2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යැයි කියන සුළු පිරිසක් රටේ වෙති. ඔවුන්ට අනුව ජයග්‍රහණය සෑමරීමෙන් දෙමළ ජනයාගේ සිත් රිදෙන්නට හැකි ය. එය ඊනියා සංහිඳියාවට හෙවත් ප්‍රතිසංධානයට (ශබිදකොෂයට අනුව රෙකන්සිලේෂන් යන්නෙහි සිංහල පරිවර්තනය) බාධාවක් විය හැකි යැයි ඔවුහු සිතති. ඒ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් එංගලන්තය, ඇමරිකාව හා රුසියාව ජයගැනීම තවමත් අනුස්මරණය කරති. ඒ ජර්මනිය, ඉතාලිය හා ජපානය ඒ ගැන නොසිතන නිසා විය හැකි ය. අද ඒ යුද්ධයෙහි ජයග්‍රහකයන් මෙන් ම පරාජිතයන් ද ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී ඇති අයුරු දැකගත හැකි ය. රෙකන්සිලේෂන් යන වචනය අපට කිසිසේත් ම අදාළ නැති දකුණු අප්‍රිකානු සිද්ධිවලින් ණයට ගත්තකි. එය ලංකාවට හඳුන්වාදුන් පඬියා කවුදැයි අපි නො දනිමු. දකුණු අප්‍රිකාවේ සුද්දෝ කල්ලන් යටපත් කරගෙන සිටියහ. සුද්දන්ගෙන් කල්ලන්ට දේශපාලන බලය මාරුවීමේ දී කල්ලන් රවටා සුද්දන්ට නොසරිලන බලයක් ලබාදීමට සැලසුම් කිරීම (ඇතැම් විට ජීවිත ද ඇතුළු ව) ඒ ඊනියා ප්‍රතිසංධානයේ අරමුණ විය. අවුරුදු තුනකට ඉහත දී ලංකාවේ දේශපාලන බලය කාගෙන් කාහට මාරුවිණි ද? පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිධුරයේ හෝ වෙනසක් පසුගිය අවුරුදු තුනෙහි සිදු වී නැත. නන්දිකඩාල් කලපුවේ දී සිදුවූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය වීම ය.
දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයෙහි එක් අවස්ථාවක බිහිවුණු ප්‍රපංචයකි. අප දිගින් දිගට ම කියා ඇත්තේ දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් ඉංගිරිසින් එය හදා වඩා පෝෂණය කර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහි ව සිංහලයන් හා සිංහල සංස්කෘතිය හැකිනම් නැති කිරීමට නැත්නම් අඩුම තරමෙන් දුර්වල කිරීමට යොදාගත් බවත් ය. එහි දී ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට මෙරට නායකත්වය ලබාදීමට කටයුතු කළේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ඔවුන් බවට පත්කිරීමට උත්සාහ කරමිනි. එහෙත් මෙරට අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය, සංස්කෘතිය, ජනගහණ ව්‍යාප්තිය ආදිය මකාදැමීමට ඉංගිරිසින්ට නො හැකි විය. අවසානයේ දී සර්වජන ඡන්දය ලබාදීමත් සමග සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවිණි. දෙමළ ලෙස සිතා රටේ නායකත්වයට පත්වීමට බැරි බව දුටු චෙල්වනායගම් ඉන් නිසි පාඩම උගත්තේ නැත. ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත්නොකර නූගත් පාඩම් කොමිසමක් පත් කළේ නම් දෙමළ නායකයන් නූගත් ප්‍රධාන ම පාඩම අනාවරණය වීමට තිබිණි. අදත් මෙරට දේශපාලඥයන් හා ඊනියා උගතුන් බහුතරය මේ පාඩම ඉගෙනීමට මෑළි වී ඇත්තේ ඔවුන්ට බටහිරයන්ගෙන් ලැබී ඇති මැකෝලේ අධ්‍යාපනය නිසා ය.
