History

Sunday, 3 June 2012

සරත් ෆොන්සේකාගේ දේශපාලනයේ අවරෝහණය

රෝහලේ සිටි සරත් ෆොන්සේකා ජනාධිපති සමාවක් ලැබීමෙන් පසු ගෙදර ගියා මිස ආපසු රෝහලට නො ගියේ ය. ඔහුගේ ආදරණීය බිරිඳ කලින් කියා සිටි අන්දමට නම් ඔහුගේ සෞඛ්‍යය තත්වය එතරම් යහපත් නො වීය. බිරිඳ කී කරුණු අනුව නම් ජනාධිපති සමාව නොලබන්නට ඔහු තවමත් රෝහලේ බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් ඔහුට සුවය ලැබේවා යැයි අපි පතමු. එහෙත් ඔහුගේ දේශපාලන සෞඛ්‍යය නම් අසාධ්‍යය බව කිව යුතු ය. එය සුව කිරීමට හිලරි ක්ලින්ටන්ට හෝ හිටපු විනිසුරුවන්ට හෝ වෙනත් අයට හෝ නො හැකි ය. සරත් ෆොන්සේකා යුද්ධයෙහි දක්‍ෂයෙකි. ඔහුට සතුරෝ මෙන් ම සෙබළු ද බියවුහ. ඔහුගෙන් කොටි ත්‍රස්තවාදීන් පැරදවීමේ දී විශාල දායකත්වයක් ලැබුණු බව අමතක නොකළ යුතු ය. එහෙත් ඔහු ද අනෙක් අය ද අමතක නොකළ යුත්තක් නම් ඔහුගෙන් ඒ දායකත්වය ලැබුණේ ආරක්‍ෂක ලේකම්තුමාගේ සමස්ත යුද්ධ නායකත්වය යටතේ හා ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ බව ය. ආරක්‍ෂක ලේකම්තුමාගේ උපදෙස් මත ජනාධිපතිතුමා ඔහු හමුදාපති වශයෙන් පත්කිරීමෙන් පෙන්නුම් කෙරුණේ එතුමන්ලාගේ දේශපාලන හා හමුදා විඥානය ය. සරත් ෆොන්සේකාට වඩා දක්‍ෂ හමුදාපතිවරුන් හා නිලධරීන් සිටින්නට ඇති නමුදු ඔවුන්ට වත්මන් ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය නො ලැබිණි. ජනාධිපතිතුමා නොවන්නට ලෝකයේ මෙතෙක් සිටි දක්‍ෂතම හමුදා නිලධාරියාටවත් කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නොහැකිවනු ඇත. ත්‍රස්තවාදය පැරදවීමේ ගෞරවය ජනාධිපතිතුමාට අහිමිකළ නො හැකි ය.

