්වහන්සේවත් සිතී යැයි කිව නොහැකි බටහිර පට්ටපල් බොරුවලට විශ්වවිද්‍යාලවල දී ලැබෙන වැදගත්කම වැඩිවෙයි. කිසිම ශ්‍රද්ධාවක් නැති බෞද්ධ සංස්කෘතිය පිලිබඳ උපාධිධාරීන් බිහිවන්නේ එවැනි පසුබිමක ය. විශ්වවිද්‍යාලයෙහි දී වියුක්ත බව වැඩිවුවත්  උසස් පෙළ දී තිබූ විචාරශීලී බව ගිලිහෙයි. නිර්මාණශීලී බව මොට වෙයි. ප්‍රශ්නපත්‍ර සකස් කරනු ලබන්නේ ගුරුවරුන් විසින් වීම හේතුවෙන් සහ ගුරුවරුන්ට නිර්මාණශීලීව ප්‍රශ්නපත්‍ර සකස්කිරීමට නොහැකි බැවින් වියුක්ත බව ද කටපාඩම් කිරීමෙන් ලබාගත හැකි අවස්ථාවක් උදාවෙයි. පංති සාමාර්ථ ලබාගත් බොහෝ උපාධිධාරීන්ට ඇත්තේ කටපාඩමින් ලබාගත් වියුක්ත අධ්‍යාපනයකි. එයටත් වඩා අභාග්‍යයක් තිබිය හැකි ද? ඔවුහු ආකෘතික උගත්තු වෙති.

ඉතා කෙටියෙන් නමුත් මේ වෙනස්කම් මෙහි සඳහන් කළේ පහේ ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් පුහුණු කරන සිසුන් තෝරාගැනීම සඳහා සුදුසු පරීක්‍ෂණයක් නොවන බව කීමට ය. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණය ගැන ද කිව යුත්තේ එය ය. සුපශාස්ත්‍ර පර්යේෂණකරුවකුට සිසුන්ගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල උපාධි ප්‍රතිඵල අතර සහසම්බන්ධයක් තිබේ දැයි ඊනියා පර්යේෂණයකින් දැනගත හැකි ය. 

එක් එක් අවස්ථාවල දී ඒ ඒ අවස්ථාවේ රාමුවට හැඩගැසීමට හැකි සිසුවෝ ඒ ඒ අවස්ථාවේ දක්‍ෂ යැයි නම් කෙරෙති. ප්‍රාථමික පාසලේ දක්‍ෂකම් පෙන්නුම්කර උසස් යැයි සම්මත පාසල්වලට ඇතුළත්වන සිසුන්ගෙන් යම් පිරිසක් දිගින් දිගට ම තම දක්‍ෂකම රැකගැනීමට අසමත් වෙති. එයට නව පාසල් පරිසරයට හැඩගැසීමට නොහැකි වීම ආදී වෙනත් හේතූන් ද, තිබිය හැකි නමුත්, ප්‍රාථමික අධ්‍යාපනයේ හා ද්විතීයික තෘතීයික අධ්‍යාපනවල අතර ඇති වෙනස ද එහි දී බලපාන බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විචාරයට තෝතැන්නක් නොවන බව මම අත්දැකීමෙන් ම දනිමි. එහි දී බොහෝ විට දක්‍ෂතා පෙන්වන්නෝ අදාළ ආකෘතියට හැඩගැසීමට හැකි වූවෝ ය. යමකු  දක්‍ෂයකු වන්නේ යම් පරිසරයකට ආකෘතියකට සාපේක්‍ෂව ය. 

ඊනියා පර්යේෂණ හා එහි ප්‍රතිඵල ලෙස ලැබෙන පශ්චාත් උපාධි ගැන කීමට ඇත්තේ වඩාත් ශෝචනතය කතාවකි. එංගලන්තයේ, අමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා නැගෙනහිර යුරෝපයේ ආචාර්ය උපාධිවලට පුහුණු කිරීමේ දී යොදාගන්නා විධික්‍රම එකිනෙකින් වෙනස් වෙයි. එහෙත් එහි පොදු බවක් ද ඇත. මුලික වශයෙන් ගත්කල පශ්චාත් උපාධිවලින් කෙරෙන්නේ බටහිර රටවලට ඇති ප්‍රශ්නවලට එතෙක් තමන් දන්නා (නිර්මාණය කරගත්) දැනුම ඇසුරෙන් විසඳුම් සෙවීම ය. එහෙත් එය ද නොකෙරෙන, උපාධි නිබන්ධනයට හුදු දත්ත එක්රැස්කිරීම් පමණක් කෙරෙන අවස්ථා ද ඇතැම් විට දැකිය හැකි ය. 

කාල් පොපර්  විසින් කියන ලද ආකාරයේ අසත්‍යකරණ එහි දී නො සිදුවෙයි. එමෙන් ම ආචාර්ය උපාධිවලට හෝ ඊනියා පර්යේෂණ මත ප්‍රදානය කෙරෙන විද්‍යාපති, ශාස්ත්‍රපති, දර්ශනපති ආදී උපාධිවලට හෝ ඉදිරිපත් කෙරෙන නිබන්ධවලින් දැනුමට ප්‍රදානයක් කෙරෙන්නේ  යැයි කීම ද වැදගත් කම රකින බොරුවක් පමණකි. ගැටළු විසඳීම් හැරෙන්නට ඉන් සිදුවන ඊනියා ප්‍රදානයක් නැත. ඇතැම් නිබන්ධවලින් කෙරෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට දත්ත එක්රුස්කිරීම් පමණකි. 

