History

Saturday, 25 August 2012

අධ්‍යාපනයේ අර්බුදය හා ආණ්ඩුවේ අර්බුදය

පසුගිය සතියේ අපි අධ්‍යාපනයේ අර්බුදය හා ආචාර්ය සමිති සම්මේලනයේ අර්බුදය ගැන කතා කළෙමු. අධ්‍යාපනයේ ඊනියා අර්බුදය මේ වසරට සීමා නොවූ උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල දෝෂ, ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ ආණ්ඩුව අස්ථායී කිරීමේ අරමුණෙන් කරන වැඩ වර්ජනය හා මූලික වශයෙන් අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ සමාජ සංචලනය සඳහා අධ්‍යාපනය යොදාගැනීමෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදයක් නො වේ. කෙටියෙන් කිවහොත් අද ආචාර්ය සමිති සම්මේලනය, ඇතැම් ගුරු සංගම්, ජ වි පෙ, එ ජා ප, ආණ්ඩුවේ සිටින ඊනියා වමේ දේශපාලන පක්‍ෂ ආදිය හා ඒ පක්‍ෂවලට හිතවත් ජඩමාධ්‍යවේදීන් ආදීන් විසින් උලුප්පනු ලබන ප්‍රශ්න අද අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙහි ඇතත් ඊනියා අධ්‍යාපන අර්බුදයක් නම් නැත. මේ බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් ද සහභාගි වූ සංවාද දෙකක් මගින් රූපවාහිනි නාලිකා දෙකක මම පැහැදිලි කර දුන්නෙමි. එමෙන් ම චින්තන පර්ෂදය මගින් ආචාර්ය සමිති සම්මේලනයට කරන ලද ආරාධනයක් අනුව පර්ෂදය විසින් සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයකට පැමිණ සම්මේලනයේ සභාපති ලෙස නොව පුද්ගලයකු ලෙස කතාකළ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා ඔහුගේ දේශපාලනයට හිතවත් පුද්ගලයන් කිහිප දෙනකු ඇතුළත් වූ පිරිසට ද ඒ පිළිබඳ ව කරුණු දැක්වූයෙමි. එමෙන් ම ඉරිදා දිවයින, විදුසර හා දි අයිලන්ඩ් පුවත්පත් ඔස්සේ ද ඒ පැහැදිලි කර ඇත්තෙමි. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නයට මුළුමනින් ම වගකිවයුත්තේ එක්තරා ගුරු සංගමයක්, ජ වි පෙරමුණට, එ ජා පක්‍ෂයට හිතවත් ජඩමාධ්‍යවේදීන් හා ඔවුන්ට අනුබල දුන් මහාචාර්ය තටිල් මහතා ය. තටිල් මහතා හැරෙන්නට අනක් අය හා එ ජා ප හා ජ වි පෙ නායකයෝ එය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර අදාළ ඇමතිවරුන්ට බොරු චෝදනා කරමින් ආණ්ඩු විරෝධී ජනමතයක් ඇතිකර ප්‍රශ්නය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමුකිරීමට කටයුතු කළහ. එ ජා පක්‍ෂයේ කරු ජයසූරිය මහතාට අනුව විශ්වවවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ක්‍රියාත්මක කර නැත. මා දන්නා ආකාරයෙන් නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙවන වර ඉසෙඩ් ලකුණු ගණනය කරවූයේ තටිල් ක්‍රමය අනුව ය. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ ක්‍රමයට වෙනස් ක්‍රමයක් නඩු තීන්දුවෙන් ප්‍රකාශ කළේ දැයි මම නො දනිමි. එවැනි ක්‍රමයක් ප්‍රකාශකර ඇත්නම් එය නොසලකා හැරීම ගැන උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා වහාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පියවර ගත යුතු ය. නැතහොත් ශ්‍රෙෂ්ඨාධිකරණය කියා ඇත්තේ කුමක් දැයි ජනතාවට පැහැදිලි කළ යුතු ය. ආණ්ඩුව අර්බුදයට යන්නේ මෙවැනි ප්‍රශ්නවල දී නිසි පියවර නොගැනීම නිසා ය.

