History

Saturday, 2 July 2011

ජ වි පෙ හා ජර්මන් තානාපතිගේ මොණර රැඟුම

බටහිර රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින බොහෝ තානාපතිවරුන් සිතන්නේ ලංකාව ඔවුන්ගේ පිළිකන්නය කියා ය. අප රට කරවන්නේ කෙසේ ද? මෙරට තිබෙන ප්‍රශ්න කවරේ ද, ඒවාට විසඳුම් මොනවාද ආදී දහසක් දේ පිළිබඳ උපදෙස් අපට ඔවුන්ගෙන් ලැබේ. ඒ උපදෙස් අප පිළිගත යුතු යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. ඇතැම් විට උපදෙස් නොපිළිපදින්නේ යැයි ඔවුන්ට තේරුම් ගියහොත් ඔවුහු අපට තර්ජනය කරති. අපේ ආර්ථිකය, ඇත්තට ම අප අනුගමනය කරන අප රටේ ඇති ඔවුන්ගේ තකතීරු ආර්ථිකය, විනාශ කිරීමට කටයුතු කරති. ඇඟලුම් ප්‍රශ්නයේ දී යුරෝපීය හවුල හැසුරුණු ආකාරය එයට කදිම නිදසුනක් වෙයි. එහෙත් යුරෝපීයයෝ හා අනෙක් බටහිරයෝ අප රටේ සුවිශේෂත්වය නො දනිති. ආර්ථික සම්බාධක පැමිණවීමෙන් පමණක් අප වැට්ටවීමට නොහැකි බව ද ඔවුහු නො දනිති.

බටහිරයෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ අණසකට යටත් නොවන බව දනිති. එහෙත් බටහිරයන් තමන්ගේ් අරමුණ කරා හෙමින් හෙමින් වුවත් යති. ඒ අරමුණ අන් කිසිවක් නොව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීීම ය. ඒ අරමුණ ඉටුකර ගැනීමට ඔවුන් නොකරණ දෙයක් නැත. එය ආක්‍රමණයක් කරා වුවද යා හැකි ය. බටහිරයන්ට එහි දී අවශ්‍ය වනු ඇත්තේ ආක්‍රමණයට නිමිත්තක් පමණ ය. මෙරට බටහිරයන්  දියත් කිරීමට නියමිත ආක්‍රමණයෙහි නිමිත්ත සෙවීම හෝ සකස් කිරීම හෝ මේ දිනවල එ ජා පක්‍ෂයෙහි ද ජ වි පෙරමුණෙහි ද කාර්යභාරය වී ඇත. රජය පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සකස්කර ඇති විශ්‍රාම වැටුප් පනතට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ජ වි පෙරමුණ හා එ ජා පක්‍ෂය සමත් විය. ඒ හේතුවෙන් අහිංසක සේවකයෙක් ද මියගියේ ය. ඒ පිළිබඳ ව ජ වි පෙ හා එ ජා ප සමහරුන් හැරෙන්නට අනෙක් සියල්ලන් ම කණගාටුවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් ද උද්ඝෝෂණවලට සහභාගි වී ඇති බව පැහැදිලි ය. උද්ඝෝෂකයන් පළමුවෙන් පහර දී තිබුණේ අවි රහිත පොලිස් නිලධාරීන්ට වීම මෙහි දී වැදගත් කරුණක් වෙයි. පොලීසිය මෙයට වඩා කල්පනාකාරී ව හැසුරිණි නම් මේ විනාශය මගහරවා ගැනතමට තිබිණි. එහෙත් එපමණකින් මරණයේ වගකීම ජ වි පෙරමුණෙන් අත් නො හැරෙයි.

ජ වි පෙ අද යැපෙන්නේත් එදා යැපුනේත් රැකියා විරහිත හා අඩු ආදායම්ලාභී ආවේගශීලී තරුණයන් මත ය. එහෙත් මේ තරුණයන් ජ වි පෙ සාමාජිකයන් වන්නේ යැයි වරදවා වටහා ගත යුතු නො වේ. මේ තරුණයෝ බොහෝ විට ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දෙන පවුල්පල දරුවෝ වෙති. දරුවන්් ද බොහෝ විට ඡන්දය දෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට ය. එහෙත් ඇතැම් අවස්ථාවල දී ඔවුන් තම දේශපාලන අරමුණු සඳහා යොදවා ගැනීමට ජ වි පෙරමුණට හැකියාවක් ඇත. මේ තරුණයන් පමණක් නොව උගතුන් යැයි සම්මත පිරිස් ද තම වුවමනාවන් වෙනුවෙන් යොදාගැනීමට ජ වි පෙරමුණට ඇතැම් අවස්ථාවල හැකිවෙයි. මෙය ඊනියා උගතුන්ට නොතේරෙන කරුණක් විය හැකි ය. දොශපාලන අත්දැකීම් නොමැති උගතුන් ද බළල් අත්කරවා ගැනීම ජ වි පෙරමුණට නොහැකි කාර්යයක් නො වේ.  

