History

Sunday, 8 July 2012

නැවතත් Z ලකුණ

2011 පැවති උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු නව නිර්දේශයට හා පැරණි නිර්දේශයට පෙනී සිටි සිසුන් ගහණ දෙකක් ලෙස සලකා ගණනය කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතිපාදන කොමිසමට නියෝග කර ඇත. කලින් ඉසෙඩ් ලකුණු ගණනය කර තිබුණේ ඒ ඒ විෂය සම්බන්ධයෙන් ගහණ දෙකම එකම සංචිතයකට ගෙන එහි පොදු විචලතාව යැයි කියැවුණු රාශියක් සොයා ඒ මත පදනම් වෙමිනි. ඒ ගණනය කිරීම සංඛ්‍යානය පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ හා මහාචාර්යවරුන්ගේ විද්වත් කමිටුවක් විසින් නිර්දේශ කරන ලද්දක් මිස ඇමතිවරුන්ගේ හෝ ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමාගේ හෝ නිර්දේශයක් නොවූ බව බොහෝ දෙනාට අමතක වී ඇත. අවසාන වගකීම ඇමතිවරුන්ගේ වුව ද ඒ සම්බන්ධයෙන් ඔවුන් විවේචනය කිරීම සාධාරණ නො වේ. සංඛ්‍යානය පිළිබඳ විශේෂඥයකු නොවූ ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා ද මේ සම්බන්ධයෙන් විවේචනයට ලක්විය යුතු නොවන්නේ එවැනි ගැටළුවක දී සංඛ්‍යානය පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්ය කාරකාදීන්ගෙන් උපදෙස් ලබාගැනීම හැර ඒ මහතා ප්‍රධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කළ හැකි අන් දෙයක් නො වීම ය. ජාතික වූ දැනුම හාස්‍යයට ලක්කරණ අදාළ ඇමතිවරුන් හා නිලධාරීන් සමග බොහෝ කරුණුවල දී මා එකඟ නොවන නමුත් මෙහි දී ඔවුන් විවේචනය කිරීමෙන් ඊනියා ජනතාවාදී වීරයකු වීමේ අවශ්‍යතාවක් මට නැත. (උදාහරණයකට උසස් අධ්‍යාපන ඇමතිවරයා ආසනික් ප්‍රශ්නයේ දී අප කැලණිය විශ්වවිද්‍යාලයේ දේවාලයක් තනා ඇතැයි කීවේ ය. ඔහු එදා වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශවල ජලයේ හා පසේ ආසනික් තිබීම නොපිළිගත්ත ද අද බටහිර විද්‍යාඥයන්ගේ සැලකිල්ලට පාත්‍රවන ලෝක සෞඛ්‍ය සංවිධානය නාථ දෙවියන් කී දෙය ඇත්ත බව පිළිගනියි. මේ පිළිගැනීම මම සතපහකටවත් ගණන් නො ගනිමි.) වැඩිදුර යැමට පෙර මගේ ද සංඛ්‍යානය පිළිබඳ දැනුම ඉතාමත් සීමිත බව කිව යුතු ය. එහෙත් මා විද්වත් කමිටුවේ සූත්‍රය ද ප්‍රතික්‍ෂෙප කරන්නේ එය නියැදි සම්බන්ධ වූවක් මිස ගහණ සම්බන්ධ වූවක් නොවන බැවිනි.

