History

Sunday, 1 July 2012

සම්බන්ධන් හා සම්බන්ධයි

පසුගියදා ආර්. සම්බන්ධන් මඩකලපුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙහි 14 වැනි සම්මේලනයේ දී කරන ලද කතාව දෙමළ ජාතිවාදයේ වර්තමාන බලාපොරොත්තු මොනවට හෙළි කරයි. ඔහු ඒ කතාව කර ඇත්තේ එම පක්‍ෂයෙහි නායකයා ලෙස ය. එය සිංහල පුවත්පත්වල සම්පුර්ණයෙන් පළ නොවූ නමුත් ඇතැම් ඉංගිරිසි පුවත්පතක දේශපාලන අයිතිවාසිකම් සඳහා වූ දෙමළ අරගලයෙහි නව පරිච්ඡෙදයක් යන මැයෙන් පළ වී තිබිණි. නව පරිච්ඡොදයක් යන්න කිනම් අර්ථයකින් භාවිතා කෙරුණ ද සම්බන්ධන් තම කතාවෙන් දෙමළ ජාතිවාදයේ හතරවැනි පරිච්ඡෙදය කුමක් දැයි පැහැදිලිව සඳහන් කරයි.

ඔහුගේ කතාවේ හරය මෙසේ දැක්විය හැකි ය. දෙමළ ජනයා නිදහසෙන් පසුව මෙරට ජීවත්වන්නේ දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස ය. ඒ විසඳාගැනීමට දෙමළ ජනයා ඉතා සාමකාමීව විවිධ ආණ්ඩු සමග සාකච්ඡා කළත් විහිංසා විරෝධතා දියත් කළත් ආණ්ඩු ඒ සාකච්ඡාවලින් ඇති වූ එකඟතාවන්ට ගරු නොකළ අතර අවි ආයුධ බලයෙන් විරෝධතා මර්දනය කිරීමට පියවර ගත්තේ ය. අවසානයේ දී සියල්ල අසාර්ථක වූ විට 1976 දී දෙමළ පක්‍ෂ එකතු වී වඩුකොඩෙයිහි දී දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජභූමිය වූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගත්තේ ය. විකල්පයක් නොමැති කමින් දෙමළ තරුණයෝ අවි අතට ගත්හ. අද එය ද පරාජය වී ඇත. එහෙත් දැන් ජාත්‍යන්තර ප්‍රජාව දෙමළ ජනයාගේ ප්‍රශ්නය තේරුම් ගනිමින් සිටියි. ඉන්දියාව හා බටහිර රටවල් දැන් දෙමළ ජනයාට පක්‍ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. පසුගිය දා ජෙනීවා නගරයේ දී සම්මත වූ යෝජනාව දෙමළ ජනයාගේ ජයග්‍රහණයකි. දෙමළ ජනයා මඩකලපුවේ දී රැස්වන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුව ය. අද කළ යුත්තේ ඉන්දියාව හා බටහිර රටවල් තවදුරටත් දෙමළ ජනයාගේ පැත්තට දිනාගනිමින් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට යන අභ්‍යන්තර ස්වයං පාලනයක් ඇතිකර ගැනීමට ක්‍රියාත්මක වීම ය. අවශ්‍ය වුවහොත් එය බාහිර ස්වයං පාලනයක් දක්වා විස්තීර්ණ කිරීමට පසුබට නොවිය යුතු ය. එහි දී බටහිර රටවල් හා ඉන්දියාව අසතුටු නොකිරීමට වග බලාගත යුතු ය.