කෙසේ වෙතත් මේ නිබන්ධන ඉදිරිපත් කිරීමේ ආකෘති වෙයි. අවශ්‍ය වන්නේ ආකෘතිය අනුව දත්ත රැස්කර, ඇතැම් විට ගැටළුවක් විසඳා නිබන්ධය ලිවීම ය. එහි දී නිර්මාණශීලීත්වය ප්‍රථම උපාධි මට්ටමෙන් ද පහතට වැටෙයි. වැදගත් වන්නේ ආකෘතිය ය. මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ය. සූපශාස්ත්‍රයේ දී ඒ ඒ අවස්ථාවෙහි දී කළ යුත්තේ කුමක් දැයි පොතේ සඳහන් කෙරී ඇත. නිබන්ධ ඉදිරිපත් කිරීමට වැඩ කෙරෙන්නේ ද ඒ අයුරෙන් ය. අද ඊනියා පර්යේෂණ විධික්‍රම (research methodology)  යනුවෙන් ඉගැන්වෙන්නේ මේ සූපශාස්ත්‍ර ක්‍රමවේදය ය. 

ඊනියා පර්යේෂණ පත්‍රිකාවලින් ද සමස්තයක් ලෙස ගත්කල දැනුමට කෙරෙන ප්‍රදානයක් නැත. ආකෘතියට අනුව දත්ත රැස්කර ආකෘතික විශ්ලේෂණයක් මගින් ඊනියා නිගමනවලට එළඹීම මෙහි දී ද සිදුකෙරෙයි. එහෙත් මේ දත්ත රුස්කිරීම් හා ගැටළු විසඳීම් මගින් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කිරීමට දක්‍ෂයන්ට ඇතැම් විට කල්පනා කිරීමට අවස්ථාව උදාවෙයි. ඔවුහු බොහෝ විට අනෙක් අයගේ දත්ත හා විසඳුම්වල යම් පරස්පර දකිති. ඒ පරස්පරවලට විසඳුම් නිර්මාණය කිරීම නම් දැනුම නිර්මාණය කිරීමකි. 

එහෙත් එලෙස දැනුම නිර්මාණය කරන්නෝ විරල වෙති. ඔවුහු ග්‍රීක යුදෛවු ක්‍රිස්තියානි චින්තනයෙහි කිමිදුණු අය වෙති. එසේ නොමැතිව කළ හැකි නිර්මාණයක් නැත. බටහිර අධ්‍යාපනයෙන් බටහිර රටවල එවැන්නෝ ද බිහිකෙරෙති. ඔවුන් සමහර විට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පරීක්‍ෂණවල දී  එතරම් දක්‍ෂතා නොපෙන්වූ අය ද විය හැකි ය. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එවැන්නන් සොයාගැනීම ප්‍රශ්නයක් නො වේ. ඇල්බට් අයින්ස්ටයින් එවැන්නෙක් විය. 

අපේ රටෙන් එලෙස බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කරන්නන් බිහි නොවන්නේ අපට ඒ චින්තනය ආගන්තුක බැවිනි. අපෙන් බිහිවන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය ආදිය ඉහළින් සමත්වන්නන් පමණකි. මෙරට ජනමාධ්‍ය එවැන්නන්ට විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ අපට අදාළ රාමුවල  එවැනි ආකෘතික දක්‍ෂයන් මිස දැනුම නිර්මාණය කරන්නන් බිහිකර ගැනීමට නොහැකි බැවින් විය හැකි ය. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ චින්තනයෙහි වුවත් දැනුම නිර්මාණය කරන්නන්ට සමාජ වැදගත්කමක් හිමි නො වේ. එනම් සමාජය විසින් එවැන්නෝ එලෙස නො පිලිගැනෙති. එයට හේතුව මහාවිහාරික සම්ප්‍රදාය විසින් දැනුම නිර්මාණය කිරීමට වැටකඩුළු බැඳ ලැබ තිබීම ය. 

මේ කරුණු අපට වැදගත් වන්නේ ගැලීලියෝගේ බොරුව තේරුම් ගැනීමට යෑමෙහි දී ය. මහාචාර්ය අමරතුංග මහතාට ගැලීලියෝගේ බොරුව අවබෝධ වීමට ඉඩක් නැත්තේ ඔහු මෙරට ආකෘතික රාමු අධ්‍යාපනයෙන් බිහිවූවකු බැවිනි. එමෙන් ම ඔහු මහාවිහාර සම්ප්‍රදායේ පතාක යෝධයකු වූ බැවිනි. ගැලීලියෝ නිවුටන් හෝ අයින්ස්ටයින් හෝ මෙන් සුසමාදර්ශී වෙනසක් කළ අයෙක් නො වූහ. එහෙත් ඔහු නව චින්තනය මත පදනම් ව රාමු වෙනසක් සිදු කළේ ය. 

අප පසුගිය සතියේ සාකච්ඡා කළේ  මේ රාමු වෙනස ය. ඒ වෙනස සමග ඔහු බටහිර විද්‍යාවේ අත්තිවාරම ද දැමී ය. ඒ අත්තිවාරම අන්කිසිවක් නොව ප්‍රත්‍යක්‍ෂය නොවූ වියුක්ත පට්ටපල් බොරු ගෙතීම ය. දැනුම ප්‍රත්‍යක්‍ෂය නොවූ කල, සංයුක්තය නොවී වියුක්තය වූ කල, බොරු ගෙතීම අමාරු කාර්යයක් නො වේ. අමාරු කාර්යය වනුයේ සංගත ව බොරු ගෙතීම ය.  ගැලීලියෝ බොරුව සංගත කිරීම සඳහා එතෙක් පැවති රාමුව වෙනුවට වෙනත් රාමුවක් ඉදිරිපත් කළේ ය. පොල් ගෙඩිය අල්ලපු වත්තේ නොවැටී ගහ මුල වැටෙන්නේ ඇයි ද යන්න ඔහු තේරුම් කළේ රාමුව වෙනස් කිරීමෙනි.     