මේ පාඩම අන් කිසිවක් නොව මෙරට තබා කිසිම රටක් මහා අර්ථයකින් බහු සංස්කෘතික රටක් නොවන බවත්, ලංකාව සිංහල බෞද්ධ රට බවත් දෙමළ යනුවෙන් වාර්ගික ව සිතීමෙන් කිසිම දිනෙක දෙමළ නායකයකුට මෙරට ජන නායකයා විය නොහැකි බවත් ය. මේ රට සිංහල බෞද්ධ රට බවත් මෙහි අධිපතිවාදී සංස්කෘතියක් නොමැති බවත් (බෞද්ධයනට අධිපතිවාදී සංස්කෘතියක් තිබිය නො හැකි ය), එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් ඒ බව පිළිගත යුතු බවත් දෙමළ ජාතිවාදී නායකයන් ඉගෙනීමට ප්‍රතික්‍ෂෙප කිරීම අවසානයේ දී දරුණු ලේ හැලීමකින් කෙළවර විය. ඒ පාඩම නූගත් චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ප්‍රභාකරන්ට පාර කපමිනි. තවමත්් බොහෝ දෙමළ නායකයන් ඒ පාඩම ඉගෙනීමට සූදානම් නැත. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඔවුන්ට ඒ පාඩම ඉගෙනීමට නො දෙති. දෙමළ නායකයන් බටහිරයන්ගෙන් ද ඉන්දියානුවන්ගෙන් ද නිදහස් නොවන්නේ නම් නැවතත් ලේ වැගිරීමක් සිදුවනු වැළැක්විය නො හැකි ය.
2009 මැයි 19 වැනි දා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රධාන රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. එහි දී ඉන්දියානුවෝ ද එංගලන්තය හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයෝ ද ජනාධිපතිතුමා විසින් පරාජය කරනු ලැබුණහ. ඒ එතුමාගේ දේශපාලන නායකත්වයෙනි. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් ද ඒ පරාජයෙන් පාඩමක් ඉගෙන නැත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබිණි ද, බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් දෙමළ ජාතිවාදය තවමත් පවත්වාගෙන යනු ලැබේ. අද බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා ද (ඩයස්පෝරා යන පණ්ඩිතමානී බයිබල් වචනයෙන් වෙනත් අර්ථකථන දෙන බව ඇතැම් සිංහල දේශහිතෛශීන්ට ද නො වැටහෙයි.) දෙමළ ජාතික සංධානයේ ඇතැම් පිරිස් ද බටහිර දැනුම එකම දැනුම යැයි සිතන පඬියෝ ද දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යෑම සඳහා බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදාගනු ලැබෙති. දෙමළ ජාතිවාදය තිබෙනතාක් මෙරටට සාමය උදා නොවනු ඇත. පඬියන් සහ වෙනත් බටහිර ගැත්තන් බොහෝ විට පණ්ඩිතමානී ව කියන්නේ ආණ්ඩුව යුද්ධය දිනුවත් සාමය උදාකර නැති බව ය. එයට හේතුව අන් කිසිවක් නොව පඬියන්ගේ ද ආධාරයෙන් බටහිරයන් හා ඉන්දියානුවන් පවත්වාගෙන යන දෙමළ ජාතිවාදය ය. අප දෙමළ ජාතිවාදය න්‍යායිකව පරදවා ඇති නමුත් තවමත් එය දේශපාලනික ව පරාජය කෙරී නැත. මේ තීරුවෙහි වරක් සඳහන් වී ඇති අන්දමට අපි විජිතපුරය ජයග්‍රහණය කළෙමු. එහෙත් අප තවමත් අනුරාධපුරයට ගොස් නැත. එළාර ඔබාමාගේ හා කැමරන්ගේ වෙසින් තවමත් පවතියි. ජී එල් පීරිස්ලා දයාන් ජයතිලකලා ක්‍ෂෙණුකා සෙනෙවිරත්නලා අනුරපුර සටනට සුදුස්සෝ නො වෙති. අපට ඒ සටන සඳහා විජාතික, විදේශීය වූ විදේශ අමාත්‍යාංශයක් වෙනුවට ජාතික වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි.
එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණය ඉතා උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට එය බාධාවක් නොවිය යුතු ය. නන්දිකඩාල් කලපුවේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. ඒ අතර දෙමළ ත්‍රස්තවාදය ඇතිකර පෝෂණය කළ බටහිර රටවල් ද පරාජය කෙරිණි. ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්තවාදී නඩයක් (බටහිර බලවතුන්ගේ සහාය ලෑබුණු) පරාජය කරනු ලැබීණි. එවැනි ජයග්‍රහණයකින් පසුව උත්සව පවත්වන්නේ නැතිනම් උත්සව පවත්වන්නේ කවදා ද? උත්සව පැවැත්වීමෙන් දෙමළ ජනයාගේ සිත් නරක් විය යුතු නො වේ. එසේ කියන්නෝ කලින් කී පාඩම නූගත් අය වෙති. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන දෙමළ ජනයා ද සතුටු විය යුත්තේ ඔවුන්ට එමගින් දෙමළ ත්‍රස්තවාදයේ වියගහෙන් නිදහස්වීමට හැකිවුණු බැවිනි. අප ඔවුන්ට ද මෙරට සිංහල බෞද්ධ රට බව කීමට මෑළි විය යුතු නො වේ. මෙරට සිංහල බෞද්ධ රට යන්නෙන් දෙමළ හින්දු සංස්කෘතියට මෙරට තැනක් නැති බවක්වත් දෙමළ ජනයා දෙවැනි පංතියේ පුරවැසියන් බවවත් නො කියැවෙයි. පුද්ගලයන් වශයෙන් ගත්කල සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමානයෝ වෙති. එහෙත් සංස්කෘතීන් වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා විශේෂ තැනක් ගනියි. කරුණාකර එක් පඬියකුවත් සියළු සංස්කෘතීන් සමාන වන රටකට උදාහරණයක් පවසන්නේ ද? පඬියන් බොහෝ විට පරමාදර්ශී රටක් ලෙස සලකන පුර රාජ්‍යයක් වූ සිංගප්පූරුවේ ද අධිපතිවාදී සංස්කෘතියක් වෙයි. ඒ මැන්ඩරීන් චීන සංස්කෘතියෙහි විශේෂයකි.