බොහෝ දෙනා තේරුම් නොගන්නා කරුණක් නම් සිසුන් විශ්වවිද්‍යාලවලට තෝරාගත යුත්තේ එක් ලැයිස්තුවකින් පමණක් බව ය. එය මගහැරීමට කිසිවකුට නො හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණය තම තීන්දුවෙන් සිසුන් ඇතුළත් කරගන්නේ කෙසේ දැයි ප්‍රතිපාදන කොමිසමට කියා නැත. ගහණ දෙකක් ලෙස සලකා ඉසෙඩ් අගය ගණනය කිරීමට පමණක් නියෝග කර ඇත. ඒ තීරණය අපි ගෞරවයෙන් පිළිගනිමු. එහෙත් ඉසෙඩ් අගය ගණනය කෙරෙන්නේ විභාග දෙපාර්තමේන්තුව මගින් බැවින් මෙහි තරමක අවුලක් වෙයි. ඒ අවුල හැකි ඉක්මණින් විසඳාගනු ඇතැයි බලාපොරෙත්තු විය හැකි ය. ඉන්පසු ශ්‍රෙෂ්ඨාධිකරණය කියා ඇති ආකාරයට ගහණ දෙකක් සේ සලකා වෙන වෙන ම ඉසෙඩ් අගය ගණනය කළ හැකි ය. එහෙත් ප්‍රශ්නය එය නොව ගහණ දෙකකින් එක් ලැයිස්තුවක් පිළියෙළ කරන්නේ කෙසේ ද යන්න ය. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කෙරිය යුතු ය. එහි දී ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවෙන් බලපෑමක් නො කෙරෙයි. ගහණ දෙක වෙන වෙන ම ගෙන ඉසෙඩ් ලකුණු සොයා ඒ එක සංචිතයකට දමා ඒ ඒ ධාරාවේ සිසුන් තෝරාගැනීම ඒ ඒ පොදු ලැයිස්තුව අනුව කරන්නේ නම් එයින් කියැවෙන්නේ ගහණවල ඉසෙඩ් ලකුණු තුල්‍ය යැයි සැලකෙන බව ය. එහෙත් එසේ කිරීමට පදනමක් වේ ද? මේ පැහැදිලිව ම කවුරුත් කියන්නාසේ ම ගහණ දෙකකි. එක් ගහණයක පළමු වතාවට පෙනී සිටින අපේක්‍ෂකයෝ වෙති. අනෙක් ගහණයේ දෙවැනි තුන්වැනි වතාවල පෙනී සිටි අපේක්‍ෂකයෝ වෙති. මේ ගහණ දෙකෙහි අපේක්‍ෂකයන්ගේ පැහැදිලි ගුණාත්මක වෙනසක් වෙයි. වෙනත් වසරවලදී ද මේ ගහණ දෙක එලෙස ගුණාත්මක වෙනසක් ඇතිව පරීක්‍ෂණයට පෙනී සිටියේ ය. එහෙත් ඒ වසරවල ඒ ගහණ දෙකක් ලෙස නොසැලකුණේ ඔවුන් එකම ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටි බැවින් යැයි කිසිවකු තර්ක කරනු ඇත. මේ තර්කය සාවද්‍ය නමුත් අපි එය දැනට අමතක කරමු. 2011 ඒ අපේක්‍ෂකයන් ගහණ දෙකක් ලෙස සලකන්නේ ඔවුන් වෙනස් ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටිම හේතුවෙන් යැයි සිතමු. ඒ කුමක් වුවත් විෂය නිර්දේශ හා ප්‍රශ්න පත්‍ර සලකන විට මේ සිසුන්ගේ ගුණාත්මක වෙනසට අමතරව ඔවුන් පරීක්‍ෂණ දෙකකට පෙනී සිට ඇතැයි සැලකිය හැකි ය. ප්‍රශ්නය වන්නේ එලෙස පරීක්‍ෂණ දෙකකට (ගහණ දෙකකට යැයි කියමු) පෙනී සිටින සිසුන්ගේ ඉසෙඩ් ලකුණු තුල්‍ය යැයි සැලකිය හැකි ද යන්න ය.

ගහණ දෙකට වෙන වෙන ම ඉසෙඩ් ලකුණු ගණනය කළ ද විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත්කිරීමේ දී ඒ ඉසෙඩ් ලකුණු එක් සංචිතයකට ගත යුතු ය. එසේ ගැනීමේ දී ඉහත සඳහන් ආකාරයට ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සලකමින් අපේක්‍ෂකයාගේ ගහණය නොසළකා අනුපිළිවෙළින් ලකුණු සකස් කළ හැකි ය. මා කලින් උසස් පෙළ ඉසෙඩ් ලකුණ මැයෙන් ලියා ඇති ලිපියක එකම පරීක්‍ෂණයක වුව ද විවිධ විෂයවල ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සලකන නමුත් එහි පදනම පිළිබඳ ව ප්‍රශ්න කර ඇත. එහෙත් අති මහත් බහුතරයගේ අවධානය ඒ කරුණ සඳහා හෝ සමස්තයක් ලෙස ලිපිය සඳහා හෝ යොමු වූ බව පෙනෙන්නට නැත. මෙරට උගතුන් ලෙස පෙනී සිටින්නන්ගේ අවධානය තර්කවලට යොමු නොවන බව මම අත්දැකීමෙන් ම දන්නෙමි. ඒ ඒ විෂය සම්බන්ධ ඉසෙඩ් ලකුණු පමණක් නොව මුල් ලකුණු ද තුල්‍ය ලෙස ගැනීම නිවැරදි නො වේ. මා මතුකළ ප්‍රශ්නය වූයේ ඕනෑම පරීක්‍ෂණයක දී ගණිතයෙහි ලකුණු 95ක් වෙනත් විෂයක තුළ්‍ය වන්නේ ලකුණු කීයකට ද යන්න ය. අපි ඒ සියල්ල අමතක කරමු. එකම පරීක්‍ෂණයක දී අදාළ මුල් ලකුණු (හා ඉසෙඩ් ලකුණු) තුල්‍ය යැයි ගනිමු. එහෙත් ඇත්තට ම පරීක්‍ෂණ දෙකක් වූ ගහණ දෙකක ඉසෙඩ් ලකුණු තුල්‍ය යැයි ගත හැකි ද? උදාහරණයක් වශයෙන් ගතහොත් අපට 2011 පරීක්‍ෂණයේ ඉසෙඩ් ලකුණු 2010 පරීක්‍ෂණයේ ඉසෙඩ් ලකුණු සමග තුල්‍ය යැයි සැලකිය හැකි ද?

