History

Sunday, 4 March 2012

අන්තො ජටා බහි ජටා


නාම රූප යනුවෙන් බෞද්ධ සූත්‍රවල කියැවෙන රූප බටහිර විද්‍යාවේ රූප නොවන බව මේ වන විට යම් තරමින් වුවත් පැහැදිලි විය යුතු යැයි සිතමි. බටහිර විද්‍යාවේ රූප යනු නිරීක්‍ෂකයාගෙන් බාහිර ව තිබෙන රූප ය. නිරීක්‍ෂකයාගේ ශරීරය ද එහි දී රූපයක් ලෙස ගැනෙන්නේ එය ද (අඩු තරමෙන් එහි කොටස්) නිරීක්‍ෂකයාගෙන් බාහිරව නිරීක්‍ෂකයාට දැකගත හැකි වන අයුරෙන් පිහිටා තිබෙන බැවින් ය. මේ නිරීක්‍ෂකයා යනු ශරීර අභ්‍යන්තරයෙහි ඇතැයි කියා සිතන ශරීරය වුව ද යම් ප්‍රමාණයකට හෝ නිරීක්‍ෂණය කළ හැකි අයකු යැයි ගත හැකි ය. ඇතැම් සිංහල බෞද්ධයෝ නාම රූප යන්නෙහි රූප ලෙස ශරීරය ගනිති. ඔවුන්ට අනුව නාමය යනු යම් අභ්‍යන්තරව පවතින අයකු වෙයි. මෙහි අයකු යැයි යොදනු ලැබුයේ එහි සවිඥාණික ගුණයක් ඇති බව ඇඟවීමට ය. ශරීරයෙන් බාහිර ව පංචෙන්ද්‍රියන්ට ගෝචර වන ගස් ගල් වැනි දෑ ද වෙනත් පුද්ගලයන්ගේ ශරිර ද වෙනත් සත්වයන්ගේ ශරීර ද රූප ලෙස ම ගැනෙයි.

බටහිර විද්‍යාවේ නිරීක්‍ෂකයා යනුවෙන් අයකු ද වස්තුව (රූපය) යනුවෙන් තවත් දෙයක් ද වෙන වෙන ම ගැනෙන බව පැහැදිලි ය. එසේ ම ඒ නිරීක්‍ෂකයා ද වස්තුව ද ඊනියා වාස්තවික යථාර්ථ ලෙස පවතින බව ද බටහිර විද්‍යාවේ දී සැලකෙයි. එනම් නිරීක්‍ෂකයාගේ නිරීක්‍ෂණවලින් ස්වායත්ත ව නිරීක්‍ෂකයා පවතියි. මේ නිරීක්‍ෂකයාට යම් ශරීරයක් ඇති නමුත් නිරීක්‍ෂකයා යනු ඒ ශරීරය සහිත පුද්ගලයා යනුවෙන් සමාජයේ හැඳින්වෙන අය ඉක්මවන තැනැත්තකු බව ද පැහැදිලි ය. නිරීක්‍ෂකයා යනු ශරීරයක් ඇති අයකු වන බව සැබෑ ය. නිරීක්‍ෂකයා යම් යම් දේ (ඉර හඳ තාරකා ගස් ගල්) නිරීක්‍ෂණය කරන්නේ පංචෙන්ද්‍රිය ඇසුරෙනි. එහෙත් ඒ නිරීක්‍ෂකයාට ම තම ශරීරය ද නිරීක්‍ෂණය කළ හැකි ය. නිරීක්‍ෂකයාට දර්පනයක් ඉදිරියට නොගොස් තම ඇස් නිරීක්‍ෂණය කිරීමට නොහැකි මුත් එම සිරුරේ වෙනත් ඉන්ද්‍රිය රාශියක් දැක බලා ගත හැකි ය. එමෙන් ම නිරීක්‍ෂකයාට තම දෑස් ස්පර්ශ කළ හැකි ය.
වෙනත් වචනවලින් කිවහොත් නිරීක්‍ෂකයාට තම සිරුරේ අඟ පසඟ පංචෙන්ද්‍රියන්ට ගෝචර කර ගත හැකි ය. ඇස ඇසට ගෝචර නොවුණ ද ඇස ස්පර්ශයට ගෝචර වෙයි. මෙයින් කියැවෙන්නේ බටහිර දැනුමෙහි සිරුර අභ්‍යන්තරයෙහි (බටහිර විද්‍යාවේ කියැවෙන ආකරයට බොහෝ විට මොළය ආශ්‍රිතව) මනස යනුවෙන් යමක් වන බව ය. මනස හා සිරුර යනුවෙන් ද්වෛතයක් බටහිර දැනුමේ ගොඩ නැගී ඇත. එය බටහිර ගණිතඥයකු හා දාර්ශනිකයකු වූ දෙකාරතේ ගේ පිටින් යැවුව ද බොහෝ බටහිර විද්‍යාඥයන් හා ශාස්ත්‍රවන්තයන් කටයුතු කර ඇත්තේ එලෙස මනස හා සිරුර යනුවෙන් වාස්තවික වූ කොටස් දෙකක් පවතින බව උපකල්පනය කිරීමෙනි. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂකයා යනු මනස මිස අන් කිසිවකු හෝ කිසිවක් හෝ නො වේ. මේ මනස ආත්මීය වූ එකකි. බටහිර විද්‍යාව මුල සිට ම ආත්මවාදී ය. සිංහල බෞද්ධයන් අතර වූ ඊනියා උගත් බෞද්ධ බටහිර විද්‍යාඥයෝ ද ආත්මවාදීහු වෙති.

