History

Thursday, 20 October 2011

කොළඹ ප්‍රතිඵල හා සන්ධානයේ ඡන්ද කෙක්ක

ජාතික ව්‍යාපාරය හා දිවයින යනුවෙන් ලිපි පෙළක් ලිවීම ආරම්භ කළ නමුත් වර්තමාන දේශපාලන තත්වයෙහි ඇතිවෙමන් පවතින වෙනස්කම් හේතුවෙන් මේ සතියේ පළාත්පාලන මැතිවරණ ගැන සඳහන් කිරීමට සිදු වී ඇත. මේ ලිපියට නිමිති දෙකක් වෙයි. එකක් පඬියකුගේ ප්‍රකාශයකි. අනෙක භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය ය. මේ ආණ්ඩුව තරම් ජනතාවගේ ප්‍රසාදයට ලක් වූ තවත් ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ තිබී නැත. පනස්හයේ ආණ්ඩුව වුව ද මෙතරම් ජනප්‍රසාදයට පත් නො වී ය. හැරත් එයට ජනප්‍රසාදය රැකගත හැකිවූයේ ටික කාලයකට පමණ ය. පැරණි රජවරුන්ගේ අති සාර්ථක පාලන මෙරට තිබී ඇත. ගැමුණු කුමරු මෙරට ඉතිහාසය සකස්කළ තැනැත්තා වුව ද මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටවු රජතුමා වුව ද සිංහලයන්ගේ ප්‍රධාන ම වීරයා වුව ද එතුමාගේ මරණයෙන් නොබෝ කලකින් ම අනුරාධපුරය නැවතත් විජාතික ආක්‍රමණවලට ගොදුරු විය. ගැමුණු රජුගේ සොහොයුරාගේ පුතා වූ වලගම්බා කාලය පැමිණෙන විට විජාතික බලවේග නැවතත් කෙතරම් බලවත් වී ද යත් වලගම්බා රජුට තාවකාලික ව වුවත් දකුණට පැන යෑමට සිදුවිය. මේ විජාතික ආක්‍රමණ අවුරුදු හයසියයකට වැඩි කාලයක් නතරකර ගැනීමට හැකිවූයේ ධාතුසේන රජුගෙන් පසුව ය. ඒ සඳහා මහාවංසය උපකාරී වූවාට සැක නැත. මහාවංසය බණ පොතක් නො වේ. එය හුදු ඉතිහාස පොතක් ද නො වේ. එහි අඩුපාඩු නැතිවා ද නො වේ. එහෙත් ජාතියේ ගමන්මග සළකුණු කරනු ලැබුයේ මහානාම හිමියන් විසිනි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී පඬියන් මහාවංසය ත්‍රිපිටකය මෙන් ම සිංහල බෞද්ධයන් වන්දනාමාන කරන තවත් පිටකයක් ලෙස හඳුන්වන්නේ ත්‍රිපිටකය ගැන මෙන් ම මහාවංසය ගැන ද ඇති වෛරය “ශාස්ත්‍රානුකුලව” ප්‍රකාශ කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසයේ කෙසේ සටහන්වනු ඇද්ද යන්න නිශ්චිතව කිව නො හැකි ය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළේ ඒ මහතාගේ දේශපාලන නායකකත්වයෙනි. අප බොහෝවිට කියා ඇති ආකාරයට එය හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව අප ලත් වැදගත් ම ජයග්‍රහණය වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා රණවිරුවන් නොවන්නට එම ජයග්‍රහණය නොලැබීමට තිබිණි යන්න ද මෙහි ලා සඳහන් කළ යුතු ය. එහෙත් ප්‍රශ්නය වනුයේ අප එතැනින් ඉදිරියට යන්නේ කෙසේ ද යන්න ය.