ඇතැමුන් පවසන්නේ පසුගිය අවුරුදු පහක, දහයක හෝ වෙනත් කාල පරිච්ඡෙදයක හෝ පළමු වතාවට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ ශිෂ්‍ය ප්‍රතිශතයන්හි මධ්‍යන්‍යය සොයා නව නිර්දේශයට අනුව පෙනී සිටි සිසුන්ගෙන් ඒ මධ්‍යන්‍යයට සමාන ප්‍රතිශතයක් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගත යුතු බවත් ඉතිරි සිසුන් පැරණි නිර්දේශයට පෙනී සිටි සිසුන්ගෙන් බඳවා ගත යුතු බවත් ය. මෙය ද අවසාන වශයෙන් ගත්කල ගහණ දෙකකින් එක් සංචිතයක් ලබාගැනීමේ තවත් ක්‍රම වේදයක් පමණක් වෙයි. බැලූ බැල්මට මෙහි ප්‍රශ්නයක් නැතැයි පෙනී ගිය ද ප්‍රතිශත මධ්‍යන්‍යය ලබාගැනීමේ දී කිනම් කාල පරිච්ඡෙදයක් ගතයුතු ද ආදිය ගැටලු වෙයි. ඒවා අභිමත කාල පරිච්ඡෙද වීම වැළැක්වීම නො හැකි ය. එහෙත් එයට ද වඩා වැදගත් ප්‍රශ්නය වනුයේ පසුගිය වසර දහයක කාලයෙහි ද පළමු වතාවට පෙනී සිටි සිසුන් හා දෙවැනි තුන්වැනි වතාවන්හි පෙනී සිටි සිසුන් අතර ගුණාත්මක වෙනසක් තිබුණ ද මෙවර ඒ ගුණාත්මක වෙනස්කම් ඇති සිසුන් වෙනස් ප්‍රශ්න පත්‍රවලට පෙනී සිට ඇති බැවින් කලින් වසරවල ප්‍රතිශත මධ්‍යන්‍යය මෙවර යොදා ගැනීමට නො හැකි වීම ය. එබැවින් එකී ආකාරයෙන්් වුවත් ගහණ දෙකෙන් එක් සංචිතයක් ලබාගැනීම පහසු කටයුත්තක් නම් නො වේ.

