History

Thursday, 9 June 2011

ඉන්දීය බලපෑම්

ඉන්දියාව නැවතත් ලංකාවට හොට දැමීමට උත්සාහ කරයි. අපේ අසල් වැසියා වූ ඉන්දියාව අපේ මිත්‍රයෙක් නො වේ. ඉන්දියාවට අපේ ඥාති සම්බන්ධයක් තිබීමට හැකි ය. එහෙත් ඥාතීන් අතර දරුණු විරුද්ධකාරයන් සිටින බව ද අපි දනිමු. අපට හිතවත් මිතුරන්, ගුරුවරුන්, උපදේශකයන්, ශාස්තෘවරුන් ඉන්දියාවේ බිහිවී නැත. සිදුහත් කුමරු හා අශෝක රජුගේ පුත් මිහිඳු කුමරු ඉපදුණේ ඉන්දියාවේ නො වේ. සිදුහත් කුමරු ඉපදී ඇත්තේ දඹදිව මිස අඩුතරමෙන් භාරතයේවත් නො වේ යැයි මම විශ්වාස කරමි. ඉන්දියාව යනු ඉංගිරිසින් විසින් පිහිටුවන ලද රාජ්‍යයක් මිස අනාදිමත් කාලයක් තිස්සේ පවතින රාජ්‍යයක් නො වෙි.

පැරණි දඹදිවට ආර්යයන් (පඬියන්ගේ දැනගැනීම සඳහා ආර්ය සංස්කෘතිය ගෙන ආ පුද්ගලයන්) පැමිණීමෙන් පසු එකල දඹදිව තිබූ සංස්කෘතිය යම් ප්‍රමාණයකට වෙනස් කෙරිණි. ආර්යයන් අසුපිට ගොස් කරන යුද්ධවල දක්‍ෂයන් වූ නමුත් යාග හෝම ඉක්ම වූ සංස්කෘතියක් ඔවුන්ට නො තිබිණි. එහෙත් දඹදිව මනස වර්ධනය කළ භාවනා, යෝග අභ්‍යාස ආදිය ප්‍රගුණ කළ සංස්කෘතියක්් විය. ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව ආර්ය හා අනාර්ය (ආර්යයන් පැමිණීමට පෙර වූ යන අරුතින් මිස ද්‍රවිඩ යන අරුතින් නො වේ) සංස්කෘතීන් මිශ්‍රවීමෙන් වෛදික සංස්කෘතිය ද භාරතය ද බිහිවන්නට ඇතැයි සිතිය හැකි ය. සිදුහත් කුමරු උපදින සමයෙහි දඹදිව ඊසාන දිග තිබී ඇත්තේ අර්ධ වෛදික සංස්කෘතියකි. ලෞකික වශයෙන් ගත්කල බුදුන්වහන්සේත් නිඝන්ඨනාථ පුත්තයනුත්, වෛදික බ්‍රාහ්මණ සංස්කෘතියට විරුද්ධව පැරණි අනාර්ය සංස්කෘතිය නැවත ඉස්මතු කළහ. කිසි ලෙසකින්වත් මෙය බුදුන්වහන්සේගේ ලෝකෝත්තර මාර්ගය සමහ සංසන්දනය කළයුතු නො වේ. වැඩිකල් නොගොස් ම වෛදිකයෝ බුදුදහමත්, එපමණට නොවූවත් ජෛනාගමත් භාරතයෙන් පිටමං කළහ. අවසානයේ දී බුදුසසුන රැකුණේ කිසි දිනෙක අර්ධ වෛදික තත්වය නොඉක්ම වූ ලංකාවෙහි ය. යම් අයුූරකින් මිහිඳු හිමියන් වඩින විට ලංකාව වෛදික වී තිබිණි නම් බුදුසසුන ලංකාවෙහි පිහිටුවීමටවත් අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඉංගිරිසින් පැමිණීමට පෙර වෛදික භාරතය රාජවාංශික රාජධානි එකතුවක් විය. මේ එක් එක් රාජවංශයක් හා ඔවුන් විසින් පාලනය කෙරුණු ප්‍රදේශයෙහි ජනතාව එකම ජනවර්ගයකට අයත් වූ බවක් මෙයින් නො හැඟෙයි. ඇතැම් රාජවංශයක් කලක් එක් ප්‍රදේශයක් පාලනය කර පසුව ඒ ප්‍රදේශයෙහි වෙනත් රාජවංශයකට පැරදී වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී රාජධානි පිහිටුවා ගත් අවස්ථා ද ඉතිහාසයෙහි සඳහන් වෙයි. අශෝක රජු වුව ද මෞර්ය වාංශික රජකු වූ අතර ඔහු තම වංශය විසින් පාලනය කෙරුණු ප්‍රදේශය විශාල කරගත් පුද්ගලයෙක් විය. භාරතයේ කිසි දිනෙක ජාතික රාජ්‍යයක් ඇති නො වී ය. ඉංගිරිසින්ගේ ආක්‍රමණයෙන් පසු ඔවුන් ඉන්දියාවේ නෛතික ජාතික රාජ්‍යයක් ඇති කළහ. එය අංශභාග ජාතික රාජ්‍යයක් විය. රාජ්‍යයේ වැසියෝ ඉන්දියානුවෝ වූහ. එහෙත් ඔවුහු එක් භාෂාවක් පමණක් කතාකළ පිරිසක් නො වුහ. විවිධ භාෂා කතා කළ සංස්කෘතික වශයෙන් විවිධ වූ ජනතාව ඉන්දියාව නම් ඊනියා ජාතික රාජ්‍යයයෙහි කොටු වී සිටියහ. ඒ අතර මහාරාජා නමින් තමන් හඳුන්වාගත් පිරිසකගේ වාංශික රාජ්‍ය කිහිපයක් ද ඉන්දීය භූමි භාගයෙහි ම තවදුරටත් පැවතිණි. ඉන්දියාවට නිදහස ලබාදීමේ දී මේ මහාරාජාවරුන්ගේ රාජ්‍ය එකතුකිරීම පිලිබඳ ප්‍රශ්නයක් ද වූ නමුත් අවසානයේ දී ඉන්දියාව හා පකිස්ථානය නමින් රාජ්‍ය දෙකක් පිහිටුවා අවුලක් ඇතිකර ඉංගිරිසිහු නාමික ව ඉන්දියාවෙන් පිටව ගියහ.

