History

Saturday, 7 January 2012

පැවැත්ම, ඉන්ද්‍රිය හා විඤ්ඤාණ

 වස්තුවක පැවැත්ම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? පුටු, මේස, ඉර. හඳ, තාරකා ආදිය මෙන් ම මිනිසුන් ද වෙනත් සතුන් ද පවතින්නේ යැයි අපි කියමු. ඒ අතර ඇතැම්හු දෙවියන් නැතැයි කියති. තවත් සමහරුන්ට අනුව ගුරුත්වාකර්ෂණ බලයක් ඇත. මෙහි දී අප යමක් ඇතැයි හෝ නැතැයි හෝ කීමට යොදාගන්නා නිර්ණායකයක් වේ ද? අප පුටු මේස ආදිය ඇතැයි යනුවෙන් ගන්නේ එවැනි අවස්ථාවල ඒ වස්තු පංචෙන්ද්‍රියන්ගෙන් ඉන්ද්‍රිය එකකට හෝ ගෝචර වන බැවින් යැයි උපකල්පනය කරමු. ඒ සමග මනසට ද ඒ ගෝචර වෙයි. එසේ නොවුවහොත් අපට පුටුවක් යනුවෙන් වස්තුවක් ඇතැයි කීමට නො හැකි ය. කැමරාවකට පුටුව හසුවෙන නමුදු කැමරාවට දැනෙන ලෙස පවතින පුටුවක් නැත. එයට හේතුව පුටුවට මනසක් නොමැතිවීම ය.

අපට එලෙසම ඈතින් ගසක් දැකිය හැකි ය. අපි ගස පවතින්නේ යැයි කියමු. එහෙත් අපට මිරිඟුව ගැන කිවහැක්කේ කුමක් ද? මිරිඟුව පවතින්නේ ද? මිරිඟුව අපට පෙනෙයි. එමෙන් ම එය මනසට ද දැනෙයි. කෙටියෙන් කිවහොත් අපට මිරිඟුව පිළිබඳ චක්ඛු විඤ්ඤාණයක් වෙයි. එහෙත් අපි මිරිඟුව නොපවතින්නේ යැයි කියමු. අප ඈතින් දකින ගස ඇතැයි කියන්නේත්, පවතින බව කියන්නේත්, ඈතින් දකින මිරිඟුව නොපවතින්නේ යැයි කියන්නේත් ඇයි? කෙනකු කියනු ඇත්තේ මිරිඟුව ඇතැයි කියන තැනට ගියවිට එතැන මිරිඟුවක් නොපවතින බව අපට දැනගැනීමට හැකිවනු ඇති බව ය.

එහෙත් කුඩා ළමයකුට මේ කතාව තේරුම්ගත හැකි ද? අප මෙන් ම කුඩා ළමයි ද ඈතින් පිහිටි මිරිඟුව දකිති. අප කුඩා ළමයින් මිරිඟුව පිහිටි තැනට එක්කරගෙන ගියහොත් ඔවුන්ට ද එතැන මිරිඟුව නොමැති බව දැනෙනු ඇත. එහෙත් එපමණකින් ඔවුන් මිරිඟුව නොපවතින බව කියාවි ද? ඔවුන් බොහෝ විට අසනු ඇත්තේ මිරිඟුව කොහේ ගියා ද කියා ය. කුඩා ළමයකුට මිරිඟුව පවතින්නේ යැයි සිතිය හැකි ය.

එහෙත් කුඩා ළමයා තරමක් වැඩුණු පසු මිරිඟුවක් නොපවතින බව දැනගනු ඇත. ඒ සමාජය විසින් ළමයාට එසේ සිතීමට පුරුදු කරනු ලබන බැවිනි. තවත් කලක් ගත වී කිනම් හේතුවක් නිසා බටහිර භෞතික විද්‍යාව ඉගෙනීමට පටන්ගත්විට මිරිඟුව යනු ඈත පිහිටි ගසක ගොඩනැගිල්ලක වැනි වස්තුවක පුර්ණ පරාවර්තනයෙන් නිර්මාණය වන ප්‍රතිබිම්බයක් බව දැනගනු ඇත. එය පුර්ණ පරාවර්තනයෙන් ඇති වන්නේ කෙසේ ද යන්න ද ඉගෙන ගනු ඇත. එවැනි පුර්ණ පරාවර්තනයක් ඇතිවන්නේ කිනම් අවශ්‍යතා යටතේ ද යන්න ද ළමයා ඉගෙන ගනු ඇත.

