History

Saturday, 2 July 2011

ආසනික් හා සුදු කපුටෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ යනුවෙන් ආරමිභවන ගීතයක් ඇත. මේ ගීතයෙහි පදමාලාව රචනය කළ තැනැත්තා යුරෝපීය හෝ වෙනත් බටහිර වසන්තයක් හා ඇපල් මල් දැක ඇතැයි සිතමු. එසේ නම් ඔහුට ඇපල් මල ගැන ඇත්තේ සංයුක්ත සංකල්පයක් පමණක් නො වේ. ඔහුට එය ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් වෙයි. ඒ සංකල්පය ඔහුගේ පංචෙන්ද්‍රියන්ට ගොාචර වී ඇත. ඔහුට ඒ ඇපල් මල නැත්නම් ඇපල් මල් ලංකාවේ දී වුව ද සිතෙන් මවාගත හැකි වෙයි. මා මෙය ලියන අතර මට අවශ්‍ය නම් රුවන්වැලි සෑය සිතෙන් මවාගත හැකිවාක් මෙන් ඇපල් මලක් දැක ඇති අයකුට ඒ අමතක වී නැත්නම් ඇපල් මලක් ඕනෑම අවස්ථාවක සිතෙන් මවාගත හැකි වෙයි. එසේම ගී පද රචකයාට වසන්තය පිළිබඳ සෑජු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ද ඇතැයි සිතිය හැකි ය.

එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. කාලයක් ඇවෑමෙන් ඇපල් මල පිළිබඳ මතකය දුරස්වත්ම සිතෙන් මවාගත හැකි ඇපල් මල ද වෙනස් වෙයි. එහි හැඩය, වර්ණය ආදිය කල්යෑමේ දී සිතෙහි වෙනස් වෙයි. වසන්තය ගැන ඇති හැඟීම් වුව ද කල්ගතවත් ම වෙනස්වෙයි. නැවත නැවතත් යුරෝපයට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ ගොස් තම මතකය අලුත්වැඩියා නොකරගන්නකුට ඒ අදාළ අත්දැකීම් පිළිබඳ මතකය ක්‍රමයෙන් ඈත්වෙයි. මෙය ගීතයෙහි පද රචකයාට පමණක් නොව ඕනෑම අයකුට සිදුවිය හැකි ක්‍රියාවලියකි.

එයින් කියැවෙන්නේ ඇපල් මල් අවුරුදු පතා නොදකින, කාලයකින් ඒ නොදුටු අයකුගේ ඇපල් මල පිළිබඳ සිතෙහි මැවෙන සංකල්පය කාලයත් සමග වෙනස්විය හැකි බව ය. වසන්තය සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. දැන් මේ ගීතය රසවිඳින කිසිදා ඇපල් මලක් නොදුටු අයකු ගනිමු. ඔහු ඇපල් මලක් ලෙස සිතෙහි මවා ගන්නේ කුමක් ද? ඔහු ඡායාරූපයක ඇපල් මලක් (මල්) දැක ඇත්නම් ඒ අනුසාරයෙන් ඇපල් මලක් සිතෙහි මවාගනු ඇත. ඒ ඇපල් මල ගීත රචකයාගේ ඇපල් මලෙන් වෙනස්වන බව අමුතුවෙන් කිවයුතු නො වේ.

ගීතය රස විඳින්නා ඡායාරූපයකින්වත් ඇපල් මලක් දැක නැත්නම් ඔහු ඇපල් මලක් සිතෙන් මවාගන්නේ කෙසේ ද? ගීතයෙහි ඇපල් මල යොදාගෙන ඇත්තේ රූමත් යැයි කිවහැකි කතක් ගැන කීමට බැවින් ඇපල් මල ලස්සන යැයි ගීය රස විිඳින්නා පළමුව සිතනු ඇත. ඉන්පසු ඔහු තමා දැක ඇති ලස්සන මල් ඇසුරෙන් ඇපල් මලක් සිතෙහි නිර්මාණය කරගනු ඇත. එවැන්නකුගේ ඇපල් මල පිළිබඳ සංකල්පය ගී පද රචකයාගේ ඇපල් මල සමග සමපාත වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය.