ඒ කෙසේ වෙතත් පසුගිය අවුරුදු විසිපහක කාලයක අධ්‍යාපනයෙහි තිබූ ප්‍රශ්න වර්ධනය වී අද අර්බුදයක් ඇති වී නැත. එකල ද නාගරික පාසල්වල ද ගුරු හිඟයක් තිබිණි. අවුරුදු පනහකට ඉහත මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරික්‍ෂණයට පෙනී සිට සති කිහිපයක් ඇතුළත වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙහි එයට පසු වසරෙහි එම පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන්ට ගණිතය ඉගැන්වීමට මට පත්වීමක් ලැබුණේ ඒ ගුරු හිඟය නිසා ය. අද නාගරික පාසල්වල එවැනි උග්‍ර ගුරු හිඟයක් නැත. එහෙත් තත්වය එදාට වඩා යහපත් නමුත් ග්‍රාමීය පාසල්වල ප්‍රශ්නය විසඳී නැත. එකල ද ඇතැම් පාසල්වල වැසිළිකිළි නොතිබිණි. මා ඉතා හොඳින් දන්නා කරුණක් නම් මා බාලාංශ පංතිවල ඉගෙනගත් පාසලේ අද ඇති පහසුකම් අවුරුදු හැටකට එපිට තිබූ පහසුකම්වලට වැඩි බව ය. අද ග්‍රාමිය පාසල් වැසෙන්නේ නම් එයට හේතු දෙකකි. එකක් අද බොහෝ දෙමව්පියන් තම දරුවන් වැඩි පහසුකම් ඇති නාගරික පාසල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනීමත්් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබීමත් ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලේ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් එකසිය හතළිහකගෙන් සියයට අසුපහක් පමණ රාජකීය ප්‍රාථමික පාසලේ ඉගෙන ගත් සිසුහු වූහ. අද රාජකීය විදුහලේ හයවැනි ශ්‍රේණියට ඇතුළත් වන පන්සියයකට ආසන්න සිසුන්ගෙන් බහුතරය වෙනත් පාසල්වල, විශේෂයෙන් ම කොළඹින් පිට පළාත්වල, ඉගෙන ගත් සිසුහු වෙති. අද රට ඇතුළත සිසුන්ගේ මෙන් ම දෙමව්පියන්ගේ ද කොළඹට සිදුවන බුද්ධි ගලනය (එය එසේ යැයි හඳුන්වන්නේ නම්) ගැන කතා කරන්නේ කවු ද? රටේ තවමත් මේ ඊනියා සංවර්ධනයෙහි රැකියා ඇත්තේ බස්නාහිර පළාතේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ය. අද එදාට වඩා මධ්‍යම පංතිය ප්‍රසාරණය වී ඇති බවත් ඔවුන්ගේ අභිලාෂ ද ඒ සමග වර්ධනය වී ඇති බවත් අමතක නොකළ යුතු ය. අද ආවාර්ය සමිති සම්මේලනයේ ඇත්තන් කිසිම වැටහීමක් නැතිව සඳහන් කරන දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රමාණයක් එකතුවන්නේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් හා බස්නාහිර පළාතෙනි. ඒ නිසා ම දෝ අද පෙරටත් වඩා ග්‍රාමිය පාසල්වලට නොගෙස් නගරයේ රැඳෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි ය. ඉදිරියේ දී මධ්‍යම පංතිය තව තවත් ප්‍රසාරණය වන විට මේ ප්‍රවණතාව තවත් වැඩිවනු ඇත. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රශ්නයක් මිස අධ්‍යාපනයේ අර්බුදයක් නො වේ. අධ්‍යාපනයේ වෙනත් ප්‍රශ්නයක් නම් ඇත. අද ලබාදෙන ක්‍රිස්තියානි යටත්විජිතවාදී අනුකාරක අධ්‍යාපනය රටට අහිතකර ය. විශ්වවිද්‍යාල ආචාර්ය සමීිති සම්මේලනය ප්‍රශ්න තේරුම් ගනු වෙනුවට බොරු කියමින් ජනතාව රැවටීමට උත්සාහ කිරීම කණගාටුදායක ය.

