History

Sunday, 5 August 2012

නිල අධ්‍යාපනය

මෙරට තරම් බණ කියන බණ අසන තවත් රටක් ලෝකයේ නැත. අනෙක් කිසිම බෞද්ධ රටක අප රටේ තරම් ධර්ම දේශනා නො පැවැත්වෙයි. පන්සල් යන බෞද්ධයන් පොහෝ දින සිල් සමාදන්වන බෞද්ධයන් සංඛ්‍යාව අවුරුදු පතා සුළුවෙන් නමුත් වැඩිවනු මිස අඩුවනු දකින්නට නැත. තම දරුවන් දහම් පාසල්වලට යැවීමට බොහෝ බෞද්ධ දෙමව්පියෝ කටයුතු කරති. ඊනියා සමාජයීය විද්‍යාඥයෝ, දෙමළ ජාතිවාදීහු, රාජ්‍ය නොවන සංවිධානවල කුලීකාර ලියන්නෝ, කසිකබල් මාක්ස්වාදීහු, පශ්චාත් මාක්ස්වාදීහු, පශ්චාත් නූතනවාදීහු ආදී සමාජයේ විද්වතුන් (විඤ්ඤූන්) ලෙස පිළිගැනේනෝ මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ඇතැයි කියති. එහෙත් මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නැතිවා පමණක් නොව 1815න් පසුව මෙරට සිංහල බෞද්ධ රටක්වත් නො වේ. මෙරට වැඩි බලයක් ඇත්තේ මහානායක හිමිවරුන්ට ද එසේත් නැත්නම් කාදිනල්තුමා හා වෙනත් ක්‍රිස්තියානි සභාවල නායක පූජකවරුන්ට ද? පසුගිය කාලයේ ඇති වූ සිද්ධිවලින් පෙනී යන්නේ ආණ්ඩුව මහානායක හිමිවරුන්ගේ අනුශාසනාවලට වඩා කාදිනල්තුමාගේ ප්‍රකාශවලට ගරුකරන බව ය. පසුගිය දිනවල එක්තරා සිද්ධියක දී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී කාදිනල් තුමා ප්‍රකාශ කළේ ඒ පුද්ගලයන් නිදහස් කර චෝදනා අස්කර ගත්තේ නැත්නම් තමන් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ය. එය නීතිය ඉක්මවා කළ ප්‍රකාශයක් බව හෝ නීතිය අතට ගැනීමක් බව හෝ තර්ජනයක් හෝ යැයි කිසිදු පඬියකු කී බවක් මම නො දනිමි. කෙසේ වෙතත් ආණ්ඩුව කාදිනල්තුමාට අවනත විය. අපේ මහානායක හිමිවරුන් කිසි දා ආණ්ඩුවේ වගකිව යුත්තන්ට එවැනි ප්‍රකාශ නොකරන්නේ ඇයි?

භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යෑම (එයට වැඩම කිරීම යැයි කිව හැකි ද?) සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව කෙරුණක් නො වේ. එයට විරුද්ධව එකල ම මම මැතිවරණය හා හාමුදුරුවෝ යන මැයෙන් පොත් පිංචක් ද ලියා ප්‍රසිද්ධ කළෙමි. එහෙත් භික්‍ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු යන්නේ ද නැත් ද යන්න තීරණය කළ යුත්තේ උන්වහන්සේ ම මිස පාර්ලිමේන්තුව නො වේ. භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්වන විට ම උන්වහන්සේ සඟ විනයට යටත් වෙති. මෙරට සඟ විනය කුමක් දැයි තීරණය කරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බිහි වූ පාර්ලිමේන්තුව ද? මහානායක හිමිවරුන් කළ යුත්තේ කුමක් දැයි කීමට තරම් මම සුදුස්සෙක් නො වෙමි. උන්වහන්සේ ම ඒ පිළිබඳ තීරණයක් ගනිත්වා! එහෙත් ඒ තීරණය කාදිනල්තුමාගේ ප්‍රකාශ අහළින් තැබීමටවත් නොහැකි වන බව නම් මම දනිමි. පඬියන් කියන ආකාරයට මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් තිබේ නම් මෙවැනි ක්‍රියා සිදුවන්නේ කෙසේ ද?