නලින් ද සිල්වා

2014-01-01

Saturday, 25 August 2012

අධ්‍යාපනයේ අර්බුදය හා ආණ්ඩුවේ අර්බුදය

පසුගිය සතියේ අපි අධ්‍යාපනයේ අර්බුදය හා ආචාර්ය සමිති සම්මේලනයේ අර්බුදය ගැන කතා කළෙමු. අධ්‍යාපනයේ ඊනියා අර්බුදය මේ වසරට සීමා නොවූ උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල දෝෂ, ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ ආණ්ඩුව අස්ථායී කිරීමේ අරමුණෙන් කරන වැඩ වර්ජනය හා මූලික වශයෙන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ සමාජ සංචලනය සඳහා අධ්‍යාපනය යොදාගැනීමෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදයක් නො වේ. කෙටියෙන් කිවහොත් අද ආචාර්ය සමිති සම්මේලනය, ඇතැම් ගුරු සංගම්, ජ වි පෙ, එ ජා ප, ආණ්ඩුවේ සිටින ඊනියා වමේ දේශපාලන පක්‍ෂ ආදිය හා ඒ පක්‍ෂවලට හිතවත් ජඩමාධ්‍යවේදීන් ආදීන් විසින් උලුප්පනු ලබන ප්‍රශ්න අද අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙහි ඇතත් ඊනියා අධ්‍යාපන අර්බුදයක් නම් නැත. මේ බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් ද සහභාගි වූ සංවාද දෙකක් මගින් රූපවාහිනි නාලිකා දෙකක මම පැහැදිලි කර දුන්නෙමි. එමෙන් ම චින්තන පර්ෂදය මගින් ආචාර්ය සමිති සම්මේලනයට කරන ලද ආරාධනයක් අනුව පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකට පැමිණ සම්මේලනයේ සභාපති ලෙස නොව පුද්ගලයකු ලෙස කතාකළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා ඔහුගේ දේශපාලනයට හිතවත් පුද්ගලයන් කිහිප දෙනකු ඇතුළත් වූ පිරිසට ද ඒ පිළිබඳ ව කරුණු දැක්වූයෙමි. එමෙන් ම ඉරිදා දිවයින, විදුසර හා දි අයිලන්ඩ් පුවත්පත් ඔස්සේ ද ඒ පැහැදිලි කර ඇත්තෙමි. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නයට මුළුමනින් ම වගකිවයුත්තේ එක්තරා ගුරු සංගමයක්, ජ වි පෙරමුණට, එ ජා පක්‍ෂයට හිතවත් ජඩමාධ්‍යවේදීන් හා ඔවුන්ට අනුබල දුන් මහාචාර්ය තටිල් මහතා ය. තටිල් මහතා හැරෙන්නට අනක් අය හා එ ජා ප හා ජ වි පෙ නායකයෝ එය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර අදාළ ඇමතිවරුන්ට බොරු චෝදනා කරමින් ආණ්ඩු විරෝධී ජනමතයක් ඇතිකර ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමුකිරීමට කටයුතු කළහ. එ ජා පක්‍ෂයේ කරු ජයසූරිය මහතාට අනුව විශ්වවවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ක්‍රියාත්මක කර නැත. මා දන්නා ආකාරයෙන් නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙවන වර ඉසෙඩ් ලකුණු ගණනය කරවූයේ තටිල් ක්‍රමය අනුව ය. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ ක්‍රමයට වෙනස් ක්‍රමයක් නඩු තීන්දුවෙන් ප්‍රකාශ කළේ දැයි මම නො දනිමි. එවැනි ක්‍රමයක් ප්‍රකාශකර ඇත්නම් එය නොසලකා හැරීම ගැන උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා වහාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පියවර ගත යුතු ය. නැතහොත් ශ්‍රෙෂ්ඨාධිකරණය කියා ඇත්තේ කුමක් දැයි ජනතාවට පැහැදිලි කළ යුතු ය. ආණ්ඩුව අර්බුදයට යන්නේ මෙවැනි ප්‍රශ්නවල දී නිසි පියවර නොගැනීම නිසා ය.