2009 මැයි මස කොටි පැරද වූ දින සිට 2010 ජනාධිපතිවරණය දක්වා කාලය මෙරට ඉතාමත් තීරණාත්මක කාලයක් විය. බොහෝ කරුණු අතින් ගත්කල 2010 ජනාධිපතිවරණය මහින්ද රාජපක්‍ෂ මහතා හා බටහිරයන් අතර වූ තරගයක් විය. එය මෙරට ජාතික නිදහස් අරගලයේ සන්ධිස්ථානයක් විය. ජනාධිපතිතුමා බටහිර් හා ඉන්දීය බලපෑම් ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිට කොටින් පරාජය කළේ ය. ආරක්‍ෂක ලේකම්තුමා නම්බියාර්ලාගේ සැලසුම් පරාජය කරමින් ප්‍රභාකරන්ට රටෙන් පිට වී යෑමට කිසිදු අවස්ථාවක් ලබා නොදිණි. එහි දී යුද්ධ හමුදාවේ මෙන් ම නාවික හා ගුවන් හමුදාවල ද දායකත්වය ඉතාමත් ඉහළ මට්ටමක විය. මානුෂික මෙහෙයුම්වල අවසාන දින කිහිපයෙහි සරත් ෆොන්සේකා මෙරට නො සිටියේ ය. එහෙත් නාවික හා ගුවන් හමුදාපතිවරු මෙරට රැඳී සිටිමින් තම කාර්යයන් නිසිලෙස ඉටු කළහ. බටහිරට ද අනෙක් දෙමළ ජාතිවාදීන්ට ද අවශ්‍ය වූයේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම ය. ඒ වන විට මෙරට දේශපාලනයේ ජාතිකත්වය ගාමක බලය බවට පත්වී තිබිණි. එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට යම් ජාතිකත්වයක් ඇති අපේක්‍ෂයකු අවශ්‍ය විය. විජාතික මනසක් ඇති රනිල් වික්‍රමසිංහ එයට නුසුදුස්සෙක් විය. ඒ සඳහා විපක්‍ෂයට සිටි යම්තමින්වත් ගැලපෙන අපේක්‍ෂකයා වූයේ සරත් ෆොන්සේකා ය. සරත් ෆොන්සේකා ඒ වන විට ජාතිකත්වයක නොසිටි නමුත් ජනතාව ඒ බව නොදැන සිටියහ. ඔවුන්ට ඔහු දක්‍ෂ හමුදාපතිවරයා විය. එහෙත් ඒ හමුදාපතිවරයා ඒ වන විට ඇමරිකාවට ගොස් පිල් මාරුකරගෙන සිටියේ ය. 2009 මැයි මාසයෙන් පසු ඔහු ඇමරිකාවට යනවිට ඔහුට හා ආරක්‍ෂක ලේකම්තුමාට විරුද්ධව නඩුවක් ඇමරිකාවේ ප්‍රාන්ත උසාවියක ගෙනුකර තිබිණි. යුද්ධාපරාධ සම්බන්ධයෙන් වූ ඒ නඩුවේ චෝදනා පත්‍රය ම පිටු සිය ගණනක් විය. 2009 ඔක්තෝබරයේ හෝ ඒ ආසන්නයේ හෝ ඇමරිකාවට ගිය සරත් ෆොන්සේකාට ඇමරිකන් නිලධාරීන් හමුවිය. ඇමරිකාවට ගොස් ආපසු පැමිණියේ ඒ සරත් නොව මේ සරත් ය. එහි දී ඇතිවූ සාකච්ඡා කවරේදැයි අපි නො දනිමු. එහෙත් සරත් ෆොන්සේකා සුදු කොඩි කතා පටන්ගත්තේ ඉන් පසුව ය.

