History

Sunday, 17 June 2012

වඳිම් සිදුහත් මගින් හෙළිවන සිංහල බෞද්ධ උරුමය

සිංහල බෞද්ධ උරුමය වෙනත් අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය ය. එහෙත් දැනට වසර පන්සියයකට අධික කාලයක් සිංහල බෞද්ධ සංස්කෘතියට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට වැදෙයි. එහි දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයට යටවීමට අපට සිදු වී ඇත. ඒ ආධිපත්‍යයෙහි මෙරට නියෝජිත පුහු පඬියෝ ඔවුන් නොදන්නා බටහිර විද්‍යාවක් කරපින්නාගෙන සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුමට ගරහතිෂ ඒ දැනුම් බොහෝමයක් මිථ්‍යාවන් යැයි අපට කියති. ඔවුහු අපේ දැනුම් ඊනියා විද්‍යාත්මක ආකල්පවලට යටකිරීමටත් එමගින් විකෘති කිරීමටත් උත්සාහ ගනිති. එමගින් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම අර්ථවිවරණය කරති. බුදුදහම යථාර්ථවාදයක් වාස්තවික භාණ්ඩයක් කිරීමට උත්සාහ ගනිති. එමගින් එහි ඇති ඊනියා මිථ්‍යාවන් හා ගූඪත්ව බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවේ දුම්මල අල්ලා පළවා හැරීමට වැර වෑයම් කරති. බුදුදහමේ අයිතිකරුවන් ලෙස හා සැබෑ ථෙරවාදීන් ලෙස පෙනී සිටින්නෝ එහි දී නිහඬ වෙති. එහෙත් වාසනාවකට මෙරට ගැමිකම රැකගත් ගැමියන් හා බටහිර අධ්‍යාපනයෙන් මෝහනයට පත් නොවූවන් හේතුකොට ගෙන වුදුදහමේ හරය තවමත් අප සමාජයෙහි පවතින අතර සිංහල බෞද්ධ සංස්කෘතිය ද යම් පමණකින් වුව ආරක්‍ෂා වෙයි.

බුදුදහම බටහිර විද්‍යාත්මක නො වේ. බටහිර විද්‍යාව මුළුමනින් ම රඳා පවතින්නේ උද්ගමනය මත ය. එහෙත් බුදුදහමේ හරය ප්‍රත්‍යක්‍ෂය වෙයි. එසේ වුවත් නිවන පසක් කරගැනීම හා අලියා පසක් කරගැනීම එකක් නො වේ. එකක් ලෝකෝත්තර ය. අනෙක ලෞකික ය. පඬියන් කටයුතු කරන්නේ නිවන පසක් කිරීම ද ලෞකික වූවක් බවට පත්කිරීමට ය. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද වෙයි. බුදුදහමෙහි ප්‍රවාද නැත. මා මේ පඬියන්ට, පුස්සන් ආදී වශයෙන් පරිභව කරන්නේ මූලික වභයෙන් ම ඔවුන් අපට ජාතිවාදීන් කොදෙව් මානසිකත්වයක් ඇතියවුන් ජාත්‍යන්තර දැනුමක් නැති ලිංමැඬියන් ආදී වශයෙන් ගරහන බැවිනි. බෞද්ධයකු ලෙස මා එසේ පරිභව නොකළ යුතු බවත් ඔවුන්ට මෙත් වැඩිය යුතු බවත් දනිමි. එහෙත් අපට ඇතැම් දේ කල් නොදමා මේ භවයෙහිම කිරීමට සිදු වී ඇත. ඒ අතර අප පාලනය කරන බටහිර ක්‍රිස්තියානි විද්‍යාව ඇතුළු දැනුමට පහර දීම ද වෙයි. මෙරට සිටින ඊනියා උගත් බෞද්ධයන්ගෙන් මම ප්‍රශ්න දෙකක් අසමි. ප්‍රශ්න දෙකක් වුව ද හරය වශයෙන් ගත්කල ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඔබ පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් විකාශය ද (එය ඊනියා පරිණාමවාදයක් නො වේ) , එසේත් නොමැති නම් ඩාවින් බයිබල් ආකෘතිය මත පදනම් වෙමින් නිර්මාණය කළ කතාව වූ පරිණාම වාදය ද? දෙවැනුව ඔබ පිළිගන්නේ සංවට්ටකප්ප විවට්ටකප්ප සහිත කෙළවරක් නොමැති කල්පවලින් යුත් විශ්වය ද එසේත් නැත්නම් අයින්ස්ටයින් ගේ කතන්දරයක් වූ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගලා එන මහා පිපුරම් වාදය ද? ඊනියා උගත් බෞද්ධයන්ට ඒ දෙක දෙකක්, අප එතැන දී එය පිළිගන්නවා මෙතැන දී මෙය පිළිගන්නවා ආදී පිළිතුරු දී පැනගිය හැකි නො වේ. මේ ප්‍රශ්නවලට ඒකාන්ත පිළිතුරු අවශ්‍ය වෙයි. මහා පිපිරුම සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට මට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් එහි සනාතන සභාවේ විශේෂ තීරණයක් මත උපාධියක් පිරිනැමුව ද මම මහා පිපිරුම්වාදය ප්‍රතික්‍ෂෙප කරමි. සනාතන සභාවේ විශේෂ අවසරයක් මත අඩු කාලයකින් මට උපාධියක් ලබාදීමට මුල් වූ මගේ ගුරුවරයාට ඇති ගෞරවය නොවන්නට මම එම උපාධිය ආපසු දීමට පියවර ගනිමි. ඒ මා දැන් විශ්වවිද්‍යාල සේවයේ නැති නිසා කරන පාරම් බෑමක් නොවන බව ද කියනු කැමැත්තෙමි.

කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ආකල්පයක් නැත. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය අවසානයේ දී දේශනා කළේ එළොවට හා මෙළොවට වැඩදායක වන පරිදි සමාජයේ විඤ්ඤූන් කරන දේ කිරීමටත් නොකරන දේ නොකිරීමටත් ය. අද සමාජයට නම් එය එතරම් නොගැලපෙන්නේ දැන් විඤ්ඤූන් ලෙස සැලකෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෑනුමෙන් හිස් පුරවාගත් පඬියන් බැවිනි. කාළාම සූත්‍රය ගැන කට කියවන්නන්ගෙන් එහි අවාසනය දක්වාම කියවා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද සමාජයේ උගතුන් බුද්ධිමතුන් ලෙස පැවතීමට නම් ගැමි බව අත්හැරිය යුතු ය. කාලාම සූත්‍රය බටහිර ඇසකින් ඇගයිය යුතු ය. නිවන වචනයෙන් කිවහැකි ඊනියා යථාර්ථයක් ලෙස පෙන්වා දිය යුතු ය. බුදුන් වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ ධර්මයෙහි යථාර්ථවාදී බව අගය කළ යුතු ය. බුදු සිරිත යථාර්ථවාදීව විග්‍රහ කළ යුතු ය. එහි දී බුදු සිරිත විකෘතිවන්නේ නම් ඒ විකෘතිකිරීම්වලට විරුද්ධව ගැමියන් ගැමි පදනමක් ඇති භික්‍ෂූන් වහන්සේ විරුද්ධවන්නේ නම් කළ යුත්තේ ඒ ගිහියන්ගේ හා භික්‍ෂූන් වහන්සේගේ ආචීර්ණ කල්පික මතවලට එරෙහිව ඊනියා විද්‍යාත්මක මත ගෙනහැර දැක්වීම ය. ජාතික පුවත්පතක් වූ සිළුමිණෙහි කතුවරයකුව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා යථාර්ථවාදයකු ලෙස බුදුසිරිත පදනම් කරගෙන බවතරණය නමින් කෘතියක් නිර්මාණය කර තමන් සිංහල සංස්කෘතිය ගැන කෙතරම් කතා කළත් ලීවත් අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාව ඉදිරියේ තම සංස්කෘතික අදීනත්වය නසා ගත්තේ ය.