ඔහු මිරිඟුව පමණක් නොව තල දර්පණයක ඇතිවන ප්‍රතිබිම්බය ද නොපවතින බව සමාජයෙන් ද පසුව බටහිර භෞතික විද්‍යාවෙන් ද ඉගෙන ගනියි. එවැනි ප්‍රතිබිම්බයක් ඇතිවීමට තල දර්පණයක් සහ වස්තුවක් මෙන් ම ආලෝකය ද අවශ්‍ය බව බටහිර භෞතික විද්‍යාව කියා දෙයි. ප්‍රතිබිම්බය ද මිරිඟුව ද මායාවන් පමණක් බව සමාජය කියා දෙයි. අපේ ඇස්වලට පෙනුණ ද, මනසට දැනුණ ද එසේ දැනෙන සෑම අවස්ථාවක ම වස්තුවක් පවතින්නේ යැයි කීම වැරදි බව ප්‍රතිබිම්බය හා මිරිඟුව ආශ්‍රයෙන් අපි ඉගෙන ගනිමු.

එහෙත් ඒ බටහිර දැනුම ය. ඈතින් ගසක් ඇති බවත් ඒ ගස අප සිටියත් නැතත් පවතින බවත් (ගස මැරෙන තෙක්) එහෙත් මිරිඟුව ඇතිවන්නේ යම් යම් අවශ්‍යතා යටතේ අපට බවත් ඒ අවශ්‍යතා නොමැතිව අපට මිරිඟුවක් දැකිය නොහැකි බවත් අපි ඉගෙන ගන්නෙමු. උදාහරණයක් ලෙස ගතහොත් වාතය රත් වී නොමැති විට මිරිඟුව දැකගත හැකි නො වේ. බටහිර විද්‍යාවට අනුව ගසට අප නොමැතිව වුවත් පැවතිය හැකි නමුත් මිරිඟුව, අප හා ගස (මිරිඟුව ගසක ප්‍රතිබිම්බය ලෙස ගනිමින්) නොමැතිව නොපවතින බව අපි දැනගනිමු. බටහිර දැනුමට අනුව ගසට ඊනියා වාස්තවික පැවැත්මක් ඇත. එහෙත් මිරිඟුවට එවැනි පැවැත්මක් නැත.

අපි ඈත අවකාශයේ තාරකා දකිමු. මේ තාරකා පවතින්නේ ද? අපට තාරකා තිබෙන තැන්වලට හෝ ඒ ආසන්නයට හෝ යා හැකි නම් එවිට එතැන්හි තාරකා නැති බව අපට දැනගැනීමට ලැබේවි ද? මිරිඟුව ආසන්නයට ගිය විට එය නැති බව දැනගන්නා ආකාරයට තාරකා ආසන්නයට ගිය විට ඒවා නැති බව දැනගැනීමට හැකිවන්නේ ද? එතරම් ඈතට නොගිය ද ඉර හා හඳ පවතින බව අප දන්නේ කෙසේ ද? ඒ සියල්ල යම් ආකාරයක මිරිඟු වේ ද? අප යමක් පවතින බව දැනගැනීමට යොදා ගන්නා, යොදා ගත යුතු නිර්ණායක කවරේ ද?

අපේ ඇසට පෙනුණු පමණින් යමක් නොපවතින බවට හොඳම උදාහරණය මිරිඟුව වෙයි. මිරිඟුව ඇසට පෙනෙන්නේ එය මනස විසින් ද ග්‍රහණය කරගනු ලබන බැවිනි. පෙනීම සඳහා මනස අනිවාර්ය වන බව අප නැවතත් අවධාරණය කළ යුතු ය. මළ සිරුරකට ද ඇස් ඇති නමුත් ඒ සිරුරට කිසිවක පැවැත්මක් නැති බව පැහැදිලි ය. අප යමක් පවතින බව දැනගැනීම සඳහා එය පිහිටි යැයි අප සිතන තැනට හෝ ඒ ආසන්නයට හෝ ගොස් එය දැක බලාගත යුතු ද? ඒ තැනට ගිය විට යමක් නොපෙනේ නම් අප කලින් දැක ඇත්තේ මිරිඟුවක් වැන්නක් බව අප නිගමනය කළ යුතු ද? ඒ අරුතින් ගතහොත් තාරකාවල පැවැත්ම පිළිබඳ ව අපට කිසි දිනෙක සෑහීමකට පත්වීමට හැකි ද?