ඒ කෙසේ වෙතත් පසුගිය අවුරුදු විසිපහක කාලයක අධ්‍යාපනයෙහි තිබූ ප්‍රශ්න වර්ධනය වී අද අර්බුදයක් ඇති වී නැත. එකල ද නාගරික පාසල්වල ද ගුරු හිඟයක් තිබිණි. අවුරුදු පනහකට ඉහත මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරික්‍ෂණයට පෙනී සිට සති කිහිපයක් ඇතුළත වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙහි එයට පසු වසරෙහි එම පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ට ගණිතය ඉගැන්වීමට මට පත්වීමක් ලැබුණේ ඒ ගුරු හිඟය නිසා ය. අද නාගරික පාසල්වල එවැනි උග්‍ර ගුරු හිඟයක් නැත. එහෙත් තත්වය එදාට වඩා යහපත් නමුත් ග්‍රාමීය පාසල්වල ප්‍රශ්නය විසඳී නැත. එකල ද ඇතැම් පාසල්වල වැසිළිකිළි නොතිබිණි. මා ඉතා හොඳින් දන්නා කරුණක් නම් මා බාලාංශ පංතිවල ඉගෙනගත් පාසලේ අද ඇති පහසුකම් අවුරුදු හැටකට එපිට තිබූ පහසුකම්වලට වැඩි බව ය. අද ග්‍රාමිය පාසල් වැසෙන්නේ නම් එයට හේතු දෙකකි. එකක් අද බොහෝ දෙමව්පියන් තම දරුවන් වැඩි පහසුකම් ඇති නාගරික පාසල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනීමත්් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබීමත් ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලේ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් එකසිය හතළිහකගෙන් සියයට අසුපහක් පමණ රාජකීය ප්‍රාථමික පාසලේ ඉගෙන ගත් සිසුහු වූහ. අද රාජකීය විදුහලේ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වන පන්සියයකට ආසන්න සිසුන්ගෙන් බහුතරය වෙනත් පාසල්වල, විශේෂයෙන් ම කොළඹින් පිට පළාත්වල, ඉගෙන ගත් සිසුහු වෙති. අද රට ඇතුළත සිසුන්ගේ මෙන් ම දෙමව්පියන්ගේ ද කොළඹට සිදුවන බුද්ධි ගලනය (එය එසේ යැයි හඳුන්වන්නේ නම්) ගැන කතා කරන්නේ කවු ද? රටේ තවමත් මේ ඊනියා සංවර්ධනයෙහි රැකියා ඇත්තේ බස්නාහිර පළාතේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ය. අද එදාට වඩා මධ්‍යම පංතිය ප්‍රසාරණය වී ඇති බවත් ඔවුන්ගේ අභිලාෂ ද ඒ සමග වර්ධනය වී ඇති බවත් අමතක නොකළ යුතු ය. අද ආවාර්ය සමිති සම්මේලනයේ ඇත්තන් කිසිම වැටහීමක් නැතිව සඳහන් කරන දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රමාණයක් එකතුවන්නේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් හා බස්නාහිර පළාතෙනි. ඒ නිසා ම දෝ අද පෙරටත් වඩා ග්‍රාමිය පාසල්වලට නොගෙස් නගරයේ රැඳෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි ය. ඉදිරියේ දී මධ්‍යම පංතිය තව තවත් ප්‍රසාරණය වන විට මේ ප්‍රවණතාව තවත් වැඩිවනු ඇත. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රශ්නයක් මිස අධ්‍යාපනයේ අර්බුදයක් නො වේ. අධ්‍යාපනයේ වෙනත් ප්‍රශ්නයක් නම් ඇත. අද ලබාදෙන ක්‍රිස්තියානි යටත්විජිතවාදී අනුකාරක අධ්‍යාපනය රටට අහිතකර ය. විශ්වවිද්‍යාල ආචාර්ය සමීිති සම්මේලනය ප්‍රශ්න තේරුම් ගනු වෙනුවට බොරු කියමින් ජනතාව රැවටීමට උත්සාහ කිරීම කණගාටුදායක ය.

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් තේරුම් නොගත්තත් දැනටමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කෙරී ඇති බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක මහතා පෙන්නුම් කර ඇත. ඒ අතර ම ආණ්ඩුවේ මුළු වියදමෙන් 8%ක් පමණ අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙයි. මේ බව මා ද පෙන්වා දී ඇත. යුනෙස්කෝ වාර්තාවේ ඇත්තේ තළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න මිස ආණ්ඩුව දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වියදම් කළයුතු බව නො වේ. ආණ්ඩුවේ මුළු වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 28%ක් පමණ වන විට ආණ්ඩුව ඒ මුළු වියදමෙන් 20%කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරන්නේ කෙසේ ද? අනෙක් අතට මා කිහිප වතාවක් ම පැහැදිලි කර ඇති ආකාරයට රටේ ආරක්‍ෂාව (මෙය ධනපති රාජ්‍යයේ ආරක්‍ෂාව යැයි කසිකබල් මාක්ස්වාදී විග්‍රහයක් කරන පුස්සන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ත්‍රස්තවාදයට රට යට කිරීමට ය. ) සඳහා පසුගිය අවුරුදු පහකට අධික කාලයක වෙන්කරන ලද මුදල එයට පෙර වෙන්කරන ලද මුදලට වැඩි ය. ඒ හේතුවෙන් ආණ්ඩුවේ මුළු වියදමෙන් ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන්කරන මුදල අඩු වෙයි. රත්නසිරි වික්‍රමනායක මහතා කියා ඇති පරිදි ආණ්ඩුව තව තවත් නවීන ආයුධ මිල දී ගත යුතු ය. ජනාධිපතිතුමා ද පවසන පරිදි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙයි. එය පිටුපස ඇත්තේ ඒංගලන්තය හා අනෙක් බටහිර රටවල් ය. ඔවුහු විසුරුණු දෙමළ ජනයා ද, සම්බන්ධන්ලා ද, සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන් ද ඒ සඳහා යොදා ගනිති. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති සිංහල විරෝධී මත දරන්නෙකි. ඔහු රටේ ආරක්‍ෂාව සඳහා මුදල් වෙන් කිරීමට විරුද්ධ වෙයි. ඔහුට එය ඊනියා ධනපති රාජ්‍ය ආරක්‍ෂාවක් සඳහා මුදල් යෙදවීමකි. එමෙන් ම සම්මේලනයට සම්බන්ධ කසිකබල් මාක්ස්වාදීහු ද සිංහල විරෝධී මත දරති. මේ එක් මාක්ස්වාදියකු ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පුද්ගලික පාසල්වල වුවත් ඉගැන්වීම සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් දිය යුතු බවට කළ යෝජනාවක් සම්මේලනයේ ඉල්ලීම් අතර වෙයි. එය බොරු යැයි කීමට සම්මේලනයේ ඇතැමුන් උත්සාහ දරන්නේ ගලේ මළපහ කළ බළලුන් මෙනි. 6% ඉල්ලීම හැරෙන්නට සම්මේලනයේ අනෙක් ඉල්ලීම් සරසවි ඇදුරන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු ය යන්න මත පදනම් වෙයි. එහෙත් ඇදුරෝ එසේ විශේෂිත පුද්ගලයෝ නො වෙති. ඔවුන්ගේ ප්‍රධාන කටයුත්ත ඉගැන්වීම වුව ද ඔවුන්ට ඒ පිළිබඳ පුහුණුවක් නැත. අවුරුදු විස්සකට පෙර එවැනි යෝජනාවක් සාකච්ඡා වූ විට තමන්ගේ ඊනියා විශේෂිත බව ගැන සඳහන් කරමින් ඇතැම්හු එයට විරුද්ධ වූහ. සරසවි ඇදුරන් විශේෂ පරීක්‍ෂණ කරන්නේ ද නැත. පර්යේෂණ ආයතනවල පර්යේෂකයෝ ද පර්යේෂණ කරති. සරසවි ඇදුරන්ගේ දීමනා වැඩිකර ඇති නමුත් ඔවුන් ෂයිලොක් මෙන් ඉල්ලන්නේ මූලික වැටුප වැඩිකරන ලෙස ය. එය කළ නොහැක්කකි. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂම ඒ ඉල්ලීම අනුමත කළහොත් වැටුප් අරගල රැල්ලක් ඇති වී ආණ්ඩුව අස්ථායී වනු ඇත. බොහෝ ඇදුරන්ට ඒ ගැන අවබෝධයක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය අය ඒ දනිති. සම්මේලනය 6% ඉල්ලීම සඳහා එක්වී සිටින්නේ ඉසෙඩ් අවුල ඇතිකළවුන් සමග ය. ඒ සියල්ලටමත් වඩා වර්ජනය සම්මේලනයේ මා දැන සිටි එහි ව්‍යවස්ථාව අනුව නීති විරෝධී ය.

