History

Saturday, 2 July 2011

ආසනික් කං ඩෝං පුතා

රජරට වැව් හා ලිං ජලයේ ආසනික් අඩංගු බවත්, රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවට සියයට අනූනවයක් ම සහතික බවත්, කෘමිනාශක ඇතුලු කෘෂිරසායනික ද්‍රව්‍ය බොහෝමයක (අප දැනට පරීක්‍ෂා කර ඇති සියල්ලෙහි) ආසනික් අඩංගු බවත්, රජරට නිපදවන සහල්වල ද ආසනික් අඩංගු බවත් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණය කරන (ඒ හුදු පර්යේෂණ පමණක් නො වේ) කණ්ඩායම ප්‍රකාශ කර දැන් සති කිහිපයක් ම ගත වී ඇත. මේ කෘෂිරසායනික ද්‍රව්‍ය ගෙන්වන්නන් අතර ඈපාවරු, මාපාවරු, මෙන් ම ජනතාව මානසික රෝගීන් කරන මහාරාජාවරු ද වෙති. ඔවුහු අද ජනතාවට ආසනික් දී ඔවුන් ශාරීරික ව ද රෝගීන් කිරීමට කටයුතු කරති. ආසනික් අඩංගු කෘෂිරසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන අය පමණක් නොව එසේ ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දුන් රජයේ ආයතන හා නිලධාරීන් ද දැන් කලබලයට පත් වී ඇති බව පෙනී යයි. මේ අතර කෘෂිකර්ම ඇමතිවරයා ද රජයේ ගුවන් විදුලියක සේවය කරන වාචාලයකු ද කිසිම වගවිභාගයක් නැතිව මේ පිළිබඳ ව විවිධ මත ඉදිරිපත් කරනු දැකිය හැකි ය. මාධ්‍ය සදාචාරය ගැන කතාකළ ද අපට මාධ්‍ය ඔස්සේ චෝදනා ඉදිරිපත් කරන්නෝ අපෙන් ඒ පිළිබඳ ව කිසිවක් විමසීමට ඉදිරිපත් නොවුහ. කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ විවිධ පුද්ගලයන් ඉදිරියේ කෘෂිකර්ම ඇමතිවරයාට අප පැය හතරක පමණක කාලයක් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුහු අපෙන් ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්න නො ඇසුහ.