බටහිර විද්‍යාවේ මනස එසේ මුළ දී ම වාස්තවික බව උපකල්පනය කෙරෙන බව බටහිර විද්‍යාඥයෝ අමතක කරති. මෙහි දී වාස්තවික යන්න යෙදෙන්නේ මනස ද්‍රව්‍යයක් (විකිරණ ද ඇතුළුව) බව අදහස් කිරීමට නො වේ. එය නිරීක්‍ෂකයාගෙන් තොරව නිරපේක්‍ෂව පවතින බව දැක්වීමට ය. මනස ද්‍රව්‍යයක් නො වේ යැයි ඇතැම් බටහිර විද්‍යාඥයන් සලකන්නට ඇත. එය ඇතැමුනට ආධ්‍යාත්මික වන්නට ඇත. එහෙත් මනසට (බටහිර විද්‍යාව මේ සියල්ල පටලවා ගනියි. එයට අනුව විඥානයට) මොළයෙන් තොර පැවැත්මක් නැතැයි පෙන්වීමට බටහිර ද්‍රව්‍යවාදී විද්‍යාඥයෝ උත්සාහ දරති. මොළය ද්‍රව්‍යයෙන් සැදී ඇත. මොළයේ ඇතිවන ක්‍රියාකාරීත්වය හේතුකොට ගෙන මනස (විඥානය) ඇති වන බව පෙන්වීමට බටහිර විද්‍යායෝ වළි කති. මනස ද්‍රව්‍යයක් ද නැත් ද යන්න මෙහි දී බටහිර විද්‍යාවට වැදගත් නො වේ. බටහිර විද්‍යාවට ප්‍රධාන වශයෙන් ම වැදගත් වන්නේ මනස අපේ නිර්මාණයක්, සංස්කරණයක්, නොවන බව, අපට සාපේක්‍ෂ නොවන බව පෙන්වීම ය. ඉන්පසුව ද්‍යව්‍යවාදීන්ට අවශ්‍ය වනුයේ මනස ද්‍රව්‍ය නිසා පවතින බව පෙන්වීම ය. ඔවුන් මනස ද්‍රව්‍යමය වස්තුවක් වූ මොළයේ ක්‍රියාකාරීත්වයට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි.