අද මෙරට ප්‍රධාන ප්‍රශ්නය දෙමළ ජනයාට කෙරෙන ඊනියා අසාධාරණයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු තැන තවමත් නො ලැබීම ය. 1506න් පසුව මුහුදුකරයේවත් 1815න් පසුව රට අභ්‍යන්තරයේවත් ඒ තැන ලැබී නැත. සිංහලයන් ඒ තැන ලබාගැනීමට ක්‍රියා කිරීම පඬියෝ සිංහල ජාතිවාදය, බෞද්ධ අන්තවාදය ආදී බටහිර සංකල්ප යොදා ගනිමින් හඳුන්වති. ඊනියා උඩරට ගිවිසුම ලෙස හැඳින්වෙන 1815 සිංහල –- ඉංගිරිසි ගිවිසුම මගින් ඉංගිරිසි රජු වෙනුවෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා බුදුසසුන රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු විය. ඒ ගිවිසුමට එදා එංගලන්ත පාර්ලිමේන්තුවේ දැඩි විරෝධතාවක් මතුවූයේ ක්‍රිස්තියානි තුන්වැනි ජෝර්ජ් රජු මිථ්‍යාදෘෂ්ටික ආගමක් රුකීමට පොරොන්දු වූ බැවිනි. එදා භික්‍ෂූන් වහන්සේ ඒ වගන්ති දෙක සිංහල –- ඉංගිරිසි ගිවිසුමට ඇතුළත් කරවීමට කටයුතු කළ බව නිසැක ය. එහෙත් ඉංගිරිසිහු තම ජඩ බව හෙළි දරවු කරමින් ඒ ගිවිසුම කැඩූහ. ඔවුහු අවශ්‍ය වූ විට හිත්පිත් නැති වධකයන්් ලෙස ද තවත් විටෙක සියුම් ව ද කටයුතු කරති. ඔවුන් ගිවිසුමට අත්සන් කළේ එසේ නොකර බැවින් මිස ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් නො වේ. ඔවුහු ගිවිසුම කඩාදැමීමෙන් නොනැවති ක්‍රම ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේගේ කොන්ද කඩා දැමීමට ද කටයුතු කළහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා දැන සිටි දෙයක් නම් භික්‍ෂූන් වහන්සේ හා ගිහියන් අතර ඇති සම්බන්ධය තිබෙනතාක් සිංහල බෞද්ධයන් ආධ්‍යාත්මික ව වැට්ටවීමට නොහැකි බව ය. මේ සම්බන්ධයෙහි ප්‍රධාන කරුණක් වූයේ භික්‍ෂූන් වහන්සේ කාළාම සූත්‍රයෙහි කියැවෙන දැන උගත් විඤ්ඤූන් ලෙස සැලකීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන අංගයක් වීම ය.

භික්‍ෂූන් වහන්සේ වෙනුවට වෙනත් පිරිසක් විඤ්ඤූන් බවට පත්කිරීමට ඉංගිරිසිහු කටයුතු කළහ. ඒ බිෂොප්වරුන් හා ඉංගිරිසියෙන් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලත් අය ය. ඉංගිරිසින් මෙරට පාසල් ඇති කළේ ම ඒ පරමාර්ථයෙනි. 1815ට පෙර ද ලන්දේසීහු අධ්‍යාපනය ඔස්සේ එවැනි විඤ්ඤූන් ඇතිකිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක වූහ. එහෙත් ඉංගිරිසිහු ඉතා සාර්ථක ව තම අරමුණ ඉටුකරගත්හ. මෙරට අද ක්‍රියාත්මක වන පාසල් හා සරසවි අධ්‍යාපනය සිංහල බෞද්ධ විරෝධී වෙයි. එය වර්ධනය කිරීමෙන් සිදුවන්නේ සිංහල බෞද්ධයනට හා සංස්කෘතියට මෙරට හිමි තැන තව තවත් නැතිවීම පමණකි. නායක පදවි පිරිනැමීමේ දී අක්තපත්‍රයෙහි ඒ පදවියෙන් පිදුම් ලබන භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඉංගිරිසින්ට ඔත්තු සපයන බවට ද ප්‍රකාශයක් විය. ඒ ප්‍රකාශය අද ද ඉවත් කෙරී නොමැති බව මගේ අදහස ය. කෙසේ වෙතත් මේ සියළු දෙයින් කෙරුණේ භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත්කිරීම ය. අද උන්වහන්සේ බණට, පාංශුකූලයට, පිරිතට, දානයට හා වෙනත් එවැනි පරලොවට සම්බන්ධ පිංකම්වලට පමණක් සීමා වී ඇත. මෙලොවට සම්බන්ධ පිංකම් ද වෙයි. මෙලොව ජීවිතය වැඩදායක ලෙස පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද යන්න ජනතාවට කියා දුන්නේත් විඤ්ඤූන් ලෙස නායකත්වය දුන්නේත් භික්‍ෂූන් වහන්සේ ය. අද පාසල් අධ්‍යාපනය මගින් උන්වහන්සේ එතැනින් ඉවත් කෙරී ඇත.

