History

Saturday, 10 September 2011

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වෙනුවට ජාතික විශ්වවිද්‍යාලයක්

මෙරට විශ්වවිද්‍යාල හයක් කඩිමුඩියේ ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තත්වයට පත්කිරීමට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු පෙනී යයි. ඒ සඳහා ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව ද ඒ සමග පැවසෙයි. මේ ප්‍රවෘත්තිය මුල්වරට මා ඇසූ අවස්ථාවෙහි මට මතක් වූයේ අවුරුදු හතළිස් අටකට පෙර මා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණින් පේරාදෙණිය විශ්වවිිද්‍යාලයේ බටහිර විද්‍යා පීඨයේ පළමු වසර සිසුවකු ලෙස ඇතුල් වී වැඩිකල් නොගොස් අසන්නට ලැබුණු බයිලාවකි. මට මතක ඇති අයුරින් එහි පද කිහිපයක් මෙසේ ය. “දන්නෝ දනිති අපි කොල්ලෝ තමයි අර ත්‍රෛලෝක පූජිත වාසිටියේ, බල්ලෝ මරා හරි සල්ලි සොයාගෙන ඩිග්‍රී ගහන්නේ කෙල්ලෝ නිසයි.” එකල මම බටහිර විද්‍යාව එලෙස හඳුනාගෙන නො සිටියෙමි. එහෙත් ත්‍රෛලෝක පූජිත සරසවියක සිසුන් බහුතරයක් උපාධි ලබාගන්නේ කිනම් අරමුණකින් ද යන්න හොඳාකාරව ම දැන සිටියෙමි. ඒ බයිලාව සරසවි සිසුන් කාපු බීපු වෙලාවට කී අමන බයිලාවක් ලෙස අමතක කළ හැකි නො වේ. සමස්ත සරසවි ජීවිතය ම එහි ගැබ් වී තිබිණි යැයි මම සිතමි. මා ද මුලදී සිතා සිටියේ ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් බව ය. එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි මණ්ඩප දෙකක් විය. එකක් පේරාදෙණියේ හන්තාන කඳුපාමුල මහවැලි නදී නිම්නයේ රමණීය පරිසරයක විය. අනෙක කොළඹ තුම්මුල්ලේ කර්කශ පරිසරයක විය. මට ඒ පරිසර දෙකෙහි ම ඉගෙනීමටත් ඉගැන්වීමටත් අවස්ථාව ලැබිණි.