මිනිසුන්ගේ දේශපාලන ක්‍රියාවලි ඉතා සංකීර්ණ ය. පෞද්ගලිකත්වය ඉස්මතු කරන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් මුළු මහත් සමාජය ම මෙන් ආත්මාර්ථකාරී කෙරී ඇත. එය විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරයාගේ සිට ඇඟලුම් සේවකයා දක්වා ම එකලෙස ක්‍රියාත්මක වෙයි. එයට හේතුව පුද්ගලාභිමාර්ථ වශයෙන් ගත්කල ඔවුන් අතර ගුණාත්මක වෙනසක් නොමැති බැවිනි. ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇත්තේ ප්‍රමාණාත්මක වෙනසක් පමණකි. එක් අයකුට මෝටර් බයිසිකලයක් අවශ්‍ය වන අතර අනෙකාට මොන්ටෙරෝ රථයක් අවශ්‍ය වෙයි. බටහිර අධ්‍යාපනය යොමු වී ඇත්තේ සහතික පත් ඇති ඊනියා ලොක්කන් බිහිකිරීමට මිස මිනිසුන් බිහිකිරීමට නොවන බැවින් මේ තත්වය උද්ගත වී ඇත. මැතිවරණයක දී ඡන්දය දීම හා ඊනියා උද්ඝෝෂණවලට සහභාගි වීම එකක් නොව දෙකකි. ශ්‍රී ල නි පක්‍ෂයට මැතිවරණයක දී ඡන්දය දෙන අයකු තම වැටුප පිළිබඳ ප්‍රශ්නයක දී ආණ්ඩු විරෝධී (ඒ එසේ නොවේ යැයි කීව ද අවසානයේ දී සිදුවන්නේ එයයි) ක්‍රියාමාර්ගවලට අවතීර්ණවන්නේ රට හැටියට නොව පුද්ගලයා ලෙස සිතීමෙනි. ඉතා වැඩි පිරිසකට අවශ්‍ය වන්නේ තම පෞද්ගලික වැටුප හා සේවා පහසුකම් වැඩිකරගැනීම මිස එසේ කිරීමේ දී රටට කුමක් වේද යන්න නො වේ. රටට නොව තම ආයතනයේ සේවය කරන අනෙක් අයගේ වැටුපට කුමක් වේ ද තම වැටුප පමණක් වැඩිකර ගැනීමෙන් ආයතනයේ ස්ථායිතාවට කුමක් වේද යන්න පිළිබඳව සිතන අය කෙතෙක් වෙත් ද? ජ වි පෙරමුණට ඒ පිළිබඳ ෙසෙද්ධාන්තික විශ්ලේෂණයක් නැතිවුවත් ඔවුහු තම පැවැත්ම සඳහා ආයතන අස්ථායි කිරීමට ක්‍රියාකරන බව පැහැදිලි ය.

රට ගැන නොසිතා තම වැටුප ගැන පමණක් සිතන පිරිස වැඩි බැවින් ජ වි පෙරමුණට තම අරමුණු ඉටු කරගැනීම සඳහා යොදාගත හැකි පිරිස් සෑම තැනක ම ඇත. මේ පිරිසගෙන් ඇසුවහොත් ඔවුන් කියනු ඇත්තේ ඔවුන්ගේ උද්ඝෝෂණ හා වෙනත් ක්‍රියාමාර්ග දේශපාලනික නොවන බවත් ඒ හුදෙක් වැටුප් වැඩිකිරීම් හා සේවා පහසුකම් වැඩිකිරීම් සඳහා බවත් ය. එය ඇත්තකි. ඔවුන්ට දේශපාලනික වශයෙන් ජ වි පෙරමුණට ආධාර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. එසේ වුව ද ඔවුහු නොදැනුවත් ම ජ වි පෙරමුණේ අතකොළු බවට පත්වෙති. එහි දී අතකොළුව බවට මහාචාර්යවරයා මෙන් ම ඇඟලුම් සේවකයා ද පත්වෙයි. ඊනියා උගත්කම එහි දී බලනොපායි. උගතුන් ඉත්තන් කරගැනීමට නොහැකිය යන මුසාවක් පමණකි. රට ගැන හෝ ආයතනය ගැන හෝ නොතකා තම පුද්ගල සාධකය ගැන පමණක් සිතන උගතකු වුව ද ඉත්තකු බවට පත්වීමට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. ජ වි පෙරමුණට අවශ්‍ය වන්නේ රට ගැන හෝ ආයතනය ගැන හෝ නොසිතා තමා ගැන (තම පවුල ගැන) පමණක් සිතන පුද්ගලයෙකි. ඒ පුද්ගලයාගේ දේශපාලනය ජ වි පෙරමුණට සාධකයක් නො වේ. ජ වි පෙ ඒ ඒ සටන්වලදී තම සාමාජිකයන් යොදවන ආකාරය ඉතා හොඳින් දනියි. ඔවුහු කටුනායක උද්ඝෝෂණවලට විශ්වවිද්‍යාල සිසුන් හා වෙනත් ආයතනවල වැඩකරන හෝ නොකරන හෝ හිතවතුන් සාමාජිකයන් යැවූහ. සරසවි ඇදුරන් අතර ඔවුන් ක්‍රියාකාරි වන්නේ වෙනත් ම ක්‍රමයකට ය.

