History

Friday, 30 September 2011

ආණ්ඩුව අස්ථායි කිරීම

මේ ආණ්ඩුව බලයට පත්වූයේත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේත් ජාතිකත්වය මුල්කරගෙන ය. ඒ බව ආණ්ඩුවේ මිතුරෝ මෙන් ම සතුරෝ ද දනිති. එහෙත් අවාසනාවකට ආණ්ඩුවේ සතුරන් ඇත්තේ පිටත පමණක් යැයි නොසිතිය යුතු ය. සතුරෝ පිටත මෙන් ම ඇතුළත ද සිටිති. ආණ්ඩුව වඩාත් ම ප්‍රවේසම් විය යුත්තේ ඇතුළත සිටින සතුරන්ගෙනි. මේ සතුරන්ගෙන් ඇතැමෙක් ජාතිකත්වයට විරුද්ධ වූවෝ වෙති. ඔවුන් අද ආණ්ඩුව ජාතිකත්වයෙන් ඈත්කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙයි. ජාතිකත්වයෙන් ඈත්වූ ආණ්ඩුවකට පැවැත්මක් නැත. ආණ්ඩුව අස්ථායිකිරීමට යොදාගත හැකි ප්‍රධාන ම පිරිස වන්නේ ආණ්ඩුව ඇතුළත සිටින ජාතිකත්වයට විරුද්ධ වූවන් ය.

අද ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය කාහට ද? එයට පිළිතුර ඉතා පැහැදිලි ය. ඒ අන් කිසිවකුට නොව ජාතිකත්වයට විරුද්ධ වූවන්ට ය. ජාතිකත්වයට පක්‍ෂ වූවෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වෙති. අද බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ ද කෙරී ගෙන යන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහි වූ රටවලට (නායකයනට) විරුද්ධ ව කරන සටනකි. එහි ආර්ථික සංරචකයක් ද ඇත. එහෙත් ඒ ප්‍රදේශයේ සිදුවන සියළු කටයුතු ආර්ථිකයට, තෙල් ලිං කිහිපයකට, ලඝු කළ නො හැකි ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිවූ රටවලට විරුද්ධව කරන සටන මෙහෙයවනු ලබන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රටවල් විසිනි.

ලංකාවේ දැනට තෙල් නැත. තෙල් තිබේ යැයි කීව ද ඒ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්නකු නැත. අද ඇමරිකාව ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව අස්ථායි කිරීමට උත්සාහ කරන්නේ ඒ තෙල් බලාගෙන යැයි නො සිතිය යුතු ය. ආර්ථික වශයෙන් ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ වෙනත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටකට හෝ ලංකාවේ ඇති වැදගත් කමක් නැත. ඒ රටවල් අද ලංකාවට විරුද්ධ වන්නේ ආර්ථිකයට වඩා සංස්කෘතිය හේතුවක් කරගනිමිනි. අප බොහෝ කලක සිට කියන කරුණක් නම් දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් ඇතිකරන ලද්දක් වුව ද එය පෝෂණය කර සූරකිනු ලැබුයේ ඉංගිරිසින් විසින් බව ය. ඔවුන් දෙගොල්ලන් ම එසේ කළේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිරයන් හැකිනම් රට රටවල විසිරුණු දෙමළ ජනයා යොදාගැනීමට උත්සාහ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමට ය. එහෙත් එය එතරම් සාර්ථක නොවන බව මේ වන විට බටහිරයන්ට ද අවබෝධ වී අවසන් ය.

එබැවින් ඔවුහු ලංකාවේ ආණ්ඩුව ඇතුළත මෙන් ම පිටත ද සිටින සතුරන් ආණ්ඩුවට විරුද්ධව යොදාගැනීමට උත්සාහ දරති. අවුරුදු දෙසීයකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනය, එහි ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයකට ගෙන ආ සියළු විසඳුම් සමග ම නන්දිකඩාල් කලපුවේ ගිල්වා පරාජය කිරීමෙන් පසු බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමකට හෝ ඉන්දු ලංකා ගිවිසුමකට හෝ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයකට හෝ තවත් ඉඩක් නැත. ඒ සියල්ල දැන් අහෝසි වී ඇත්තේ හමුදා මෙහෙයුම් යනු අවසාන වශයෙන් ගතහොත් දේශපාලන විසඳුම් නිසාත් ලංකාණ්ඩුවේ හමුදා ලත් ජයග්‍රහණය සමග දැන් වෙනත්් දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක වන නිසාත් ය. හමුදාවේ මෙහෙයුම් ඉතා පැහැදිලිව ම දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොලිස් හා ඉඩම් බලතල පැවරීමට එරෙහිව කරන ලද්දක් විය. හමුදාව ඒ මෙහෙයුම් ජයග්‍රහණය කිරීමෙන් පසුව තවදුරටත් පොලිස් බලතල දීම ගැන හෝ දහතුනට එහා යන විසඳුම් ගැන හෝ කතාකිරීම පවා අර්ථ ශූන්‍ය ය. එසේ කිරීම ජීවිත පූජාවෙන් මෙහෙයුම්වලට සහභාගි වූ රණවිරුවන්ට කරන අපහාසයකි.

