History

Tuesday, 19 July 2011

විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - I

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මෙරට බටහිර විද්‍යාඥයන් ඒකරාශි කරන සංවිධානය ලෙස සැලකිය හැකි ය. සියළු ක්‍ෂෙත්‍රවල බටහිර විද්‍යාඥයන්ට එහි සාමාජිකයන් විය හැකි ය. මේ සංවිධානයේ විවිධ කමිටු ද වෙයි. බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා කමිටුවක් වන අතර පොදුවේ ඊනියා පර්යේෂණ සඳහා ද කමිටුවක් වෙයි. එයට අමතරව තවත් කමිටු රාශියක් වෙයි. මම ද මේ සංගමයේ යාවජීව සාමාජිකයෙක් වෙමි. අවුරුදු විස්සකට එහා පැත්තේ මම ඉහත සඳහන් කමිටු දෙකේ ද කටයුතු කළෙමි. මම අවුරුද්දක් ඊනියා පර්යේෂණ කමිටුවේ සභාපති වීමි. එපමණක් නොව අවුරුදු දෙකක් පමණ මම එහි මහා මණ්ඩලයේ (council) ද සාමාජිකයෙක් වීමි. එහෙත් ඉන් මෙහා පැත්තේ මේ සංගමයේ වැඩ කටයුතුවලට මම සාමාන්‍යයෙන් සහභාගි නො වෙමි. එහෙත් මගේ ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට හෝ ඒ සංගමයෙන් ත්‍යාගයක් ප්‍රදානය කරන අවස්ථාවක දී මම සහභාගි වෙමි.

ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නාමයෙන් ආනයිනක පලිබෝධනාශකවල ආසනික් අඩංගුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කෙරී ඇත. එය සංගමයේ මහා මණ්ඩලය විසින් නිකුත් කරන ලද්දක් යැයි සැලකිය හැකි ය. මේ සංගමයේ වත්මන් සභාපතිවරයා වූ මහාචාර්ය ධම්මික තංතිරිගොඩ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ය. ඔහු ලංකාවේ කිර්තිමත් විද්‍යාඥයකු ලෙස සැලකෙයි. ඔහු ලංකාවේ විද්‍යාව පිළිබඳ ජාතික ශාස්ත්‍රීය මණ්ඩලයේ අධිසාමාජිකයෙක් ද වෙයි. එවැනි කීර්තිමත් විද්‍යාඥයකු සභාපතිත්වය දරණ සංගමයක ප්‍රකාශයක් නොසලකා හැරිය හැක්කේ කෙසේ ද? මෙම සංගමයේ වත්මන් සංස්කාරකවරිය ද සම්මානනීය විද්‍යාඥවරියක වෙයි. නමින් මහාචාර්ය ජනිතා ලියනගේ වන මෙම මහත්මිය බොහෝ දෙනා දන්නා පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්යවරියක වන අතර රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බව තරයේ ප්‍රකාශකරන්නී ය. ඇය දැනට එම රෝගය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව පර්යේෂණ කරන්නී ය.

ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමය ආසනික් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළේ මහාචාර්ය ජනිතා ලියනගේ ඒ සංගමයේ වත්මන් සංස්කාරිකවරිය හා මහා මණ්ඩලයේ සාමාජිකාවක වන නිසා යැයි මම කිසිසේත් නො කියමි. මහාචාර්ය තංතිරිගොඩ වැනි කීර්තිමතකු එවැන්නක් පදනම් කරගනිමින් ප්‍රකාශ නිකුත් කරන්නේ යැයි මම විශ්වාස නො කරමි. මේ සංගමයේ විිද්‍යාඥයෝ තමන් බැරෑරුම් (serious – ඉංගිරිසි ප්‍රකාශයෙහි තිබූ මෙම වචනය සිංහලට පරිවර්තනය වී ඇත්තේ සැබෑ ලෙස ය. කෙසේ වෙතත් මම එය බැරෑරුම් වෙනසක් ලෙස නො සලකමි. එය සැබෑ වෙනසක් ද නැද්ද යන්න මේ අවස්ථාවෙහි අදාළ නො වේ ය යු මගේ හැඟීම ය) විද්‍යාඥයන් ලෙස සලකා ගනිති. බැරෑරුම් විද්‍යාඥයන් හෝ සැබෑ විද්‍යාඥයන් හෝ යමක් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ ව බැරෑරුම් ලෙස සොයා බලා හැකිතාක් කරුණු එකතුකර ගත යුතු යැයි මම සිතමි. ඔවුහු මා මෙන් නොව අසම්මත ප්‍රකාශ නොකරති යි සිතමි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයේ පහත සඳහන් කරුණු එකින් එක ගනිමු. පළමුවෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ පහත සඳහන් අදහස ය. විද්‍යාඥයන්ගේ පරීක්‍ෂණවලින් ලැබෙන නව ප්‍රතිඵල තමන් ගේ සාම්‍යයන් ලවා සාම්‍ය සමාලෝචනවලට (peer review) භාජනය කළ යුතු ය. විශේෂයෙන් ම පර්යේෂණ ප්‍රතිඵල මත වැදගත් ප්‍රතිමත්තිමය තීරණ ගත යුතු කල අදාළ පරීක්‍ෂණ ජාත්‍යන්තර තලයේ පිළිගත් පර්යේෂණාගාරයක නැවත සිදුකළ යුතු ය. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම එසේ නොකර ප්‍රතිඵල ඉක්මණින් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇත. අනෙක් කරුණුවලට යෑමට පෙර අපි මේ කරුණ විභාග කරමු.

අපේ ප්‍රතිඵල තවමත් ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කෙරී නැති බව නම් ඇත්ත ය. එහි දී අපේ කණ්ඩායමට මුහුණ පෑමට සිදු වූ පළමු කරුණ වූයේ එහි කතෘත්වය කාගේ ද යන්න ය. රජරට හා අවට ආදළ ප්‍රදේශවල පස්වල හා ජලයේ ආසනික් ඇති බව පළමුවෙන් ම දැනගත්තේ නාථ දෙවියන්ගෙන් බව අපි නොවළහා කීවෙමු. අද ද කියමු. ක්වොන්ටම් භෞතිකවිද්‍යාව ගැන ද කියවන මහාචාර්ය තංතිරිගොඩ මහතා ෂ්රොඩිංගර්ට තම සමීකරණය පිළිබඳ අදහස ලැබුණේ කෙසේ දැයි දන්නේ ද? ඒ පිළිබඳ ඉඟියක් ජිම් බැගට් විද්වතා (ඔහු මා මෙන් නොව බටහිර විද්‍යාවට ලැදි ය) විසින් රචිත ක්වොන්ටම් ප්‍රවාදයේ අර්ථය (The meaning of Quantum Theory) නම් කෘතියෙහි සඳහන් වෙයි. අද මෙරට බටහිර විද්‍යාවේ වීරයන් හා වීරවරියන් වී සිටින ආචාර්ය මහාචාර්යවරුන් මේ පොතවත් කියවන්නේ නම් බටහිර විද්‍යාව මුහුණ පා ඇති අර්බුදය ගැන සුළුවෙන් වුවත් දැනගත හැකිවනු ඇත.

අදහස කාගෙන් ලැබුණ ද අපි බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව නියැදි පරීක්‍ෂා කළෙමු. එහි දී සාමාන්‍ය සම්මත ක්‍රමය උපකරණ වශයෙන් නොව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, පී එච් අගය හා උෂ්ණත්වය ආදිය වශයෙන් වෙනස්වීම පිලිබඳ ව අපි විවිධ අත්හදා බැලීම් කළෙමු. ඒ අරුතින් ගත්කල අපට ආසනික් හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක් වෙයි. අප මේ ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළකර නොමැති නමුත් එය ඊනියා විද්වත් සම්මේලන කිහිපයක දී ද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය හා වෙනත් බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සහභාගි වූ රැස්වීමක දී ද ඉදිරිපත් කර ඇත. පසුව සඳහන් කරන ලද රැස්වීමේ දී ලියනගේ මහත්මිය වචනයක්වත් කතා නොකිරීමට ප්‍රවේසම් විය. ඒ එතැන කිසිවකු තමන් වැදගත් යැයි සිතන කතුන්ට නොසරුප් වදනින් බැන වැදුනු නිසා විය නො හැකි ය. ඇයට කීමට වැදගත් දෙයක් තිබිණි යැයි මම නො සිතමි. අප කියා ඇත්තේ ඕනෑම අයකුට අපේ ක්‍රම අනුව පරී’ක්‍ෂා කරන ලෙස හෝ අපේ රසායනාගාරවලට පැමිණ ඒ් ක්‍රම විමර්ශනයට භාජනය කරන ලෙස ය. එහෙත් මේ වන තුරු ඒ ආරාධනය පිළිගත් අයකු නැත.