කෙසේ වෙතත් බටහිර පඬිවරු මුල දී මනස හා සිරුර දෙකක් ලෙස සැලකුහ. නැවතත් අවධාරණය කළ යුත්තේ මනස හා සිරුර නාම රූප සමග පටලවා ගත නොයුතු බව ය.  දෙකාරතේ පඬිවරයාගේ ද්වෛතය පදනම් වන්නේ මෙසේ මනස හා සිරුර දෙකක් ලෙස ගැනීම මත ය. පළමුව මිනිස් සිරුර අරභයා සිදු කෙරෙන මේ වෙනස්වීම පසුව සිරුරකින් හෙබි නිරීක්‍ෂකයා හා අවට බාහිර ලෝකය අතර ඇති වෙනස දක්වා විස්තීරණය කෙරෙයි. සුප්‍රසිද්ධ කාටීසීය තාප්පය ගොඩ නැගෙන්නේ ඒ ඔස්සේ ය. කාටීසීය තාප්පය නම් කෙරී ඇත්තේ දෙකාර්තේ (desCartes) පඬිවරයාගේ නමින් ය. ඔහුට අනුව නිරීක්‍ෂකයා තාප්පයක මෙහා පැත්තේ සිට තාප්පයේ වූ සිදුරකින් තාප්පයෙන් අනෙක් පැත්තෙහි සිදුවන සිද්ධි නිරීක්‍ෂණය කරන අක්‍රීය පුද්ගලයෙකි. නිරීක්‍ෂකයා සක්‍රීය සම්බන්ධතාවකින් තොරව තාප්පයෙන් අනෙක් පැත්තෙහි සිදුවන දේ නිරීක්‍ෂණය කරයි. ඔහුට තාප්පයෙන් එහා පැත්තෙහි නිරීක්‍ෂණය කිරීමට සිද්ධි වෙයි. ඒ නිරීක්‍ෂිතය වෙයි. ඔහු ඒ නිරීක්‍ෂණය කරන්නේ් මැදිහත්වීමකින් තොරව ය. එනම් නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන්නේ කෙසේ වෙතත් සිදුවෙමින් පවතින ක්‍රියා ය. නිරීක්‍ෂකයා ඇතත් නැතත් ඒ ක්‍රියා සිදුවෙයි. ඒ ක්‍රියා නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන අවස්ථාවට පමණක් සීමා නො වේ.

නිරීක්‍ෂකයා ඇතත් නැතත් නිරීක්‍ෂිතයෙහි ගුණවලට අගය ඇත. නිරීක්‍ෂකයා කරන්නේ තමාගෙන් නිරපේක්‍ෂව පවතින ඒ ගුණ මැනගැනීම පමණකි. නිරීක්‍ෂකයා නිසා ඔහුගේ ක්‍රියාකාරීත්වය නිසා නිරීක්‍ෂිතයේ ගුණවලට අගය නො ලැබේ. නිරීක්‍ෂකයා මැන්නත් නැතත් නිරීක්‍ෂිතයේ ඒ ඒ ගුණවලට නිශ්චිත අගය ඇත. දෙකාරතේ පඬිවරයාගේ ගිණුමට බැරකර ද බටහිර පඬුවන් අතර මෙවැනි මතයක්, අදහසක් මුල් බැසගෙන තිබිණි. දෙකාරතේ පඬිවරයා කළේ ඒ අදහස සූත්‍රගත කිරීම ය. මිනිස් සිරුර සම්බන්ධයෙන් මනස හා සිරුර අතර බටහිරයන් අතර තිබූ ද්වෛතය සිරුරක් සහිත නිරීක්‍ෂකයා හා (තාප්පයෙන් එහා පැත්තේ තිබූ) බාහිර ලෝකයක් අතර වූ ද්වෛතයක් කරා විස්තීරණය වූයේ එලෙස ය. නිව්ටෝනීය යාන්ත්‍රිකය හා ඒ අනුසාරයෙන් ගොඩ නැගුණු සම්භාව්‍ය භෞතික විද්‍යාව (ක්වොන්ටම් නොවන භෞතික විද්‍යාව) පදනම් වන්නේ නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂීිතය අතර ඇති ද්වෛතය මත ය. නිව්ටන් පඬිවරයා 1642 දී එංගලන්තයේ දී ඉපදුණු අතර දෙකාරතේ පඬිවරයා ප්‍රංශයේ ඉපදී ඇත්තේ  1596 දී ය. ඔහු 1650 දී මිය යන විට අයිසැක් නිව්ටන් කුඩා දරුවෙකි.

