History

Sunday, 11 December 2011

රනිල් සරත් සහ ටයිපටිය

පසුගිය ජනාධිපතිවරණයේ දී එ ජා පක්‍ෂය විසින් රනිල් වික්‍රමසිංහ වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරපත් කරනු ලැබුයේ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට කිසිම ඉඩක් නොතිබූ නිසාත් සරත් ෆොන්සේකා ජාතිකත්වයේ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තිබූ නිසාත් ය. හිටපු හමුදා නායක ලෙස සරත් ෆොන්සේකාට ජාතිකත්වය අගය කළ අය අතර යම් පිළිගැනීමක් තිබිණි. 2005න් පසුව ජාතිකත්වයක් ගෑවීවත් නැති අයකුට ජනාධිපති වීමේ අවස්ථාවක් උදාවනු ඇත්තේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මගින් ජනතාවට ජාතිකත්වය එපා කළහොත් පමණකි. එ ජා පක්‍ෂයේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ සංරචකය වූ රනිල් - රවි කරුණානායක –- ජයලත් ජයවර්ධන - ජෝන් අමරතුංග කල්ලියට සම්ම ජාතියේ බලයට පැමිණීමට නොහැකි බව නොදන්නේ ඔවුන්, ඔවුන්ගේ හෙන්චයියලා හා හෙන්චක්කලා පමණකි. සජිත් - කරු කණ්ඩායමට අවම මට්ටමේ ජාතිකත්වයක් ඇති නමුත් ඔවුහු දුර්වලයෝ වෙති. කලක සිට එ ජා පක්‍ෂය ගන්ධබ්බ තත්වයක පවතින්නේ එබැවිනි. ඒ ගන්ධබ්බ තත්වය හමුවේ සරත් ෆොන්සේකා ජනාධිපතිධුරාපේක්‍ෂකයා ලෙස නම් කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් එ ජා පක්‍ෂයට එකල නො වී ය. ජ වි පෙරමුණට සරත් ෆොන්සේකා හැරෙන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එලොවින්වත් මෙලොවින්වත් කිසිවකු සොයා ගැනීමට නොහැකි විය. එම පක්‍ෂය ජනාධිපතිවරණයක දී හුදු නිරික්‍ෂක මට්ටමට ඇද වැටෙයි. අද දෙකට බෙදී ඇති ජ වි පෙරමුණේ පාර්ශ්ව දෙක තම අනුගාමිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා තරගයක යෙදී ඇති ආකාරය දැක බලාගත හැකි ය. වඩාත් ම රැඩිකල් වන්නේ තම පාර්ශ්වය යැයි අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීම සඳහා තව තවත් ප්‍රචණ්ඩ ක්‍රියා මාර්ගවලට එළඹී විනාශවීම හෝ එ ජා ප, ශ්‍රී ල නි ප යන පක්‍ෂ දෙකෙන් එකකට එකතුවීම හෝ හැරෙන්නට වෙනත් විකල්පයක් ජ වි පෙරමුණට නැත. ජ වි පෙ බෙදීමට ආසන්න හේතුවක් වූයේ ද සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය.

සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කළ ඉටිගෙඩියක් නොමැති බව වඩාත් හොඳින් දන්නේ හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන පක්‍ෂය ය. ඒ පක්‍ෂය පසුගිය දා පැවති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණයට සහභාගි නොවූයේ එය රනිල් වික්‍රමසිංහගේ තවත් මෝඩ උප්පරවැට්ටියක් පමණක් බව දත් නිසා විය යුතු ය. ඒ කෙසේ වෙතත් අද රනිල් වික්‍රමසිංහ තම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සරත් ෆොන්සේකා වටා ගොඩ නැගීමට උත්සාහ දරනු පෙනෙයි. අද බටහිර බලවේග මේ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා යොදාගන්නේ ප්‍රධාන වශයෙන් ම රනිල් වික්‍රමසිංහ හා සම්බන්ධන් ය. ජ වි පෙරමුණ ද බටහිරයන් විසින් යොදා ගැනෙන නමුත් තවමත් එය ද්විතීයික ක්‍රියාවලියක් පමණක් වෙයි. සම්බන්ධන් මගින් ඊළම පිහිටුවීමට දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ඔස්සේ බටහිරයෝ ක්‍රියාත්මක වෙති. මේ ව්‍යාජ ප්‍රශ්න සියල්ල අවුරුදු සියයකට අධික කාලයක් තිස්සේ සාකච්ඡා වී ඇති බවත් එහි කූටප්‍රාප්තිය වූයේ ප්‍රභාකරන් ආයුධ මගින් කළ ගනුදෙනුව බවත් ඒ ගනුදෙනුව නන්දිකඩාල් කලපුවේ දී ගිල්වා දමා ඇති බවත් බටහිරයන් නොදන්නවා නො වේ. හමුදා ක්‍රියාමාර්ගවලින් පසු පැහැදිලි ජයග්‍රහණයකින් කෙළවර වන ගනුදෙනු නැවතත් ආරම්භ කළ නො හැකි ය. හමුදා ක්‍රියාමාර්ග උචිචතම දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. හමුදා ක්‍රියාකාරකම් ද එක්තරා ආකාරයක සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව අවියෙන් කෙරෙන්නකි. අප ශාරීරික හිංසාවට කැමති වුවත් නැතත් හමුදා ක්‍රියාමාර්ගවලින් ලැබූ ජයග්‍රහණ ඊනියා සාකච්ඡා මගින් වෙනස්කළ නො හැකි ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු හිට්ලර් අනුගාමික නටිසිවාදීන් පිරිසක් චර්චිල් සමග සාකච්ඡාවක් ඉල්ලී නම් ඔහු සුරුට්ටුව විකා හොඳ කුණුහරුපයක් කීමට තිබිණි. මෙරට ඇත්තේ ඊනියා දෙමළ ජනයාට දෙමළ වීම නිසාම වූ ප්‍රශ්නයක් නොව සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් හිමි තැන අහිමි කරනු ලැබීම පිළිබඳ ප්‍රශ්නයකි. නන්දිකඩාල් ජයග්‍රහණය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට බටහිරයන්ට ඉඩ තැබිය යුතු නො වේ.

