History

Sunday, 5 February 2012

බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතී. එය වාස්තවික යැයි ඔවුහු කියති. ඒ නිරපේක්‍ෂ වූ ද වාස්තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයි. ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක් පවතින්නේ යැයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරති. එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයි. බටහිරයන් තම දේශපාලන බලය යොදාගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත්කර ඇත.

පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටියහ. ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇත. විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක් වෙයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව ය. බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි ය. මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක් තිබෙන බව පිළිගත් අය ද සිටිය හ. අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි ය.

ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත ඇති බව පැහැදිලි ය. නිවන වචනයෙන් කිවහැකි යැයි ඇතැම්හු කියති. ඇතැමුන්ට අනුව නිවන වචනයෙන් කිවහැකි නො වේ. ඇතැම් උගතුන් යැයි කියන්නන්ට අනුව සංසාරයක් ද නැත. සියල්ල මේ භවයට පමණක් සීමා වෙයි. තවත් භවයක් නැතැයි කියන්නෝ ද පඬිවරුන් ලෙස පිළිගැනෙන අය අතර වූහ. දැනුදු වෙති. බෞද්ධ දර්ශනය පිළිබඳ ඇතැම් මහාචාර්යවරුන්ට අනුව පිරිනිවන් පෑමෙන් පසුව ද රහතන් වහන්සේ භවයක වෙසෙති. රහතන් වහන්සේ මේ භවයෙහි නිවන් දැක පවතින (ජීවත්වන) ආකාරයට උන්වහන්සේට වෙනත් භවයක ද පැවතිය හැකි ය. මේ පඬිවරුන්ට අනුව රහතන් වහන්සේ ඒ භවයෙන් චුත නොවන අතර අමරණීය ද වෙති.

මේ සියළු මත ඒ ඒ ගුරුකල විසින් කරන ලද අර්ථදැක්වීම්වල ප්‍රතිඵල වෙයි. බොහෝ විට මේ මත ප්‍රකාශවන්නේ විරුද්ධ ගුරුකුල හෝ වෙනත් ආගම් හෝ විසින් මතු කෙරන ප්‍රශ්නවලට හා මතවලට සැපයෙන පිළිතුරු හෝ ඒ මතවලට අනුගත වීම් හෝ ලෙස ය. එදා තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ආත්මය ය. බූදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු බ්‍රහ්මණයන් ඈසූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භික්‍ෂූන් වහන්සේට සිදුවිය. එසේ පිළිතුරු දීමේ දී ද බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථකථන සැපයීමේ දී ද භික්‍ෂූන් වහන්සේ විවිධ ගුරුකුලවලට බෙදුණ හ.

එමෙන් ම ඇතැම් අවස්ථාවල භික්‍ෂූන් වහන්සේට එදා අධිපති මතවාදය බවට පත්ව තිබූ බ්‍රාහ්මණ මතයට අනුගත වීමට සිදු විය. එය අද ද වෙනත් ආකාරයකින් සිදුවන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. විශ්වවිද්‍යාලවල සේවය කළ බෞද්ධ දර්ශනය, බුදුදහම ආදී විෂය පිළිබඳ බොහෝ මහාචාර්යවරු බටහිරයන්ට අවශ්‍ය ආකාරයට තම මතවාද සකස් කර ඇති බව පැහැදිලි ය. බටහිරයෝ බුදුදහම දුක මුල් කරගත් අසුබවාතී ආගමක් ලෙස හඳුන්වති. තම ආචාර්ය උපාධි සඳහා බටහිර රටවලට යන බෞද්ධ පඬිවරු මේ මතය නිවැරදි කිරීමට උත්සාහ ගන්නේ පටිච්ච සමුප්පදාය ඔස්සේ නොව බුදුදහම ද වෙනත් දහමක් මෙන් ම ඊනියා සුබවාදී ආගමක් බවට පත්කිරීමෙනි.

