History

Wednesday, 22 February 2012

නිව්ටෝනීය රූප කලාප

පටිච්චසමුප්පදායෙහි විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් ද යෙදෙන බව බොහෝ දෙනා නො දනිති. එයට හේතුව අප ඉගෙන ගන්නා පටිච්චසමුප්පාදයෙහි එසේ නාම රූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් සඳහන් නො වීම ය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ ඒ ඒ දම්සභා මණ්ඩපයට ය. එසේත් නැතහොත් ඒ ඒ පුද්ගලයාට ය. එබැවින් සූත්‍ර දේශනා සන්දර්භය මත පිහිටා කරන ලද්දේ වෙයි. සූත්‍ර දේශනාවල සන්දර්භය ගැන සැලකිල්ලක් නොදක්වා ඒ නිරපේක්‍ෂ දැනුමක් ලෙස ගැනීම වරදකි. විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කරන ලද්දේ චක්‍රීය යැයි සිතෙන තර්ක ක්‍රමයකින් මනස අවුල් කර නොගත් අයට යැයි සිතිය හැකි ය.

දැනට අවුරුදු විසිපහකට පමණ ඉහත දී මා විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් සඳහන් වී ඇති බව මෙරට වාසය කළ මහා විද්වතකු ලෙස පිදුම් ලත් එමෙන් ම බෞද්ධ මනෝ විශ්ලේෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලත් මහාචාර්යවරයකුට පැවසූ විට මහු කෝපයට පත් ව එසේ තිබෙන්නේ කොහේ දැයි ඇසුවේ ය. එවැන්නක් දේශනා කර ඇති බව පිළිගැනීමටවත් එතුමා කැමති නො වී ය. එහෙත් අවශ්‍ය අයකුට පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ ලියා ඇති මනසේ මායාව නමැති පොත කියවීමෙන් ඒ පිළිබඳ ව වැඩිදුර දැනගත හැකි ය.

ඇරිස්ටෝටලීය න්‍යායට අනුව රේඛීය තර්කයට පුරුදු වී ඇති මෙරට සිටින බටහිර උගතුන්ට ඔවුන් බුද්ධ ධර්මය පිළිබඳ පශ්චාත් උපාධිලාභීන් වුවත් චක්‍රීය ව සිතීමට සිත එකඟ කරවා ගත නො හැකි ය. බටහිර විශ්වවිද්‍යාලයකින් බුද්ධ ධර්මය පිලිබඳ පශ්චාත් උපාධියක් ලැබීම ම එහි දී බාධකයක් වන්නේ යැයි සිතිය හැකි ය. මහා ප්‍රාඥ සැරියුත් මහා රහතන් වහන්සේ ද විඤාඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කර ඇත. බොහෝ විට එවැනි අවස්ථාවල නාම රූප හා විඤ්ඤාණ ලී දෙකකින් සැදි කරුවක් ලෙස දැක්වෙයි. කරුවෙහි එක් ලීයක් ගත් විට අනෙක් ලීය ද ඇද වැටෙයි. නාම රූප හා විඤ්ඤාණ ද එසේ ය. එකක් අනෙක මත රඳා පැවැත්තෙවයි. ඥාණානන්ද හිමියෝ නාම රූප හා විඤ්ඤාණ දිය සුළියක් ලෙස හඳුන්වති. අපි දිය සුළියට හසු වී එහි කැරකෙමින් සිටින්නෙමු.

අප වෙනත් දේ මෙන් ම නිව්ටෝනීය වස්තු ද දකින්නේ නාම රූප පටළැවිල්ල හේතුකොට ගෙන ය. බාහිර ව පවතින්නේ යැයි කියැවෙන වස්තු අභ්‍යන්තර ව මනසෙන් හඳුනාගන්නේ මනස හා වස්තුව දෙකක් ලෙස ගැනීමෙනි. එහෙත් මනස හා වස්තුව යනු එසේ අභ්‍යන්තර ව හා බාහිර ව පවතින දේ නොව විඤ්ඤාණය නාම රූප සමග එකතු වී කරන මායා දර්ශනයකි. ඊනියා රූපයක් ඊනියා නිරීක්‍ෂකයාගෙන් වෙන් ව පවතිනවා නො වේ. සංකල්පයක් නොමැතිව රූපයක් දැකගත නො හැකි ය. ඊනියා වස්තුවකින් ඇසට ලැබෙන සංඥා මොළයට යෑමෙන් අපට වස්තුවක් පෙනෙනවා නොව අප විසින් ම වස්තුව මවාගනු ලැබේ.