රනිල් වික්‍රමසිංහ තම කැමැත්තෙන් ජනාධිපති අපේක්‍ෂක ධුරය අත්හැරියේ යැයි සිතිය නො හැකි ය. ඔහු පරාජය ලුහු බඳියි. ඔහු සරත් ෆොන්සේකාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදුන්නේ බටහිරයන්ගේ බලකිරීමට යැයි අපි සිතමු. ජනතාව ඉදිරියේ සරත් ෆොන්සේකාට ජාතිකත්ව ප්‍රතිරූපයක් තිබූ බැවින් එය දඩමීමා කරගැනීමට බටහිරයන් තීරණය කරන්නට ඇත. එහෙත් 2005 ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට 2010 දී සරත් ෆොන්සේකාට නොහැකි විය. එයට හේතුව 2005 දීට වඩා 2010 දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනප්‍රිය වීම ය. 2005 දී ඒ මහතා දිනීමට හැකියාවක් ඇති අයකු ලෙස නො සැලකිණි. චන්ද්‍රිකා කුමරතුංග ඇතුළු ශ්‍රි ල නි ප බලවත්තු ඒ මහතාට විරුද්ධ වූහ. එහෙත් 2010 දී ඒ මහතා කොටි ත්‍රස්තවාදය පැරදවූ විශිෂ්ට සේනාධිනායකයා ලෙස ජනප්‍රියත්වයේ මුදුන් හිණිපෙත්තේ විය. 2010 ජනාධිපතිවරණ දිනවලට පෙර ම අපි සරත් ෆොන්සේකා බටහිරයන්ගේ අපේක්‍ෂකයා ලෙස ද දැනගෙන සිටියෙමු. ඔහු අම්බලන්ගොඩ හා රත්නපුරේ දී කළ සුදු කොඩි කතාව හා ඇමරිකාවේ ප්‍රාන්ත උසාවියක ඔහුට එරෙහිව තිබූ නඩුවට වූ දෙයක් නොමැතිවීම හා බටහිරයන්ගේ අවශ්‍යතාව විෂ්ලේෂණය කළ අපට සිදුවෙමින් පැවතියේ කුමක් දැයි තේරුම් ගැනීම අපහසුවක් නො වීය. රාජපක්‍ෂවරුන්ට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ගෙනැවිත් ඔවුන් දංගෙඩියට දැක්කීමේ සූදානමක් ඇති බවත් එයට සරත් ෆොන්සේකා ද යොදා ගැනීමට යන බවත් අපට පැහැදිලි විය. අපි මේ සියල්ල එදා කීවෙමු. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කුරුණෑගල දී පැවති රැස්වීමක දී සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව කියා සිටියෙමි. පසුව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය අතර වූ සාකච්ඡාවක දී ද සරත් ෆොන්සේකාට විරුද්ධව ඇමරිකාවෙි ප්‍රාන්ත උසාවියක ගොනුකර තිබූ නඩුව ගැන ද සඳහන් කරමින් මේ අදහස් නැවතත් පැවසීමි. අප පළකළ අදහස් උද්ගමනය (නිගමන ද උද්ගමනය මත පදනම්වන බව අපි දැන් දනිමු. ඒ දැනුම ද උද්ගමනය මත පදනම් වෙයි) මත පදනම් විය. පසුගිය කාලයේ විකිලීක්ස් අනාවරණ මගින් අප එදා කී බොහෝ කරුණු සනාථ වී ඇත. සරත් ෆොන්සේකා තවත් දේශපාලනඥයන් සමග හිටපු ඇමරිකානු තානාපතිනිිය හා කළ කතාබස් දැන් අනාවරණය වී ඇත. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිටීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර විය. පසුව පැවති නඩු විභාගවල දී ඔහු සුදු කොඩි කතාව සම්බන්ධයෙන් ද යුද්ධාධිකරණයේ දී තවත් නඩුවකින් ද වරදකරු වී සිරදඬුවමකට යටත් විය.

