History

Sunday, 8 July 2012

වෙනස්වන වස්තු

සම්භාව්‍ය භෞතිකයෙහි චලිතය පිළිබඳ සාකච්ඡාවෙහි දී අපි දැනටමත් සංකල්ප කිහිපයක් යොදා ගෙන ඇත්තෙමු. අවකාශය, සන්තතිකත්වය, ප්‍රවේගය, ලක්‍ෂ්‍යය, පිහිටුම, අංශුව, අංශුවක් ල’ක්‍ෂ්‍යයකින් තවත් ලක්‍ෂ්‍යයකට මාරුවීම හෙවත් විස්ථාපනය, කාලය, වෙනස්වීම, වෙනස්වීමේ සීඝ්‍රතාව, ආදී වශයෙන් මේ සංකල්ප සකස්කර ගත හැකි ය. චලිතය දැනගැනීම සඳහා මෙතරම් සංකල්ප සංඛ්‍යාවක් අවශ්‍ය ද යන්න පවා සිතාගත නො හැකි ය. එහෙත් ඒ සංකල්ප නොමැතිව අපට සම්භාව්‍ය භෞතිකයේ අංශුවල චලිතය පිළිබඳ සාකච්ඡාවක් කළ හැකි නො වේ.

අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා වස්තුවල චලිත නොව මිනිසුන්ගේ, රථවල, සතුන්ගේ ඇවිදීම්, පැනීම්, යෑම් ඊම් ආදිය ය. මේ සියල්ල එකතුකර සාධාරණීකරණයට ලක්කර වස්තුව චලිතය ආදී සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මිනිසුන් විසිනි. එවැනි සාධාරණීකරණයකින් තොරව බටහිර විද්‍යාවක් පමණක් නොව සම්භාව්‍ය භෞතිකයක් ද නැත. එහෙත් මෙයින් අදහස් වන්නේ මිනිසා, ඇවිදීම ආදී සංකල්ප මිනිසුන්ගේ නොවන බව නො වේ. ඒ සංකල්ප ද මිනිසුන්ගේ නිර්මාණ වෙයි. එහෙත් ඒවා සංයුක්ත සංකල්ප වෙයි.

අප අත්දකින්නේ මිනිසකු එක් තැනක සිට තවත් තැනකට ඇවිදින බව ය. ඒ තැන් දෙක අතර ඇවිදින්නේ එක් මිනිසකු යැයි අපි සිතමු. එක් මිනිසකු යන්නෙන් අදහස් කෙරෙන්නේ වෙනස් නොවන මිනිසෙකි. මිනිසාගේ වෙනස්වීමක් අපට දැකගත හැකි ය. ටික වේලාවකට පෙර මෙතැන සිටි මිනිසා දැන් ඇත්තේ වෙනත් තැනක ය. එය මිනිසාගේ වෙනස්වීමකි. එහෙත් ඒ හැරෙන්නට වෙනත් වෙනසක් අපි නො දකිමු. අප දකින්නේ මිනිසා පිහිටි තැනෙහි වූ වෙනස් වීමකි.

එහෙත් අප එතැන සිටින්නේ මෙතැන සිටි මිනිසා දැයි ඇසුවහොත් එයට දෙන පිළිතුර කුමක් ද? බොහෝ දෙනකු කියනු ඇත්තේ එතැන සිටින්නේත් මෙතැන සිටි මිනිසා ම බව ය. එහෙත් එයින් කියැවෙන්නේ වෙනස් නොවන මිනිසකු සිටින බව ය. වෙනස් නොවන ආත්මයක පැවැත්ම එයින් ගම්‍ය වෙයි. සිංහල බෞද්ධයන්ට එවැන්නක් පිළිගත හැකි ද? මිනිසාගේ ශරීරය පමණක් නොව මනස ද ඒ කාලයෙහි වෙනස් වෙයි. එහෙත් අප කලින් ද අසා ඇති පරිදි එසේ කීම නිවැරදි ද? ශරීරය වෙනස්වන්නේ යැයි කියන්නේ ශරීරය නමින් ඇති යමක් වෙනස්වන බව ද? දැන් ඇති ශරීරය කලින් තිබූ ශරීරයට වෙනස් නම් එයින් කියැවෙන්නේ ශරීරය වෙනස්වන බව ද?