ලංකා විශ්වවිද්‍යාලය ලෝක පූජිත විශ්වවිද්‍යාලයක් නොවූ බව මම වැඩිකල් නොගොස් ම දැනගත්තෙමි. විශ්වවිද්‍යාලයක්, එනම් බටහිර විශ්වවිද්‍යාලයක්, ලෝක පූජිත වන්නේ ලෝක පූජිත ඇදුරන් සිටින්නේ නම් පමණකි. ලෝක පූජිත ඇදුරන් යනු වත්මන් ලෝකය පිළිගන්නා අයුරින් නව සංකල්ප ප්‍රවාද නිර්මාණය කළ අය මිස ප්‍රාමාණික උගතුන් නො වේ. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාචීන විෂයන්ගෙන් ප්‍රාමාණික උගතුන් බිහිකර ඇත. එහෙත් අනෙක් විෂයන් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශ කිරීමට හැකි ද යන්න ප්‍රශ්නයකි. අද ආසනික් සම්බන්ධයෙන් රසායන විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවල ඊනියා විශේෂඥ මහාචාර්යවරුන් කරන ප්‍රකාශ මොන තරම් නොගැඹුරු ද යන්න ඉතා පැහැදිලි කරුණකි. මෙය අද ඊයේ ඇතිවුවක් නොව 1921 විශ්වවිද්‍යාල ආයතනය හෙවත් යුනිවර්සිටි කොලීජිය තුම්මුල්ලේ පිහිටවූ අවධියේ සිට ම දක්නට ලැබෙන්නකි. ප්‍රාමාණික උගතුන් ඇති විෂයක වුවත් නව සංකල්පයක් ප්‍රවාදයක් බිහිකළ අය දැකගන්නට නැත. කලකට පෙර මම මහනුවර මූලික අධ්‍යයන ආයතනයෙහි පැවති සමුළුවක දී සංකාර යන්නට නව අර්ථකථනයක් දුන්නෙමි. සභාවෙහි සිටි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික මහාචාර්යවරයකු මගෙන් ඇසුවේ ඒ අර්ථකථනය ඇත්තේ කිනම් පොතක ද යන්න ය. අපේ ප්‍රාමාණික උගතුන් පුරුදු වී ඇත්තේ පොතපත කියවා සංග්‍රහ ඉදිරිපත් කිරීමට මිස නව දැනුම් එකතුකිරීමට නො වේ. යම් කරුණක් පිළිබඳ ව විවිධ පොතපත කියවා ඒ සම්බන්ධ කරුණු එකතුකර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් යැයි මම කිසිසේත් නො කියමි. එහෙත් එපමණකින් අපට වත්මන් බටහිර සංදර්භයෙහි ලෝක පූජිත ඇදුරන් බිහිකර ගත හැකි නො වේ. ලෝක පූජිත ඇදුරන් නොමැතිව ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිනොවන බව උසස් අධ්‍යාපන ඇමතිතුමාට මතක් කළ යුතු ය. ඇදුරන්ගේ වැටුප් වැඩිකිරීමෙන් නම් ලෝක පූජිත විශ්වවිද්‍යාල බිහිකළ හැකි නො වේ. ඇල්බට් අයින්ස්ටයින් ලෝක පූජිත වූයේ විශ්වවිද්‍යාලයක ඇදුරකු ලෙස නොව පේටන්ට් කාර්යාලයක සේවය කළ අයකු ලෙස ය. ඔහු විශ්වවිද්‍යාලවල සේවයට බැඳෙන විට ද ලෝක පූජිත තත්වයට පැමිණ සිටියේ ස්‍රළු වැටුපකට පේටන්ට් කාර්යාලයෙහි සේවය කරමින් සිටිය දී ය. අයින්ස්ටයින් විශේෂිත පුද්ගලයකු බව සැබෑ ය. එහෙත් බොහෝ ලෝක පූජිත ඇදුරන්ට වැටුප තීරණාත්මක සාධකයක් නො වේ. පහසුකම් පිළිබඳ තත්වය ද එසේම ය. අද ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශාල මුදලක් වැයවන බව සැබෑ ය. එහෙත් ලෝක පූජිත අදහස් බිහිකිරීමට ලෝක මට්ටමේ පහසුකම් අවශ්‍ය නො වේ.

