History

Sunday, 4 September 2011

ඕනෑම අයකුට කළහැකි යැයි කියන පරීක්‍ෂණ

අප මුහුණ පා ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකට ය. අද ලෝකයේ ඇති ප්‍රධාන ම දේශපාලන ප්‍රශ්නය අනෙකක් නොව දැනුම පිළිබඳ ප්‍රශ්නය ය. දේශපාලනය යනු පක්‍ෂ දේශපාලනය පමණක් නො වේ. දෙදෙනකු හෝ වැඩි පිරිසක් හෝ අතර බල අරගලයක් ඇත්තේ කොතැනක ද එතැන දේශපාලනයක් වෙයි. දැනුම දේශපාලනයෙන් ස්වායත්ත යැයි බොහෝ දෙනා සිතති. එහෙත් දැනුම තරම් දේශපාලන ආධිපත්‍යයක් ඇතිකරන තවත් ප්‍රපංචයක් වත්මන් ලෝකයේ නැත. අද සෑම දෙයක් ම දැනුම මත පදනම් වන්නේ යැයි කියනු ලැබේ. එහෙත් මේ දැනුම කාගේ දැනුමක් ද යන්න කිසි විටෙකවත් නො කියැවෙයි. දැනුම ගැන සෑම අයකුම පාහේ කතාකරන්නේ එය වාස්තවිකවූ ද නිරපේක්‍ෂකවූ ද ලෙස සලකමිනි. එහෙත් අප කතාකරන්නේ පසුගිය සියවස් පහක පමණ කාලයක බටහිර නිර්මාණය වූ දැනුමක් ගැන බව අපට බොහෝ විට නො තේරෙයි. අද සිදු වී ඇත්තේ බටහිර දැනුම ලෝකයට ම පොදු වූ වාස්තවික හා නිරපේක්‍ෂ දැනුමක් බවට පත්කිරීමකි. එහෙත් එය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ බටහිර නිර්මාණය වූ දැනුමක් පමණක් ය යන්න බොහෝ දෙනාට නොතේරෙන්නේ ඇයි ද යන්නට ද පිළිතුර ඇත්තේ එසේ නොවේ යැයි සිතීමට ඔවුන් පුහුණු කර තිබීම මත ය.

බටහිර විිද්‍යාවට ඇති ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැත. අනාදිමත් කාලයක සිට මිනිසුන් පර්යේෂණ කර ඇත. වී වගාව හෝ බත් පිසීම හෝ අත්හදා බැලීම්වලින් තොරව කළහැක්කක් නො වේ. අපි ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී යම් උපකල්පනයක් කර එය ප්‍රශ්නයට නිසි පිළිතුරක් නො වේ නම් වෙනත් උපකල්පනයක් මත පදනම් වෙමු. බටහිර විද්‍යාවට වඩා සාමාන්‍ය ජීවිතයේ දී අපි ඒ පිළිබඳ ව අවංක වෙමු. එයට හේතුවක් වෙයි. සාමාන්‍ය ජීවිතයේ දී අපේ පිළිුතුරු ජීවිතය සමහ බැඳී තිබීම එහි දී බලපායි. එහෙත් බටහිර විද්‍යාවේ දී නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් සූර්යයා වටා කිසිම ග්‍රහවස්තුවක චලනය නිසි ලෙස පැහැදිලි නො කෙරුණ ද අපි බොහෝ දෙනෙක් එය තවමත් පිළිගනිමු. එසේ කරන්නේ එවැනි ප්‍රවාදයක නිගමන හා නිරීක්‍ෂණ අතර වෙනසක් තිබුණ ද අපට එය ජීවිතයේ දී බලනොපාන බැවිනි.

මා දන්නා තරමින් කාලෝ ෆොන්සේකා මහතා ගිනි පෑගීම පිළිබඳ ව සම්පරීක්‍ෂණ කර නොමැත. ඔහු එවැනි සම්පරීක්‍ෂණයක් සැලසුම් කර තිබිණි යැයි මම නො සිතමි. එමෙන් ම ඒ මහතා කතෝලික පල්ලිවල සිදුවන්නේ යැයි කියන හාස්කම් පිළිබඳව ද පර්යේෂණ කර නැත. එසේ නොකරන්නේ ඇයි ද යන්න පිළිබඳ ව ද ඔහු මා දන්නා තරමින් කිසිම ප්‍රකාශයක් කර නැත. ඔහුට එසේ කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින්නේ ද?. ඔහු කතෝලිකයකු ලෙස කුඩා කල ද තරුණ කල ද ගත කළේ ය. ඒ කෙසේ වෙතත් ඔහු අද බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පිළිගනියි. එය යම් දේශපාලනයක් පිළිගැනීමකි. බටහිර විද්‍යාවට දේශපාලනයක් ඇත. එය කතෝලික චින්තනයට හා යුරෝපීය මධ්‍යකාලීන වැඩවසම් සංස්කෘතියට එරෙහිව කරන ලද සටනකින් පසුව තහවුරු කරගත් දේශපාලනයකි.