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් තේරුම් නොගත්තත් දැනටමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කෙරී ඇති බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී දිසානායක මහතා පෙන්නුම් කර ඇත. ඒ අතර ම ආණ්ඩුවේ මුළු වියදමෙන් 8%ක් පමණ අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙයි. මේ බව මා ද පෙන්වා දී ඇත. යුනෙස්කෝ වාර්තාවේ ඇත්තේ තළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න මිස ආණ්ඩුව දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වියදම් කළයුතු බව නො වේ. ආණ්ඩුවේ මුළු වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 28%ක් පමණ වන විට ආණ්ඩුව ඒ මුළු වියදමෙන් 20%කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරන්නේ කෙසේ ද? අනෙක් අතට මා කිහිප වතාවක් ම පැහැදිලි කර ඇති ආකාරයට රටේ ආරක්‍ෂාව (මෙය ධනපති රාජ්‍යයේ ආරක්‍ෂාව යැයි කසිකබල් මාක්ස්වාදී විග්‍රහයක් කරන පුස්සන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ත්‍රස්තවාදයට රට යට කිරීමට ය. ) සඳහා පසුගිය අවුරුදු පහකට අධික කාලයක වෙන්කරන ලද මුදල එයට පෙර වෙන්කරන ලද මුදලට වැඩි ය. ඒ හේතුවෙන් ආණ්ඩුවේ මුළු වියදමෙන් ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන්කරන මුදල අඩු වෙයි. රත්නසිරි වික්‍රමනායක මහතා කියා ඇති පරිදි ආණ්ඩුව තව තවත් නවීන ආයුධ මිල දී ගත යුතු ය. ජනාධිපතිතුමා ද පවසන පරිදි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙයි. එය පිටුපස ඇත්තේ ඒංගලන්තය හා අනෙක් බටහිර රටවල් ය. ඔවුහු විසුරුණු දෙමළ ජනයා ද, සම්බන්ධන්ලා ද, සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන් ද ඒ සඳහා යොදා ගනිති. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති සිංහල විරෝධී මත දරන්නෙකි. ඔහු රටේ ආරක්‍ෂාව සඳහා මුදල් වෙන් කිරීමට විරුද්ධ වෙයි. ඔහුට එය ඊනියා ධනපති රාජ්‍ය ආරක්‍ෂාවක් සඳහා මුදල් යෙදවීමකි. එමෙන් ම සම්මේලනයට සම්බන්ධ කසිකබල් මාක්ස්වාදීහු ද සිංහල විරෝධී මත දරති. මේ එක් මාක්ස්වාදියකු ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පුද්ගලික පාසල්වල වුවත් ඉගැන්වීම සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් දිය යුතු බවට කළ යෝජනාවක් සම්මේලනයේ ඉල්ලීම් අතර වෙයි. එය බොරු යැයි කීමට සම්මේලනයේ ඇතැමුන් උත්සාහ දරන්නේ ගලේ මළපහ කළ බළලුන් මෙනි. 6% ඉල්ලීම හැරෙන්නට සම්මේලනයේ අනෙක් ඉල්ලීම් සරසවි ඇදුරන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු ය යන්න මත පදනම් වෙයි. එහෙත් ඇදුරෝ එසේ විශේෂිත පුද්ගලයෝ නො වෙති. ඔවුන්ගේ ප්‍රධාන කටයුත්ත ඉගැන්වීම වුව ද ඔවුන්ට ඒ පිළිබඳ පුහුණුවක් නැත. අවුරුදු විස්සකට පෙර එවැනි යෝජනාවක් සාකච්ඡා වූ විට තමන්ගේ ඊනියා විශේෂිත බව ගැන සඳහන් කරමින් ඇතැම්හු එයට විරුද්ධ වූහ. සරසවි ඇදුරන් විශේෂ පරීක්‍ෂණ කරන්නේ ද නැත. පර්යේෂණ ආයතනවල පර්යේෂකයෝ ද පර්යේෂණ කරති. සරසවි ඇදුරන්ගේ දීමනා වැඩිකර ඇති නමුත් ඔවුන් ෂයිලොක් මෙන් ඉල්ලන්නේ මූලික වැටුප වැඩිකරන ලෙස ය. එය කළ නොහැක්කකි. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂම ඒ ඉල්ලීම අනුමත කළහොත් වැටුප් අරගල රැල්ලක් ඇති වී ආණ්ඩුව අස්ථායී වනු ඇත. බොහෝ ඇදුරන්ට ඒ ගැන අවබෝධයක් නැතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුව අස්ථායි කිරීමට අවශ්‍ය අය ඒ දනිති. සම්මේලනය 6% ඉල්ලීම සඳහා එක්වී සිටින්නේ ඉසෙඩ් අවුල ඇතිකළවුන් සමග ය. ඒ සියල්ලටමත් වඩා වර්ජනය සම්මේලනයේ මා දැන සිටි එහි ව්‍යවස්ථාව අනුව නීති විරෝධී ය.