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව සු්‍රළු කලකින් ම බටහිරයෝ මෙහි පැමිණියහ. අවුරුදු පන්සියයකට වැඩි යටත්විජිත සමයක් ඒ සමග ඇරඹිණි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී එය නැවැත්වීමට රහල් හිමියනටවත් වෑත්තෑවේ හිමියනටවත් වෙනත් කිසිවකුටවත් දේශපාලනික වශයෙන් වැදගත් වූ මහාවංසය වැනි පොතක් ලිවීමට නො හැකි විය. ඒ උන්වහන්සේලාගේ වරදක් නොවී ය. ව්‍යාප්තවෙමින් පැවති බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ විනාශකාරී බලපෑම එපමණකට ශක්තිමත් විය. සිංහල බෞද්ධ ජීවන රටාවට විරුද්ධව ක්‍රියාත්මක වූ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවසාන නියෝජිතයන් වූයේ ජේ ආර් ජයවර්ධන හා ප්‍රභාකරන් ය. 1977 සිට 2005 දක්වා සෘජුව ක්‍රියාත්මක වූ මේ දේශපාලනය තවමත් පරාජය වී නැත. අද එය වක්‍රව මහින්ද රාජපක්‍ෂ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙයි. අප ඒ ගැන සැලකිලිමත් නොවුවහොත් ගැමුණු කුමරුගෙන් පසුව, හයවැනි පැරකුම්බාවන්ගෙන් පසුව, මෙරටට සිදු වූ දේ නැවතත් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව සිදු වීමට ඉඩ ඇත. අද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අවරට යමින් ඇත. එහෙත් එය මුළුමනින් ම පරාජය වී නැත. මාක්ස්වාදී අර්ථයකින් නොවුවත් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩා වැටෙනු ඇත්තේ ධනවාදය ද සමගිනි. එහෙත් ඒ වෙනුවට ඊනියා කම්කරු පංති නායකත්වයකින් කම්කරු රාජ්‍යයක් නම් කිසි දිනෙක ඇති නොවනු ඇත. එයට ප්‍රධාන හේතුව ඊනියා කම්කරු පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි වීමත් එය මාක්ස්ගේ මනස්පුතකු පමණක් වීමත් ය.

එ ජා පක්‍ෂය කොළඹ මහා නගර සභාව ජයගත් බවත් මිලින්ද මොරගොඩ මහතාට එහි පූරපති ධූරය අහෝසි වූයේ සන්ධානය කොළඹ ඊනියා බහු ජාතිකත්ව ව්‍යාප්තිය නොසළකා හැරි නිසා බවත් ඊළාම්වාදියකු ව සිට අද බටහිර රටක තානාපතිව සිටින ආණ්ඩුව වෙනුවෙන් කතාකරන අතර ආණ්ඩුව බෙදුම්වාදය කරා යොමුකිරීමට උත්සාහ කරන පඬියකු පවසා තිබිණි. මෙවැනි පුද්ගලයන් විශාල පිරිසක් අද ආණ්ඩුවට එකතු වී ඇත. ඔවුන් මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, උපදේශකවරුන්, සංස්ථා නිලධාරීන් ආදීන් අතර දැකගත හැකි ය. මොවුහු ඇතැමෙක් එ ජා පාක්‍ෂිකයෝ වූහ. තවත් සමහරු මාක්ස්වාදීන් වෙමින් දෙමළ ජාතිවාදීහු වූහ. දෙමළ ජාතිකත්වය උඩ නොමග ගොස් දෙමළ ජාතිවාදීන් වූ කරුණා වැන්නන්ට කරුණු අවබෝධ වූ පසු