බටහිර විද්‍යාව පංචේන්ද්‍රියන්ට ආනුභවික වේ යැයි කියනු ලැබේ. එහෙත් අපේ පංචෙන්ද්‍රිය පරිපුර්ණ නො වේ. ඒ එක් කරුණක් පමණකි. ආනුභවික වන්නේ එනම් ඉන්ද්‍රියවලට දැනෙන්නේ කුමක් ද? පවතින්නේ ඉන්ද්‍රියවලට දැනෙන දේ පමණක් ද? බටහිර විද්‍යාවෙහි එයට පැහැදිලි පිළිතුරක් නැත. එහෙත් බටහිර විද්‍යාඥයෝ පංචෙින්ද්‍රියන්ට ගෝචරවන ලෝකයක් පවතින බව කියති. පංචෙින්ද්‍රියන්ට ගෝචර විය හැකි ලෝකයක් මිනිසුන් නැතිව වුව ද (පංචෙන්ද්‍රියන්ගෙන් තොරව ද) පවතින බව බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද? එසේ තිබෙන බව මනසින් තොරව පෙන්විය හැකි අයෙක් වෙත් ද? වෙනත් වචනවලින් කිවහොත් මනසින් තොරව පංචෙන්ද්‍රියන්ට ආනුභවික, එනම් පංචෙන්ද්‍රියන්ට ගෝචරවන ලොවක් ඇති බව මනසෙන් තොරව පංචෙනද්‍රියන්ගෙන් පමණක් දැනගත හැකි ද? එය කිසිසේත් කළ නොහැක්කකි.

බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් (මනස නොමැතිව යන අරුතින්) ආනුභවික ලෝකය ම පට්ටපල් බොරුවකි. ඔවුන් පර්යේෂණ කරන්නේ යැයි කියන්නේ එවැනි ලෝකයක ය. බටහිරයෝ එවැනි ලෝකයක් ඇතැයි සිතාගෙන එහි විවිධ දෑ කරති. එහෙත් ඒ එක් ක්‍රියාවක්වත් මනසෙන් ස්වායත්ත නො වේ. කිසිම අයකුට සංකල්පයකින් තොරව සංජානනයක් ලබාගත නො හැකි ය. සෑම සංජානනයක් ම සංකල්පයක් මත රඳා පවතියි. හැකිනම් සංකල්පයකින් තොරව සංජානන ඇති බව සංකල්පවලින් තොරව පෙන්වන්න. බටහිරයන්ගේ සෑම සංජානනයක් ම පමණක් නොව කාගේත් සංජානන සංකල්ප සමග බැඳී ඇත. බටහිරයන්ගේ සංජානන බටහිර සංකල්ප මත රඳා පවතින අතර, අපේ සංජානන අපේ සංකල්ප මත රඳා පවතියි.

පෝල් ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇති අයුරින් ද බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැත. මිනිසා සෑමදාමත් නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ කර ඇත. එමෙන් ම ප්‍රවාද හෙවත් කතන්දර ද ගොතා ඇත. ජනප්‍රවාද යනුවෙන් හැඳින්වෙන්නේ ජනතාව විසින් ගෙතෙන කතන්දර ය. මේ කතන්දර හා බටහිර විද්‍යාවේ කතන්දර අතර ඇතැම් විට වෙනසක් දැකිය හැකි ය. ඒ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් හේතුකොටගෙන නොව චින්තනයේ ඇති වෙනස නිසා ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අනෙක් චින්තනවලට වඩා වියුක්ත ය. එයට යුදෙවුවන්ගෙන් ලැබුණු වියුක්තභාවය වෙයි. එබැවින් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත වෙයි.