මේ බටහිර අදහස් නාම රූප සමග කෙතරම් වෙනස් ද යන්න නැවත නැවතත් අවධාරණය කළ යුතු වෙයි. බුදුදහමේ නාම රූප ඇතිවන්නේ විඤ්ඤාණය හේතුකොට ගෙන ය. අනෙක් අතට නාම රූප හේතුවෙන් විඤ්ඤාණය හට ගනියි. නාම රුප දෙක ම විඤාඤාණය හා සම්බන්ධ වෙයි. එහි එකක්වත් බාහිරව ඇතිවන්නක් නො වේ. නාමයක් නොමැතිව ඇතිවන රූපයක් නැත. රූපය ද නාමයත් සමග විඤ්ඤාණය නිසා හට ගනියි. එහි දී ඇතිවන සංඥා රූපය නිසා ඇතිවන රූපවලින් ලැබෙන සංඥා නොව රූප පිළිබඳ සංඥා ය. එමෙන් ම රූප යනු සිරුර නො වේ. සිරුර පමණක් නොව මනසක් ද නැති බුදු දහමෙහි නිරීක්‍ෂිත රූප පමණක් නොව නිරීක්‍ෂකයකු ද නැත. ඒ සියල්ල විඤ්ඤාණය නිසා හට ගැනෙන ප්‍රති්‍යතතාසමුප්පන්න පමණකි. එහෙත් විවිධ ගුරු කුලවල බෞද්ධයෝ සිරුර රූපය ලෙස ගනිති. එසේත් නැත්නම් බාහිර ව පවතින්නේ යැයි කියන වස්තු රූප ලෙස ගනිති. නිරීක්‍ෂකයකු ද නැති කල නිරීක්‍ෂිත පවතින්නේ කෙසේ ද?

අපි දැන් නැවතත් රූප කලාපවලට යමු. සිංහල ථෙරවාද අභිධර්ම සාහිත්‍යයට අනුව චිත්තක්‍ෂණ දහහතක් රූපක්‍ෂණයක් වෙයි. මෙහි එක් තේරුමක් නම් රූප කලාපයක් අල්ලා ගැනීමට චිත්ත දහහතක් අවශ්‍ය වන බව ය. අප කලින් කියා ඇති පරිදි ච්ත්තයක් ඇති වී නැති වී තවත් චිත්තයක් හටගනියි. නැති වූ චිත්තයට පසුව පහළ වන චිත්තයට කලින් තිබූ චිත්තයෙහි තොරතුරු විශාල ප්‍රමාණයක් අඩංගු වෙයි. මේ හේතුවෙන් මතකය යනුවෙන් සංකල්පයක් ද ඇති වෙයි. වස්තුවක් අපට ග්‍රහණය වන්නේ කෙසේ ද? මෙහි දී ඊනියා වස්තුවක් අපෙන් ස්වායත්ත ව, නිරීක්‍ෂකයාගෙන් ස්වායත්තව පවතින්නේ යැයි උපකල්පනය නො කෙරෙයි. අපට ඒ ඒ ඉන්ද්‍රිය ඔස්සේ (සළායතනවලින් එකක් ඔස්සේ) ලැබෙන්නේ එක් ගුණයක් පමණකි. එය පටිච්චසමුප්පදායෙන් තේරුම් කර ගත යුතු ය. සියල්ල ඇතිවන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ වූ අවිද්‍යාව හේතුකොටගෙන අපි සංස්කරණය කරන්නෙමු. ඒ හේතුවෙන් විඤ්ඤාණය ද, නාම රූප ද, සළායතන ද, ඵස්ස (ගැටීම –- ස්පර්ශය) ද, වේදනා ද ඇතිවෙයි. ඉන්පසු තණ්හා ආදිය හටගනියි. එහෙත් අපේ කාර්යය සඳහා දැනට අපට වේදනාවෙන් නැවතීමට හැකි වෙයි.  