ඔවුන් දේශප්‍රේමීන් වීමට ඉඩ ඇතත් මාක්ස්වාදී ස්ථාවරයක සිට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවූවන් මාක්ස්වාදය මුළුමනින් ම අත්නොහැරියහොත් කිසි දිනෙක සිංහල බෞද්ධ විරෝධී කසිකබල් ජාත්‍යන්තරවාදය අත් නොහරිනු ඇත. අර තානාපති පඬියා බටහිර රටක සිට කියන්නේ බටහිර රටවල ගෞරවයට පාත්‍රවීමට නම් ආණ්ඩුව සිංහල ජාතිකත්වයෙන් බැහැරවිය යුතු බව ය. ඔවුන් ආණ්ඩුවට කියන්නේ බටහිර රටවලට තේරෙන අයුරින් ආණ්ඩුව සිංහල ජාතිකත්වයේ නොමැති බව ඊනියා තර්කානුකූල ව කීමෙන් පමණක් අපට එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බටහිරයන්ගේ මුඩුක්කුවල තැනක් ලබාගත හැකි බව ය. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ පඬියන්ගෙන් පිරුණු අපේ විදේශ අමාත්‍යංශයෙන් හෝ අර පඬියා වැනි ශාස්ත්‍රාලයෙන් හෝ බිහි කෙරුණු තානාපතිවරුන්ට වඩා බටහිරයන්ට “තේරෙන බසින්” අපට අවශ්‍ය දේ “සුද්ද සිංහලෙන්”් කියා දුන්නේ හමුදාවෙන් බිහිවුණු ශවේන්ද්‍ර සිල්වා මහතා යැයි සිතමි. අප බටහිර සංසදවල කිව යුත්තේ අපට අවශ්‍ය දේ මිස බටහිරයන්ට අවශ්‍ය දේ නො වේ. අප ඒ කිව යුත්තේ බටහිරයන්ගේ දේශපාලන ප්‍රවාදවලට අනුකුලව නොව අපේ දේශපාලන ප්‍රවාදවලට අනුකූලව ය. අද අපට අවශ්‍ය තව තවත් “හමුදා තානාපතිවරුන්” මිස පඬි තානාපතිවරුන් නො වේ. බටහිරයන් කෙතරම් තර්කය ගැන කතාකළත් ඔවුහු තර්කයට සවන් නොදෙති. ඔවුන් සවන් දෙන්නේ යම්කිසි ආකාරයක ශක්තියකට පමණකි. එහෙත් ආණ්ඩුව ඒ බව තේරුම් ගෙන නැත.

මෙරට පසුගිය තිස්වසරක ජාතික ව්‍යාපාරයෙන් කෙරුණු ප්‍රධාන කටයුත්තක් නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට හා පරාජය කළ යුතු බවට මතයක් ඇති කිරීම ය. අර පඬියන්, විවිධ හාංසිපුටු යුද විශේෂඥයන් කොටි ඉතා බලවත්බවත් ප්‍රභාකරන් අති දක්‍ෂ යුද සෙන්පතියකු බවත් දෙමළ ජනතාවට සිදු වී ඇති ඊනියා අසාධාරණකම් සාකච්ඡ්වෙන් පමණක් විසඳාගත හැකි බවත් ඊනියා ජාත්‍යන්තරයට අනුව යමින් කියද්දී එය එසේ නොවන බව කියා සිටියේ මෙරට ජාතික ව්‍යාපාරය ය. ජේ ආර් ගේ ව්‍යවස්ථාව අනුව සමානුපාතික ක්‍රමය යටතේ කිසිම පක්‍ෂයකට තුනෙන් දෙකක බලයක් ගත නොහැකි බව අංකගණිතයවත් හරිහැටි නොදත් ඊනියා දේශපාලන විද්‍යාඥයන් කියා සිටිය දී 75%ක් පමණ වූ සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ගෙන ප්‍රසාද ආසන ද සහිතව තුනෙන් දෙකේ බලයක් ගතහැකි බව පෙන්වා දෙනු ලැබුයේ ජාතික ව්‍යාපාරය විසිනි. අද ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය සිංහලයන් එකමුතු