එහෙත් මේ දුර්වලකම් සියල්ල තිබිය දී එස් බී දිසානායක මහතා මගහැර වෙනත් ඇමතිවරයකු සම්මේලනය සමග සාකච්ඡා කරන්නේ ඈයි ද යන්න ප්‍රශ්නයකි. සම්මේලනය සමග සාකච්ඡා සඳහා අද ආණ්ඩුවේ උසස් නිලතල දරණ විශ්වවිද්‍යාල ඇදුරන් තිදෙනකු සහභාගි වන්නේ කිනම් පදනමකින් ද යන්න එයටත් වඩා ප්‍රශ්නයකි. උසස් අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගැනීමට හෝ උපදෙස් දීමට හෝ ඔවුන්ට ඇති සුදුසුකම කුමක් ද? ඔවුන් අඩු තරමෙන් මෙරට උසස් අධ්‍යාපනය ගැන හැදෑරූ අය ද? ආණ්ඩුව තමන් ශක්තිමත් පදනමක සිටිය දී කිසිම ආකාරයකින් යුක්ති යුක්ත කළ නොහැකි ඉල්ලීම් මත පදනම්ව ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා වර්ජනයේ යෙදී සිටින්නන් සමග සාකච්ඡා කිරීමට විශේෂ ඇමතිවරයකු යොදා ඇත්තේ මේ ත්‍රිමූර්තියේ අවශ්‍යතාවට ද? මාධ්‍ය මගින් පුම්බනු ලැබ ඇති එහෙත් ප්‍රශ්නය අවුල් කරන ඒ තිදෙනා සමග ඕනෑම දිනයක ඕනැම තැනක ඕනෑම වේලාවක මේ ප්‍රශ්නය ගැන වාද කිරීමට මම සූදානමින් සිටිමි. සම්මේලනයේ නිලධාරීන් ආණ්ඩුවේ ඊනියා වමේ ඇමතිවරුන් හමු වී ඇති බවට වාර්තා වෙයි. මාක්ස්වාදීන් යැයි කියාගන්නා මේ ඇමති ත්‍රිත්වය දළ ජාතික හා දේශීය නිෂ්පාදිිත ගැන නො දනිත් ද? ඔවුන් ද බොරු පංති සටන් ගැන කතාකරන සිංහල විරෝධීන් බවත් සිංහල ජනයාගේ ඡන්දය නොවන්නට ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් පත්වීම් ලබාගැනීමට නොහැකි බවත් ඔවුන්ට අමතක වී ඇත. අද ආණ්ඩුවේ බොහෝ දෙනාට (මැති ඇමතිවරුන්ට මෙන් ම නිලධාරීන්ට ද) අමතක වී ඇති කරුණක් නම් ආණ්ඩුව පවතින්නේ එකම එක කාරණයක් නිසා බව ය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ය. එය රණවිරුවන්ගේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාර්යයක් මිස ආණ්ඩුව අර්බුදයට ගෙන යන සිංහල විරෝධීන්ගේ් කාර්යයක් නොවේ. ඇතැමුනට අවශ්‍ය ආණ්ඩුව දිගුකාලීනව පවත්වාගෙන රටට සේවය කිරීම නොව ස්වාර්ථය සඳහා ව්‍යාජ විසඳුම් මගින් තාවකාලික ව ආණ්ඩුච පවත්වා ගැනීම ය.