වියුක්තය පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. වියුක්ත සංකල්ප සිතින්වත් මවාගත හැකි නො වේ. ඒ යුදෙව් දෙවියන් වහන්සේ මෙනි. දෙවියන් වහන්සේ යනු සිතින්වත් මවාගත නොහැකි සංකල්පයකි. යුදා ආගමේ හා ක්‍රිස්තියානි ආගම්වල දෙවියන් වහන්සේගේ පිළිම අඹා නැත්තේ එබැවිනි. කතෝලික ආගමේ මෙයින් ගොඩ ඒම සඳහා මරියතුමියගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ පිළිම ඇඹිණි. ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්තය හඳුන්වා දුන්නේ ය. ඔහු පොළොව ඉර වටා යන බව දැනගත්තේ කොපර්නිකස්ගෙනි. කොපර්නිකස් ඒ බව දැනගත්තේ අරාබි වෙළෙන්දන්ගේ මාර්ගයෙන් භාරතීයයන්ගෙනි. භාරතීයයන් ඒ බව දැනගත්තේ කෙසේ ද? ඔවුන්ට එය සංයුක්ත අත්දැකීමක් විය. ඒ අත්දැකීම මිනිස් ඇසින් ලත් එකක් නොව මනසෙන් ලබාගත් එකක් විය. භාරතීයයන් මනසෙන් ඒ අත්දැකීම ලබාගත්තේ ධ්‍යාන ඉපදවීමෙන් ය. අවශ්‍ය ධ්‍යාන ක්‍රමය ප්‍රගුණ කළ අයට මනසෙන් පොළොව ඉර වටා යනු දැකගත හැකි විය. අප අමතක නොකළ යුතු කරුණු දෙකක් වෙයි. එකක් නම් එය සංයුක්ත දත්දැකීමක් වීම ය. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවුවත් ෂඩේන්ද්‍රිය (මනස හයවැනි ඉන්ද්‍රිය වෙයි) ගෝචර විය. දෙවැන්න වනුයේ ඕනෑම අයකුට පොළොව ඉර වටා යන බව දැකගත හැකි වීම ය.

මෙය ඕනෑම අයකුට බටහිර විද්‍යාවේ දී මන්දාකිණි දැකගත හැකි යැයි කීමට සමාන ය. බටහිර විද්‍යාවෙහි දී ඕනෑම අයකු යන්නෙන් අදහස් කරන්නේ බටහිර තාරකා විද්‍යාව, විශ්වවවේදය ආදියෙහි නිරීක්‍ෂණ ක්‍රම පුරුදු කළ ඕනෑම අයකු යන්න ය. විවිධ වර්ගවල දුරේක්‍ෂවලින් අහස දෙස බලන්නේ කෙසේ දැයි පුහුණුවක් නොලබන කිසිවකුට බටහිර විද්‍යාවේ දී මන්දාකිණි දැකගත නො හැකි ය. ඒ පුහුණුව දවසකින් දෙකකින් ලබාගත හැක්කක් නො වේ. ඒ සඳහා පාසලේ දී, විශ්වවිද්‍යාලයේ දී පුහුණු විය යුතු ය. අදාළ ෙසෙද්ධාන්තික දැනුම ලබාගත යුතු ය. බටහිර ඕනෑම අයකුට යම් පරීක්‍ෂණයක් කර බැලිය හැකි යැයි කියන විට ඕනෑම අයකු යන්නෙන් අදහස් කරන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකු නොව අදාළ ශාස්ත්‍රය හා ශිල්ප ප්‍රගුණ කළ අයකු ය. එහෙත් අප බොහෝ දෙනකුට ඒ පිළිබඳ හැඟීමක් නැත. බටහිර වෛද්‍යවරයකු වෛද්‍ය වාර්තා හෝ එක්ස් කිරණ ඡායාරූපයක් හෝ බලා කියන දෙය ඕනෑම අයකුට කළ හැකි දෙයක් නො වේ. ඒ සඳහා ඒ තැනැත්තා පුහුණුව ලැබිය යුතු ය. අනෙක් අතට අප දන්නා කරුණක් නම් ඇතැමුනට ඒ පුහුණුව දුන්නත් අවශ්‍ය දැනුම ලබාගැනීමේ හැකියාව නොමැති බව ය. ඒ දැනුම ලබාගැනීමට යම් පිනක්, වාසනාවක් තිබිය යුතු ය.