අද පිරිවෙන් අධ්‍යාපනය යනුවෙන් කිවහැකි සුවිශේෂ අධ්‍යාපනයක් නැත. විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් බටහිර අච්චුවේ විශ්වවිද්‍යාල බවට පත්කිරීමෙන් පසුව සියළු පිරිවෙන්වල අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් කඩා වැටිණි. එදා පිරිවෙනෙන් බිහි වූ පඬිවරුන් වහන්සේ අද බිහි නො වෙති. එමගින් භික්‍ෂූ පරපුරට වූ හානිය සුළුපටු නො වේ. දහම් පාසල් ද ක්‍රියාත්මක වනුයේ බටහිර ක්‍රිස්තියානි ආකෘතියෙහි ය. එහි පුදුමයක් නැත්තේ ඕල්කට්තුමා එදා ඉරිදා පාසල් ඇති කළේ ම ක්‍රිස්තියානි ආකෘතියෙහි වීම ය. මැටි පහන වෙනුවට ඉටිපන්දම් බකට් පහන් හඳුන්වා දුන් ඕල්කට්තුමා නිසා අපට කිසි දිනෙක මෙරට බෞද්ධ පාසල් ඇතිකර ගැනීමට නො හැකි විය. අප ඇති කළේ බෞද්ධ ආලේපය තැවරූ ක්‍රිස්තියානි පාසල් ය. ඕල්කට්තුමාට ඉංගිරිසින්ගේ හා ඕල්කට් බෞද්ධයන්ගේ සහායෙන් ධර්මපාලතුමා හා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් පැරදවීමට හැකිවීම මෙරට ඛෙදජනකයක් විය. පාණදුරා වාදයෙන් ඇති වූ බෞද්ධ පුනර්ජිවනය ඒ හේතුවෙන් ම මෙරටට පැමිණි ඕල්කට්තුමා විසින් පීළිපන්නනු ලැබිණි. එකල අප ජීවත්වූයේ ක්‍රිස්තියානි යටත්විජිතයක නිසා ක්‍රිස්තියානි අධ්‍යාපනය මෙරටට රිංගීම පුදුමයක් නො වේ යැයි කිසිවකු කියනු ඇත. එහෙත් අපට එම ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් අවශෝෂණය කළහැකි යමක් වී නම් එසේ කරමින් වෙනත් දිශාවකට ගමන් කරන විකල්ප බෞද්ධ අධ්‍යාපනයක් ඇතිකර ගැනීමට මූලික පියවර ගැනීමටවත් නොහැකිවීම කණගාටුදායක ය. මෙම ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ආදීනව බෞද්ධයන් නොදැක්කා නො වේ. ඔවුන් පෞද්ගලික පාසල් රජයට ගෙන ආගමික නොවන අධ්‍යාපනයක් ඇති කිරීමට බෞද්ධ කොමිෂන් සභාව මගින් ද ඉල්ලා සිටියේ එබැවිනි. එහෙත් බෞද්ධයන් අද මෙන් ම එකල ද නොදැන සිටි කරුණ නම් රජයේ පාසල්වල ද ලැබෙන්නේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් බව ය. එහෙත් එවැනි ක්‍රිස්තියානි අධ්‍යාපනයකට ද කතෝලික සභාව විරුද්ධ විය. ප්‍රධාන පූජකවරුන්ට අවශ්‍ය වූයේ තමන් යටතේ ම සෘජු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීමට ය. පාසල් රජයට ගැනීමට ගිය විට ඔවුහු හා ප්‍රභූ කතෝලිකයෝ සාමාන්‍ය කතෝලික ජනයා ආණ්ඩුවට විරුද්ධව උසි ගැන්වූහ. සාමාන්‍ය ජනයා පාසල්වල ලැගුම් ගත්හ. එහෙත් ප්‍රධාන පූජකවරුන්ගේ හා ප්‍රභූ කතෝලිකයන්ගේ විරෝධය හමුවේ බණ්ඩාරනායක මැතිණිය නොසැලී සිටියා ය. පාසල් කිහිපයක් හැරෙන්නට ඉතිරි පාසල් රජයට ගනු ලැබිණි. ප්‍රභූවරු එතුමියගේ ආණ්ඩුව පෙරළීමට අබෞද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළහ. අපරාධ කරුවන්ට මෙරට අධිකරණයෙන් දඬුවම් නියම කෙරුණ ද එංගලන්තයේ සාමි මණ්ත්‍රණ සභා අධිකරණයෙන් තාක්‍ෂණික හේතු මත ඔවුහු නිිදහස් කරනු ලැබුණහ. පාසල් රජයට ගැනීමෙන් එතරම් වැඩක් නොවූයේ සමස්ත අධ්‍යාපනය ම බටහිර ක්‍රිස්තියානි වීම නිසා ය. මෙරට ගුරුදෙවියන් වූ භික්‍ෂූන් වහන්සේ අවසානයේ දී පාංශුකූලයට හා වෙනත් ලෝකෝත්තර පිංකම් කිහිපයකට පමණක් සීමා වී ඇත්තේ මේ තකතීරු විජාතික ඔළමොට්ටල අධ්‍යාපනය හේතුකොටගෙන ය. මේ අධ්‍යාපනයෙන් සිදුවන දෙය කිහිප දෙනකුට සමාජ හිණිමගේ ඉහළට යෑමට ලැබීම හා වැඩි දෙනකුගේ මොළ සෝදා ඔවුන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කිරීම ය. ඔවුන්ට ලෞකික වශයෙන් භික්‍ෂූන් වහන්සේ අවශ්‍ය නො වේ. බ්‍රවුන්රිග්ට අවශ්‍ය වූ දෙය 1815න්් අවුරුදු දෙසියයකට පසු සිදු වී ඇත. අප 2015 ට පය නැගිය යුත්තේ මෙය වෙනස් කිරීමට අදිටන් කර ගනිමිනි.