අප සාකච්ඡා කළ බොහෝ ප්‍රශ්නවලට මූලික වූයේ මෙරටට ආනයනය කරන කෘෂිරසායන ද්‍රව්‍යවල ආසනික් අඩංගු වීම ය. අප පරීක්‍ෂාවට ලක්කළ නියැදිවල (සාම්පලවල) ආසනික් අඩංගු බවට අපි සහතික වෙමු. අප ඒ දැනගත්තේ කෙසේ ද යන්න ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත. මහාචාර්යවරියනට නොපෙනෙන දේ දෙවියන්ට පෙනෙන්නේ කෙසේ දැයි ඇතැම්හු සාවඥ කතා කියති. මේ සමිබන්ධ විස්තරයක් කලින් ලිපිවල දක්වා ඇති බැවින් ඒ ගැන විස්තර අනවශ්‍ය යැයි සිතමි. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ම රසායන විද්‍යා මහාචාර්යවරියක වන මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එක් සතිඅන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකට අනුව රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායම දැනටමත් පැමිණ ඇති නිගමන සාවද්‍ය වෙයි. ඇයට අනුව “වකුගඩු රෝගයට ආසනික් විෂ රසායනිකයේ කිසිදු බලපෑමක්” නොමැත. වෛද්‍යවරියක නොවන මහාචාර්ය ලියනගේ මහත්මිය එවැනි නිගමයකට පැමිණ ඇත්තේ රසායන විද්‍යාඥවරියක ලෙස එතුමිය සතු දැනුම උපයෝගී කරගෙන බව පැහැදිලි ය. ඒ මහත්මියට අනුව රජරට ප්‍රදේශවල ජලයේ ආසනික් අඩංගු නො වේ. අපට පුවත්පතෙහි පළ වී ඇති කරුණුවලින් පෙනී යන ආකාරයට ඒ මහත්මියගේ තර්කය වී ඇත්තේ ජලයේ ආසනික් අඩංගු නොවන බැවින් ආසනික් වකුගඩු රෝගයට එහි බලපෑමක් තිබිය නොහැකි බව ය. ඒ එසේ නම් ඒ මහත්මියගේ “විද්‍යාත්මක ක්‍රමය” ගැන අපට යම් අවබෝධයක් ලබාගත හැකි ය. හුදු තර්කය සඳහා රජරට අදාළ ප්‍රදේශවල ජලයෙහි ආසනික් නැතැයි උපකල්පනය කරමු. එහෙත් රජරට පසෙහි හා ඒ හේතුවෙන් ඒ ප්‍රදේශයෙහි භෝගවල ආසනික් නැතැයි අප කියන්නේ කෙසේ ද? එසේ ආසනික් තිබිණ ද වකුගඩු රෝගයට එහි බලපෑමක් නැතැයි වෛද්‍යවරියක නොවූව ද බටහිර විශ්ළේෂණාත්මක රසායන විද්‍යාඥවරියක වූ එතුමිය නිගමනයකට පැමිණෙන්නට ඇත. මේ සම්බන්ධයෙන් එතුමිය බටහිර වෛද්‍යවරුන් සමග සාකචිඡා පැවැත්වීම හෝ වකුගඩු රෝගයට අදාළ බටහිර ලිපි ලේඛන පරිශීලනය කිරීම හෝ ඒ දෙකම හෝ කරන්නට ඇතැයි සිතමු. අපි ඒ සඳහා එතුමියට ඇති හැකියාව ප්‍රශ්න නො කරමු.

රජරට ජලයේ ආසනික් අඩංගු බව සම්මත පැරණි රසායන විද්‍යා ක්‍රමවලින් පෙන්වීමට නො හැකි ය. ඒ සඳහා අලුත් ම රසායන විද්‍යාත්මක ක්‍රමයක් කැලණිය විශ්වවිිද්‍යාලයීය කණ්ඩායමට යොදාගැනීමට සිදුවිය. ඒ ක්‍රමය නුදුරු අනාගතයේ දී ම ප්‍රසිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එහෙත් කෘමිනාශක වැනි ද්‍රව්‍යවල ආසනික් ඇද්දැයි දෙවියන්ට නොව දෙවැනි වසරේ උපාධි අපේක්‍ෂකයකුට වුව ද සොයා බැලිය හැකි ය. දෙවැනි වසරේ සිසුන්ට පෙනෙන දේ මහාචාර්යවරියනට හා විද්‍යාඥයන්ට නොපෙනෙන්නේ දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් එහි දී ද උෂ්ණත්වය ආදිය පිළදබඳ ව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය. එයට හේතුව ආසනික් නම් ද්‍රව්‍යයට ද්‍රව තත්වයට පත්නොවී වාෂ්ප වීමට ඇති හැකියාව ය. උෂ්ණත්ව ගැන සැලකිල්ලක් යොමු නොකළහොත් ආසනික් වාෂ්ප වී ඉවත් විය හැකි ය. එවිට නිගමනය වනුයේ ආසනික් නැති බව ය. එහෙත් ඒ ආසනික් නැතිකම නිසා නොව ආසනික් වාෂ්පවීම නිසා ලැබෙන නිගමනයකි. කෙසේ වෙතත් මෑතක දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවත්වන ලද රැස්වීමක දී නිලධාරීන්ගේ ප්‍රකාශ අනුමත කරමින් කෘෂිකර්ම ඇමතිවරයා පවසා ඇත්තේ ආසනික් ඇත්තේ කෘෂි රසායනික ද්‍රව්‍යවලින් දෙකක පමණක් බව ය. එපමණක් නොව ඒ ද්‍රව්‍ය දෙක බෙදාහැරීම තහනම් කර ඇතිබවත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් අපි මේ ප්‍රකාශවලට අභියෝග කරමු. මේ පර්යේෂණවල දී යොදාගත් නියැදි හා රේගුවේ නියැදි අප වෙත ලබා දෙන්නේ නම් ආසනික් සඳහා ඔවුන් ඉදිරියේ ම පරීක්‍ෂාකිරීමට අපි පොරොන්දු වෙමු. ඇමතිවරයාට තම නිලධාරීන්ට සවන්දීමට සිදුවන බව සැබෑ ය. එහෙත් නිලධාරීන් කියන සියල්ල පිළිගැනීමට ඇමතිවරයා බැඳී නැත. ඇමතිවරයා සියල්ලන්ට පළමුව ජනතාවට වගකිව යුතු ය. නිලධාරීන්ට අවශ්‍ය දේ කියන ඇමතිවරයකු රටට වුවමනා නැත. ඇමතිවරයා හුදු රබර් මුද්‍රාවක් නොවිය යුතු බව අපි ඔහුට මතක් කරමු.

