History

Sunday, 5 August 2012

දේව අංශුව, ප්‍රථම හේතුව හා දේව ගුණය

බොහෝ විට හිග්ස් බෝසෝනයට දේව අංශුව යන නම දෙන්නට ඇත්තේ බටහිර ජනමාධ්‍යවේදියකු විය යුතු ය. ඒ නම දුන් තැනැත්තා ද බටහිර විද්‍යාඥයන් ද අයත්වන්නේ එකම සංස්කෘතියකට ය. බටහිර භෞතික විද්‍යාඥයන් එය තම ඊනියා ශාස්ත්‍රීය ලිපි ලේඛණවල දේව අංශුව නමින් සඳහන් නොකරනවා විය යුතු ය. ඔවුන් සමහරකු අදේවවාදීන් විය හැකි ය. එහෙත් ඔවුන් හිග්ස් බෝසෝනය දේව අංශුව ලෙස හැඳින්වීම ගැන බලවත් විරෝධයක් දක්වන්නේ යැයි සිතිය නො හැකි ය.

හිග්ස් බෝසෝනය දේව අංශුව ලෙස බෞතීස්ම කළ තැනැත්තා බටහිර ජනමාධ්‍යවේදියකු වුව ද නොවූව ද ඔහු අනිවාර්යයෙන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හැදුණු වැඩුණු තැනැත්තකු විය යුතු ය. ඔහු බටහිර භෞතික විද්‍යාව ගැන එතරම් දෙයක් දැන සිටියත් නැතත් ඔහුට ඒ සංස්කෘතිය ගැනත් හිග්ස් බෝසෝනයෙන් සිදුවන කාර්ය ගැනත් මනා අවබෝධයක් ඇති අයකු විය යුතු ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට ප්‍රසිද්ධියේ කිව නොහැකි දෙයක් ඔහු ප්‍රසිද්ධියේ කියා එය ලොවට ම, එනම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි නොවන ලොවත් ඇතුළත් මුළු ලොවට ම, දායාද කර ඇත.

බටහිර භෞතික විද්‍යාව බටහිර විද්‍යාවන් අතර වියුක්ත ම මෙන් ම බෙහෙවින් ම වර්ධනය වූ ද විද්‍යාව වෙයි. එබැවින් ම එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ද ඉහළ ම නිෂ්පාදිතයක් වෙයි. එසේ ම එහි ඒ චින්තනයෙහි හා සංස්කෘතියෙහි ප්‍රධාන ලක්‍ෂණ ද විදහා දැක්වෙයි. හිග්ස් බෝසෝනයට දේව අංශුව යනුවෙන් නම් කළේ කවු ද යන්න දැනගැනීම අපට අවශ්‍ය නො වේ. එහෙත් ඔහු එසේ නම් කිරීමෙන් කර ඇත්තේ කුමක් ද? ඉතා පැහැදිලිව ඔහු හිග්ස් බෝසෝනයට දේව ගුණ ඇති බව වටහාගෙන ඇත.

ඔහුට බටහිර භෞතික විද්‍යාඥයන්ට වඩා හොඳ වැටහීමක් ඒ සම්බන්ධයෙන් ඇති බව පැහැදිලි ය. අප මෙහි කතාකරන දේව ගුණ කවරේ ද? බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැරෙන්න සියල්ල මැවූහ. ඒ සංස්කෘතියෙහි දෙවියන් වහන්සේ මවනු ලැබුයේ කවුරුන් විසින් ද යන්න නො කියැවෙයි. එසේ ම දෙවියන් වහන්සේට උන්වහන්සේ සතු යැයි කියන ගුණ ලබාදුන්නේ කවුරුන් විසින් ද යන්න ද නො කියැවෙයි. දෙවියන් වහන්සේ අඩුම තරමින් තමන් වහන්සේ විසින් මවන ලද බවක්වත් බයිබලයේවත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි වෙනත් ආගමික ලියවිල්ලකවත් සඳහන් නො වෙයි. දෙවියන් වහන්සේ මැවීමට සුපිරි දෙවියන් වහන්සේ කෙනකු සිටිය හැකි නො වේ.