අපට ප්‍රශ්නය වී ඇත්තේ අපේ උපාධිධාරීන් බටහිර සන්දර්භයක ලෝක පූජිත අදහස් (සංකල්ප, ප්‍රවාද, ප්‍රමේය ආදිය) බිහිකරන්නන් නො වීම ය. අපේ එකල උපාධි අපේක්‍ෂකයන් දළ වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය. එක් කොටසකට අවශ්‍ය වූයේ බල්ලන් මරා හරි සල්ලි සොයාගෙන උපාධියක් ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නැගීමට ය. අර බයිලාවේ කෙල්ලන් යනු ගුණදාස අමරසේකර මහතා තම නවකතාවල හා කෙටිකතාවල සඳහන් කරන වත්තුහාමි මුදලාලිලාගේ දෝණියන්දැලා යැයි මම සිතමි. අමරසේකර මහතා තම පොත්වල මේ චරිත ඉතා මැනවින් නිරූපණය කරයි. ඒ මහතාගේ වචනවලින් ම කියන්නේ නම් උපාධි අපේක්‍ෂකයෝ මේ දියණියන්ට ඉව ඇල්ලුහ. ඔවුන්ගේ පුහු විශ්වවිද්‍යාල ජීවිතය හා ඒ අවසන් කිරීමෙන් පසු සිවිල් සේවයේ තරුණ කැඩට්වරයකු (අද මේ තනතුරු නැත) ලෙස ගතකළ ආටෝප සහගත බොල් ජීවිතය අමරසේකර මහතා අතින් තරම් මා දන්නා වෙනත් කිසිවකුගෙන්වත් විචිත්‍ර ලෙස නිරූපණය වී නැත. බොහෝ උපාධිධාරීහු සමාජ ඉණිමගේ සිවිල් සේවයේ සිට පහළට විවිධ හිණිපෙත්වල නතර වූහ. මේ අතර තවත් උපාධි අපේක්‍ෂකයන් කොටසක් ශාස්ත්‍ර ගවේෂණය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරත වූහ. ඔවුන්ට මුල සිට ම අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරුන් (අද පරිවාස කථිකාචාර්යවරුන්) වීමට ය. ඔවුන් සියළු දෙනා ම අයින්ස්ටයින්ලා වී යැයි මම නො කියමි. එකල සහකාර කථිකාචාර්යවරයකුගේ වැටුප සිවිල් සේවයේ කැඩට්වරයකුගේ වැටුපට වඩා සුළු ප්‍රමාණයකින් වැඩි වී ය යනු මගේ මතකය වෙයි. ශාස්ත්‍ර ගවේෂණය හා වැටුප යන දෙක ම කෙරෙහි අවධානය යොමුකළ අය ද සිටියහ. අනෙක් අතට විශ්වවිද්‍යාලයෙහි වූ නිදහස් පරිසරයට ද ඇතැම්හු ඇළුම් කළහ. අද මේ වර්ගීකරණය ඒ අයුරින් ම වලංගු නො වේ.

මට ද අවුරුදු පහළොවේ සිට ම ව්‍යවහාරික ගණිතය විෂයයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු වීමේ අභිලාෂය විය. ලෝක පූජිතයකුගේ තත්වයට පත්වීම කෙසේ වෙතත් නව අදහස් ඉදිරිපත් කිරීමේ වුවමනාව ගැටවර වියේ සිට ම මට විය. එය ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් ඔබ්බට ගියේ ය. එහෙත් ජනාධිපතිතුමාට කඩේ ගොස් තවමත් කැලණියේ රැඳී සිටින නාකියා යන ගෞරවනීය නාමය විශ්වවිද්‍යාල බිත්තිවල ප්‍රදර්ශනය කරවා ගැනීම (මේ ලියන්නේ කාගේ අවශ්‍යතාවට ද යන්න ද මම දනිමි) හැරෙන්නට මා අත්පත් කරගෙන ඇති වෙනත් ගෞරවයක් නැත. මගේ අතින් බටහිර ගණිතයේ හෝ භෞතික විද්‍යාවේ හෝ නව අදහස් ඉදිරිපත් කෙරී නැත. අනෙක් බොහෝ අයගේ නම් බිත්තිවල නොලියැවුණ ද ශාස්ත්‍රීය ගවේෂණය සඳහා යොමු වූ කිසිවකුගෙන් ලෝක පූජිත නව අදහස් බිහි වී නැත. මෙයට හේතු දෙකක් වෙයි. 1921 සිට ම අපේ බටහිර පර්යේෂණ සම්ප්‍රදාය වූයේ ශාස්ත්‍රීය ග්‍රන්ථ සංග්‍රහ කිරීම මිස නව සාධාරණ (පොදු) අදහස් ඉදිරිපත් කිරීම නො වේ. අප නව අදහසක් ඉදිරිපත් කළත් එය ඉතා සංයුක්ත අදහසක් විය. සඳකඩ පහන ගැන ඉදිරිපත් කෙරී ඇති විවිධ අදහස් මේ ගණයට නිදසුන් වෙයි. අප කිසි විටෙකත් වියුක්ත අදහස් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා නැත. මගේ අදහස නම් ඒ සඳහා අපේ වත්මන් සංස්කෘතියෙන් ද පිටිවහලක් නොලැබෙන බව ය. දෙවැනි කරුණ ඒ නිසා ම පැන නගින්නක් විය හැකි ය. අපේ පශ්චාත් උපාධි සිසුන්ටවත් වියුක්ත නව අදහස් ඉදිරිපත් කිරීමට අනුබල දී නැත. එසේ දුන්න ද ඔවුන්ට එසේ කළ නොහැකි ය. අපේ ඊනියා පර්යේෂණ බටහිර බාල මට්ටමේ අනුකරන පමණකි. අපට බටහිර පර්යේෂණවල මධ්‍යයට යා නො හැකි ය. අපි එහි පරිධියේ සිටින තාක්‍ෂණ ශිල්පීන්, ටින්කර් බාසුන්නැහැලා පමණක් වෙමු. ගුණදාස අමරසේකර මහතා වුව ද මේ ශාස්ත්‍රීය බොල් බව තම කතාවලින් නිරූපණය කර නැත. පේරාදෙණි සාහිත්‍යය බොල් වූයේත් ඉන් මනස්පුතුන් බිහිවූයේත් ඊනියා සමාජ යථාර්ථයක් නිරූපණය නොකළ නිසා නොව කල්පනා ලෝකවලින් මෑත් වූ නිසා ය.