සම්බන්ධන් සඳහන් කරන අරගල, දෙමළ ජනයාට දෙමළ නිසාම වූ අසාධාරණය ආදී සියළු ප්‍රශ්නවලට පිළිතුරු දිවයින හා අයිලන්ඩ් පුවත්පත් මගින් ද ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන කෘතියෙන් ද ලබා දී ඇත. (මේ පොත කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය) එහෙත් මෙරට දෙමළ ජාතිවාදීහු ඒ පිළිතුරු නොඇසුණා සේ නැතහොත් නොකියෙව්වා සේ අඟවමින් තම දෙමළ ජාතිවාදී ස්ථාවර දිගින් දිගට ම කියතිෂ ලියති. ලංකාව පළාත් නවයකට බෙදනු ලැබුවේ ඉංගිරිසින් විසින් 1889 දී නමුත් නැගෙනහිර වෙරළෙන් ගව්වක බිම් තීරුවක් සිංහල රජු ලන්දේසින්ට ගිවිසුමකින් තාවකාලික ව දුන් නමුත් දෙමළ ජාතිවාදීහු අවුරුදු දහස් ගණනක් නැගෙනහිර හා උතුරු පළාත්වල පැවති දෙමළ නිජභූමියක් පිළිබඳව කිසිම සාක්‍ෂියක් නැතිව කතාකරති. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා පදිංචි කරනු ලැබුවේ සෙනරත් රජු විසිනි. එහි දෙමළ ජනයා පදිංචි කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. උතුරු පළාතේ පෘතුගීසීන් එනවිට ස්වාධීන දෙමළ රාජ්‍යයක් නොතිබිණි. අප පෘතුගීසි ඉතිහාසඥයන් අනුව යන්නේ නම් කෝට්ටේ රජූ ලංකාවේ අධිරාජයා විය. එවැනි නිලයක් ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වේ ද? පෘතුගීසීහු එක්සේසත් රාජ්‍යය හඳුනාගත නොහැකිව ඒ දෙස බටහිර දෘෂ්ටි කෝනයකින් බලා ස්වාධීන රාජ්‍ය හා අධිරාජයකු ගැන සඳහන් කළහ. ආර්ය චක්‍රවර්තීහු දෙමළ තබා ද්‍රවිඩවත් නොවූ අතර එම රාජ්‍යය සිංහල රජු තම රජු ලෙස පිළිගත් වාංශික යටත් රාජ්‍යයක් විය. එපමණක් නොව එහි වැසියෝ බහුතරය සිංහල වූහ. යාපනයේ දෙමළ ජනයා බහුතරය බවට පත්වූයේ ලන්දේසීන් තම දුම්කොළ වගාවට කොරමණ්ඩළ වෙරළෙන් වෙල්ලායන් (කෘෂි කම්කරුවන්) ගෙන ඒමෙන් පසුව ය. දෙමළ ජාතිවාදී ඉතිහාසඥයන් යාපනයේ දෙමළ කුල ක්‍රමය තමිල්නාඩුවේ කුල ක්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න හා යාපනයේ බ්‍රාහ්මණ වාංශිකයන් ප්‍රධාන ව්ංශිංකයන් නොවීම තේරුම් කරන්නේ කෙසේ ද? මේ සියල්ල නැවත නැවත කීවත්් දෙමළ ජාතිවාදීහු කිසි දිනෙක පාඩමක් ඉගෙන නොගනිති.

දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් මෙරට සිදු වී ඇති අසාධාරණය කුමක් ද? එයට දිය හැකි පිළිතුරක් නොමැත. එහෙත් සම්බන්ධන්ලා ඊනියා පළමු පංතියේ පුරවැසියන් හා දෙවැනි පංතියේ පුරවැසියන් ගැන කියති. දෙමළ ජනයා මෙරට දෙවැනි පංතියේ පුරවැසියන් යැයි කියන්නේ කෙසේ ද? ඒ සඳහා වූ නිර්ණායක කවරේ ද? අද ද කොළඹ 7, 3, 4, 5 ජීවත්වන දෙමළ ජනයා පළමු පංතියේ පුරවැසියෝ වෙති. ඒ සමග වෙනත් ප්‍රදේශවල තවත් පළමු පංතියේ දෙමළ ජනයා වෙති. තමන්ට ඇති සමාජ සම්බන්ධතා අනුව ඔවුන්ට රජයේ හා පුද්ගලික ආයතනවල විශේෂ සැලකිලි ලැබෙයි. මෙරට පාසලකට දරුවකු ඇතුල්කිරීමට ගියත් රෝහලකට ගියත් පන්සලකට ගියත් කෝවිලකට ගියත් පල්ලියකට ගියත් සැලකිලි ලැබෙන්නේ සමාජ සම්බන්ධතා අනුව ය. සිංහල වීම නිසා මා ඊනියා පළමු පංතියේ පුරවැසියකු වන්නේ යැයි කියන නමුදු මට වඩා වරප්‍රසාද හා සැලකිලි මැද ජීවත්වන දෙමළ ජනයා මෙරට වාසය කරති. අවශ්‍ය නම් මේ ආණ්ඩුවෙන් වැඩක් කරවාගත හැක්කේ සම්බන්ධන්ට ද මට ද? මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු මා ජාතිවාදයකු හෝ අන්තවාදියකු හෝ ලෙස හැඳින්වුව ද සම්බන්ධන් එසේ හඳුන්වත් ද? මේ ආණ්ඩුවේ ඊනියා වාමාංභික ඇමතිවරයකු චන්ද්‍රිකා ආණ්ඩුව සමයෙහි මා ඒ ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන ජාතිවාදියකු ලෙස හඳුන්වා ලිපියක් ඉදිරිපත් කළ ද ඔහු සම්බන්ධන් පිළිබඳ ව එසේ කටයුතු කරන්නේ ද? දෙවැනි නොව සියවැනි පංතියේ දෙමළ මෙන් ම සිංහල ජනයා ද මෙරට වෙති. එහෙත් එසේ වන්නේ සිංහල වීම හෝ දෙමළ වීම හෝ නිසා නොව ඔවුන්ගේ සමාජ සම්බන්ධතා හේතුවෙනි. සමාජ සම්බන්ධතා හේතුවෙන් සම්බන්ධන්ට මෙරට සමාජයේ කළහැකි දෙයින් ලක්‍ෂයකින් කොටසක් සාමාන්‍ය සිංහල ගැමියකුට කළ හැකි ද? අඩු කුලයෙහි කියන දෙමළ වැසියකුට ඔවුන්ගේ ඊනියා නිජබිමෙහි ඇතැම් කෝවිලකට ඇතුල්විය හැකි ද?