අප අපේ නියැදි වෙනත් ආයතනයකට නොයැවීය යන්න කරුණු සොයා නොබලා කරන ප්‍රකාශයක් පමණ ය. කරුණු සොයා නොබලා ප්‍රකාශ කිරීම මහාචාර්ය තන්තිරිගොඩ ඇතුළු සැබෑ වි්‍යාඥයන්ගේ (බැරෑරුම් විද්‍යාඥයන්ගේ) ක්‍රමය දැයි මම නො දනිමි. ඒ කෙසේ වෙතත් අපි අපේ නියැදි කාර්මික හා තාක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සඳහා යැවීමු. එහෙත් ඔවුන් ඒ ආපසු එවා තිබුණේ පරීක්‍ෂා කිරීමේ දී ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ එක් තැනැත්තියක සිහි නැති වූ බව පවසමිනි. අපට එවිට කළ හැක්කේ කුමක් ද? එහෙත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ දී ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී ඇති බව දැනගැනීමට ලැබිණි. පලිබෝධනාශක පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයා ද ඒ ආයතනය ලවා නියැදි පරීක්‍ෂා කරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පලිබෝධනාශක වර්ග නවයක් මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත. දැනට එක් එක් ආයතනය මගින් කරන ලද පරීක්‍ෂණවලින් අපට වැදගත් නිගමනයකට එළඹිය හැකි ය. එනම් පරීක්‍ෂාවක දී අප යම් නියැදියක මනින ආසනික් ප්‍රමාණය එහි දී යොදාගන්නා උපකරණ, ක්‍රමය (උෂ්ණත්වය, රසායන ද්‍රව්‍යවල සාන්ද්‍රතාව, පී එචි අගය ආදිය) හා පුද්ගලයා ද මත රඳා පවතින බව ය. සියළු දෙනාට ලැබෙන ඊනියා වාස්තවික අගයක් අඩුම තරමෙන් ආසනික් සඳහා නොමැති බව පැහැදිලි ය.

මෙහි දී කිවයුතු කරුණක් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් යැයි කියාගන්නා කිහිප දෙනකු පසුගිය දා ජ වි පෙටමුණට හිතවත් වෙබ් අඩවියක ආසනික් හා නාථ දෙවියන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් අඩවියට එකතු කර ඇත. එහි කියන ආකාරයට අප සුළුතරයක් විශ්වවිද්‍යාලයට අපකීර්තියක් ගෙනැවිත් ඇත. එහෙත් අපට කිව හැක්කේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා දැනටමත් පලිබෝධනාශක වර්ග (එහි රසායනික සංයුතියේ ආසනික් ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් කුමක් වුවත්) නවයක් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ හුදෙක් ඔහුගේ ස්වයම්භූ ඥානයකින් නොව මූලිකව ම අපේ පර්යේෂණ හේතුවෙනි. අපේ පර්යේෂණ නොතිබෙන්නට රෙජිස්ට්‍රාර්වරයා එකදු වර්ගයක්වත් තහනම් කිරීමට පියවර නොගනු ඇත. එය කිසිසේත් ම අප විසින් කැලණිය විශ්වවිිද්‍යාලයට ගෙනෙන ලද අපකීර්තියක් නොවේ. අපේ පරීක්‍ෂාවල ප්‍රතිඵලයක් ලෙස පලිබෝධනාශක වර්ග නවයක් තහනම්කිරීම අප විසින්, විශේෂයෙන් ම මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය විසින් කරන ලද පරීක්‍ෂණවල ප්‍රතිඵල බැවින් අපට ඒ පිළිබඳ ඇත්තේ විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන ඒම පිළිබඳ අභිමානයකි. එහෙත් අපි එයින් උදම් නො වෙමු. අපේ අරමුණ රජරට ඇතුළු අනෙක් ප්‍රදේශවල ද ගොවි ජනතාව කෘෂි රසායන භාවිතයෙන් ඉවත් කර හෙළ ගොවි කම දෙසට යොමු කරවීම ය.