අපට අවශ්‍ය වන්නේ පලිබෝධනාශක රෙජිස්තාර්වරයා මේ ද්‍රව්‍ය ආනයනය නිර්දේශ කළේ කෙසේ ද යන්න දැනගැනීම ය. ඔහු හුදෙක් ආනයනය කරුවන් ඉදිරිපත් කරන ප්‍රකාශය පිළිගෙන අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දුන්නේ ද? ආනයනය කරන්නා ආසනික් නැතැයි කී පමණින් ඒ පිලිගැනීමට රෙජිස්තාර්වරයකු අවශ්‍ය නැත. ජනතාවගේ මුදලින් නඩත්තුවන රෙජිස්තාර්වරයකුට එයට වඩා වගකීමක් තිබිය යුතු ය. රෙජිස්තාර්වරයා දැන් කියනු ඇත්තේ ඔහු මේ සිද්ධියෙන් පසුව ලබාගත් නියැදි රජය පිළිගත් තාක්‍ෂණ හා පර්යේයණ ආයතනයට යැවූ බවත් වෙනත් ආයතනයකට යැවීමට ඔහුට නීතියෙන් බලයක් නැති බවත් ය. අප ඉල්ලා සිටින්නේ ඒ ආයතනයට යැවූ නියැදි හා රේගුව සපයන නියැදි අපටත් ලබාදෙන ලෙස ය. එමෙන් ම අපට පහත සඳහන් ප්‍රශ්නවලටත් පිළිතුරු අවශ්‍ය වෙයි. රෙජිස්තාර්වරයා අදාළ ආයතනයට යැවු එක් එක් නියැදියෙහි අඩංගු ආසනික් ප්‍රමාණය (පීපීබී ක්‍රමයට හෝ වෙනත් ආකාරයකට හෝ) කෙතෙක් ද? රෙජිස්තාර්වරයාට අනුව තිබිය හැකි අවම ආසනික් ප්‍රමාණයක් වේ ද, එසේ නම් ඒ කවරේ ද? ලංකාණ්ඩුවේ නීති රීති අනුව ආසනික් සුළු ප්‍රමාණයක් වුවත් අඩංගු කෘෂි රසායන මෙරටට ආනයනය කළ හැකි ද? අද කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් ඇතැයි යන්න වැසීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීහු ඇමතිවරයා ද සහභාගි කරගනිමින්, සහල්වල ආසනික් ඇතැයි කියමින් අප ජනතාව මුළාකරන බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කරති. සහල්වල ද ආසනික් ඇති බව අපේ පරීක්‍ෂණවලට හසුවිය. එහෙත් ඒ සියල්ලට ම මුල කෘෂිරසායනික ද්‍රව්‍ය ය. අපි සහල් අවධාරණය නො කරමු. සහල් අවධාරණයට ලක්කරනු ලබන්නේ නිලධාරීන් හා ඔවුන්ගේ බසට සවන් දෙන ඇමතිවරයා විසිනි. ගොවීන් කෘෂිරසායනික ද්‍රව්‍යවලින් බැහැර වූ කල සහල්වල ආසනික් නැතිවනු ඇත. අප පාන් පිටි කාරයන් වෙනුවෙන් සහල්වල ආසනික් ඇතැයි කියන්නේ වෙනත් අරමුණකින් යැයි ඉඟිකිරීමට මේ අය සැරසෙති. එහෙත් ඇමතිවරයා තම කැබිනට් සගයකු වන විමල් වීරසිංහ මහතාගෙන් ඇසුවහොත් පාන්පිටි ත්‍රස්තවාදය ප්‍රශ්නයේ දී අප සිටින්නේ කාගේ පැත්තේ දැයි දැනගැනීමට හැකිවනු ඇත. කෘෂිකර්ම ඇමතිවරයා කතාකිරීමට පළමු කල්පනාකිරීමට පුරුදුවන්නේ නම් ඒ ජනතාවගේ යහපතට හේතුවනු ඇත. පාන් කන්න යැයි කොළඹ වීදි පුරා පත්‍රිකා බෙදාහරින්නන් කවුදැයි සොයාගන්නේ නම් මේ සහල් කතාවේ පිටුපස සිටින්නේ කවුදැයි දැනගැනීමට හැකිවනු ඇත.