අප කලින් සඳහන් කළ පරිදි වස්තුව වස්තුවක් ලෙස එක්වර දැකීමට සමත් ඉන්ද්‍රියයක් අපට නැත. ඇසෙන් අපට පෙනෙන්නේ ඊනියා වස්තුවේ හැඩය පමණකි. ස්පර්ශයෙන් එහි තද බව දැනෙයි. එහෙත් වස්තුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? හැඩය තද බව ආදිය ඉන්ද්‍රිය ගෝචර ව පවතින දේ ලෙස ගත්ත ද, වස්තුව, එනම් මේසය, පුටුව ආදිය, ඉන්ද්‍රිය ගෝචර වූවක් ලෙස ගන්නේ කෙසේ ද? වස්තුව යන්න මනසේ නිර්මාණයක්, සකස්කිරීමක් පමණකි. මෙයින් අදහස් වන්නේ ඊනියා වස්තුවේ හැඩය, තද බව ආදිය නිරීක්‍ෂකයා යැයි කියන්නකුගෙන් ස්වායත්ත ව පවතින බව නො වේ. හැඩය, තද බව ආදිය ද විඤ්ඤාණයේ හා නාම රූපයේ සකස් කිරීමකි. ඒ ඒ නිරීක්‍ෂකයාගේ සකස් කිරීම් වෙනස් වන්නේ එබැවිනි.

සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අනුව චිත්තක්‍ෂණ දහහතක් රූපක්‍ෂණයකට සමාන වෙයි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන ම කරුණ වන්නේ චිත්තක්‍ෂණය ද සාපේක්‍ෂ බව ය. අපවත් වී වදාළ බෝධි හිමියන් පෙන්වා දී ඇති ආකාරයට නිවන හැරෙන්නට පරමාර්ථ ධර්ම යැයි සැලකෙන ධර්ම චිත්තයට සාපේක්‍ෂ ය. සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි චිත්තක්‍ෂණ දහහතක් රුපක්‍ෂණයකට සමාන යැයි සඳහන් වී ඇත. රූප කලාපයක් ග්‍රහණය කරගැනීමට, එනම් එලෙස සංස්කරණය කර ගැනීමට චිත්ත දහහතක කාලයක් (කාලය යනු පඤ්ඤත්තියක් පමණක් බව අමතක නොකළ යුතු ය) අවශ්‍ය බව මෙයින් කියැවෙයි.

අපට එය තේරුම් ගැනීම අපහසු නො වේ. එක් චිත්තයකට හසුවන්නේ ඊනියා වස්තුවේ හැඩය විය හැකි ය. එහි යම් තොරතුරු ද රැගත් ඊළඟ චිත්තය ඊනියා වස්තුවේ පාට සංස්කරණය කර හඳුනාගන්නවා විය හැකි ය. අවසානයේ දී එවැනි චිත්ත දහහතක් එකතු වී සංස්කරණය කරන ලද සියළු තොරතුරු නැවතත් සංස්කරණය කර අපට ඊනියා වස්තුවක්, රූප කලාපයක් ලබා දෙනවා විය යුතු ය. මෙහි දී පොත පතෙහි රූපය යනුවෙන් නොව රූප කලාපය යන්න යොදා ගෙන තිබීම වැදගත් වේ යැයි සිතමි. රූපය යන වචනය වෙනුවට රූප කලාපය යන්න යොදා ගැනීමෙන්, ඊනියා වස්තුවක් යනු චිත්ත දහහතකට හසුවන කලාපයක් මිස එක් චිත්තයකට පමණක් හසුවන රූපයක් නොවේ ය යන්න ගම්‍ය වෙයි.

නිව්ටෝනීය වස්තුවක එක විට පිහිටීම මෙන් ම ගම්‍යතාව ද මැනගැනීමට හැකි යැයි අපි කියමු. එනම් මේ රූප කලාපයෙහි අප විසින් සකස්කර ගන්නා ලද වස්තුවෙහි පිහිටීම මෙන් ම ගම්‍යතාව ද ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් එම රූප කලාපයෙහි වස්තුවේ පිහිටීම මෙන් ම ගම්‍යතාව ද සකස් කෙරී ඇත. එය චිත්තක්‍ෂණ දහහතක කාලයක සිදු වන්නේ යැයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. මෙහි දී වැදගත් වන්නේ එය චිත්තෂණයක දී සිදු නොවී චිත්තක්‍ෂණ දහහතක දී සකස් කරගැනීමට කල් වේලා දී තිබීම ය. එහෙත් චිත්තක්‍ෂණ දහහතකට අඩුවෙන් ගතහොත් අපට ඊනියා වස්තුවේ ගුණ සියල්ල දැනගත හැකි ද?