විද්වත් කමිටුව නිර්දේශ කළේ පළමුව දත්ත එක් සංචිතයකට ගොනු කර ඒ ගහණ දෙකෙහි මධ්‍යන්‍ය විචලතාව සොයා ඒ අනුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට ය. විද්වත් කමිටුව මධ්‍යන්‍ය විචලතාව සෙවීමට යොදා ගත් සූත්‍රය අදාළ වන්නේ නියැදිවලට ය. මෙහි දී අප මුළු ගහණය ම දන්නා බැවින් ඒ ක්‍රමය මෙහි දී අදාළ නො වේ. එහෙත් විද්වත් කමිටුව කල්පනා කළේ නම් එක් සංචිතයකට ගොනුකළ ඉසෙඩ් ලකුණුවල විචලතාව එක ලෙස ද මධ්‍යන්‍යය ශූන්‍ය ලෙස ද ගනිමින් ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට සූත්‍රයක් ව්‍යුත්පන්න කරගැනීමට තිබිණි. එසේ කළත් අද එය වලංගු නොවන්නේ ශ්‍රෙෂ්ඨාධිකරණය පළමුව ගහණ වෙන වෙන ම ගෙන ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට නියෝග කර ඇති බැවින් ය. අදාළ බලධාරීන්ට කැමති වුවත් නැතත් ඒ නියෝගය ක්‍රියාත්මක කිරීමට සිදුවේ. එවිට ඉසෙඩ් ලකුණු ලැයිස්තු දෙකක් වෙයි. ඒ දෙකෙන් එක් ලැයිස්තුවක් පමණක් ලබාගැනීම අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හමුවේ ඇති අභියෝගය ය. ඒ ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස ගෙන එක් ලැයිස්තුවක් ලබාගැනීම එතරම් ප්‍රඥාගෝචර නො වේ. එසේ වුවත් ඉසෙඩ් ලකුණු ලැයිස්තුවලින් ඒ ඒ ධාරාවට එක් එක් ලැයිස්තුවක් බැගින් සංඛ්‍යානාත්මක ව ලබාගැනීම එතරම් ගැටලුවක් නො වේ. එහෙත් ඒ සමගින් තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි කියමින් තවත් පිරිසක් අධිකරණය ඉදිරියට යෑමට ඉඩ ඇත. අවසානයේ දී නඩු ශ්‍රේණියකට (වැළකට) යෑමේ අවස්ථාවක් වුවත් එළඹිය හැකි ය. අප කලින් ලිපියෙහි සඳහන් කර ඇති මේ ප්‍රශ්නය ලබන වසරේ දී තවත් සංකීර්ණ ව මතුවීමට ඉඩ ඇත. එසේ නොවීම සඳහා කිසිදු ශිෂ්‍යයකුට අසාධාරණයක් නොවන පරිදි ක්‍රියාකිරීමට සියලු පාර්ශ්වකරුවන් එක් වී ක්‍රියාකළ යුතු ය.

අප මාධ්‍යයෙහි එක් ව හඬක් නැගිය හැකි එහෙත් ඉසෙඩ් ලකුණු ගණනය කරන්නේ කෙසේ ද කියාවත් නොදන්නා අයගේ ආවේගාත්මක කතාවලින් නොරැවටිය යුතු ය. එහෙත් අවාසනාවකට විද්වත් කමිටුව ද නිර්දේශ කළ ක්‍රම වේදය මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ට ද ප්‍රශ්නය විශ්ලේෂණය කරගැනීමට නොහැකි වී ඇති බව ය. ගිරවුන් මෙන් ගහණ දෙකක් ගැන කතාකළ ඊනියා උගත්තු ද ඉසෙඩ් ලකුණු එක් සංචිතයකට ගෙන එන්නේ කෙසේ ද යන වැදගත් ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් නො කළහ. ඔවුන්ගේ නිර්දේශය ගහණය කවරේ දැයි නොසලකා ලකුණු අනුපිළිවෙල අනුව සකස්කිරීම යැයි උපකල්පනය කළහොත් සංඛ්‍යානාත්මක ප්‍රශ්න මතුවෙයි. මේ සියල්ලෙන් පැහැදිලිවන කරුණ නම් මෙරට උගතුන් යැයි සැලකෙන බොහෝ දෙනකුට කල්පනා කිරීමට බැරි බව ය. පොතකින් පතකින් සූත්‍රයක් හෝ වෙනත් යමක් අහුළාගෙන එය ඉදිරිපත්කිරීම හැරෙන්නට ප්‍රශ්නයක් විශ්ලේෂණය කිරීමට, අලුත් දෙයක් නිර්මාණය කිරීමට බොහෝ උගතුන්ට නො හැකි ය. අද මේ ප්‍රශ්නය මෙතරම් අවුල් වී ඇත්තේ දේශපාලනඥයන්ගේ වරදින් නොව ඊනියා උගතුන්ගේ වරදිනි. අදාළ ඇමතිවරු දෙදෙනා ද දේශපාලනඥයන් ලෙස නොව උපාධිධාරීන් ලෙස නම් වරද කරුවෝ වෙති. අඩුම තරමින් බටහිර දැනුම නිර්මාණාත්මකව යොදා ගැනීමට හැකි පිරිසක්වත් බිහිකර ගැනීමට අපි අසමත් වී සිටිමු. අද උගත් පිරිස යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ සමතුන් හා උපාධිධාරීන් ය. ඔවුන් උසස් පෙළ සමතුන්ට අදාළ ප්‍රශ්නයක් ම අවුල් කිරීම අධ්‍යාපනයේ ම ප්‍රශ්නයකි.