අපට අවශ්‍ය කරන්නේ ජනතාව තව තවත් බතට හුරුකිරීම මිස අනෙකක් නො වේ. එහෙත් ජනතාව ආහාරයට ගත යුත්තේ වස විස මිශ්‍ර ආහාර නො වේ. කෘෂිරසායන ද්‍රව්‍ය තහනම් කරන ලෙසටත් ගොවීන්ට දේශීය ගොවිකම් ක්‍රම නැවත කියාදෙන ලෙසටත් අපි රජයට කියා සිටිමු. පැරණි හෙළ ගොවි ක්‍රමය හඳුන්වාදීමේ දී අපට ද එයට සහාය විය හැකි බව පමණක් දැනට ප්‍රකාශ කරමු. කෘෂිකර්ම අමාත්‍යංශය වැඩියෙන් ම කරන වගාව කටින් බතල කොළ සිටුවීම බැවින් මේ කාර්යය ඔවුන්ට පමණක් භාරදිය යුතු නො වේ. එයට මෙරට සිටින විකල්ප ගොවිකම් දන්නවුන් ද සහභාගි කරගැනීමට රජය පියවර ගත යුතු ය. කෘෂිරසායනික ද්‍රව්‍ය අපේ ගොවියන්ට දැනට අවුරුදු පනහකට පමණ පෙර මුල්වරට හඳුන්වාදීමේ දී බටහිරයෝ ඒ ස’ඳහා ගොවීන්ට අල්ලස් දුන්හ. අද පරම්පරා දෙකකට පසුව ගොවීන්ට කෘෂිරසායන නැතිව බැරි තත්වයකට පත්කෙරී ඇත. අප කෘෂිරසායන ද්‍රව්‍ය යොදාගනිමින් කරන කෘෂිකර්මය තව අවුරුදු පනහක් කරගෙන ගියහොත් ජාතිය ම විනාශ වීමට ඉඩ ඇත. අපට යුද්ධාපරාධ ගැන බයිලා කියන බටහිරයෝ කෘෂිරසායන මගින්් දිනපතා මිනිසුන් මිය යෑමට සලස්වති. අවුරුදු තුන්සියයකට පමණ පෙර ඇමරිකාවට, ඕස්ත්‍රේලියාවට, නවසීලන්තයට ගිය සුද්දෝ එහි ජනතාව සමුලඝාතනය කිරීමට වස ද යොදාගත් හ. ආසියාවේ දී ඒ දේ කිරීමට බැරිවීම ගැන ලතවන සුද්දෝ් අදවත් අපට වසදීමට පියවර ගෙන ඇත් ද?