එහෙත් වැඩිකල් නොගොස් ඉන්දියාව නමින් ඉතිරි වූ කොටසෙහි තව තවත් අවුල් පැන නැගිණි. නව ඉන්දියාව අර්ධ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් විය. එහි ප්‍රාන්ත බෙදා තිබූ අයුරු ඇතැම් ජනවර්ගවලට, විශේෂයෙන් ම දෙමළ ජනවර්ගයට, රුචි නො වී ය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට අගමැති ජවහර්ලාල් නේරු මහතාට භාෂා මත පදනම් ව (ජනවර්ග නොවන බව අවධාරණය කළ යුතු ය) ඉන්දීය රාජ්‍යය නැවතත් ප්‍රාන්තවලට බෙදීමට සිදුවිය. තමිල්නාඩුව දෙමළ භාෂාව කතාකරන ජනතාව විශාල බහුතරය වූ ප්‍රාන්තය විය. මේ අතර උතුරේ හින්දි භාෂාව කතාකරන ජනයාගේ සංඛ්‍යාව ඉතා විශාල වීම හා ඔවුන් අතිවිශාල ප්‍රදේශයක පදිංචිවීම හේතුකොටගෙන හින්දි භාෂාව කතාකරන ජනයා ප්‍රාන්ත කිහිපයකට අයත් විය. කෙසේ වෙතත් හින්දි සමස්ත ඉන්දියාවේ ම එකම රාජ්‍ය භාෂාව වෙයි. එහි ඉංගිරිසි ද නැවත තීරණයක් ගන්නා තෙක් රාජ්‍ය භාෂාවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහෙත් ඉංගිරිසියට හින්දි භාෂාවට ඇති තැන ඉන්දියාවේ නෛතික ව නැති බව අවධාරණය කළ යුතු ය.