ජ විපෙ මෑතක සිට ක්‍රියාකරන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි ය. බටහිරයන් අද බලා සිටින්නේ අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ සඳහා නිමිත්තකි. ඔවුන්ට ඒ සඳහා ඉතා තදියමක් ඇති බව ලංකාවේ ජර්මන් තානාපති ක්‍රියාකළ ආකාරයෙන් පෙනී යයි. කටුනායක ප්‍රදේශයේ ජර්මන් ජාතිකයන්ට සම්බන්ධකම් ඇති ආයතනවලට පොලීසිය පහර දී ඇත්තේ ඇයි දැයි තානාපතිවරයා අසා ඇත්තේ මෙරට විදේශ කටයුතු භාර අමාත්‍යාංශයෙන් නොව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨභය රාජපක්‍ෂ මහතාගෙනි. ජර්මන් තානාපතිවරයා තදියමට මොණර රැඟුමක් ප්‍රදර්ශනය කර ඇත. ඔහු පිල් විදහා නටා අපට අනවශ්‍ය ප්‍රදේශ ප්‍රදර්ශනය කර ඇත. ඔහුට අවශ්‍ය කුමක් ද යන්න අපි දනිමු. ජර්මන් දේපොළ හා ජීවිත බේරාගැනීමට යැයි කියමින් ලංකාවට පහරදීමට වුවත් ඔවුන් සූදානම් ය. මෙය ජර්මනියට පමණක් සීමාවුවක් නො වේ. බටහිර ජාතීන්ට පොදුවේ ගත්කල මේ අවශ්‍යතාව වෙයි.

අද ආණ්ඩුව ප්‍රවෙිසම් විය යුත්තේ විශේෂයෙන් ම මේ සම්බන්ධයෙනි. බටහිරයන් වෙනුවෙන් ක්‍රියාකර ඔවුන්ගෙන් පඩි ලබන රාජ්‍ය නොවන ආයතන රාශියක් මේ රටේ වෙයි. ඔවුහු ඊනියා මානව අයිතිවාසිකම් කඩවන්නේ කිනම් අවස්ථාවක දී දැයි බලා සිටිති. ඒ අතර බටහිරයන් බලා සිටින්නේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වීමට ය. එමෙන් ම බටහිරයන්ගේ දේපොළ ජීවිත හානි ගැන ද ඔවුහු උනන්දුවෙන් බලා සිටිති. ජ වි පෙ මේ සියල්ල සඳහා රට ගැන නොසිතා තම වැටුප ගැන සිතන සේවකයන් හැකි සෑම විටක ම ප්‍රකෝපකාරී ලෙස යොදාගනියි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයේ දී අද ආචාර්යවරුන් දිග්ගැසුණු වර්ජනයකට (සමහරුන්ට අනුව ජෙනරල් ස්ට්‍රයිකයකට - මොවුහු ජෙනරල් ස්ට්‍රයිකයක් යන්නෙහි තේරුමවත් නොදත් අඳබාල ක්‍රියාකාරීහු ය. ඇතැම් විට ලාල්කාන්ත ජෙනරල් ස්ට්‍රයිකයක් සඳහා සූදානම් වන්නේ දැයි අපි නො දනිමු.) ගෙන යෑමට ජ වි පෙරමුණට හිතවත් ආචාර්යවරුන් අර අඳින බව පෙනී යයි. එහි දී ඔවුන්ට කටුනායක මෙන් කලබල කිරීමට හැකියාවක් සෘජුව නොලැබුණත් ඔවුන්ගේ උපක්‍රමය වනු ඇත්තේ විශ්වවිද්‍යාල අකර්මන්‍ය කර ඉන්පසු ඒ විවෘත කරගැනීමට ඊනියා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යොදා ගැනීම ය. ජ වි පෙට අවශ්‍ය මෘත දේහ ය. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මානව හිතවාදයක මුවාවෙන් අපේ රටට ඇඟිලි ගැසීමට ය.  ජ වි පෙ සෑමවිට ම විශ්වවිද්‍යාල වසා දැමීමට මගපාදා ඉන්පසු ඒ විවෘත කරගැනීමට උද්ඝෝෂණය කරයි. මෘත දේහ හඹා යයි. විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්ගේ සදාචාරාත්මක නොවන ප්‍රතිපත්ති විරහිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන බොහෝ දේ කීමට ඇත. ජ වි පෙ ක්‍රියාමාර්ග උත්සන්න වුවහොත් ඒ සියල්ල හෙළි කිරීමට සිදුවනු ඇත. විශ්වවිද්‍යාලවල ස්ථායී බව, රටේ දේශපාලන ස්ථායීභාවය හා ස්වෛරිභාවය වෙනුවෙන් ඒ හෙළිදරවු කළයුතු නම් ඉදිරියේ දී එසේ කිරීමට මැළි නොවෙමි.