එපමණක් නො වේ. ඇපල් මල් දුටු අය සියල්ලන් ම එකම ආකාරයේ ඇපල් මල් පිළිබඳ සංකල්ප ඇතිකරගන්නේ යැයි නොසිතිය යුතු ය. ඇපල් මල දුටු දිනයේ සිතෙහි වූ හැඟීම්, ප්‍රීතියෙන් සිටියේ ද, කණගාටුවෙන් සිටියේ ද ආදිය හා තවත් බොහෝ කරුණු ඒ සංකල්පය ඇතිකර ගැනීමේ දී බලපායි. අප සියළු දෙනා ම දකින්නේ එකම පොල්මලක් යැයි නොසිතිය යුතු ය. අප එකිනෙකාගේ පොල්මල් වුව ද එකිනෙකාට සාපේක්‍ෂ වෙයි. අපට බොහෝ විට සමාන ඉන්ද්‍රිය පද්ධති තිබුණ ද මනස සමග එකතුවී සංස්කරණය කෙරෙන සංකල්ප සම්බන්ධයෙන් අප සෑම අතින් ම එකඟවන්නේ යැයි නොසිතිය යුතු ය. එසේ සිතන්නට අප පුරුදු වී ඇත්තේ බටහිර ආත්මවාදීන්ගේ දැඩි පීඩනය හේතුවෙනි. අඩුම තරමෙන් සිංහල සංස්කෘතියේ අප දකින පොල්මල හා ඉංගිරිසිකාරයකු ලංකාවේ දකින පොල්මල අතර වෙනසක් ඇති බව වටහාගත යුතු ය.

සංකල්පවල සාපේක්‍ෂභාවය ගැන සාකචිඡාකරන අතර ඊනියා වාස්තවික මිනුම්වල සාපේක්‍ෂතාව ගැන කෙටි සටහනකට මේ අවස්ථාව යොදාගනු කැමැත්තෙමි. අද ලංකාවේ සිටින බොහෝ විද්‍යාඥයන් යැයි කියන කරුණක් නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණයක යෙදෙන කණ්ඩායම පලිබෝධ නාශකවල, රජරට ඊනියා පානීය ජලයෙහි හා රජරට නිපදවන සහල් වැනි ද්‍රව්‍යවල ආසනික් ඇති බවට කරන ප්‍රකාශ සාවද්‍ය බව ය. ඔවුන්ට අනුව ඒ සහල්වල ආසනික් නැත. එමෙන් ම පලිබෝධ නාශක දෙකක හැර අනෙක් බොහෝමයක ද ආසනික් නැත. ඔවුන් කියනානේ තවත් පලිබෝධ නාශක නියැදි කිහිපයක් පමණක් පරීක්‍ෂාවට ලක්කළ යුතු ව ඇති බව ය. ඊනියා පානීය ජලයෙහි හෙවත් බොන වතුරෙහි ආසනික් ඇත් ද නැත් ද යන්න පිළිබඳ ව මේ විද්‍යාඥයන්ගෙන් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කෙරී නැත. එසේ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායම ඇතැමුන් කියන්නාක් මෙන් රටට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ ද?

මේ ප්‍රකාශ කරන ඇතැමුන් තමන් හඳුන්වාගන්නේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයන් ලෙස ය. ඒ එසේ විය හැකි ය. එහෙත් කිසිම විෂයක් ඊනියා විශේෂඥයන්ගේ පමණක් බූදලයක් නො වේ. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට බොහෝ දේ තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. අනෙක් අතට කාබනික රසායන විද්‍යාව දන්නා මහාචාර්යවරුන්ට දෙවැනි වසරේ ශිෂ්‍යයන්ට උගන්වන ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව අවබෝධකර ගැනීමට නොහැකි නම් විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වෙන රසායන විද්‍යාවෙහි විශාල අඩුපාඩුවක් තිබිය යුතු ය.