අද ඔහුට ජනාධිපති සමාවක් ලැබී ඇත. එහි ද සම්පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ජනාධිපතිතුමාට හා ආරක්‍ෂක ලේකම්තුමාට ය. බංකොළොත් එ ජා ප හා ජ වි පෙ කුමක් කීව ද සරත් ෆොන්සේකා කිසි දිනෙක දේශපාලන සිරකරුවෙක් නො වී ය. ඔහු 2009 අග භාගයේ සිට බටහිරයන් විසින් මෙහෙයවනු ලැබූ පුද්ගලයකු වූ අතර උසාවිවලින් වරදකරුවකු ලෙස දඬුවම් නියම කරනු ලැබූ පුද්ගලයෙක් විය. මෙරට සිංහලයන්ගේ රට යැයි වරක් කී සරත් ෆොන්සේකාට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නේ බටහිරයන්ගේ කීමට ය. අද රනිල් සම්බන්ධන් හා එකතු වී සිටින්නේත් බටහිරයන්ගේ අවශ්‍යතාවට ය. ඒ කෙසේ වෙතත් ජනාධිපති සමාව ලබාගැනීමේ දී සරත් ෆොන්සේකා කිනම් තත්වයක් යටතේ වුව ද තමන්ට විරුද්ධව දුන් නඩු තීන්දුවලට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනා ඉවත් කර ගත්තේ ය. අභියාචනා ඉවත්කර ගැනීමත් සමග නීතිය ඉදිරියේ ඔහු අදාළ චෝදනාවලට වැරදිකරුවෙයි. ජනාධිපති සමාව නිසා ඔහු චෝදනාවලින් නිදහස් නො වෙයි. ජනාධිපතිතුමා කර ඇත්තේ උසාවියෙන් වැරදිකරුවකු යැයි තීරණය කරනු ලැබූවකුට පුර්ණ සමාව දීම පමණකි. ජනාධිපති සමාව ලැබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ යැයි අප උපකල්පනය කරන්නේ ඒ සම්බන්ධයෙන් හිටපු විනිසුරුවකු හා තවත් අය නගන ඝෝෂාව ගැන සැලකිලිමත් වෙමිනි. ඔවුන්ට අනුව ජනාධිපතිතුමා සරත් ෆොන්සේකාගේ දඬුවම් අහෝසි කර නැති බැවින් සරත් ෆොන්සේකාට තවත් අවුරුදු හතක් යනතුරු ඡන්ද බලය හා මැතිවරණවලට ඉදිරිපත්වීමට නො ලැබෙයි. මේ අය පෙන්නුම් කරන්නේ සරත් ෆොන්සේකා මැතිවරණවලට ඉදිරිපත්වීමෙන් වැළැක්වීමට ජනාධිපතිතුමාට අවශ්‍ය බව ය. එහෙත් ඔවුන්ගේ සැඟවුණු බලපොරොත්තුව නම් සරත් ෆොන්සේකා උසාවියෙන් වැරදිකරුවකු කරනු ලැබූ චෝදනාවලින් නිදොස් කිරීම ය. රනිල් වික්‍රමසිංහ ද අමතක ඇති කරුණ නම් සරත් ෆොන්සේකා තම අභියාචනා ඉවත්කර ගැනීම මගින් තමන් අදාළ චෝදනාවලට වරදකරුවා බව පිළිගෙන තිබීම ය. අනෙක් අතට කිසිම අවස්ථාවක ජනාධිපති සමාවක් දෙන විට යුද්ධාධිකරණයේ තීන්දු අහෝස් කර නැත. නීතිඥයකු ද වූ ජනාධිපතිතුමා මේ නීති ගැටයට හසුවේ යැයි සිතිය නොහැකි ය. එතුමාට අවශ්‍ය නම් 34 (2) වගන්තිය හා 89 (ඩ) වගන්තිය යටතේ සරත් ෆොන්සේකාට ඕනෑම මැතිවරණයකට ඉදිරිපත්වීමට ඉඩදීමට හැකි ද යන්න සොයා බැලිය හැකි ය.

සරත් ෆොන්සේකා මැතිවරණවලට ඉදිරිපත් වුවත් නැතත් ඔහුට දේශපාලන වශයෙන් අනාගතයක් නැත. දේශපාලනය හමුදා නිලයක යෙදීමට වඩා උපද්‍රව සහිත බව සරත් ෆොන්සේකා ඉගෙන ගනු ඇත. දේශපාලනයෙහි දී නායකයා වීම හමුදාපති වීම තරම් ස්ථාවර නො වේ. ඒ මහතාට දේශපාලනයෙහි යෙදෙන්නේ නම් විකල්ප තුනක් ඇත. නව දේශපාලන පක්‍ෂයක් තනාගෙන හෝ නැතිව හෝ සජිත් - රෝසි පිළ හා ජ වි පෙ සමග ව්‍යාජ ජාතිකත්වයක් මත පදනම් ව සංධානයක ගොනු වීම, රනිල් - සම්බන්ධන් සමග සන්ධානයක් ඇතිකර ගැනීම, මහා සන්ධානයට එකතු වී ආණ්ඩුව සමග එකඟත්වයකට පැමිණීම ඒ විකල්ප තුන වෙයි. තනිව ම ක්‍රියාත්මක වීම, වික්‍රමබාහු සිරිතුංග ජයසූරිය පෙරටුගාමී කෙකරගාමීන් සමග එකතුවීම ආදිය ද විකල්ප වෙතත් සරත් ෆොන්සේකා ඒ සැලකිල්ලට ගනු ඇතැයි සිතිය නො හැකි ය. එසේ කළහොත් ඔහුගේ දේශපාලන ජීවිතය එදින ම අවසන් වෙයි.