බටහිරයන් එක් උපක්‍රමයක් පමණක් ඇතිව ලංකාණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන්නේ යැයි නොසිතිය යුතු ය. ඔවුහු විවිධ අංශ ඔස්සේ විවිධ උපක්‍රම යොදාගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කරති. ආණ්ඩුව අස්ථායි කිරීම සඳහා විවිධ මාර්ග සොයති. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ, එ ජා ප, ඊනියා බුද්ධිමතුන් ආදීන් වශයෙන් ඒ ආයතන හා පිරිස් වෙනස් වෙයි. පසුගිය දා මෙරටට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව භාර (ඔහු කටයුතු කරන්නේ් ඔහුට දකුණු ආසියාව භාර දී ඇතැයි යන පදනමිනි.) ලේකම් බිලේක් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණගැසීමට මහත් උනන්දුවක් ගත්තේ ය. ඩග්ලස් දේවානන්ද මහතා ඔහුට යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මුණ ගැසීමට අවස්ථාවක් නො සැපයී යැයි කියැවෙයි. එය ඇත්තක් නම් ඩග්ලස් දේවානන්ද මහතාට අපේ ස්තුතිය හිමිවිය යුතු ය. බ්ලේක්ට අනෙක් විශ්වවිද්‍යලයීය ශිෂ්‍යයන් මුණ ගැසුනේ දැයි කීමට නො දෙනිමි. ඔහු යම් අයුරකින් එසේ මුණගැසී ඇත්නම් එය ඉතා භයානක කටයුත්තක් බව අවධාරණය කළ යුතු ය. බ්ලේක් සූදානම් වන්නේ තවත් 1989ක් ඇති කිරීමට ද?

බටහිරයන්ට ආණ්ඩුව අස්ථායි කිරීමට අද ඇති එක් මගක් නම් රටෙහි කැරළි ඇතිකිරීම ය. ආණ්ඩුව ඔවුන්ට එහි දී කිසිදු ඉඩක් නොදිය යුතු ය. ආණ්ඩුවට විරුද්ධව උසිගැන්විය හැකි පහසුම පිරිස තරුණයෝ වෙති. විශ්වවිද්‍යාලවල ද ආයෝජන කලාපවල ද තරුණයෝ වෙති. ආණ්ඩුව මේ ආයතන ගැන වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු ය. මෙහි දී පසුගිය දා කටුනායක ඇති වූ කලබල පිළිබඳව ද අපේ අවධානය යොමු කළ යුතු ය. ජ වි පෙරමුණට ඒ තරුණ තරුණියන් උසිගන්වා ඔවුන් පොලීසියට විරුද්ධව මෙහෙයවීමට හැකි විය. එහි දී එක් තරුණයකු මියගිය අතර ආණ්ඩුව කලබල නොවී කටයුතු කිරීම හේතුවෙන් ජ වි පෙරමුණට තම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට නොහැකි විය.

ජ වි පෙ යනු අද වන විට දුර්වල පක්‍ෂයකි. ජාතිකත්වය හමුවේ ඊනියා පැරණි පක්‍ෂවලට අත් වූ ඉරණම අද වන විට වසර පනහකට ආසන්න වයසක් ඇති ජ වි පෙරමුණට ද අත් වී ඇත. එය කැබලි කැබලිවලට කැඩී වෙන්වන තත්වයකට පත් වි ඇත. පසුගිය දා ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ගුණරත්නම් නමැත්තකුගේ නායකත්වයෙන් න්‍යායික වශයන් දරදඬු වූ ව්‍යාජ විප්ලවවාදීන් පිරිසක් කැඩී ගොස් ඇත. ජ වි පෙරමුණේ අධ්‍යාපනික කටයුතු භාරවී සිටි තැනැත්තා ද කාන්තා සංවිධායකවරිය ද කැඩී ගිය කණ්ඩායමේ වෙති. පක්‍ෂයේ ලංකා පුවත්පත ද මෙහෙයවන ලද්දේ මේ කණ්ඩායම විසිනි. මේ කණ්ඩායම න්‍යායික වශයෙන් නම් එතරම් ශක්තිමත් නොවන බව ඔවුන් ලංූකා පුවත්පතේ පළකරන අනුකාරක ලිපිවලින් ද එක් තැනැත්තකු විශේෂයෙන් ම රුසියන් පොත්වලින් පිටපත් කරමින් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ලියූ සත පහක් නොවටිනා පොතෙන් ද හෙළිවෙයි. එහෙත් ජ වි පෙරමුණට මේ අන්තවාදී කණ්ඩායම කැඩී යෑම තදින් දැනෙනු ඇත. කැඩී ගිය කණ්ඩායමේ කිසිම ජාතිකත්වයක් නැත. ඔවුහු ඊනියා ජාත්‍යන්තරවාදියෝ වෙති. ටිල්වින් සිල්වාගේ කණ්ඩායම ද තව තවත් ජාත්‍යන්තරවාදී වනු ඇත්තේ කැඩී ගිය අයට තරගයක් දීමට ය. ඔවුන් ඊනියා විප්ලවවාදීන් වී ඇමරිකානුවන්ගේ බළල් අතක් වීම වැළකිය නොහැකි වනු ඇත. මෙහි භයානක ප්‍රතිඵලය වනුයේ ඊනියා විප්ලවය කෙසේ වෙතත් ඇමරිකානුවන්ට ඒ මුවාවෙන් ව්‍යාජ විප්ලවවාදීන්ගේ මානව අයිතිවාසිකම් රැකීමට යැයි කියමින් ලංකාව ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබීම ය.