චිත්තක්‍ෂණයක් පමණක් නොව චිත්තක්‍ෂණ දහහතක් යනු ද ඉතා සුළු කාලයකි. ඒ සුළු කාලයෙහි අපට නිව්ටෝනීය වස්තුවක පිහිටීම ගම්‍යතාව ආදී ගුණ මැණගත හැකි ය. එනම් අපට ඒ කාලයෙහි ඒ සියළු ගුණ සහිත වස්තුවක් සකස්කර ගත හැකි ය. එහෙත් එයට අඩු චිත්තක්‍ෂණ ප්‍රමාණයක දී අපට මුළු වස්තුව ම නිරීක්‍ෂණය කළ නො හැකි ය. අපට කළ හැකි වන්නේ එක්කෝ ගම්‍යතාව නොමැතිව පිහිටීම පමණක් සකස්කර ගැනීමට ය. නැතහොත් පිහිටීම නොමැතිව ගම්‍යතාව පමණක් සකස්කර ගැනීමට ය. එනම් එක්කෝ ගම්‍යතාව නොමැතිව පිහිටීම පමණක් නිරීක්‍ෂණය කිරීමට ය. නැතහොත් පිහිටීම නොමැතිව ගම්‍යතාව පමණක් නිරීක්‍ෂණය කිරීමට ය.

නිව්ටෝනීය වස්තුවක් හෙවත් රූප කලාපයක් චිත්තක්‍ෂණ දහහතක දී සකස්කර ගත හැකි ය. අනෙක් පැත්තට චිත්තක්‍ෂණ දහහතක දී නිව්ටෝනීය වස්තුවක් හෙවත් රූප කලාපයක් සකස්කර ගත හැකි ය. ඒ එසේ නම් ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක් ද? සාමාන්‍ය මිනිසකුට රූප කලාපයක් ග්‍රහණය කර ගැනීමට, එනම් රූප කලාපයක් සකස්කර ගැනීමට චිත්තක්‍ෂණ කීයක් අවශ්‍ය ද? එය චිත්තක්‍ෂණ දහහත ද? චිත්තක්‍ෂණ දහහතකින් පමණක් සකස්කර ගත නොහැකි රූප කලාප වේ ද? එමෙන් ම යම් කිසි රූප කලාපයක් ග්‍රහණය කර ගැනීමට හෙවත් සකස්කර ගැනීමට චිත්තක්‍ෂණ දහහතකට වඩා අවශ්‍ය වේ නම් සාමාන්‍ය මිනිසකුට එය තනි රූප කලාපයක් ලෙස සකස්කර ගැනීමට නො හැකි ද?

මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අපි නො දනිමු. මේ ප්‍රශ්න සමහර විට ඉතිහාසයේ කෙදිනකවත් නොඅසන ලද ප්‍රශ්න විය හැකි ය. අපට කළ හැක්කේ දැනට යම් පිළිතුරු යෝජනා කිරීම පමණකි. ඇතැම් විට අපට ඒ පිළිතුරු පමණක් නොව ප්‍රශ්න ද වෙනස් කිරීමට සිදුවනු ඇත. චිත්තක්‍ෂණ දහහතක් යනු රූප කලාපයක් සකස්කර ගැනීමට යන කාලය වන්නේ සාමාන්‍ය වස්තුන් හෙවත් බටහිර භෞතික විද්‍යාවේ නිව්ටෝනීය වස්තුන් ලෙස සැලකෙන වස්තු සකස්කර ගැනීමේ දී විය හැකි ය. ඇතැම් විට ඇතැම් නිව්ටෝනීය වස්තුවක් චිත්තක්‍ෂණ දහහතකට අඩු කාලයක දී සකස්කර ගත හැකි දැයි කීමට නො දනිමු. එහෙත් චිත්තක්‍ෂණ දහහතකින් යම් රූප කලාපයක් සකස්කර ගැනීමට නොහැකි නම් එයින් කියැවෙන්නේ ඒ රූප කලාපය “අඩු පාඩු” සහිත ව මනස විසින් ග්‍රහණය කරනවා විය හැකි ය. ක්වොන්ටම් අංශුවක් යනූ එසේ චිත්තක්‍ෂණ දහහතකින් සකස්කර ගැනීමට නොහැකි රූප කලාපයක් විය හැකි ය.