ඔහු මේ සරත් මිස ඒ සරත් නො වේ. අද ඔහු වැලිකඩ හිරගෙදර නැතිවුව ද බටහිරයන්ගේ හිරකරුවෙකි. එබැවින් ආණ්ඩුවත් සමග එකතු වීමට ඔහුට තහංචි වෙයි. රනිල් - සම්බන්ධන් සමග සංධානයක් ඇතිවීමට ඉඩකඩ අවමයක් වන්නේ බටහිරයන් තම බලය යෙදීමෙන් නොවිසඳුවහොත් එහි දී නායකත්වය පිළිබඳ ප්‍රශ්න ඇතිවන බැවිනි. එබැවින් සරත් ෆොන්සේකාටත් බටහිරයන්ටත් ඇති ප්‍රධාන විකල්පය වනුයේ සජිත් - රෝසි –- ජ වි පෙ ව්‍යාජ ජාතිකත්ව හවුලකි. එහෙත් ඒ හවුලට වුව ද බටහිරයන් සතුටු කරමින් මේ ආණ්ඩුව (පඬියන්ගේ රෙජීමය) පෙරළිම සඳහා යුද්ධාපරාධ, ඊනියා මානව අයිතිවාසිකම්, දෙමළ ජාතිවාදයේ නූගත් පාඩම්, ජාත්‍යන්තර අධිකරණ හා විනිශ්චය මණ්ඩල, ආර්ථික තහංචිවලට සහාය දීම ආදියට සහභාගි සිදු වෙයි. සරත් ෆොන්සේකා ද ඉතා කැමැත්තෙන් ඒවාට සහභාගි වී තම ජාතිකත්වය ව්‍යාජයක් බව නොබෝ කලකින් ම හෙළිදරවු කරනු ඇත.

සරත් ෆොන්සේකා සමාවක් ලැබ (ඔහු කැමති වුවත් නැතත් ඉල්ලුවත් නැතත් ලැබුණේ සමාවකි) ගෙට ගොඩ වැදීමට පෙර මෙන් බීබීසියේ අගු පිලේ වැතිරෙන සංදේශයට පවසා ඇත්තේ ඊනියා යුද්ධාපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා රජය සහාය දිය යුතු බවත් රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැඟී යන බවත් ය. සාමාන්‍ය වැසියන් හමුදාව අතින් මියගිය බව ඔහු ප්‍රතික්‍ෂෙප කරයි. එහෙත් නඩේසන්ලා සාමාන්‍ය වැසියන් නොවන බව ඔහු දනියි. ඔහු කියන්නේ කුමක් දැයි පැහැදිලි ය. ඔහු තවත් තැනක කියා ඇත්තේ හමුදා ඇඳුමෙන් සිටින අය ආරක්‍ෂා කිරීමට ඔහු ඉදිරිපත් වන බව ය. අද වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පමණක් නොව ෂවේන්ද්‍ර සිල්වා මහතා හා හිටපු නාවික හා ගුවන් හමුදා නිලධාරීනුත් හමුදා ඇඳුමෙන් නැති බව කවුරුත් දනිති. ඔහු සැරසෙන්නේ කුමක් සඳහා දැයි පැහැදිලි ය. වැඩිකල් නොගෙස් ජනතාවගෙන් බහුතරයට ඔහු ක්‍රියා කරන්නේ කාගේ වුවමනාවට දැයි තේරුම් යනු ඇත. ඔහුට තමා දූෂණයට විරුද්ධව කටයුතු කරන්නේ යැයි ද කිව නො හැකි ය. ඔහු දූෂණය සම්බන්ධ නඩුවක වැරදිකරුවකු වී ඇත. අර විනිසුරුවා ප්‍රධාන පිරිස ඔහුගේ සියළු දඬුවම් අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ ද එවැනි ප්‍රශ්න නිසා ය. ඔහුගේ දේශපාලනයේ බහින කලාව එළඹී ඇත. වැඩිකල් නොගොස් ඔහු හෙළිදරවු වනු ඇත. කෙසේ වෙතත් අපි ඔහුට යහපත් සෞඛ්‍ය තත්වයක් පතමු. ඔහුට රෝහල්වල ගතකිරීමට සිදුවන කාලය අඩුවේවා යැයි ද පතමු.