මේ පඬිවරු නිවන් දැකීමෙන් පසු නැවත භවයක් නැති බව පිළිගැනීමට අකමැති වෙති. ඒ එහි බටහිරයන් කියන ආකාරයට ගූඪ භාවයක් ඇති බැවිනි. නැවත භවයක් නැත්නම් ඊනියා සුඛයක් විඳීම පිළිබඳ ප්‍රශ්නය මතුවෙයි. මේ පඬිවරුන් පෙන්වීමට උත්සාහ ගන්නේ බුදුදහම තරම් සුබවාදී ආගමක් තවත් නැත යන්න ය. ඒ සඳහා ඔවුහුූ පිරිනිවන් පෑමෙන් පසු නැවත භවයක් ඇති කරති. එය විඳීමක් ඇති තැනක් ද නැති තැනක් ද යන්න පැහැදිලි නැති වුවත් තවත් භවයක් ඇති බව පැහැදිලි ය. එය පටිච්ච සමුප්පදායට විරුද්ධ වුවත් මේ පඬිවරුන්ට ඉන් කම් නැති. අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් කියැවෙන්නෙහි භව පච්වයා ජාති යන්න ද ඇති බවත් භවයක් ඇත්නම් (ආත්මයක් නැතිව වුවත්) ඉපදීමක් ඇති බවත් පඬිවරුන්ට නොතේරෙන්නෙහි ද? අනෙක් අතට අවිද්‍යාව නැත්නම් ඒ හේතුවෙන් සංඛාර ද ආදී වශයෙන් භවයක් ද නැති බව පඬිවරුන්ට පැහැදිලි නැත.

එහෙත් පඬිවරුන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව බුදුදහමේ සියල්ල විනිවිද දැකිය හැකි බව පෙන්වීම ය. බුදුන් වහන්සේ එව බලව යනුවෙන් දේශනා කර ඇති බව පැහැදිලි ය. එහෙත් එයින් කියැවෙන්නේ ද්විකෝටික න්‍යායට අනුව එව බලව යන්න හෝ ඉන්ද්‍රිය ගෝචර භාවය අනුව එව බලව යන්න හෝ නො වේ. බටහිරයන්ට සියල්ල ඇරිස්ටෝටලීය ද්විකෝටිකයට අනුගත වී ඉන්ද්‍රිය ගොාචර විය යුතු ය. එහෙත් නිවන එවැන්නක් නො වේ. බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ. උපමාවක් අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්සීම නිවැරදි නොවුනත් දර නොමැතිව ගින්න නිවීමෙන් පසුව යන තැනක් නැති බව අමතක නොකළ යුතු ය.

බටහිරයන්් බුදුදහමේ ගූඪත්වය පිළිබඳ නගන චෝදනාවලට මුහුන දීමට නොහැකි මෙරට බොහෝ බෞද්ධ උගත්තු බුදුදහම ඊනියා විනිවිද පෙනෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරති. එහෙත් බුදුන් වහන්සේගේ විනිවිද දැක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසුන අයට මිස ද්විකෝටිකය අනුව තර්ක කරන්නන්ට හා පංචෙන්ද්‍රිය ඇසුරු කරගත් දැනුමක් පිළිබඳ ඊනියා පර්ය්ෂණ කරන්නවුන්ට නො වේ. නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි බව කියන පඬිවරුන් එසේ කරන්නේ ද නිවන පිළිබඳ ඇතැයි කියන ඊනියා ගූඪත්වයෙන් ගැලවීමට ය. බටහිරයෝ ඇරිස්ටෝටලීය න්‍යායට හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයන්ට හසු නොවන දෑ ගූඪ ලෙස සලකති. මෙරට බෞද්ධ පඬිවරුන් ද එසේ කරන්නේ ඔවුන් ලබා ඇති පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුවෙන් ඔවුන් ලත් නිවටකම හේතුවෙනි. ඊනියා විද්‍යාඥයන් එසේ කරනවාට ද වඩා බුදුදහම ගැන ප්‍රාමාණික උගතුන් යැයි හඳුනා ගැනෙන්නන් ගූඪත්වයක් ගැන බටහිරයන් සිතන ආකාරයෙන් කටයුතු කර බුදුදහම ඒ ගූඪත්වයෙන් මුදා ගැනීමට වැරදි අර්ථකථන ලබාදීම කණගාටුදායක ය.