ලංකාවේ තත්වය මෙයට වඩා සම්පුර්ණයෙන් ම වෙනස් ය. මෙරට එක්සේසත් ජාතික රාජ්‍යයක් පළමුවරට ඇතිවූයේ පණ්ඩුකාභය රජු දවස ය. එකළ ධනපති ක්‍රමයක් තිබුණේ ද යන්න ජාතික රාජ්‍ය පහළ වූයේ ධනපති ක්‍රමය බිහිවීමෙන් පසුව යැයි සුද්දන්ගෙන් උගත් වඳ අනුකාරකයකුට සුදුසු ප්‍රශ්නයකි. ඇතැමි අවස්ථාවල ඈප කෙනකු නැත්නම් මාපා කෙනකු බලවත් වී රජුට විරුද්ධ ව කැරළි ගසා “ප්‍රාන්ත රාජ්‍ය” පිහිටුවා ගත් අවස්ථා ද නැතිවා නො වේ. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් එළාර එවැන්නකුවත් නොවූ බව ය. ඔහු විජිතපුරය මධ්‍යස්ථානය කරගත් විදේශික ආක්‍රමණියකු පමණක් විය. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ එක්සේසත් ජාතික රාජ්‍යය පිහිට වූ අතර මෙරට අලිඛිත ව්‍යවස්ථාව ද සම්පාදනය කළේ ය. 1506 දී මෙරටට පැමිණි පෘතුගීසීන්ට එක්සේසත් රාජ්‍යය යන්න අවබෝධ කරගත නොහැකි වූ බැවින් ඔවුහු යුරෝපීය දෘෂ්ටි කෝණයකින් ඒ සඳහා විවිධ අර්ථකථන සැපයුහ. 1650න් පසුව ලන්දේසීන් මෙරටට කෝරමණඩල වෙරළින් ගෙන ආ කෘෂිකාර්මික කම්කරුවෝ (වෙල්ලාලයෝ) සිංහල සංස්කෘතියට එක්වීමෙන් වළකනු ලැබූහ. එතෙක් මෙරට සංක්‍රමණය වූවෝ සිංහල සංස්කෘතිය තුළ කිඳා බැස ගත්හ. ලන්දේසීන් තොග වශයෙන් ගෙන් වූ වෙල්ලාලයෝ යථා කාලයේ දී යාපනයේ විසූ සිංහලයන් දෙමළ සංස්කෘතියට ඇතුල් කරමින් වර්තමාන දෙමළ ජනවර්ගය ඇතිකිරීමට මුල් පියවර ගත්හ. එදා ද ඉන්පසු ඉංගිරිසින්ගේ ද අද දෙමළ ජාතිවාදීන්ගේ ද (ඇතැම් සිංහලයෝ ද ඒ ගණයට අයත් වෙති) අවශ්‍යතාව වී ඇත්තේ මේ දෙමළ පිරිස ගොඩනගා ඇති ජාතියට ඇතුල්වීම වැළැක්වීම ය. අද ඇත්තේ ඊනියා ජාතියක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් නොව ගොඩනගා ඇති ජාතියෙන් පිරිසක් බැහැර කිරීමට බටහිරයන් හා ඉන්දියානුවන් ක්‍රියා කිරීම ය.