අපේ කණ්ඩායමේ අනෙක් අය කෙසේ වෙතත් පර්යේෂණ පත්‍රිකා යැයි කියැවෙන ලිපි සාම්‍ය සමාලෝචනයකට පසුව ඊනියා විද්‍යාත්මක සඟරාවල කෙරෙන පළකිරීම් ගැන මගේ විශ්වාසයක් නැත. මෙහි දී බොහෝවිට සාම්‍ය සමාලෝචක තීරකයන් දෙදෙනකුගේ තීරණය මත ලිපිය පළ කෙරෙයි. එහෙත් මේ තීරකයන්ට කෙතෙක් වැරදීම් සිදු වී ඇත් ද? මහාචාර්ය තංතිරිගොඩ මහතා නේචර් හා සයන්ස් සඟරාවල තීරකයන්ට සිදු වී ඇති වැරදි ගැන දන්නේ ද? එය ඉඳහිට කෙරුණක් නොවන බවත් සුළු ප්‍රමාණයකින් පමණක් කෙරෙන්නක් නොවන බවත් දැනට අවුරුදු කිහිපයකට පෙර ඉකොනොමිස්ට් සඟරාවේ පළ වී තිබිණි යැයි මට පසුගිය දා දැනගැනීමට ලැබිණි. යම් කිසිවකු තම පර්යේෂණ වාර්තාවක්, ලිපියක් ඊනියා විද්‍යාත්මක සඟරාවකට යැවීමෙන් බලාපොරොත්තු වන්නේ අනෙක් අය ලවා ද හැකිනම් පර්යේෂණය නැවත කරවා ගැනීම ය. එහෙත් ඒ කළ හැකි ප්‍රශස්ත ම ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කිරීම යැයි කිසිවකු කියන්නේ කෙසේ ද? පුවත්පතක සංස්කාරකවරයා කැමති නම් කතුවරයාට තම ලිපිය අදාළ පුවත්පතෙහි පළකරවා ගැනීමට හැකි විය යුතු ය. පුවත්පතක පළ වූ ඊනියා විද්‍යාත්මක ලිපියක අගය අඩුවන්නේ එය ඊනියා තීරකයන් විසින් සමාලෝචනය කෙරී නැති බැවින් ද? මා මගේ නව අදහස් රැගත් ලිපි බොහෝමයක් පළකරන්නේ විදුසර පුවත්පතෙහි ය. දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල පළකෙරෙන අවස්ථා ද වෙයි. අපේ බටහිර වි්‍යාඥයන් යැයි කියාගන්නා අය පුවත්පත්වල පළවන ලිපිවල හරයක් නො දකිති. එහෙත් ඔවුන් විසින් මේ දක්වා කිසිදු නව ප්‍රවාදයක් සංකල්පයක් ඉදිරිපත් කෙරී නැත. ඔවුන් කරන්නේ තෝමස් කූන් විද්වතා සඳහන් කළ සාමාන්‍ය විද්‍යාවකි (normal science). ඔවුන් නැවත නැවතත් කරන්නේ බටහිරයන් පළකර ඇති ක්‍රමයක් මෙරටෙහි ද යොදා ගැනීම පමණකි.

තම ලිපි පුවත්පත්වල පළකිරීමෙන් වන එකම අවාසිය මෙරට විශ්වවිද්‍යාලවල විවිධ තනතුරුවලට උසස්කිරීම්වල දී ඒ ලිපිවලට ලකුණු නො ලැබීම ය. එහෙත් එසේ ලිපි පුවත්පත්වල පළකිරීමෙන් තම කෘතිය බොහෝ දෙනාගේ අවධානයට ලක්කරවිය හැකි ය. පුවත්පත්වල අපේ කණ්ඩායමේ ප්‍රතිඵල පළවීමෙන් අපට ද වාසියක් වී ඇත. අද බොහෝ දෙනාගේ අවධානයට ආසනික් ලක් වී ඇත. ඒ හේතුවෙන් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ කටයුතු ද ඉක්මන් වී ඇත. දැනටමත් ඔහු පලිබෝධනාශක ද්‍රව්‍ය නවයක් තහනම් කිරීිමට පියවර ගෙන ඇත.