රනිල් වික්‍රමසිංහ සහ බටහිරයන් අද උත්සාහ ගන්නේ සරත් ෆොන්සේකා ඊනියා දේශපාලන සිරකරුවකු ය යන මිථ්‍යාව වැපිරීමට හා එමගින් බටහිරයන්ට ඊනියා ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම මුවාවෙන් මෙරට ආක්‍රමණය කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමටත් ය. සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ අරමුණ එය වෙයි. සරත් ෆොන්සේකා අද සිරගත වී ඇත්තේ ඔහු ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග වැදුණු නිසා ද? ආණ්ඩු විරෝධීන් ඊනියා දේශපාලන සිරකරුවා යන ව්‍යාජ නාමය සරත් ෆොන්සේකාට ආරුඪ කිරීමට ඇති එකම හේතුව එය වෙයි. ආණ්ඩුවට විරුද්ධව දේශපාලන මතයක් දැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනී නැත. එසේ නම් රනිල් වික්‍රමසිංහ ද ඊටත් වඩා කොටි වෙනුවෙන් පෙනී සිටින බෞද්ධයන්ට හිතවත්කමක් දක්වන්නේ යැයි පෙන්වන එ ජා පක්‍ෂයේ යුදෙව් ක්‍රිස්තියානි සංරචකයේ පතාක යෝධයකු වූ ජයලත් ජයවර්ධන ද, එවැනි ම තවත් යෝධයකු වූ ද, සිරිමාවෝ බඬ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා 1962 දී අබෞද්ධ හමුදා හා පොලිස් උසස් නිලධාරීන් කළ කුමන්ත්‍රණයේ ප්‍රධානියකු වූ සී සී දිසානායකගේ මුණුබූරකු වූ ද රවි කරුණානායක ද අත්අඩංගුවට ගත යුතු ය. (මෙරට අධිකරණයෙන් එකී කුමන්ත්‍රණකරුවන් වැරදිකරුවන් ලෙස තීරණය කෙරුණු නමුත් ඉංගිරිසි නීතිය අනුව එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභාවට එකල කරන ලද අභියාචනයක දී තාක්‍ෂණික ප්‍රශ්නයක් මත ඔවුහු නිදහස් කරනු ලැබූහ. එය ඊනියා මානවහිතවාදී නඩු තීන්දුවක් ද එසේත් නැත්නම් බටහිරයන්ගේ යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ආරක්‍ෂාකර ගැනීම සඳහා වූ නඩු තීන්දුවක් ද යන්න රනිල් වික්‍රමසිංහ අර පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ ටයිපටිය පැළඳගෙන සිටින අවස්ථාවක ඇසිය යුතු ය). ආණ්ඩුව එවැනි මෝඩ වැඩ කර නන්නාත්තර වී ඇති මේ දේශපාලනඥයන්ට වැදගත් තැනක් හිමිකර නොදෙනු ඇත.