ඇස ගැන අපට එසේ ප්‍රශ්න පැන නගිද්දී, එනම් යමක් දුටු පමණින් එය පවතින්නේ යැයි, ඇතැයි කිව නොහැකි නම් අනෙක් ඉන්ද්‍රිය ගැන ද අපට එවැනි ම නිගමනයකට පැමිණීමට හැකි ද? අපට ස්පර්ශ කළ හැකි වූ පමණින් (මේ සියලු අවස්ථාවල මනස ද ක්‍රියාත්මක වන බව අමතක නොකළ යුතු ය) එය පවතින බව අපට කිව හැකි ද? ස්පර්ශ කිරීම යනු අපේ ශරීරය (සම) යමක් සමග ගැටීම ය. එසේ ගැටුණු විට අපි ඒ වස්තුව පවතින බව කියමු ද? අපට මේසයක් පොතක් ස්පර්ශ කළ හැකි ය. එසේ ම පොත මේසය ආදිය දැක බලාගත හැකි ය. ඒ ආසන්නයේ දී සිදුවන ක්‍රියාවන් ය. ඈත ඇතැයි සිතෙන වස්තුවක් (මිරිඟුවක් ද ඇතුළු) දැක ගත හැකි වුව ද, ඈත ඈතැයි සිතෙන වස්තුවක් ස්පර්ශ කළ නො හැකි ය. ස්පර්ශය ආසන්නයේ දී සිදුවෙයි. ආසන්නයේ දී මනසේ ද සහභාගීත්වයෙන් ඉන්ද්‍රිය (පංචේන්ද්‍රියන්ට) ගෝචර වන වස්තුන් නිසැකව පවතින බව අපි කියමු ද?

ස්පර්ශයට මෙන් ම දිවට ද මනස සමග එක්වීමෙන් ගෝචර වන්නේ ආසන්න වස්තු ය. අපට යම් වස්තුවක රස දැනීමට නම් ඒ වස්තුව දිව සමග ගැටිය යුතු ය. ඈත ඇතැයි සිතෙන වස්තුවක රස බැලීමට අපට නො හැකි ය. අපට ඈත ඇතැයි සිතෙන වස්තු ස්පර්ශ කිරීමට හෝ එහි රස බැලීමට හෝ නො හැකි ය. එබැවින් ඒ ඉන්ද්‍රිය දෙක, එනම් සම හා දිව, ඇසට වඩා වෙනස් ය. එහෙත් කණ සහ නාසය ගැන කිව හැක්කේ කුමක් ද? ඒ ඉන්ද්‍රිය දෙකට ද ඇසට මෙන් දුරින් ඇතැයි සිතෙන වස්තු ගෝචර වෙයි.

අපට ඈතින් කුරුල්ලකුගේ හඬ ඇසෙයි. ඒ කුරුලු නාදය නගන කුරුල්ලා අපට ඇතැම් විට දැකගැනීමට ද නො හැකි ය. බටහිර භෞතික විද්‍යාවට අනුව ආලෝක කිරණ සාමාන්‍ය අවස්ථාවන්හි දී සරල රේඛා දිගේ ගමන් කරයි. ආලෝක කිරණ ස්කන්ධය විශාල වූ වස්තු මගින් වක්වීමට භාජනය කරන්නේ යැයි සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ඉගැන්වෙයි. අප සාමාන්‍ය අවස්ථා ගැන පමණක් කල්පනා කළහොත් අපට පෙනෙන්නේ අපේ ඇස් ඉදිරියෙහි ඇස සමග සරල රේඛාවක පිහිටි වස්තු ය. ඇස ක්‍රියා කරන අන්දම සැලකු විට ඇස් ඉදිරියෙහි යම් ඝන කෝණයක පිහිටි වස්තු අපට පෙනෙයි. කාන්තාවන්ගේ ඇස් සකස් වී ඇති ආකාරය අනුව ඔවුන්ගේ කෝණය පිරිමින්ගේ කෝණයට වඩා වැඩි බව පැහැදිලි ය. නෙතගින් බලන කාන්තාවන් ගැන සඳහන් වන්නේ එබැවිනි.

ඇස එසේ වූව ද කණට එවැනි ප්‍රශ්ණයක් නැත. පිටුපසින් එන ශබ්ද ද අපට ඇසෙයි. බටහිර භෞතික විද්‍යාවට අනුව එසේ සිදුවන්නේ ශබ්ද තරංග ආලෝක කිරණ මෙන් සරල රේඛාවල පමණක් ගමන් නොකරණ බැවිනි. කණට ශබ්ද තරංග ඉදිරියෙන් පමණක් නොව වෙනත් පැතිවලින් ද ඇතුල් විය හැකි ය. අපේ දෘශ්‍ය පරාසයට වඩා ශ්‍රව්‍ය පරාසය පළල් වෙයි. එහෙත් ඈතින් බල්ලකු බුරන හඬ ඇසුණ ද අපට ඈත බල්ලකු ඇතැයි (පවතී යැයි) ගත හැකි ද? අපට ඇසෙන්නේ බල්ලකු බුරන හඬ පමණකි. සමාජය විසින් අපට ඒ බල්ලකුගේ හඬ යැයි උගන්වනු ලැබ ඇත. එහෙත් බුරන ශබිදයක් ඇසූ පමණින් අපට බල්ලකු ඇතැයි කිව නො හැකි ය. වත්මන් තාක්‍ෂණයට පෙර එසේ කිවහැකිව තිබුණ ද දැන් යමකුට බල්ලකු බුරන හඬ පටිගත කර ඒ හඬ අපට පිටුපසින් ඇසීමට සැලැස්විය හැකි ය.

චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් නැරඹීමේ දී අපට තිරයේ දිස්වන රූපය පවතින්නක් නොවන බවත් ඒ හුදු ප්‍රතිබිම්බයක් පමණක් බවත් අපි දනිමු. එය එසේ වෙන්කර ගැනීමට අපට සමාජය (බටහිර භෞතික විද්‍යාව) උගන්වා ඇත. එහෙත් අපට පිටුපසින් ඇසෙන ශබිද ගැන අපට එසේ කිව නො හැකි ය. ඒ ශබිදය පවතින වස්තුවකින් ලැබෙන මුල් ශබිදයක් ද එසේ නැත්නම් පටිගත කරන ලද ශබිදයක් දැයි කීමට අපට නො හැකි ය. මෙහි දී අප තවත් කරුණක් ගැන ද සැලකිලිමත් විය යුතු ය. අද සම්මත හා අධිපතිවාදී දැනුම වූ බටහිර විද්‍යාවට (භෞතික) අනුව ආලෝකයට රික්තයක වුව ද ගමන්කිරීමට හැකිවුව ද ශබ්දයට එසේ කළ නො හැකි ය. ශබ්දය ගමන්කිරීමට මාධ්‍යයක් අවශ්‍ය ය.

ශබ්ද තරංග ගමන්කරන්නේ මාධ්‍යයක බැවින් රික්තයක සිටින නිරීක්‍ෂකයකුට, කණ නමැති අවයවය තිබුණ ද කිසිවක් නො ඇසෙයි. සූර්යයාගෙන් නිකුත්වන ආලෝකධාරා පොළොවෙහි සිටින අපට ලැබුණ ද ඉන් නිකුත්වන ශබ්ද තරංග අපට කිසි දිනෙක නො ලැබෙයි. එයට හේතුව සූර්යයා හා පොළොව අතර රික්තයක් වීම ය. නාසය සම්බන්ධයෙන් ද එවැනි ක්‍රියාවලියක් සිදුවෙයි. අපට නාසයට ලංකළ මලක පමණක් නොව දුර තිබෙන මලක ද සුවඳ දැනෙයි. එහෙත් මලෙන් සුවඳ ලැබෙන්නේ ඉන් නිකුත් කෙරෙන යම් රසායනයක් අපේ නාසයට ලැබීම හේතුවෙනි. යම් අයුරකින් ඒ රසායන නාසයට ළඟා නොවන්නේ නම් අපට එහි සුවඳ නො දැනෙයි. අනෙක් අතට යම් වස්තුවක සුවඳ දැනීම සඳහා ඒ වස්තුව නාසය ඉදිරිපිට තිබීම ද අවශ්‍ය නො වේ. අපට පිටුපසින් ඇති මල්වල ද සුවඳ දැනෙයි.

ඉහතින් සඳහන් කරන ලද්දේ අපේ පංචේන්ද්‍රියන් මනස සමග එක්වී ඇතිකරන විඤ්ඤාණ පිළිබඳව ය. රූපයක් පෙනීම, ගඳක් සුවඳක් දැනීම, රසයක් දැනීම ආදිය විඤ්ඤාණ පහළවීමෙන් සිදවෙයි. එහෙත් අප මතක තබාගත යුත්තක් නම් මෙහි සඳහන් වී ඇත්තේ බටහිර විද්‍යාව ආධිපත්‍යය දරණ වත්මන් සමාජයෙන් අපට ලැබී තිබෙන දැනුම පදනම් කරගත් විඤ්ඤාණ ය. ඒ විඤ්ඤාණ ගැන සලකා බැලීමේ දී අපට හැඟෙන කරුණක් නම් මනස ශරීරය තුළ ක්‍රියාත්මක වන්නක් බව ය. අපට මනෝ කායක් ඇතැයි මෙහි කිසිසේත් සඳහන් නො වේ. අප එකිනෙකාගේ මනෝ කාය කෙතරම් දුරට විහිදෙන්නේ ද ආදිය ගැන ඉහත සඳහන් දැනුමෙන් නිගමනවලට පැමිණීමට නො හැකි ය. එසේ නොහැකිවීම බටහිර විද්‍යාවේ ප්‍රශ්නයක් මිස අපේ ප්‍රශ්නයක් නො වේ. එහෙත් අද බටහිර විද්‍යාවෙන් ම මෙයට පටහැණි නිරීක්‍ෂණ ලැබෙයි. විශේෂයෙන් ම ස්පර්ශය සම්බන්ධයෙන් බටහිර විද්‍යාවේ වෙනත් නිරීක්‍ෂණ තිබේ.