Monday, 16 January 2012

විශ්වවිද්‍යාල අර්බුදය

මෙරට සියළු විශ්වවිද්‍යාල එක්වර විවෘත කර තිබෙන දිනයක් නැති තරම් ය. ඇතැම් විශ්වවිද්‍යාල කාල සටහනකට අනුව මෙන් වසා දැමෙයි. එයට විවිධ හේතු ඇත. ඒ සියල්ලට ම ප්‍රධාන වූ හේතුවක් වෙයි. එය විශ්වවිද්‍යාලවලට මෙන් ම ඉංගිරිසින් විසින් අපට ලබා දෙන ලද බොහෝ ආයතනවලට ද පොදු වෙයි. ඒ ආයතනවලට මෙරට මුල් බැස ගැනීමට (අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට) නොහැකි වී ඇත. බලෙන් පැළ කළ ඇපල් ගස් මෙන් ඒ රැක බලාගැනීමට කෘත්‍රිම පරිසරයක් ඉතා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ යුතු වෙයි. පාර්ලිමේන්තුව, ජනාධිපති ක්‍රමය, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, විශ්වවි්‍යාල, පාසල් පද්ධතිය ආදී රාජ්‍ය ආයතන පමණක් නොව පෞද්ගලික ආයතන ද මුල් අල්ලා නොමැතිවා පමණක් නොව පරිහානිය පමණක් උරුම කරගෙන ඇත. අපි බටහිරට අනුව ජීවත්වීමට උත්සාහ කරමු. එහෙත් අපේ සංස්කෘතිය අපට එයට ඉඩ නො දෙයි. අපට අපේ හර පද්ධතියෙන් ඈත්වීමට නො හැකි ය. එමෙන් ම බටහිර හර පද්ධතිය වැළඳ ගැනීමට ද නො හැකි ය. අපි එක්විට අසුන් දෙදෙනකු පිට යෑමට උත්සාහ කරමු. අප තවමත් නොවැටී සිටින්නේ අපේ දක්‍ෂකමකට නොව සියවස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන්මිත්තන්ගේ හපන්කමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ අපට දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව පරාජය කළ අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ නො හැකි ඇයි? මුළු රටේ ම සියයට එකක්වත් ඡන්ද ඇතැයි සිතිය නොහැකි ජ වි පෙ ජනරළ කණ්ඩායමට විශ්වවිද්‍යාල පාලනය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ඇයි? විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය ව්‍යාජ උගතුන් අතට පත්වන්නේ ඇයි? උපකුලපතිවරුන් ජනාධිපතිවරුන් විසින් පත්කෙරෙන්නේත් ඒ පදවි ලබාගැනීම සඳහා උගතුන් යැයි කියාගන්නා අය තමන් විසින් නූගතුන් ලෙස හැඳින්වෙන දේශපාලනඥයන් පිටුපස යන්නේත් ඇයි? උපකුලපති තනතුරට පත්කිරීමට වෙනත් සුදුසු ක්‍රමයක් වේ යැයි සිතන්නෝ වෙත් ද? ඊනියා නිදහස් ලංකාවේ අයිවෝර් ජෙනිංග්ස්ගෙන් පසුව මහාචාර්ය මළලසේකර මහතා උපකුලපති නොවී මහාචාර්ය ආටිගල මහතා උපකුලපති වූයේ ඇයි? පොලීසිය දේශපාලනීකරණයට ලක්වූයේ ඇයි? රාජ්‍ය සේවකයන්් දේශපාලනඥයන්ගේ සේවකයන් බවට පත්වූයේ ඇයි? ප්‍රශ්න එයින් කෙළවර නැත. එහෙත් ප්‍රශ්න ඇත්තේ අපට පමණක් නො වේ. ඇමරිකාවට ද, එංගලන්තයට ද, ජපානයට ද, සිංගප්පුරුවට ද ප්‍රශ්න ඇත. ඒ ඔවුන්ගේ ප්‍රශ්නය. අපට ඔවුන්ගේ ප්‍රශ්න ද ඇත. ඒ අතර අපේ ප්‍රශ්න ද වෙයි.