ගාමිණී සුමනසේකර මහතා ද ජාතික පුවත්පතක් වූ දිවයිනෙහි ප්‍රධාන කර්තෘ (අවශ්‍ය නම් සංස්කාරක) වෙයි. ඔහු පේරාදෙණිය විශ්වවිිද්‍යාලයෙහි උපාධිධාරියෙකි. ඒ මහතා කලක් සිළුමිණ පුවත්පතෙහි ද සේවය කළේ ය. ශිෂ්‍ය අවධියේ සිට ම මා දන්නා අයෙකි. මා නව සමසමාජ පක්‍ෂයෙහි සාමාජිකත්වයෙන් අස්වෙමින් මාක්ස්වාදය විද්‍යාත්මක ද මැයෙන් ලියු දීර්ඝ ලිපිය 1980 වසරෙහි සිළුමිණ පත්‍රයෙහි කොටස් වශයෙන් පළකිරීම භාරව සිටියේ ඒ මහතා ය. ඒ මහතා ඇතුළු පිරිසක් සිළුමිණෙන් දිවයිනට පැමිණෙන විට මම ද ඔවුන් සමග සංක්‍රමණය වීමි. එදා සිට නිිදහස් ලේඛකයකු ලෙස මම නිතිපතා දිවයිනට හා උපාලි පුවත්පත් ප්‍රකාශනවලට ලියමි. මා සිතන අයුරින් දිවයින පුවත්පතට බාහිර ලේඛකයකු ලෙස වැඩිම ලිපි සංඛ්‍යාවක් ලියා ඇත්තේ මා ය. ඒ ලිපි පළකිරීම පිළිබඳ ව මා ඒ මහතාට වඩාත් ම කෘතඥවන්නේ ඇතැම් කාලවල පඬියන්ගේ මැති ඇමතිවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ විරුද්ධතාව මැද ද මගේ ලිපි පළකිරීමට කටයුතු කිරීම නිසා ය. එහෙත් ඒ මහතාට මා ගරුකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැඳිනගත් ගැමිකම අත්නොහැරි ගැමියකු වීම නිසා ය. එක් කලක අපි කිහිප දෙනෙක් එකතු වී දිවයින පුවත්පත ඔස්සේ පඬියන්ට පරාජය කළ නොහැකි ජාතික මතවාදයක් ගොඩ නැගුවෙමු. ඒ මතවාදය දිනෙන් දින ශක්තිමත් වෙයි. ඩික්සිත් ට ග්ලැඩ්ස්ටන්ට බ්ලේක්ට එරෙහිව නැගී හිටියේත් දැන් රැන්කින්ට (රැන්කින් ගෙදර යැවිය යුතු බව තවත් උපාලි ප්‍රකාශනයක් වු දි අයිලන්ඩ් පුවත්පත ඔස්සේ අප දැනටමත් යෝජනා කර ඇත) විරුද්ධව නැගී සිටින්නේත් සම්බන්දන් පසුගිය දා නැවතත් ලේ හලන කැරැල්ලකට දෙමළ ජනයා මෙහෙයවමින් තම පක්‍ෂයට කළ කතාව සාර්ථකව පරාජය කළ හැක්කේත් ඒ මතවාදයට ය.