ඇතැම් බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන්ට අනුව ප්‍රවාදවලට වඩා ඔවුන් ෆැක්ට්ස් (facts) නමින් හඳුන්වන දෑ සත්‍ය වෙයි. ෆැක්ට් යන්නට නිල පාරිභාෂික ශබ්දමාලාවේ ඇත්තේ පරිසිිද්ධිය යන්න ය. මෙවැනි වචනයක් පැරුන්නන් අතර තිබිණි දැයි නො දනිමි. එවැනි වචනයක් පැරණි සිංහලයන් යොදා ගත්තේ නම් ඒ ගැන සොයා බැලිය යුතු ය. කෙසේ වෙතත් පරිසිද්ධිය යන්න සිිද්ධිය යන වචනයට පරි යන උපසර්ගය යොදා ගැනීමෙන් තනාගෙන ඇති බව පැහැදිලි ය. එය පරිපූර්ණ යන වචනය මෙනි. පරිසිද්ධිය යන්න සිද්ධියට වඩා තහවුරු වූ අර්ථයක් ගෙන දෙයි. එයින් පරිසිද්ධිය යන්න අප අත්දැක ඇති සැකයකින් තොර සත්‍ය වූ සිද්ධියක් යන තේරුමක් ගෙන දෙන්නේ යැයි සිතමි.

කෙසේ වෙතත් ඉංගිරිසියෙන් ෆැක්ට් යන්න යෙදෙන්නේ සැකයකින් තොර සත්‍ය වූ අත්දැකීමක් යන්න හැඟවීම සඳහා ය. ඇතැමුන් ඉට් ඊස් අ ෆැක්ට් (සිංහල වචනවලින් එහෙත් ඉංගිරිසි සම්ප්‍රදායට අනුව නම් එය පරිසිද්ධියකි) ආදී වශයෙන් ප්‍රකාශ කිරීමේ දී මේ සැකයකින් තොර නිර්මාණයක් නොවන අත්දැකීමක් (තමන්ගේ හෝ අනෙක් විශ්වාසවන්තයකුගේ) යන්න ගම්‍ය වෙයි. එබැවින් ඇතැමුන්ට පරිසිද්ධි යනු සත්‍යම සිද්ධි වෙයි. ඔවුහු බොහෝ විට ප්‍රවාද යනු ඉන්ද්‍රිය ගෝචර දෑ නොවන බව දනිති. එබැවින් ඔවුන්ට පරිසිද්ධි වඩා වැදගත් ය.

එහෙත් මොවුන් තේරුම් නොගන්නා කරුණ නම් ඊනියා පරිසිද්ධි ද ප්‍රවාදයක් හෝ අඩුම තරමෙන් සංකල්පයක් මත රඳා පවතින බව ය. ඔවුන් සිතන්නේ පරිසිද්ධි වාස්තවික බව ය. ඔවුන් පරිසිද්ධි නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත යැයි සිතනු විය හැකි ය. එහෙත් එය නිවැරදි නො වේ. අපි බහුල අත්දැකීමක් ගනිමු. පළමුවෙන් ඉර හෙවත් සූර්යයා යන්න ගනිමු. අප සියළු දෙනා ම පාහේ සූර්යයා දැක ඇත. එහෙත් එය ඊනියා පරිසිද්ධියක් ද? අප සියළු දෙනා ම දකින්නේ එකම සූර්යයා ද? බටහිර තාරකා විද්‍යාව බිහිවීමට පෙර බොහෝ දෙනාට සූර්යයා තවත් තාරකාවක් නො වී ය. සූර්යයා අහසෙහි අනන්‍ය වූ දෙයක් විය. බෞද්ධ සාහිත්‍යයෙහි නම් වෙනත් සූර්යයන් ගැන මෙන් ම සත්වයන් වාසය කරන ලෝක ගැන ද කියැවෙයි. ඇතැමුන් එකල සූර්යයා අපට ආලෝකය හා උණුසුම ගෙන දෙන්නක් ලෙස සලකන්නට ඇත. එහෙත් තවත් අයට ඒ සූර්ය දිව්‍ය රාජයා විය. සූර්ය දිව්‍ය රාජයා හා සූර්යයා යනු එකම සංකල්පයක් නො වේ. එබැවින් ඒ ඒ සංකල්ප යොදා ගත් අය දුටුවේ එකම දෙයක් නො වේ.