අද සිසුන් ලවා ඊනියා වසන්තයක් ඇතිකිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇත. එහෙත් එසේ කිරීමට මග පෑදී ඇත්තේ කෙසේ ද? මා අසා ඇති අන්දමට ආටිගල මහතා එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වීමට ඉතා සියුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. අද විශ්වවිද්‍යාල භූමියක පඳුරකට පයින් ගැසුවහොත් මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් කිහිප දෙනකු විසිවන නමුත් එදා සාමාන්‍යයෙන් එක් අධ්‍යයනාංශයකට සිටියේ එක් මහාචාර්යවරයකු පමණ ය. ඔහු අදාළ අධ්‍යනාංභයේ ප්‍රධානියා ද විය. ඔවුහු උපකුලපති තෝරන මණ්ඩලයේ සාමාජිකයෝ වූහ. උපකුලපති වීම සඳහා මේ සාමාජිකයන් වැඩි පිරිසක් දිනාගත යුතු විය. එසේත් නැතහොත් තමන්ට ඡන්දය දෙන අය අදාළ මණ්ඩලයේ සාමාජිකයන් බවට පත්කරගත යුතු විය. අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් ඡන්දහිමියන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීම අපහසු කටයුත්තක් ද නො වී ය. බටහිර වෛද්‍ය පීඨයේ අධ්‍යයනංශ සංඛ්‍යාව වැඩිකිරීමෙන් බටහිර වෛද්‍යවරයකු වූ ආටිගල මහතාට ශාස්ත්‍ර පීඨයේ මළලසේකර මහතා පරදවා උපකුලපති වීමට හැකි විය. අද ද බටහිර වෛද්‍ය පීඨවල අනවශ්‍ය ආකාරයට අධ්‍යයනංශ ඇත. එසේ තිබීම ඊනියා ශාස්ත්‍රීය තර්ක විතර්ක මගින් යුක්තියුක්ත කිරීමට ද අදාළ පුද්ගලයෝ දනිති. උපකුලපති තනතුර දේශපාලනීකරණයට ලක්වූයේ අද ඊයේ නො වේ. කලින් ක්‍රමය අනුව අද විශ්වවිද්‍යාලයක අධ්‍යයනංශ සංඛ්‍යාව තුන්හාර සියයක් ඉක්මවීමට තිබිණි. දේශපාලනීකරණය යනු හුදෙක් දේශපාලනඥයන්ගේ අණසක පැතිරවීම නො වේ. දේශපාලනය බලය සමග සම්බන්ධ වී ඇත. මළලසේකර මහතා මෙන් ම ආටිගල මහතා ද බෞද්ධයෙක් විය. ඒ මහතා විද්‍යාලංකාර සභාවේ සභාපති වී යැයි සිතමි. එහෙත් බටහිර ජීවන ක්‍රමය හමුවේ සතර අගතියෙන් මිදිය හැකි බෞද්ධයෝ කෙතෙක් වෙත් ද? ඡන්දය විසින් අවුල් කෙරී ඇත්තේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. මහානායක හිමිවරුන්ගේ පත්වීම් ද ඡන්දය මගින් අවුල් කෙරී ඇත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දය යන්න ව්‍යාජයක් බව එරට වැසියෝ තේරුම් ගනිමින් සිටිති. ඔවුන් මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරන්නේ උදාසීනත්වයෙනි. එහෙත් මෙරට ජනාධිපතිවරණයේ දී පමණක් නොව සමානච්ඡන්දයෙන් කටයුතු සිද්ධ කළ යුතු භික්‍ෂු නායක පදවිවලට තෝරා පත්කර ගැනීම්වල දී ද ඡන්්දයට ඉතා විශාල මූල්‍යමය වටිනාකමක් ලැබෙයි. ඒ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගැනීමක් යයි සිතන්නේ ද? මැතිවරණ දුෂණවලින් තොර වූ පාර්ලිමේන්තු මැතිවරණයක් ලංකාවේ පවත්වා ඇත් ද? 1952 මැතිවරණයේ දී ද මුදල් බෙදු බව, ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙනයෑමෙන් හා වෙනත් ක්‍රමවලින් බලපෑම් ඇතිකළ බව මම අත්දැකීමෙන් ම දනිමි. ඡන්ද රැස්වීම් කඩාකප්පල් කිරීම් රාජ්‍ය මණ්ත්‍රණ සභා යුගයේ ද සිදු වී ඇත. සමානච්ඡන්දයෙන් ප්‍රශ්න විසඳූ අපේ සංස්කෘතියට ඡන්දය හඳුන්වා දීමෙන් පසුව එය අවශෝෂණය කරගන්නේ කෙසේ දැයි නොදැනීම අපේ අභාග්‍යයකි.