ආධ්‍යාත්මික ව යම් යම් ශක්තීන් ලබාගැනීම ද එසේම ය. එය ද පාර තොටේ හමුවන ඕනෑම අයකුට ලබාගත හැකි නො වේ. ඒ සඳහා ද පිනක්, වාසනාවක් තිබිය යුතු ය. බටහිරයන් ධ්‍යාන වඩා ලබාගන්නා දැනුම ඕනෑම අයකුට ලබාගත නොහැකි යැයි පවසන විට ඔවුන් නොකියන කරුණ නම් බටහිර විද්‍යාවේ ද ඊනියා පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ නොහැකි බව ය. ඒ සඳහා අවුරුදු ගණනක් වෙහෙස මහන්සි වී පුහුණුවක් ලබාගත යුතු වෙයි. ඇතැම් භාරතීයයනට තිබූ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ වාසනා ගුණය කොපර්නිකස්ට හෝ ගැලීලියෝට හෝ නො වී ය. එහෙත් කතෝලික පූජකවරයකු වීම සඳහා පෝලන්තයේ සිට ඉතාලියට ගිය කොපර්නිකස්ට මෙන් නොව කතෝලිකයකු වුවත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කිමිදුණු ගැලීලියෝට වියුක්ත ව සිතීමේ හැකියාව විය. ගැලීලියෝ කළේ අන්කිසිවක් නොව භාරතීය චින්තනයේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීම වෙනුවට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ වියුක්තය හඳුන්වා දීම ය. ගැලීලියෝගෙන් පසු තවදුරටත් ධ්‍යාන ඉපදවීමට හෝ භාවනා කිරීමට හෝ අවශ්‍ය නොවී ය. ඔහු වියුක්ත ප්‍රවාද ඔස්සේ යුරෝපීයයනට නොතිබුණු ආධ්‍යාත්මික ශක්තියට යම් ආදේශයක් ලබාගත්තේ ය.

එහෙත් මෙයින් කියැවෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් ලබාගන්නා සියළු දැනුම් වියුක්ත චින්තනයෙන් ලබාගත හැකිය යන්න නො වේ. භාරතයේ ද ධ්‍යාන වැඩිය නොහැකි අය අධ්‍යයන සඳහා යොමු වූහ. ගැලීලියෝ ද කළේ එවැන්නකි. එහෙත් භාරතීයයන්ට වඩා වියුක්ත චින්තනයක් යුදෙව්වන් සතු විය. එය ඒ වන විට ගැලීලියෝ ඇතුළු ඉතාලියේ යම් පිරිසක් ද ලබාගෙන සිටියහ. භාවනාවෙන් ධ්‍යාන මගින් තමන්ට ලබාගත නොහැකි දැනුමක් වියුක්ත චින්තනයෙන් ලබාගැනීමට ගැලීලියෝ සමත් විය. අප නැවතත් භාවනාවෙන් දැනුම ලබාගැනීමට සැරසෙන විට මෙරට විද්‍යාඥයන් නමින් පෙනී සිටින තාක්‍ෂණ නිලධාරීහු විරුද්ධ වෙති. ඒ එමගින් බටහිර දේශපාලන ආධිපත්‍යයට පහරක් වදින බැවිනි. භාවනාවෙන් හා ආධ්‍යාත්මිකව ලබාගත හැකි දැනුම බටහිර විද්‍යාවේ දැනුමට වඩා ඉතා උසස් බව මම අත්දැකීමෙන් දනිමි. අපේ දැනුමක් ඉදිරියට ඒම බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ඇබිත්තයන් නුරුස්සන්නේ ඇයි දැයි අපට සිතාගත හැකි ය.

බටහිර ජෛවීය විද්‍යාඥ්‍රයන් හා බටහිර වෛද්‍යවරුන් නිතර කතාකරන ඊනියා සම්පරීක්‍ෂණ ගැන ද වචනයක් කිව යුතු ය. මේ සම්පරීක්‍ෂණවල පාලක නියැදිය තෝරාගැනීම සෑම විට ම පහසු කටයුත්තක් නො වේ. අපි උදාහරණයක් ලෙස රගරට වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් ගනිමු. එහි දී රජරට ප්‍රදේශයෙන් ම රෝගීන් සහ රෝගීන් නොවන්නන් තෝරා ගැනීමේ දී ප්‍රශ්න මතුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට වකුගඩු රෝගියකු හඳුනාගත හැක්කේ රෝගී තත්වයට මුහුන පා, එනම් අප දන්නා අයුරින් ආසනික් ශරීරගත වීමෙන් බොහෝ කලකට පසුව ය. බටහිර විද්‍යාවට අනුව නීරෝගී අයකු ලෙස තීරණය කෙරෙන අයකු වුව ද, රෝගී විය හැකි ය. එවන් තත්වයක වකුගඩු රෝගය සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තීරණය කෙරෙන රෝගියකුගේ හා නීරෝගී අයකුගේ මූත්‍රා නියැදිවල ආසනික් ප්‍රමාණය වෙනස්වීමට අවශ්‍ය නො වේ. එබැවින් සම්පරීක්‍ෂණ ඔස්සේ මුත්‍රා නියැදි පරීක්‍ෂාකර රෝගයට හේතුව ආසනික් (ආසනේට්) ද නැත් ද යන්න දැනගත හැකි නො වේ.