මේ චිත්තක්‍ෂණ දහහත යන්නෙහි යම්කිසි විශේෂිත ලක්‍ෂණයක් ඇතැයි සිතිය හැකි ය. චිත්තක්‍ෂණ දහහතකින් රූප කලාපයක් සකස්කර ගැනීමට නොහැකි නම් චිත්තක්‍ෂණ විස්සකින් නැත්නම් විසිපහකින් රූප කලාපය සකස්කර ගැනීමට නොහැකි දැයි කිසිවකුට ප්‍රභ්න කළ හැකි ය. එසේ නොකළ හැකිය යන්න අපට දැනට සංගත ව සකස්කර ගත හැකි පිළිතුර වෙයි. ඇතැම් විට චිත්තක්‍ෂණ දහහතෙන් පසු නැවතත් චිත්තක්‍ෂණ පේළියක් ආරම්භ වනවා විය හැකි ය. එසේත් නැතහොත් අපට සිතාගත නොහැකි, එනම් දැනට මනසට සාපේක්‍ෂව සකස්කර ගත නොහැකි වෙනත් කරුණක් හේතුකොට ගෙන එසේ වනවා විය හැකි ය.

ක්වොන්ටම් අංශුවක් අපට ඇසට නො පෙනෙයි. එහි තේරුම අප කෙතෙක් වේලා නිරී’්ක්‍ෂණය කළත් අපට අදාළ රූප කලාපයක් සකස්කර ගත නොහැකි බව ය. එනම් චිත්තක්‍ෂ’ණ කොපමණ සංඛ්‍යාවක් ගතවුවත් අපට ක්වොන්ටම් අංශුවක් පිළිබඳ චක්ඛු විඤ්ඤාණයක් ඇතිකර ගත නොහැකි බව ය. අපි ක්වොන්ටම් අංශු සෘජුව නිරී්ක්‍ෂ’ණය නොකරමු. ක්වොන්ටම් අංශුවක් තවත් අංශුවක් සමග ගැටී යන ගමන්මග රසායනික ද්‍රව්‍යයක් ගැල්වූ සේයා පටයක අපට දැකගත හැකි ය. එසේත් නැතහොත් අංශුව වෙනත් තිරයක් මත පතිත වී නීිර්මාණය වන තිතකින් (ප්‍රතිබිම්බයකින්) අපට ක්වොන්ටම් අංශුව “ දැකගත” හැකි ය.

එයට හේතුව සාමාන්‍ය තත්වයන් යටතේ ක්වොන්ටම් අංශුවක පිහිටීම නිරීක්‍ෂණය කර නොමැති විටෙක එය පිහිටුම් රාශියක් ගන්නා බැවින් යැයි අපි සිතමු. ඒ අප සකස්කර ගන්නා පිළිතුරක් මිස අන් කිසිවක් නො වේ. පිළිතුර සකස්කර ගත යුත්තේ එය එවැනි සෑම අවස්ථාවකට ම ගැලපෙන පරිදි සංගත ව ය. එසේ නැතිව එක් එක් අවස්ථාවට ගැලපෙන ආකාරයෙන් පිළිතුරු රාශියක් වේ නම් ඒ පිළිතුරුවලින් අපට ප්‍රයෝජනයක් නොමැත. එකම අංශුවක් යැයි කිව හැකි දෙයක් කිහිප තැනක ඇත්නම් අප එය දැකගන්නේ කෙසේ ද? අප ඒ පිළිබඳ චක්ඛු විඤ්ඤාණයක් ඇතිකර ගන්නේ කෙසේ ද? එහෙත් මේ පිළිතුරෙහි යම් වාස්තවික බවක් ඇති බව ඒ පිළිබඳ තරමක් කල්පනා කිරීමෙන් පැහැදිලි වනු ඇත. ක්වොන්ටම් අංශුවලට නිව්ටෝනීය අංශුවලට නැති වාස්තවිකත්වයක් තිබිය නො හැකි ය.