අද විශ්වවිද්‍යාලවල ඇත්තේ අළුත් ප්‍රශ්න නො වේ. එදත් අදත් ඇත්තේ එකම ප්‍රශ්නයකි. ප්‍රශ්නය දේශපාලනය වෙයි. එනම් බලු පොරයක් වූ බල පොරය ය. බලයට පත්වීම හා හැකිතාක් බලයේ රැඳී සිටීම, තනතුරුවලට පොරකෑම සහ ඒවාහි එල්ලී සිටිම, තම ආධිපත්‍යය තමන්ට වඩා බලයෙන් අඩු යැයි සිතන්නන් මත පැතිරවීම, ජාතික වූ අරමුණක් රහිත ව වැඩකිරීම, පෞද්ගලික අරමුණු පමණක් ඇති වීම ආදිය බොහෝ කලක සිට විශ්වවිද්‍යාලවල පවති. එය බොහෝ සිසුන්ට ද ඇදුරන්ට ද අදාළ වෙයි. එදාට වඩා අද පක්‍ෂ දේශපාලනය ද පෞද්ගලික අභිමතාර්ථ සාධනයෙහි දී යොදා ගැනෙයි. එදා ඩොරික් සූසා, ඔස්මන්ඩ් ජයරත්න වැනි ඇදුරෝ සෘජුව ම සිසුන් සමග දේශපාලනය සාකච්ඡා කළහ. ඔවුන්ට හරි හෝ වැරදි හෝ වේවා ජාතික (ජාතිකත්ව නොවූවත්) අරමුණු විය. ඔවුහු සිසුන්ට දේශපාලන පංති ද පැවැත්වූහ. එහෙත් ඔවුහු රට (පංතිය) වෙනුවෙන් මිස පෞද්ගලික බලයක් සඳහා දේශපාලනය නො කළහ. අවසානයේ දී ඔස්මන්ඩ් ජයරත්න තමා සභාපතිත්වය දැරූ කමිටුවේ වාර්තාවේ නිරදේශ අනුව ඇතිකළ මණ්ඩපයක මණ්ඩපාධිපති ධුරය හෙබවුව ද ඔහු දේශපාලනය කළේ ඒ සඳහා නො වේ. එමෙන් ම ඒ තනතුර ඔහු පසුපස පැමිණි එකක් විය. ඔහු තනතුර පසුපස නො ගියේ ය. අද අවාසනාවකට විශ්වවිද්‍යාලවල කණ්ඩායමක් ලෙස ජාතිකත්ව නොවූව ද යම් ජාතික ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන්නේ ජ වි පෙරමුණේ ජනරළ කණ්ඩායම පමණකි. වෙනත් අයුරකින් කියන්නේ නම් ජාතික දේශපාලනයක් මත ක්‍රියාකරන සිසුන් කිහිප දෙනා ආකර්ෂණය කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත. එහෙත් මේ සිසුනට ඇත්තේ එකම එක ජාතික ප්‍රතිපත්තියක් පමණකි. ඒ කිසියම් හේතුවක් නිසා සමාජයට වෛර කිරීම ය. විශ්වවිද්‍යාල සිසුහු හෝ ඇදුරෝ හෝ අනිවාර්යයෙන් ම රටේ බුද්ධිමත් ම පිරිස නො වෙති. ඔවුහු විභාගවලින් නම් සමත් වී සිටිති. පෙර සියළු ඇදුරෝ ම පාහේ තම විෂයයෙහි උගත්තු වුහ. එහෙත් අද ඇදුරන්නේ සමහරු පමණක් උගත්තු වෙති. බොහෝ දෙනා තම විෂයයේ ප්‍රාමාණික නොව සුළු ප්‍රමාණයක පමණක් දැනුමක් ලද්දෝ වෙති. ඔවුහු කිසිසේත් ම විශේෂිත පුද්ගලයෝ නො වෙති. උසස්වීම සඳහා චක්‍රලේඛයක් ඇසුරෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් වෙයි. ඒ පිළිබඳ ව නම් බොහෝ අය ප්‍රාමාණික උගත්තු වෙති. අවසානාවකාට එදා ද නව ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කළ ඇදුරෝ නො වු හ. සිසුන් අති විශාල බහුතරයකට උසස් පෙළ තරඟකාරීත්වය නිසා ම රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබාගැනීමට ඉඩක් ලැබී නැත. ඔවුන් බොරු කියා රැවටීම අසීරු කරුණක් නො වේ. දේශපාලන අවබෝධයක් නැති මේ තරුණ තරුණියන් බොරු කියා ආවේගකාරී ක්‍රියාවලට පෙළඹවීම ජනරළ සිසු නායකයන්ට පහසු කටයුත්තක් වන්නේ වෙනත් දේශපාලනයක් ක්‍රියාත්මක නොවන නිසාත් එසේ ක්‍රියාත්මක වීමට උත්සාහ කරන අයකුට ජනරළ නායකයන් ඉඩ නොදෙන නිසාත් ය. බොහෝ විට සිසුන් අතර ගැටුම් ඇතිවන්නේ ජනරළ නායකයන්ගේ අනෙක් අයට ඉඩ නොදෙන ප්‍රතිපත්තිය හේතුකොටගෙන ය.

එහෙත් මෙයට ද වඩා ප්‍රශ්නයක් වෙයි. ඒ බලලෝභී ඇදුරන්ගේ ක්‍රියා වෙයි. මේ බලලෝභින්ට ජනරළ දේශපාලනය අවශ්‍ය වෙයි. අද ශිෂ්‍යයන් සංවිධානය කිරීමේ වඩාත් ම හැකියාව ඇත්තේ ජනරළ ජ වි පෙට ය. පසුගිය වසරේ ඒ තිබුණේ ජ වි පෙට ය. මේ ඇදුරෝ ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ නො වෙතිෂ එහෙත් බලය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෙනත් බලධාරීන් වටා කැරකෙති. ඔවුන් අතර ඇදුරියෝ ද වෙති. උසස් අධ්‍යාපන ඇමතිවරයා ඔවුන්ට සවන් දෙන බව පැහැදිලි ය. එහි වරදක් නැත. වරද ඇත්තේ ඔහු ඒ ප්‍රමාණයට ශ්‍රී ල නි පාක්‍ෂික ඇදුරන්ට සවන් නො දීම ය. අද විශ්වවිද්‍යාලවල ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ කැරකෙන ඇදුරන්, ජනප්‍රියවාදී ඇදුරන් හා ජ වි පෙ ඇදුරන් ජනරළ කණ්ඩායමට සහාය දී තනතුරු ලබාගැනීමේ හා පැවතීමේ අපේක්‍ෂාවෙන් නින්දිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ය. මේ ඇදුරන් බොහෝ විට එකට ක්‍රියාකරනු දැකිය හැකි ය. ඔවුහු ජනරළ නායකයන් ආරක්‍ෂා කරති. කැරකෙන ඇදුරෝ බලධාරීන් සමීපයට යෑමට විවිධ උපාය අනුගමනය කරති. මේ ඇදුරෝ ද බොරු කියති. මොවුහු බොරු කියා අනෙක් ඇදුරන් පමණක් නොව අධිකරණය වුව ද නොමග යැවීමට පසුබට නො වෙති. ජනරළ නායකයෝ හා මේ ඇදුරෝ බොරුව හා බොරුව මත පමණක් පදනම් වෙති. බටහිර දැනුමේ නිවට දාසයන් වූ මේ ඇදුරන්ට ජාතිකත්වය නයාට අඳුකොළ මෙනි. අවශ්‍ය නම් තවත් විස්තර ලබාදිය හැකි ය.

Saturday, 10 September 2011

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.