සූපිරි දෙවියන් වහන්සේ කෙනකු ඇතැයි උපකල්පනය කිරීමෙන් ප්‍රශ්නයේ කෙළවරක් දැකිය නො හැකි ය. එවිට ප්‍රශ්නය වනුයේ ඒ සුපිරි දෙවියන් වහන්සේ මවන ලද්දේ කා විසින් ද යන්න ය. ඒ ප්‍රශ්නවල කෙළවරක් නැත. එබැවින් එක් මැවුම්කරුවකුගෙන් ප්‍රශ්නයේ කෙළවරක් දැකීමට බටහිරයන් කල්පනා කළා විය හැකි ය. කිසිවකු දෙවියන් වහන්සේ මවා නැත. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී ද නැත. දෙවියන් වහන්සේ සදාකාලික ද නො වේ. දෙවියන් වහන්සේ කාලය මවා ඇත්තේ ලෝකය මැවීමත් සමග ය. එබැවින් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කාලයට ද ආරම්භයක් ඇත. කාලයට මැවීමට පෙර කුමක් සිදුවිණි ද යන ප්‍රශ්නය පවා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇසිය නො හැකි ය. එයට හේතුව පෙර යන සංකල්පය වලංගු වන්නේ කාලය යන්න මැවීමෙන් පසුව බැවිනි.

කාලය මැවීමට පෙර යන්න අර්ථවිරහිත ප්‍රකාශයක් පමණකි. එබැවින් දෙවියන් වහන්සේ සදාකාලික වන්නේ නම් එසේ වන්නේ කාලය මැවීමෙන් පසුව ය. අවශ්‍ය නම් කාලය මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ සදාකාලික යැයි කිවහැකි ය. කෙසේ වෙතත් මවනු නොලැබූ දෙවියන් වහන්සේ කාලය ද ඇතුළු අන් සියල්ල මවා ඇත. එසේත් නැත්නම් ඇතැම් දේ මවා ඉතිරි සියල්ල මැවෙන්නට සලස්වා ඇත. ඒ දේව ගුණයයි.

අප බොහෝ විට කියා ඇති ආකාරයට නූතනත්වය ආරම්භ වීමෙන් පසු බටහිර භෞතික විද්‍යාව ඇතුළු සියළු බටහිර දැනුම බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය පදනම් කර ගනිමිනි. කතෝලික නොවන ක්‍රිස්තියානි ආගම් ද නිර්මාණය කෙරී ඇත්තේ එම චින්තනයෙහි ය. ආගමක් වුව ද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියක ය. (යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇති වීමට පෙර ක්‍රිස්තියානි ආගම් නොතිබුණ ද අපි එහි ඇති ලක්‍ෂණ හේතුකොටගෙන එය ඒ නමින් හඳුන්වමු.) ආගමක් පමණක් නොව වෙනත් දැනුමක් වුව ද නිර්මාණය කරනු ලැබීමෙණ් පසු ඒ ආගම හෝ දැනුම හෝ අදාළ සංස්කෘතිය විසින් වෙනස් කරනු ලැබෙයි. එය අපට ප්‍රශ්නයක් නො වේ.
එවැනි ප්‍රකාශ ප්‍රශ්නයක් වන්නේ චක්‍රීය චින්තනයක නොව ඒක රේඛීය චින්තනයක ය. ඒක රේඛීය චින්තනයක පටන්ගැන්මක් ඇත. එහි ප්‍රථම හේතුවක් ඇත. ඒක රේඛීය චින්තනයෙහි එක් තැනකින් පටන්ගෙන රේඛාවක් (මේ සඳහා ඕනෑම විවෘත වක්‍රයක් සැලකිය හැකිය) දිගේ මෙන් එකින් එකක් ඇති වී පළමුවැන්න දෙවැන්නහි හේතුවක් වී ගලා යන පිළිවෙළක් වෙයි. සෑම දෙයකට ම හේතුවක් ඇතැයි කීවත් ප්‍රථම හේතුවට හේතුවක් නැත. ප්‍රථම හේතුවට ද හේතුවක් වේ නම් එය ඊනියා ප්‍රථම හේතුව විය නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රථම හේතුවක් ඇත. මෙය එම චින්තනයෙහි පමණක් නොව රේඛීය චින්තනයක ලෂණයකි.