මේ ප්‍රශ්න සරල නො වේ. මිනිසකු එක් තැනක සිට තවත් තැනකට යෑම තේරුම් ගැනීමේ දී මේ ප්‍රශ්න අවශ්‍ය කුමකට ද? එහෙත් එයට ද වඩා බැරෑරුම් ප්‍රශ්නය එතැන සිටින මිනිසා මෙතැන සිටි මිනිසා ද යන්න ය. එසේ නොවේ නම් මිනිසාගේ ඇවිදීම යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? මිනිසාගේ ඇවිදීම යැයි අප කියන්නේ වෙනස් නොවන මිනිසකු සම්බන්ධව ය. එහෙත් මෙතැන සිටි මිනිසා එතැන නො වේ නම් අප කතාකරන්නේ කාගේ ඇවිදීමක් ගැන ද?

මා මේ ප්‍රශ්න මතුකරන්නේ මිලින්ද ප්‍රශ්නය ගැන ද අවධානය යොමු කිරීමට ය. මිළිඳු රජතුමා නාගසේන හිමියන්ගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ පරලොව යන්නේ කවු ද යන්න ය. එයට නාගසේන හිමියන් දුන් පිළිතුර වූයේ තමාත් නොවේ ය, අන් අයකුත් නොවේ ය යන්න ය. පරලොව යන්නේ තමා යැයි කිවහොත් එහි දී ආත්මවාදයට හසුවෙයි. අනෙක් අතට පරලොව යන්නේ වෙනත් අයකු යැයි කිවහොත් කර්ම ඵල පිළිබඳ ප්‍රශ්න මතුවෙයි. එබැවින් පරලොව යන්නේ තමාත් නොවේ ය අන් අයකුත් නොවේ ය යන්න දිය හැකි හොඳම පිළිතුර වෙයි.

ඒ පිළිතුර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට හසු නොවුනත්, චතුස්කෝටික න්‍යායට එකඟ ය. ද්විකෝටික න්‍යාය මෙන් ම චතුස්කෝටික න්‍යාය ද අන් දැනුම මෙන් ම මිනිසුන්ගේ නිර්මාණ වෙයි. ඒ මිනිසුන්ගේ අත්දැකීම්වලින් සාධාරණීකරණය කෙරුණේ වෙයි. පැහැදිලිව ම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය ගොඩනැගී ඇත්තේ සීමිත අත්දැකීම් මත ය. එහි දීA = B හා A ≠ B යන දෙකෙන් එකක් පමණක් සත්‍ය යැයි ගැනෙයි. එහෙත් චතුස්කෝටික න්‍යායෙහි දී එය හෝ ඒ දෙකම සත්‍ය වේ හෝ ඒ දෙකම අසත්‍ය වේ හෝ යන්න ද ගැනෙයි.

පරලොව යන්නේ තමාත් නොවේය අන් අයකුත් නොවේය යන්න පදනම් වන්නේ චතුස්කෝටික න්‍යාය මත ය. එහි දී A = B හා A ≠ B යන දෙකම අසත්‍ය වේ ය යන්න යොදා ගැනෙයි. මෙහි දී පරලොව යන්නා ආදී වචන යොදා ගත්ත ද ඒ හුදු සම්මුතියක් පමණකි. එයට හේතුව පරලොව යන ආත්මයක් නොමැති වීම ය. අනෙක් අතට මෙහි දී අවකාශ කාලය යන්න යොදා නො ගැනෙයි. මෙහි දී චුත වන චිත්තය වෙනුවට වෙනත් චිත්තයක් ඇතිවෙයි. පරලොව යන තැනැත්තා අවකාශ කාලයෙහි සෑරිසරන බවක් නො කියැවෙයි. අප බොහෝ දෙනකුට මේ සම්බන්ධයෙන් මතක ඇති අත්දැකීමක් නැත. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් දත් බුදුවරු මෙන් ම රහතන් වහන්සේලා ද වැඩ සිටියහ.

එසේ වුවත් පරලොව යෑම කෙසේ වුවත් එකතැනක සිට තවත් තැනකට ඇවිදින මිනිසුන් ගැන අපට අත්දැකීම් ඇත. මේ අත්දැකීම් ද අපේ අත්දැකීම් ය. අපි ඒ ප්‍රත්‍යක්‍ෂ කර ඇත්තෙමු. එහෙත් අපේ ප්‍රත්‍යක්‍ෂ හුදු පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ ප්‍රත්‍යක්‍ෂ ද වැරදි ය. මිනිසකු යනුවෙන් වෙනස් නොවන්නක් නොමැති කල මිනිසකු එක් තැනක සිට තවත් තැනකට ඇවිදන්නේ කෙසේ ද? අපට මෙහි දී අපේ අත්දැකීම් මත පදනම් වී යම් සංකල්ප හා ප්‍රවාද ගොඩනැගීමට සිදුවෙයි. එහෙත් අපේ අත්දැකීම් නිවැරදි නොවන බවත් ඒවා අපේ පංචෙන්ද්‍රිය හා මනස මත රඳා පවතින බවත් පමණක් අපි අවධාරණය කරමු.