පලිබෝධනාශකවල ආසනික් නැතැයි කියන අය තම මතය ප්‍රකාභ කරන්නේ කාර්මික හා තාක්‍ෂණික ආයතනයේ කරන ලද පරීක්‍ෂණ පමණක් උපයෝගී කරගනිමිනි. එය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට එකඟ දැයි දැනගනු කැමැත්තෙමි. එක ආයතනයක පමණක් කරන ලද පරීක්‍ෂණ මත පදනම් වී සාධාරණ (general-පොදු යන අරුතින්) නිගමනවලට එළඹෙන්නේ කෙසේ ද?

ආසනික් සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල දී යොදා ගැනෙන්නේ සාමාන්‍යයෙන් සම්මත රසායන විද්‍යා පොත්පත්වල හා පර්යේෂණ සඟරාවල ඇති ක්‍රම ය. මේ ක්‍රම අනුව කාර්මික හා තාක්‍ෂණික ආයතනයෙහි කරන ලද පරීක්‍ෂණවලදී පලිබෝධනාශකවල ආසනික් හඳුනාගන්නට නොහැකි වන්නට ඇත. එසේත් නැතහොත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඇතැම් නියැදිවල ඇති බව පෙනී යන්නට ඇත. එහෙත් එපමණකින් ඔවුන් පලිබෝධනාශකවල ආසනික් නැතැයි යන නිගමනයට පැමිණෙන්නේ කෙසේ ද?

ඔවුන්ට කිවහැක්කේ තමන් විසින් යොදාගන්නා ලද ක්‍රමයට අනුව තමන් විසින් පරීක්‍ෂණයට ලක්කරන ලද නියැදිවල ආසනික් නැති බව පමණ ය. එය සාධාරණ නිගමනයක් විය නොහැකි ය. එහෙත් යමකු යම් පරීක්‍ෂණයකින් පලිබෝධනාශක නියැදියක ආසනික් ඇති බව දැනගතහොත් එයින් කියැවෙන්නේ අඩුම තරමෙන් එක් පලිබෝධනාශකයක ආසනික් ඇති බව හා අනෙක් පලිබෝධනාශකවල ද ආසනික් තිබේදැයි දැනගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම යෝග්‍ය බව ය.

තමන්ගේ පරීක්‍ෂණාගාරයෙහි තමන් දන්නා ක්‍රමයකට පලිබෝධනාශකවල ආසනික් තිබේදැයි පරික්‍ෂාකර ඒ පරීක්‍ෂණවලට ආසනික් හසුනොවූ කල පලිබෝධනාශකවල ආසනික් නැතැයි නිගමනය කරන ඊනියා විද්‍යාඥයන්ට සාමාන්‍ය ව්‍යවහාර ඥානයවත් ඇත් ද යන සැකය මතුවෙයි. කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පලිබෝධනාශකවල මෙන් ම රජරට ලිං හා වැව්වල ජලයෙහි ද, සහල්වල හා වෙනත් ද්‍රව්‍යයන්ගේ ද ආසනික් ඇත්දැයි සොයා බැලීමේ දී සම්මත ක්‍රමය ඇතැම් සංශෝධනයන්ට ලක්කර ඇත. අප කණ්ඩායමට ඒ ඒ නියැදිවල ආසනික් ඇති බව පෙනී ගොස් ඇත්තේ එසේ සංශෝධිත ක්‍රම මගින් නියැදි පරීක්‍ෂාකිරීමෙහි දී ය.

ඒ සංශෝධිත ක්‍රම කවරේදැයි අප කණ්ඩායමේ විද්‍යාඥයෝ රටට දැනුම් දීමට සූදනමින් සිටිති. එහෙත් එක් ආයතනයකින් හැරෙන්නට අනෙක් ආයතනවලින් ඒ පිළිබඳ ව ලැබී ඇත්තේ නිෂේධාත්මක ප්‍රතිචාර ය. අපේ කණ්ඩායමේ සංශෝධිත ක්‍රම අනුව පරීක්‍ෂා කළ ආයතනයේ විද්‍යාඥයන්ට අදාළ නියැදිවල ආසනික් හඳුනාගැනීමට හැකි වී ඇත. රජයේ ම ආයතනයක් වූ ඒ ආයතනයෙහි ද නිරීක්‍ෂණ රජයේ ඇතැම් නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත.