ඉංගිරිසින් පැමිණීමෙන් පසු මෙරට දෙමළ ජාතිවාදයේ පරිච්ඡෙද තුනක් දැනට අවසන් වී ඇත. පළමු පරිච්ඡෙදය 1825 පමණ සිට 1947 දක්වා පැවතිණි. ඒ කාල පරිච්ඡෙදයෙහි ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයෝ ඉංගිරිසින්ගේ ආධාරයෙන් හා අනුබලයෙන් ව්‍යවස්ථාදායකයෙහි ඉංගිරිසි උගත් සිංහලයන්ට වඩා බලයක් ලබාගැනීමට උත්සාහ කළහ. ඉංගිරිසිහු ව්‍යවස්ථාදායකයෙහි දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව ඉතිහාසයට, ජනගහණ ව්‍යාප්තියට හා සංස්කෘතියට එරෙහිව නොයෙකුත් උපාමාරුවලින් වැඩිකිරීමට කටයුතු කරමින් දෙමළ ජාතිවාදය පෝෂණය කර ඉංගිරිසි උගත් වෙල්ලායන් මුළු රටේම නායකයන් බවට පත්කිරීමට උත්සාහ කළහ. විශේෂයෙන් ම බර්ගර්වරුන් ගබ්සාවූ ඊනියා ලාංකික ජාතියේ නායකත්වයෙන් ඉවත්වූ පසු ඉංගිරිසි උගත් වෙල්ලාලයන් එහි නායකත්වයට පත්කිරීමටත් එක් පවුලක්, එනම් පොන්නම්බලම් - කුමාරස්වාමි පවුල රටේ ප්‍රධාන පවුල බවට පත්කිරීමටත් ඉංගිරිසිහු කටයුතු කළහ. ඔවුහු රාමනාදන් හා අරුණාශලම් දේශපාලන නායකත්වයටත් ඔවුන්ගේ මාමාගේ පුතා වූ ආනන්ද කුමාරස්වාමි සංස්කෘතික නායකත්වයටත් පත්කළහ. රාමනාදන් සර්වජන ඡන්දයට විරුද්ධ වූයේ එමගින් තම නායකත්වය සිංහලයන් අතට පත්වන බව දැන සිටි හෙයිනි. පනහට පනහ ඉල්ලීම 1931 න් පසුව මතුවූයේ ද සංඛ්‍යාත්මක ව දෙමළ මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට ය. සෝල්බරි කොමිසම හමුවට ගිය දෙමළ නායකයෝ සිංහලයන්ට වැඩි බලයක් නොලැබෙන ආකාරයට මන්ත්‍රි ආසන වෙන්කරන ලෙස ඉල්ලා සිටියහ. දෙමළ ජාතිවාදයේ මේ පළමු පරිච්ඡෙදය ගැන පඬියෝ දෙමළ ජාතිවාදීහු හා බටහිරයෝ කතා නොකරති. පළමු පරිච්ඡෙදය අවසානයේ දී දෙමළ නායකයන්ගෙන් චෙල්වනායගම් 1947 මැතිවරණයෙන් පසු කිසි දිනෙක කොළඹ මධ්‍යයෙහි තමන්ට බලය නොලැබෙන බව තේරුම් ගත්තේ ය. ඔහු දැන් ටිකක් පසුව හුඟක් ප්‍රතිපත්තිය යටතේ 1949 දී ඊනියා ෆෙඩරල් පක්‍ෂය නමින් දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහි කෙළේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. දෙමළ ජාතිවාදයේ දෙවැනි පරිච්ඡෙදය 