එහෙත් මේ දුර්වලකම් සියල්ල තිබිය දී එස් බී දිසානායක මහතා මගහැර වෙනත් ඇමතිවරයකු සම්මේලනය සමග සාකච්ඡා කරන්නේ ඈයි ද යන්න ප්‍රශ්නයකි. සම්මේලනය සමග සාකච්ඡා සඳහා අද ආණ්ඩුවේ උසස් නිලතල දරණ විශ්වවිද්‍යාල ඇදුරන් තිදෙනකු සහභාගි වන්නේ කිනම් පදනමකින් ද යන්න එයටත් වඩා ප්‍රශ්නයකි. උසස් අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගැනීමට හෝ උපදෙස් දීමට හෝ ඔවුන්ට ඇති සුදුසුකම කුමක් ද? ඔවුන් අඩු තරමෙන් මෙරට උසස් අධ්‍යාපනය ගැන හැදෑරූ අය ද? ආණ්ඩුව තමන් ශක්තිමත් පදනමක සිටිය දී කිසිම ආකාරයකින් යුක්ති යුක්ත කළ නොහැකි ඉල්ලීම් මත පදනම්ව ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා වර්ජනයේ යෙදී සිටින්නන් සමග සාකච්ඡා කිරීමට විශේෂ ඇමතිවරයකු යොදා ඇත්තේ මේ ත්‍රිමූර්තියේ අවශ්‍යතාවට ද? මාධ්‍ය මගින් පුම්බනු ලැබ ඇති එහෙත් ප්‍රශ්නය අවුල් කරන ඒ තිදෙනා සමග ඕනෑම දිනයක ඕනැම තැනක ඕනෑම වේලාවක මේ ප්‍රශ්නය ගැන වාද කිරීමට මම සූදානමින් සිටිමි. සම්මේලනයේ නිලධාරීන් ආණ්ඩුවේ ඊනියා වමේ ඇමතිවරුන් හමු වී ඇති බවට වාර්තා වෙයි. මාක්ස්වාදීන් යැයි කියාගන්නා මේ ඇමති ත්‍රිත්වය දළ ජාතික හා දේශීය නිෂ්පාදිිත ගැන නො දනිත් ද? ඔවුන් ද බොරු පංති සටන් ගැන කතාකරන සිංහල විරෝධීන් බවත් සිංහල ජනයාගේ ඡන්දය නොවන්නට ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් පත්වීම් ලබාගැනීමට නොහැකි බවත් ඔවුන්ට අමතක වී ඇත. අද ආණ්ඩුවේ බොහෝ දෙනාට (මැති ඇමතිවරුන්ට මෙන් ම නිලධාරීන්ට ද) අමතක වී ඇති කරුණක් නම් ආණ්ඩුව පවතින්නේ එකම එක කාරණයක් නිසා බව ය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ය. එය රණවිරුවන්ගේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාර්යයක් මිස ආණ්ඩුව අර්බුදයට ගෙන යන සිංහල විරෝධීන්ගේ් කාර්යයක් නොවේ. ඇතැමුනට අවශ්‍ය ආණ්ඩුව දිගුකාලීනව පවත්වාගෙන රටට සේවය කිරීම නොව ස්වාර්ථය සඳහා ව්‍යාජ විසඳුම් මගින් තාවකාලික ව ආණ්ඩුච පවත්වා ගැනීම ය.