රජයේ නිලධාරීන් කුමක් කීව ද කුමක් කළ ද, මේ සියල්ලෙන් පැහැදිලිවන කරුණක් වෙයි. එනම් යොදාගන්නා ක්‍රම වෙනස්වන විට ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවෙහි ද (Analytical Chemistry) ප්‍රතිඵල වෙනස්වන බව ය. ප්‍රතිඵලය ඉතා පැහැදිලි ව යොදාගන්නා ක්‍රමය මත වෙනස්වන විට වාස්තවිකත්වයක් ඇත්තේ කොහේ ද? යොදාගන්නා ක්‍රමය සංශෝධනය කළ විට, අවශ්‍ය නම් වර්ධනය කළ විට, එතෙක් නොපෙනී තිබූ ආසනික් පෙනෙන්නට ගන්නේ නම් අපට කළ හැක්කේ සෑම විට ම මේ මේ අවශ්‍යතා යටතේ මේ මේ ප්‍රතිඵල ලැබෙන බවත් මේ මේ නිගමනවලට එළඹිය හැකි බවත් ප්‍රකාශකිරීම පමණකි.

එහෙත් මෙයින් යම් ක්‍රමයක් යොදාගැනීමෙන් ආසනික් ඇති බව පෙනී යෑමෙන් පසු ඒ ක්‍රමය තවත් වර්ධනය කිරීමෙන් ආසනික් නැති බව පෙන්වාදීමට ඉඩක් ඇතැයි යන්න ගම්‍ය නො වේ. එක් ක්‍රමයක් යොදාගැනීමෙන් ආසනික් ඇති බව පෙනී ගියහොත් ඉන් කියැවෙන්නේ අදාළ නියැදියෙහි ආසනික් කිනම් ආකාරයකින් වුව අඩංගු බව ය. එහෙත් එසේ ආසනික් අඩංගු වේ ය යන්න ද ඊනියා යථාර්ථයක් නො වේ. ඒ නිගමන සියල්ල අවසාන වශයෙන් අපේ පංචේන්ද්‍රිය, මනස හා සංස්කෘතිය මත පදනම් වෙයි. සංස්කෘතියෙන් මනසෙන් පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වූ දැනුමක් ඇති බව ඒ කිසිවකින් තොරව පෙන්වා දිය හැකි නො වේ.

ආසනික් ඇතැම් කණ්ඩායමක යොදාගන්නා ක්‍රමයට හසු නොවූ පමණින් ඒ නැතැයි කීම එක් අතකින් සුදු කපුටන් නැතැයි කීමට සමාන ය. සුදු කපුටකු නොදැකීම හේතුවෙන් සුදු කපුටන් නැතැයි නදගමනය කළ හැකි නො වේ. සුදු කපුටන් සිටිය ද, අප ඔවුන් නිරීක්‍ෂණය කර නොමැති නම් අපට සාපේක්‍ෂව සුදු කපුටන් නැතැයි කිවහැකි ය. එහෙත් එපමණින් කිසිවකුට සුදු කපුටන් නැතැයි යන සාධාරණ නිගමනයට පැමිණිය හැකි නො වේ. මේ කරුණුවලින් අප යොමු කෙරෙන්නේ ඊනියා වාස්තවික යථාර්ථයක් නැතැයි යන තැනට මිස වාස්තවික යථාර්ථයක් ඇතැයි යන තැනට නො වේ. වාස්තවික යථාර්ථයක් ඇතැයි යන්න මනසෙන් තොරව වාස්තවික ව පෙන්වාදිය හැකි සමතකු නැත. සංකල්ප අවසාන වශයෙන් මනසෙහි නිර්මාණය වෙයි.