අපට බටහිර සම්ප්‍රදායෙහි ඊනියා ජාත්‍යන්තර මට්ටමේ ඇදුරන් බිහිකරගත හැකි යැයි මම විශ්වාස නො කරමි. ඒ නිසා ම ඊනියා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල ද බිහිකරගත නො හැකි ය. අද අප කළ යුත්තේ ඉතා ඉහළ මට්ටමක ජාතික විශ්වවිද්‍යාලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම ය. ලෝකයේ විශ්වවිිද්‍යාල ලෙස හැඳින්විය හැකි මුල් ම ආයතන වී ඇත්තේ මහාවිහාරය හා අභයගිරිය ය. නාලන්දා තක්‍ෂිලා ද ඉන්පසු ඇතිවිය. බෞද්ධ දර්ශනයෙහි ඉතා ඉහළ මට්ටමේ නව අදහස් එකල අනුරාධපුරයෙන් බිහි වී ඇති බව උගත්තු පවසති. එහෙත් මේ උගත්තු ම නව අදහස් ඉදිරිපත්කළ විට ඒ ඇත්තේ කිනම් පොතක දැයි ඇසීමට තරම් කුහක වෙති. ජාතික වශයෙන් සංකල්ප සමග පොර බැදිය හැකි නව සංකල්ප හා ප්‍රවාද බිහිකළ හැකි තරුණයන් පිරිසක් අපට අපේ සංස්කෘතිය පසුබිම් කරගෙන බිහිකළ හැකි යැයි මම විශ්වාස කරමි. අප සංකල්ප සමග පොර බදන්නේ සංකල්ප හා ප්‍රවාද මගින් ඊනියා යථාර්ථයක් නිරූපණය නොවන බව දැන දැනම ය. ප්‍රවාද යනු හුදු කතන්දර පමණක් බවත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බටහිර සම්ප්‍රදායෙහි බිහි වූ සාර්ථක ම කතාවක් බවත් අපි දනිමු. සංකල්ප ලෝකය ශූන්‍ය වුවත් සම්මුති වශයෙන් අපට සංකල්ප අවශ්‍ය වෙයි. එමෙන් ම යම් යම් දෑ පැහැදිලි කර ගැනීමට අපට සාර්ථක කතන්දර හෙවත් ප්‍රවාද අවශ්‍ය වෙයි. ජාතික විශ්වවිද්‍යාලයෙන් අපේ සංස්කෘතියෙහි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය විය යුතු ය. ලංකාවට පළමුවරට ඊනියා යථාර්ථවාදී නවකතාව හෝ පශ්චාත්නූතනවාදී සාහිත්‍ය විචාරය හෝ හඳුන්වා දීමට හෝ අහවලා අනුව යමින් අහවලා සමතික්‍රමණය කිරීමට තැත්කළ හෝ තැත්කරන හෝ පුස්සන් අපට අනවශ්‍ය ය.