අද අවශ්‍ය වන්නේ නැවතත් භික්‍ෂූන් වහන්සේ මෙරට ගුරු දෙවිවරුන්, විඤ්ඤූන් බවට පත්කර ගැනීම ය. ඒ සඳහා කළ යුතු කාර්යයන් රැසක් වෙයි. බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබ රටේ විඤ්ඤූන් බවට පත්ව කාළාම සූත්‍රය ද ඊනියා විද්‍යාත්මක අයුරෙන් අර්ථදක්වන පුහු අනුකාරකයන් කවුදැයි හඳුන්වා දිය යුූතුව ඇත. බටහිරයන්ගේ මතිමතාන්තර තමන්ට තේරෙන ආකාරයට ඉංගිරිසියෙන් කියවා එය සිංහලෙන් ප්‍රකාශ කිරීම හැර වෙනත් දෙයක් කිරීමට මේ අනුකාරකයෝ නො දනිති. එහෙත් ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි බලයෙන් මෙරට විඤ්ඤූන් බවට පත් ව සිටිති. ඔවුහු අපේ දැනුම මිථ්‍යාවක් යැයි කියති. මොවුන්ගෙන් පසුගිය අවුරුදු එකසිය හැත්තෑපහක පමණ කාලයක් තිසසේ රටට සිදු වී ඇති යහපත කුමක් ද? මේ රට ආශ්චර්යයක් වූයේ භික්‍ෂූන් වහන්සේ මෙරට විඤ්ඤූන් ව සිටි සමයෙහි ද, එසේත් නැත්නම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ අනුකාරකයන් විඤ්ඤූන් බවට පත් සමයෙහි ද? භික්‍ෂූන් වහන්සේ මේ අධ්‍යාපනය මගින් බිය කෙරී ඇත. මේ බිය නැති කළ යුතු ය. බටහිර විද්‍යාව ද ඇතුළත් බටහිර දැනුම බෞද්ධ දැනුම හමුවේ හිරු දුටු කදෝ පැණියකු පමණක් වෙයි.