සරත් ෆොන්සේකා අද සිරගත කෙරී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් නොව මෙරට අධිකරණය මගිනි. ඔහුගේ සිර දඬුවම් කිහිපයකි. යුද්ධාධිකරණය ද එයට සම්බන්ධ වී ඇත. ඒ යුද්ධාධිකරණ නීති විරෝධී නොවන බව මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරී ඇත. රනිල් වික්‍රමසිංහ හා බටහිරයන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? මේ සියළු අධිකරණ තීන්දු දී ඇත්තේ අපේ පැරණි සිංහල නීතියේ නීිති නිඝණ්ඩුවට අනුව නො වේ. ඒ තීන්දු සාමාන්‍ය ජනයා විසින් ඉංගිරිසි නීතිය (දැනටත් ඊනියා උතුම් මහරැජනගේ නීතිය) යනුවෙන් හැඳින්වෙන රෝම ලන්දේසි නීතියට එකඟව ය. බටහිරයන් හා බටහිරයන්ගේ සියළු සිරිත් විිරිත්, දැනුම , නීතිය හා ටයිපටිය ඉතා ඉහළින් අගය කරන රනිල් වික්‍රමසිංහ ඔහු අගයන නීතියට අනුව දෙන ලද තීන්දු නිසා සිරගත වී සිටින සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යැයි කියන්නේ කෙසේ ද? සුද්දන් විසින් පිහිටුවනු ලැබූ අධිකරණයෙන් සිරදඬුවම් නියම කෙරෙන ඇතැමුන්ට දේශපාලන සිරකරුවන් යන්න යොදාගැනෙන අවස්ථා ද වෙයි. 1971 ඒකරාත්‍රි විප්ලවයෙන් පසු සිරගත කෙරුණු විජේවීර ඇතුළු පිරිස දේශපාල සිරකරුවෝ ලෙස හඳුන්වනු ලැබූහ. එසේම ඇතැම්හු කොටින් ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වති. සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි නිසා නොව දේශපාලන මතවාදයක් හේතුවෙන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකිරීම නිසා වැරදිකරුවන් බවට පත් වුවෝ එසේ ඇතැම් විට දේශපාලන සිරකරුවන් ලෙස හැඳින්වෙති. එහෙත් සරත් ෆොන්සේකා අද වරදකරුවකු වී සිටින්නේ ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් මෙහෙය වූ නිසා නො වේ. එමෙන් ම ඔහු ජනාධිපති අපේක්‍ෂකයා වීම නිසාවත් නොවේ. යම් අයරකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වී නම් ඔහු අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරාවි ද?

සරත් ෆොන්සේකා අද සිරදඬුවම් විඳින්නේ වෙනත් හේතු නිසා ය. ඔහුගේ සුදු කොඩි නඩුව නැවතත් උසාවිය ඉදිරියේ තිබීම නිසා ඒ ගැන කතාකිරීම ඉංගිරිසි නීතියට විරුද්ධව යැමක් බැවින් ඒ පිළිබඳ තව දුරටත් කතාකිරීමට අදහස් නො කරමි. ඉංගිරිසි නීතියට අප කැමති වුවත් නැතත් අපට එයට අවනත වීමට සිදු වී ඇත. එහෙත් අප සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු යනුවෙන් හැඳින්වීමට බටහිරයන් හා එක්ව රනිල් වික්‍රමසිංහ ගන්නා නින්දිත උත්සාහය පරාජය කළ යුතුව ඇත. මේ ව්‍යාපාරයේ අවසන් අරමුණ ඊනියා මානව අයිතිවාසිකම් මුල් කරගෙන මෙරට ආක්‍රමණය කිරීමට බටහිරයන්ට අවස්ථාව ලබා දීම ය. රනිල් වික්‍රමසිංහ මෙරට සංස්කෘතියෙහි ජීවත්නොවන්නකු බව ටයිපටිය සිද්ධියෙන් ද පැහැදිලි වෙයි. මෙරට ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍යයෝ පාසලේ ටයිපටියෙන් එකට බැඳී සිටිති. පාසල් ටයිපටිය පිළිබඳ ගෞරවයක් හැඟීමක් ඔවුන් අතර වෙයි. එය එක්තරා ආකාරයකට සහෝදරත්වයේ හා පොදු වටිනාකම්වල සංකේතයක් වෙයි. ඇතැම් සමිති සමාගම්වලට ද එවැනි ටයිපට ඇත. එහි දී ද ටයිපටියෙන් තමන් එක රැණේ කුරුල්ලන් ය යන හැඟීම ගෙන දෙයි. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ද ටයිපටියක් ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ටයිපටියට ද ගෞරව කරන බව පෙනී යයි. ඒ ටයිපටියෙන් බටහිර පාර්ලිමේන්තු සම්ප්‍රදාය, බටහිර ව්‍යාජ වටිනාකම් සංකේතවත් වෙයි. ඉංගිරිසින් පොදුරාජ්‍ය මණ්ඩලයේ තමන් මෙන් සිතන පතන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ටයිපටියෙන් බැඳ තබාගැනීමට සමත් වී ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභා ගැබෙහි එකී ටයිපටිය බැඳ ගෙන සිට පසුව ගැලවීමෙන් පෙන්වා ඇත්තේ බටහිර සම්ප්‍රදායට තමන් කෙතරම් ගැති ද යන්න පමණ ය. එය ද පෙන්වා ඇත්තේ බටහිරයන්ට ය. මෙරට සාමාන්‍ය ජනයාට මේ ටයිපටි බහුබූතය තේරුමක් ඇති දෙයක් යැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේ ද? ඔහු තමා ගැල වූ ටයිපටියෙන් සරත් ෆොන්සේකා බැඳ තැබීමට උත්සාහ කර ඇත.