මිනිසකු යැයි අප විසින් හඳුන්වනු ලබන අයකු එක් තැනක සිට තවත් තැනකට යෑමේ දී ද සත්වයකු පරලොව යෑමේ දී මෙන් ම සංකල්පීය ගැටලු පැනනගී. එයට හේතුව ආත්මවාදී නොවී මිනිසකු ඇවිදීම යන්න තේරුම් ගැනීමට ඇති අසීරුතාව ය. මිනිසකු එක් තැනක සිට ආසන්න තැනකට යෑමේ දී වුව ද ඒ ප්‍රශ්න ඒ ආකාරයට ම පැන නගී. අපට කළ හැක්කේ අපේ පංචෙන්ද්‍රියවල හා මනසෙහි අඩුපාඩුකම් තේරුම් ගනිමින් ඇවිදීම යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

මිනිසා එක් තැනකට ම වී සිටියත් ඔහු වෙනස් වෙයි. වෙනස්වීම යනු අවකාශ කාලයෙහි කෙරෙන විස්ථාපනයක් පමණක් නො වේ. මිනිසකු එක් තැනකට වී සිටි යන්නෙන් අදහස් කරන්නේ අපට සාපේක්‍ෂව ඔහු එක් තැනකට වී සිටින බව ය. පොළොවේ ගෙයක කාමරයක සිටින අපට සාපේක්‍ෂව මිනිසකු නිශ්චලව වෙනස් නොවී සිටීය යන්නෙන් ඔහුට චලිතයක් නැතැයි ගම්‍ය නො වේ. හඳේ සිට බැලුවහොත් මිනිසා ද අපි ද කාමරයත් පොළොවත් සමග විවිධ චලිතවල යෙදෙන්නෙමු. එහෙත් අපි ඒ සියල්ල අමතක කර අපට සාපේක්‍ෂව මිනිසාට චලිතයක් නැතැයි කියමු.

එසේ බලන කල චලිතයක් නැති මිනිසා මෙන් ම අපි ද වෙනස් වන්නෙමු. මිනිසකු හෝ අප හෝ යනුවෙන් ගැනීමට වෙනස් නොවන ආත්ම සහිත අය නො වෙති. සත්වයකු හෝ පුටුවක් හෝ මේසයක් යනු කුමක් ද? ඒ නිරන්තරයෙන් ම මෑරි මැරී උපදියි. මෙහි වැදගත් ම වචනය නිරන්තරයෙන් ම යන්න යැයි සිතමි. නිරන්තරයෙන් යනු අන්තරයක් නැතිව යන්න ය. අන්තරය යන්න ද අපේ සංකල්පයකි. ඒ නිර්මාණය කර ඇත්තේ ද මිනිසුන් විසිනි. එහෙත් නිරන්තරයෙන් මැරි මැරී උපදින වස්තු, සත්වයන් නිරීක්‍ෂණය කිරීමට අපට නො හැකි ය. මෙහි නිරන්තරයෙන් යන සංකල්පය වුව ද වැරදි විය හැකි ය. ඇතැම් විට එය කැඩි කැඩී වන වෙනසක් විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ වස්තුව හෝ සත්වයා හෝ යම් ක්‍ෂණයකට පවතින බව නො වේ. ක්‍ෂණයකට වුව යමක් පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී වූවකි.

අපට පෙනෙන්නේ සුළු කාලයකට වුව ද වෙනස් නොවන වස්තු ය, පුටු ය, ගස් ය. ටික කලක් ගිය තැන වෙනස්කම් නිරීක්‍ෂණය කළහැකි වුවත් නිරන්තරයෙන් සිදුවන වෙනසක් අපි නො දකිමු. ඒ වෙනස අපට සාපේක්‍ෂව වස්තුව හෝ සත්වයා හෝ අවකාශයේ එක් තැනක සිටියත් සිදුවෙයි. නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීම අපට ඇති තීරණාත්මක ම ප්‍රශ්නයක් වෙයි.