කර ඇත. සිංහලයන්ගෙන් 75%ක ප්‍රමාණයක් සංධානයට ඡන්දය දෙති. සංධානයට සිංහලයන්ට කිවහැකි පණිවුඩයක් ඇත. ඒ ජාතිකත්වය පිළිබඳ ව වූවකි. මහනුවර, නුවරඑළිය වැනි බල ප්‍රදේශවල ද එ ජා පක්‍ෂය පැරදෙන්නේ සිංහලයන් එකතුකළ ශ්‍රී ල නි පක්‍ෂය අද දෙමළ හා මුස්ලිම් ජනකොටස් ද එකතුකරමින් සිටින බැවිනි. මේ භවයේ පමණක් නොව සංසාරයේ කිසිම දිනෙක බුද්ධිමත් ප්‍රකාශයක් කර ඇතැයි සිතිය නොහැකි තිස්ස අත්තනායක කොළඹ ඊනියා ජයග්‍රහණයෙන් උදම් වී එ ජා ප නැවතත් බලයට ඒම අරඹා ඇතැයි කියා තිබේ. එහෙත් සිදු වී ඇත්තේ එ ජා පක්‍ෂය කොළඹින් ද පරාජය වීම අරඹා ඇති බව ය. කොළඹ මුළු ආසන සංඛ්‍යාව වූ 53න් එ ජා පක්‍ෂයට ලැබී ඇත්තේ හරි අඩකට අඩු ආසන 24කි. එය ජයග්‍රහණයක ඇරඹුමක් තබා එ ජා පක්‍ෂ පල්ලම් ගමනේ අම්බලමක්වත් නො වේ. කොළඹ සිංහල ජනතාවගේ ප්‍රතිශතය 35%ට අඩු ය. ඉන් සියයට 80ක් සංධානයට ඡන්දය දුන්න ද ඒ පක්‍ෂයට ලැබෙන්නේ 28%කි. එහෙත් කොළඹ වාසය කරන සිංහලයන්ගෙන් 80%ක් සංධානයට ඡන්දය දෙතැයි සිතිය නො හැකි ය. එසේ නම් ඉන් කියැවෙන්නේ සංධානයට දෙමළ හා මුස්ලිම් ජනයා ද ආකර්ෂණය වෙමින් පවතින බව ය. එය විය යුත්තකි. ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානය පළමුව සිංහල බෞද්ධයන් ද දෙවනුව සිංහල ක්‍රිස්තියානින් ද ජාතිකත්වය මත එකතු කර ඇත. දැන් ඒ පක්‍ෂය ජාතිකත්වය මත පදනම් වී දෙමළ හා මුස්ලිම් ජනයා ද එකතු කරමින් සිටී. ඒ ජාතිකත්වය ඊනියා ශ්‍රී ලාංකික ජාතිකත්වයක් නොවන බව අවධාරණය කළ යුතු ය. සංධානයට ඡන්ද අදින කෙක්ක අන් කිසිවක් නොව ජාතිකත්වයයි. ඒ නියෝජනය කරන්නේ ජනාධිපතිතුමා මිස අන් කිසිවකු නොවන බව අවධාරණය කළ යුතු ය. එ ජා පක්‍ෂයෙන් හෝ වෙනත් තැනකින් හෝ ශ්‍රී ල නි පක්‍ෂයට බැඳෙන අය ගෙනෙන ඡන්දයක් නැත. යම් ඡන්ද ප්‍රමාණයක් ගෙනාවත් ජනාධිපතිතුමා ගෙනෙන ඡන්ද ප්‍රමාණය සමග සැසඳූ කල ඒ නොගිණිය හැකි තරම් ය. ජනාධිපතිතුමාට ඡන්ද ඇදීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයට බාහිරෙන් පුද්ගලයන් ආනයනය කිරීමට අවශ්‍ය නො වේ. භාරත ලක්‍ෂමන් මහතා මුළුමනින් ම ජාතිකත්වයෙහි නො සිටියේ ය. එහෙත් ඔහු වෙනුවට කෙනකු අවශ්‍ය වී නම් ඒ ඔහුට වඩා ජාතිකත්වයට බර අයකු විය යුතුව තිබිණි. ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය තමන්ට ඇති ජනප්‍රසාදය නැතිකර නොගත යුතු ය. අද කළ යුත්තේ බටහිර කඩාවැටීම ජනතාවට පෙනෙන තෙක් ජාතිකත්වය මත රඳා පවතිමින් යම් ආකාරයක සංවර්ධනයක් (එය අපට අද නොගැලපුනත්) ඇති කර ගැනීම ය.