එමෙන් ම එකල බොහෝ දෙනාට සූර්ය දිව්‍ය රාජයා හෝ සූර්යයා හෝ පොළොව වටා යන්නක් විය. නිශ්චල පොළොව වටා සූර්යයා යන්නේ යැයි ඔවුහු සිතූහ. නැගෙනහිරෙන් පායන සූර්යයා බටහිරෙන් බැස යන්නේ යැයි යන්න බොහෝ දෙනාට ඊනියා පරිසිද්ධියක් වූවාට සැකයක් තිබිය නො හැකි ය. නැගෙනහිර හා බස්නාහිර යන සංකල්ප මෙන් ම උදාගිර අවරගිර යන සංකල්ප ද සූර්යයාගේ මේ දෛනික ගමන ඇසුරෙන් ම නිර්මාණය වී ඇත. එහෙත් භාරතයේ විසු ඇතැමුන් පොළොව සූර්යයා වටා යන බව හා පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව එකල ද දැන සිටියහ. විශේෂයෙන් ම ආධ්‍යාත්මික ව ශක්තිමත් ව සිටිය අයට පොළොව ඉර වටා යන ගමනක් පිළිබඳ ව වැටහීමක් තිබෙන්නට ඇත. එසේත් නැත්නම් ඒ පිළිබඳ ව දෙවිවරුන්ගෙන් ලත් දැනුමක් ඔවුන්ට තිබෙන්නට ඇත. ඒ කුමක් වුවත් මෙහි පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව අත්දුටු අය පරිසිද්ධියක් දැන සිටියෝ ද?

අද බොහෝ දෙනා එලෙස තේරුම් නොගත්තාට සූර්යයා පොළොව වටා යන්නේ ය යන්න එදා බොහෝ දෙනාට අනුව ඊනියා පරිසිද්ධියක් විය. මේ සියල්ල සංස්කාර බව දැන සිටි සිංහලයන්ට පරිසිද්ධිය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නොවන්නට ඇත. එහෙත් බොහෝ සිංහලයන්ට ද සූර්යයා පොළොව වටා යන බවට සැකයක් නොතිබෙන්නට ඇත. එහෙත් පසුව භාරතයේ තිබූ පොළොව තම අක්‍ෂය වටා මෙන් ම සූර්යයා වටා ද භ්‍රමණය වන්නේ ය යන දැනුම කොපර්නිකස් මගින් යුරෝපයට ගිය විට එය එහි ප්‍රචලිත විය. ඉන්පසු ඒ දැනුම නැවතත් පෙරදිගට පැමිණියේ බටහිර අධිපතිවාදී දැනුමක් ලෙස ය.

දැන් ඊනියා පරිසිද්ධිය කුමක් ද? සූර්යයා පොළොව වටා යන බව ද එසේත් නැත්නම් පොළොව සූර්යයා වටා යන බව ද? පොළොව සූර්යයා වටා යන බව අප කී දෙනකුගේ අත් දැකීම ද? අප අත්දැක නොමැති දෙයක් පරිසිද්ධියක් විය හැකි ද? පරිසිද්ධියක් විය හැක්කේ සිද්ධියකට යැයි සිතමි. පොළොව සූර්යයා වටා යන බව සිද්ධියක් ද? අප කිසිවකුටවත් පොළොවේ සිට අත්දැකීමට නොහැකි දේ සිද්ධි ද? එහෙත් බටහිර අධ්‍යාපනයක් ලත් අති විශාල බහුතරයකට පොළොව ඉර වටා යන බව ඊනියා පරිසිද්ධියකි.