මේ සියළු දුෂ්කරතා මධ්‍යයෙහි අප කළ යුත්තේ කුමක් ද? කිනම් ආකාරයකින් කතාකිරීමට ගිය ද අපට ඊනියා ක්‍ෂණයකට වුවත් පවත්නා වස්තු ගැන සඳහන් කිරීමට සිදුවෙයි. යමක් පිළිබඳ ව උත්පාද, තිථි, භංග යනුවෙන් සංකල්ප ගොඩ නැගී ඇත්තේ එබැවින් විය හැකි ය. උත්පාදයට හා භංගයට පමණක් සීමාවීම වඩා ප්‍රඥාගෝචර යැයි සිතමි. උත්පාදයට හා භංගයට පමණක් සීමා වී චලිතය පිළිබඳ ප්‍රවාදයක් ගොඩනගන්නේ කෙසේ ද?

ඉපදුණු වස්තුවක් සලකමු. එය භංග වෙයි. ඒ භංගවීමත් සමග ඒ හා සම්බන්ධ වූ වස්තුවක් ඉපදෙයි. එය කලින් වස්තුව නො වේ. නොවන්නේ ද නො වේ. ඒ වස්තුව අපට සාපේක්‍ෂව ඒ තැනම භංග වී ඉපදිය හැකි ය. එසේත් නැතහොත් භංග වී ඉපදෙන්නේ එතැන ම හා එතැනම නොවිය හැකි ය. පළමු අවස්ථාවේ දී වස්තුව අපට සාපේක්‍ෂ ව දිගින් දිගට ම එකම තැන පවතින්නේ යැයි අපි කියමු. දෙවැනි අවස්ථාවේ දී වස්තුව අපට සාපේක්‍ෂව චලනය වන්නේ යැයි කියමු.

මෙහි අප යනුවෙන් සැලකෙන්නේ වෙනස් නොවන නිරීක්‍ෂකයන් නො වේ. අපි ද වෙනස් වෙමු. එසේ නම් වස්තුව වෙනස් වන බව දකින්නේ ද වෙනස්වන නිරීක්‍ෂකයෙකි. දැන් සිටින්නේ කලින් සිටි නිරීක්‍ෂකයා නො වේ. එසේ ම නොවන්නේ ද නො වේ. අප විසින් නිරීක්‍ෂණය කෙරෙන වස්තුව ද එවැන්නකි. එය කලින් තිබූ වස්තුව නො වේ. එමෙන් ම නොවන්නේ ද නො වේ. මේ අප සිතනවාට වඩා සංකීර්ණ තත්වයකි. කලින් තිබූ වස්තුව නොවූ ද එසේ නොවන්නේ නොවූ ද වූවක් කලින් සිටි නිරීක්‍ෂකයා නොවූ ද එසේ නොවන්නේ නොවූ ද අයකු විසින් නිරීක්‍ෂණය කෙරෙයි.

අපට සාපේක්‍ෂව වස්තුවක් චලනය වුවත් නැතත් වස්තුවේ වෙනස්වීම සලකා බැලිය යුත්තේ ඉහත සඳහන් පදනමින් ය. එහෙත් එසේ කිරීම අසීරු වුවත් සංකල්පීය වශයෙන් අපට වෙනත් විකල්පයක් නැත. දැන් ප්‍රශ්නය තරමක් ලිහිල් කිරීමට නිරීක්‍ෂකයාට අදාළ වෙනස්වීම් නොසලකා හරිමු. එනම් අපි ඊනියා වෙනස් නොවන නිරීක්‍ෂකයකු සලකමු. ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව දැන් මෙතැන වස්තුවක් වෙයි. ඒ වස්තුව නැතිවෙයි. ඒ වෙනුවට වස්තුවක් උපදී. එලෙස උපදින වස්තුව කලින් වස්තුව නො වේ. වෙනත් වස්තුවක් ද නො වේ. නව වස්තුව ඇත්තේ කලින් වස්තුව තිබූ තැන නො වෙයි. වෙනත් තැනක ද නො වෙයි.

එලෙස ඉපදී නැති වී (උත්පාද, භංග) යන වස්තු පරම්පරාවක් අප විසින් හඳුනාගැනෙන්නේ එක් වස්තුවක චලිතය ලෙස ය. එක් වස්තුවක් නැති තැන එක් වස්තුවක චලිතය හඳුනාගැනීමට අපට හැකි වී ඇත. එයට පුදුම වීමට ද දෙයක් නැත. චිත්ත පරම්පරාවන් වූ අප ගැන ද අප සිතන්නේ එලෙස ය.