අද ජ වි පෙරමුණේ ඇතැමුන් එ ජා පක්‍ෂය සමග සම්බන්ධ වී ඇත. කලින් කී කණ්ඩායම වෙන්වීමට ද එක් හේතුවක් වී ඇත්තේ ජ වි පෙ හා එ ජා ප අතර සරත් ෆොන්සේකා වෙනුවෙන් ගොඩනැගූණු සංධානය ය. අද ඇතැම් විශ්වවිද්‍යාලවල එ ජා ප –- ජ වි පෙ ගුරුවරුන් හා සිසුන් එකට වැඩකරනු පැහැදිලිව පෙනෙන්නට ඇත. බ්ලේක් ජ වි පෙ ඔස්සේ ශිෂ්‍යයන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව පෙළ ගැස්වීමට සූදානම් වන්නේ ද? ආණ්ඩුව අස්ථායී කිරීමට හැකිනම්, එ ජා ප පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්‍ෂ වුව ද එයට හිතවත් ගුරුවරුන් ජ වි පෙ සමග උද්ඝෝෂණවලට එකතුවනු ඇත. ආණ්ඩුව මෙහි දී කල්පනාකාරී වීම අත්‍යවශ්‍ය වෙයි. මෙරට ඉතිහාසයේ ජ වි පෙ දෙවැනි ත්‍රස්තවාදයට එළඹුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔස්සේ ය. අද තත්වය එදාට වඩා බෙහෙවින් වෙනස් වුව ද ආණ්ඩුව ප්‍රශ්නය නිවැරදිව විග්‍රහ කිරීමට සමත් වී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකට වඩා උපාධිධාරීන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයකි. නිදහස් අධ්‍යාපනය ඔස්සේ උපාධි ලබන අයට ලැබීමට තිබෙන රැකියා යම් ප්‍රමාණයක් වෙනත්් උපාධිධාරීන්ට ලැබීම මෙහි ප්‍රධාන ප්‍රශ්නය ය. නිිදහස් අධ්‍යාපනයේ නාමයෙන් එයට විරුද්ධවීම ගැන එකඟ විය නොහැකි ය. ඇතැම් දක්‍ෂ ආචාර්යවරුන් වැඩි වැටුපට පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට යෑමෙන් එවැන්නන් රජයේ විශ්වවිද්‍යාලවලට අහිමි වේද යන ප්‍රශ්නය ද ඇත. ඒ කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට රජයේ රෝහල්වල හා වෙනත් ආයතනවල පහසුකම් හා කීර්තිනාම මුදල් ගෙවා හෝ නොගෙවා හෝ යෙදාගැනීමට අවසරදීම නම් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට ප්‍රශ්නයක් වනු ඇත. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ කොළඹ විශ්වවිිද්‍යාලයේ උපාධිය මුලින් කී විද්‍යාලයේ උගත් සිසුන්ට ද ලබාදීිම ය. ආණ්ඩුව මේ හා තවත් ප්‍රශ්න ගැන අවධානය යොමුකර සුද්දන් අපට උරුමකර දුන් අධ්‍යාපනයක් විසින් ඇතිකෙරෙන මේ උපාධි –- රැකියා ප්‍රශ්නයට යම් විසඳුමක් දිය යුතු ය. කිසිම අයුරකින් රට අවුල් කිරීමට ජ වි පෙ, එ ජා ප, දෙමළ ජාතික සංධානය යොදාගැනීමට බටහිරයන්ට ඉඩ නොතැබිය යුතු ය.