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙනි. අද ඒ මහතා වටකරගෙන සිටින ඇතැම්හු ඒ මහතාට ඡන්දය දුන් අයවත් නො වෙති. ඔවුහු ඒ මහතාට විරුද්ධව ලිපි ලිවූහ. මැතිවරණ හා ජනාධිපතිවරණ ව්‍යාපාරවල නියුක්ත වූහ. අද ආණ්ඩුව නැංගුරමක් නැති නැවක් මෙන් ඇදී යන බවක් යම් කිසිවකුට පෙනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව ප්‍රතිගාමී සිංහල බෞද්ධ විරෝධී පිරිස් ඒ මහතා වටකරගෙන ජාතිකත්වයට පටහැණි උපදෙස් ලබාදීම ය. “යුද්ධය” දිනීමට නොහැකි යැයි කීවෝ අද “යුද්ධය” ගැන ලියති. යම් අයුරකින් බටහිරයන්ගේ සැලසුම් මල්ඵල ගැනී මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම අහෝසි වුවහොත් මේ පුද්ගලයන් ටයි මාරුකරනු දැකගත හැකිවනු ඇත. අවාසනාවකට අද ඇමති මණ්ඩලයේ සිටින්නන්ට ද “යුද්ධය” ජයග්‍රහණය කිරීම ගැන කිසිදු විශ්වාසයක් නො තිබිණි. ඔවුහු කී දෙනෙක් පැකේජ් ඇමතියෝ වූවෝ ද? අප සැමදාමත් කියා සිටියේ මෙරට යුද්ධයක් නොතිබූ බව ය. අපේ හමුදාවට සිදුවූයේ සතුරු රටක් සමග යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයක පැටලීමටවත් නොව නීත්‍යානුකූල ව බලයත් පත් රාජ්‍යයට විරුද්ධව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන්, ඔවුන් ම සැපයූ ආයුධ අතට ගත් ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහිව මානුෂික මෙහෙවරක් දියත් කිරීමට ය. එය කිසිසේත් ම දෙමළ ජනයාට එරෙහිව කරන ලද සටනක් නො වී ය.
දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් මෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද හැකිවිය යුතු ය. කළ යුත්තේ සිංහල බෞද්ධ විරෝධී කොටස් ඉවත්කර නැවතත් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ කටයුතු කිරීම පමණකි. දරුස්මාන් ලවා ලියාගත් රොබට් බ්ලේක් -බෑන් කි මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆෝ කුණුහරුප, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජෙනිවා යෝජනා ආදී සියල්ල එක් දම්වැලක පුරුක් මිස තනි තනි සිද්ධි නො වේ. එබැවින් ඒවා තනිතනිව ගෙන ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවන්ත නො වේ. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්ද රාජපක්‍ෂ මහතා (පඬියන්ගේ ඊනියා රෙජීම ය) ඉවත්කර ඒ වෙනුවට ඔවුන්ගේ ඉත්තකු පත්කර ගැනීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ඡන්දය දුන් මෙරට ලක්‍ෂ ගණන් සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටිනතාක් වයිමාට නොව මාරයාටවත් ඒ මහතා ඉවත්කිරීමට නො හැකි වනු ඇත. අප වටහාගත යුත්තක් වේ. මේ 1506වත්, 1815වත් නො වේ. පහළොස්වැනි සියවස අග ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද යන ගී ගයයි. ආර්ථික අර්බුදයක ගෙලවට දක්වා එරී ඇති ක්‍රිස්තියානි නූතනත්වයට ගොඩ ඒමක් නැත. රොබට් බ්ලේක්ට රොබට් බූවුන්රිග්ගේ ශක්තියවත් නැත.