පැහැදිලිව ම ඉන්දියාවේ හා ලංකාවේ රාජ්‍යය පිළිබඳ ඉතිහාසය වෙනස් ය. එබැවින් ඉන්දියාවේ ප්‍රාන්ත විසඳුම අපට කිසිසේත් නො ගැළපේ. එයට අමතරව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරටට නොගැලපීම පිළිබඳ කලින් ලියා ඇති තවත් කරුණු ද වෙයි. දහතුන්වැනි සංශෝධනය ඉන්දියාව අප මත බලෙන් පැටවුවකි. ංද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ පොලිස් බලතල හා ඉඩම් බලතල ද ක්‍ර්‍රියාත්මක කර දහතුනට ද එහා යන ඊනියා විසඳුමක් ක්‍රියාත්මක කිරීම ය. ලංකාව සම්බන්ධ ප්‍රතිපත්තියේ දී ඉන්දියාව කරුණු දෙකක් මත පදනම් වෙයි. එකක් ඉන්දියාවට කලාපීය සුපිරි බලවතා වීමට ඇති අවශ්‍යතාව ය. අනෙක තමිල්නාඩුවේ බලපෑම ය. ඉන්දියාවට තම පැවැත්ම සඳහා ම ඇතැම් විට තමිල්නාඩුවේ ඉල්ලීම්වලට හිස නැමීමට සිදුවෙයි. ඉන් පැහැදිලිවන්නේ ඊනියා භාෂාව මත නිල වශයෙනුත් නොනිල වශයෙන් ජනවර්ග මත පදනම් වී ප්‍රාන්ත සභා ඇතිකිරීම ඉන්දියාව ගත් වැරදි ක්‍රියා මාර්ගයක් බව ය. අප ඉන්දියාවේ බලපෑම මත එරටට ද හිසරදයක් වී ඇති ව්‍යවස්ථාවක් අනුකරනය කළ යුත්තේ ඇයි?

අනෙක් අතට සිංහල ජනයා දහතුනට විරෝධය පළකර ඇත්තේ එක්වරක් පමණක් නො වේ. ඉන්දියාව දහතුනට එහා යන සංශෝධනයක් අපෙන් බලාපොරෙත්තු වන්නේ සිංහලයන්ගේ විරෝධතාව තුට්ටුකට මායිම් නොකරමිනි. ආණ්ඩු ප්‍රභාකරන් පරාජය කළේ එක් පැත්තකින් පොලිස් බලතල ඉඩම් බලතල දීමට එකඟ වීමට නොහැකි බැවිනි. දහතුනට එහා යන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇතැම් විට තාවකාලික ව ඉන්දියාවේ සහාය ඇතිව ඊනියා සාමයක් ඇතිකිරීමට තිබිණි. එහෙත් සිංහලයෝ එයට විරුද්ධ වූහ. ආණ්ඩුව ප්‍රභාකරන් පරාජය කළේ පොලිස් බලතල දීමට නොහැකි බැවිනි. ඒ අරමුණින් කොටින්ට විරුද්ධව සටන් කර කොටි පැරද වූ ආණ්ඩුවට අද ඉන්දියාව කියන්නේ පොලිස් බලතල හා වෙනත් බලතල දෙන ලෙස ය. මෙහි ඇති න්‍යාය (logic) කුමක් ද? ඊනියා දෙවැනි ලෝකය ජයගැනීමෙන් පසු එංගලන්තයට රුසියාවට ඇමරිකාවට තමන් දිනූ ප්‍රදේශ ආපසු දෙන ලෙස කීවේ නම් කුමක් සිදුවීමට තිබිණි ද? පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය දීමට විරුද්ධව කොටින්ට එරෙහි ව මෙහෙයුම් ජයගැනීමෙන් පසු ඉන්දියාව ඒ කොටින්ට ම පොලිස් බලතල දෙන්න යැයි අපට කරන බලපෑමට අප මුහුණ දිය යුත්තේ ඒ බලපෑම මුළුමනින් ම පරාජය කිරීමෙනි. ඉන්දියාව නිදහස දිනාගත් කාලයේ සිටම සූදානම් වූයේ කලාපයේ බලවතා වී අප රට තවත් භූතානයක් කිරීමට ය. ඒ වැරදී යෑමෙන් පසුව ද ඉන්දියාව තවමත් තම ප්‍රයත්නය අත්හැර දමා නැත. අද දෙමළ ජාතිවාදයට පැවැත්මක් ඇත්තේ බටහිරයන් හා ඉන්දියානුවන් එය පසුපස සිටින බැවින් මිස වෙනත් හේතුවක් නිසා නො වේ. ඉන්දියාවේ කෞටිල්‍යයෝ ලංකාව තම ග්‍රහණය යටතේ තබාගැනීමට වෑයම් කරති. මේ කෞටිල්‍යයන් පරාජය කිරීමට පැරණි පැකේජ් ඇමතිවරුන්ට හැකි ද යන්න අද ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව පැරණි පැකේජ් ඇමතිවරු දහතුනේ ගෝලයන් වීම ය.