වඳිම් සිදුහත් ගාමිණී සුමනසේකර මහතාගේ නවතම කෘතිය වෙයි. මෙය දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළ වූ ලිපි පෙළක එකතුවකි. මම මුල සිට ම එහි පාඨකයෙක් වීමි. පොත දොරට වැඩි දා කතාකළ ඇතැමුන් ලිපි පෙළ තබා පුවත්පතවත්, පොතවත් කියවා නො තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ ම පිහිට ය. ඔවුහු ජාතික මතවාදවලට විරුද්ධ වෙති. ගාමිණි සුමනසේකර මහතා වඳිම් සිදුහත් ලියා ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පිහිටා ය. ඒ මහතා පැරණි පොතපත පරිශීලනය කර ඇත. ගමක හැදී වැඩී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඒ මහතාගේ ගැමිකම නැති කිරීමට නොහැකි වී ඇත. වඳිම් සිදුහත් ලියා ඇත්තේ ඒ ගැමියා මිස සාම්ප්‍රදායික ජාතික පුවත්පතක කතුවරයකු නො වේ. නොඑසේ වී නම් ඔහු අතින් ලියැවෙන්නේ බවතරණයකි. මම පසුගිය වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගෙනගත් ශිෂ්‍යයන් ඉදිරියේ මේ ලිපි පෙළ ඇගයීමි. මට එය නිව්ටන්ගේ ගතිකයට වඩා ලක්‍ෂ සංඛ්‍යාත වරක් වටිනේ ය. බුදුහිමියන් හා සසඳන විට නිව්ටන්ලා අයින්ස්ටයින්ලා කවරහු ද? බුදදහම සමග සෑසඳිය හැකි දැනුමක් ලෝකයේ තිබේ ද? අනන්ත වූ බුදුගුණ අගය කළ හැක්කේ බුදු කෙනකුට ම ය. අප වැනි පුහුදුන්නන්ට කළ හැක්කේ එහි අංශු මාත්‍රයක් අගය කිරීම පමණකි. බෝසතාණන් වහන්සේ කෙනකු යනු මහරජ ගාමිණී කෘතියෙහි සඳහන් ආකාරයට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දාගත් වීර පුරුෂයෙකි. දිපංකර බුදුන්වහනසේගේ පාද මූලයෙහි සුමේධ තවුසාණෝ තමන්ට පසක් කරගත හැකිව තිබූ නිවන තාවකාලිකව (එය තාවකාලික වුවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් දිව ගියේ ය.) කල් දැම්මේ ය. නිවන් දැකීම සඳහා අත්හැරීම ප්‍රගුණ කළ යුතු ය. එහෙත් අනුන් වෙනුවෙන් නිවන අත්හැරීම කෙසේ විස්තර කරම් ද? එය ප්‍රඥාවෙන් නොව කරුණාවෙන් ම කළ දෙයකි. ඒ සඳහා දැඩි විර්යයක් ද තිබිය යුතු ය. සිංහල බෞද්ධයන් මිස බුදුදහම ඊනියා ප්‍රඥාවකින් අවබෝධ කරගත් ඊනියා බුද්ධිමතුන් නොවූ අපට බුදුන් වහන්සේ හැමදාමත් මහා කාරුණිකයන් වහන්සේ මිස මහා ප්‍රාඥයන් වහන්සේ නුවූහ. ශීල සමාධි ප්‍රඥා හා අලෝභ, අද්වේෂ අමෝහ යනුවෙන් මිස අපි අනෙක් පැත්තට නො කියවමු. මහා කරුණාව ඌනිත බටහිර විද්‍යාවේ කරන ආකාරයට ප්‍රඥාවට ඌනනය කළ හැකි නො වේ. ගාමිණී සුමනසේකර මහතා උත්සාහ කරන්නේ අනන්ත වූ බුදු ගුණවලින් අංශු මාත්‍රයක් විස්තර කිරීමට ය. එහි දී ඒ මහතා යොදාගෙන ඇති භාෂාව ඒ කාර්යය සඳහා ම සකස් කරගත්තක් සේ පෙනෙයි. මේ කතා කියවද්දී පුහුදුන් මගේ නෙතග කඳුලෙන් තෙත්වූයේ වරක් දෙවරක් නොවන බව මා සඳහන් කරන්නේ ලජ්ජාවකින් නො වේ. ආඩම්බරයකින් ද නො වේ. ගාමිණී සුමනසේකර මහතා සැදැහැයෙන් වඳිම් සිදුහත් ලියා සසර ගමන කෙටිකරගෙන ඇතැයි සිතේ.