1947 සිට 1970 පමණ දක්වා ක්‍රියාත්මක වීිය. ඒ අවධියෙහි දෙමළ නායකයෝ ඊනියා අවිහිංසා ක්‍රියාමාර්ග ඔස්සේ දෙමළ ජනයා ප්‍රකෝපකර හිංසාවට යොමුකළහ. සත්‍යග්‍රහ ආදිය කිසිසේත් අවිහිංසා ක්‍රියා මාර්ග නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහල ජනයා හා දෙමළ ජනයා ගැටුම්වලට යොමුකිරීම ය. 1970න් පමණ පසු තුන්වැනි පරිච්ඡෙදය ඇරඹිණි. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී දෙමළ ත්‍රස්තවාදය ආරම්භ කෙළේ ය. අවසානයේ දී ප්‍රභාකරන් ත්‍රස්තවාදී නායකයා විය. 1976 දී දෙමළ නායකයෝ වඩුක්කොඩෙයි සම්මේලනයේ දී දෙමළ ජනයා වෙනම ජාතියක් බව, ඔවුන්ට නිජභූමියක් ඇති බව ආදී අසත්‍ය කරුණු මත පදනම් වෙමින් වෙනම රාජ්‍යයක් සඳහා ආණ්ඩුවට හා සිංහලයන්ට විරුද්ධව සටන්කිරීමට ප්‍රභාකරන්ට අවසර දී තුමූ ත්‍රස්තවාදයේ පාර්ලදමේන්තු නියෝජිතයන් බවට පත්වූහ. ඒ සියල්ලේ දීම දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට බටහිර සහාය ලැබිණි. ඒ එකකින්වත් ඊළම දිනාගැනීමට නොහැකි වූ දෙමළ නායකයෝ අද වෙනත් කිසිවක් කරගත නොහැකිව බටහිර රටවල හා ඉන්දියාවේ ආධාරය හා මහපෙන්වීම යටතේ ඊළමක් පිහිටුවීමට කරයුතු කරති. එදා සිට ම සිදුුවූයේ දෙමළ ජාතිවාදයට බටහිරයන්ගේ ආධාරයක් ලැබීම නොව බටහිරයන් වෙල්ලායන් සිංහලයන්ට, විශේෂයෙන් සිංහල බෞද්ධයන්ට විරුද්ධව යොදා ගැනීම ය. මේ හතරවැනි පරිච්ඡෙදයේ බටහිරයන් යොදාගන්නේ යුරෝපයේ හා ඇමරිකාවේ වෙසෙන විසුරුණු දෙමළ ජනයා ය. පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩනයට ගිය අවස්ථාවේ එහි සිටි දෙමළ ජනයාට උද්ඝෝෂණ පැවැත්වීමට ස්කොට්ලන්ඩ්යාඩ් නමින් හැඳින්වෙන පොලීසිය ආධාර කළ බැව් දෙමළ ජාතිවාදී වෙබ් අඩවියක සඳහන් විණි. මේ සියල්ල මැද සම්බන්ධන්ට තරමක සැකයක් ද පහළ වී ඇත. ඒ ඊළමේ නායකත්වය තමන්ට ලැබේවිද යන්න පිළිබඳව ය. ඔහු විසුරුණු දෙමළ ජනයා ගැන මෙන් ම අනෙක් දෙමළ පක්‍ෂ ගැන ද කතාකරන්නේ සුහද ව නො වේ. කෙසේ වෙතත් සම්බන්ධන්ට අවශ්‍ය ඊළමක් බව වචන හරඹයෙන් සැඟවිය නො හැකි ය. ඔහු පරාජය කළ හැක්කේ ඉංගිරිසින් යනු කවුදැයි හඳුනාගැනීමෙනි.