අප තේරුම් ගත යුත්තක් නම් මෙහි කිසිම තැනක බාහිර වස්තුවක් නිසා ඇතිවන ගැටීමක් වේදනාවක්, ගැන නොකියැවෙන බවය. සියල්ල අභ්‍යන්තරව, එකක් නිසා අනෙක හටගනියි. සංස්කරණය කෙරෙන්නේ අභ්‍යන්තර ව ය. විඤ්ඤාණය, නාම රූප සළායතන ආදී ඒ සියල්ල අභ්‍යන්තර ව ම වෙයි. මෙහි දී සළායතන යන්න ද ඇස කණ නාසය ආදී වශයෙන් සිරුරෙහි පවතින ඉන්ද්‍රිය නොව අභ්‍යන්තරව වූ ආයතන හයක් හැඳින්වීම සඳහා යෙදෙන බව කිව යුතු ය. එසේ නම් නිව්ටෝනීය රූප කලාපයක් යනුවෙන් අප ග්‍රහණය කර ගන්නේ කුමක් ද? අපෙන් බාහිරව ඇති වස්තුවක් ද? එසේත් නැත්නම් අභ්‍යන්තරයෙහි අප විසින් සංස්කරණය (සංඛාර) කෙරෙන ඊනියා වස්තුවක් ද? බාහිරව ඇති වස්තු සමග ගැටීමක් නොමැතිව වේදනාවක් ඇති වන්නේ කෙසේ ද?  අප සියල්ලට ම පළමුව මේ ගැටළුව විසඳා ගත යුතු යැයි සිතමි.

අපට වේදනා ඇතිවන්නේ ගැටීම නිසා මිස බාහිර ව පවතින වස්තු සමග ගැටීම නිසා නො වේ. මනස එක් සළායතනයක් ලෙස ගත්කල මනස නම් සළායතනයෙහි ඇතිවන ගැටීම් නිසා ද වේදනාව ඇති වෙයි. අප එසේ කීව ද එය අපේ ගැටළුවට පිළිතුරක් නොවන බව දනිමි. මනසෙහි පමණක් ඇතිවන ගැටීම් හා මනස හා වෙනත් සළායතනයක් සම්බන්ධ වී ඇති කෙරෙන ගැටීම් අතර වෙනසක් නැති දැයි කිසිවකුට ඇසිය හැකි ය. එබැවින් අපි ප්‍රශ්නය වෙනස් ආකාරයකින් අසමු. ගැටීමකට  පෙර ඊනියා වස්තුවක් තිබේ දැයි අපි දනිමු ද?

සැබවින් ම ගැටීමට (ඵස්ස) පෙර අපට වස්තුවක් නැත. වස්තුව ඇතිවන්නේ ම ගැටීම මෙන් ම වේදනාව ද, පටිච්චසමුප්පාදයෙහි එයට පෙර වූ අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන ද නිසා ය. එසේ ඇතිවන වස්තුව අභ්‍යන්තර ව ඇතිවන්නක් මිස බාහිර ව ඇතිවන්නක් නො වේ. එහෙත් එවිට කිසිවකු අසනු ඇත්තේ එසේ අභ්‍යන්තර ව ඇතිවන්නේ බාහිර ව වස්තුවක් තිබූ නිසා නො වේ ද යන්න ය. දැන් අපි උපකල්පනයක් කරමු. එසේ බාහිර ව වස්තුවක් තිබිණි යැයි අපි සිතමු. අපට එලෙස දැනගැනීමට කිසිම ක්‍රමයක් නැති බව මෙහි දී වටහාගත යුතු ය. (ඈත අහසෙහි මන්දාකිණි ඇතැයි අපට කිසිවකු කී පමණින් අපට මන්දාකිණි දැකගත නො හැකි ය. අපට කළ හැක්කේ එලෙස මන්දාකිණි ඇති බවට විශ්වාස කිරීම පමණ ය. අප බොහෝ දෙනාට ඇත්තේ මන්දාකිණි ගැන විශ්වාසයක් පමණකි.) දැන් මගේ ප්‍රශ්නය අප බාහිරව ඇතැයි සිතන වස්තුවත්, එසේ ඇතැයි සිතුව ද, අප අභ්‍යන්තරව ග්‍රහණය කරන වස්තුවත් දෙකම එකක් ද යන්න ය.