එයට හේතුව රේඛීය චින්තනයෙහි ආරම්භක ලෂ්‍යයක් වීම ය. ඒ ආරම්භක ලෂ්‍යය සෑම දෙයක ම ආරම්භය වෙයි. එහෙත් චක්‍රීය චින්තනයක ආරම්භයක් නැත. එය සංවෘත වක්‍රයක මෙන් ම එක් තැනකින් ආරම්භ නො වෙයි. සිංහල බෞද්ධ චින්තනය සංවෘත චින්තනයකි. එහි ආරම්භයක් නැත. පටිච්චසමුප්පාදය ද සංවෘත චින්තනයක ක්‍රියාත්මක වෙයි. විශ්වයේ ආරම්භය හෝ අවසානය හෝ ගැන නොසිතන ලෙස බුදුන් වහන්සේ දේශනා කළහ.

දෙවියන් වහන්සේ පැහැදිලිව ම එවැනි ප්‍රථම හේතුවකි. දෙවියන් වහන්සේ කෙනකු නිර්මාණය වන්නේ රේඛීය චින්තනයක ය. දෙවියන් වහන්සේ අන් සියල්ලට ම හේතුව (උන්වහන්සේ නිර්මාපකයා ලෙස ගත්කල) නමුත් උන්වහන්සේ පහළවීමට (මේ වචනය නිවැරදි නොවේ. පහළවන්නේ යම් තැනක ය. එහෙත් දෙවියන් වහන්සේ ලෝකය මැවූ හෙයින් එසේ පහළවීමට තැනක් නැත) හෝ ඇතිවීමට හෝ වෙනත් යමකට හෝ හේතුවක් නැත. ප්‍රථම හේතුවට හේතුවක් නැත.

දෙවියන් වහන්සේ පිළිබඳ කතාව බටහිර නිර්මාණය වූවක් නොවන බව ද අමතක නොකළ යුතු ය. එහි උපත පලස්තීනය හා ඒ අවට වෙයි. පලස්තීනය හා අවට වාසය කළ ජනතාවට තිබී ඇත්තේ රේඛීය චින්තනයක් සහිත සංස්කෘතියකි. යුදෙව් ආගම මෙන් ම ඉස්ලාම් ආගම ද ඒ සංස්කෘතියෙහි බිහි වී ඇත. ග්‍රීකයන්ට ද තිබී ඇත්තේ රේඛීය චින්තනයකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය වැනි විෂයයක් ග්‍රීසියේ බිහිවී ඇත්තේ එබැවිනි. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ආරම්භයක් වෙයි.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ආරම්භයේ දී ම ස්වසිද්ධි කිහිපයක් වෙයි. එයට අමතර ව අර්ථදැක්වීම් කිහිපයක් ද වෙයි. තලයක් යන්න සරල රේඛාවලින් හා ලක්‍ෂ්‍යවලින් අර්ථ දැක්වෙයි. සරල රේඛාවක් ලක්‍ෂ්‍යවලින් අර්ථ දැක්වෙයි. එහෙත් ලක්‍ෂ්‍යය අර්ථ දක්වන්නේ කෙසේ ද? එය සරල රේඛාවලින් අර්ථ දැක්විය නොහැක්කේ සරල රේඛා ලක්‍ෂ්‍යවලින් අර්ථ දක්වා ඇති බැවිනි. රේඛීය චින්තනයක අර්ථ දැක්වීම් ගැන සඳහන් කරන විට කියැවෙන මූලික කරුණක් නම් යමක් දෙවැනි දෙයක් ඇසූුරෙන් අර්ථ දක්වා ඇත්නම් ඒ දෙවැන්න පළමුවැන්න ආශ්‍රයෙන් අර්ථ දැක්විය නො යුතු බව ය.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ලෂ්‍යයකට අර්ථ දැක්වීමක් නැත. ලක්‍ෂ්‍යය යන්න අර්ථ නොදක්වන ලද ජ්‍යාමිතික (ගණිතමය) භූතාර්ථයකි. එය යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සංකල්ප සම්බන්ධයෙන් වූ ප්‍රථම හේතුවක් ලෙස සැලකිය හැකි ය. ලක්‍ෂ්‍යය එසේ අර්ථ නොදක්වන ලද භූතාර්ථයක් ලෙස ගෙන අනෙක් භූතාර්ථ ඒ ඇසුරෙන් අර්ථ දැක්වෙයි. ඒ අර්ථයෙන් ගත්කල මුළු යුක්ලීඩීය ජ්‍යාමිතිය ම අර්ථ නොදක්වන ලද දැනුම් පද්ධතියකි.

එසේ ම යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ස්වසිද්ධි (ඒවාට ප්‍රත්‍යක්‍ෂ යැයි ද කියන නමුත් ඒ වැරදිය. ඒවා ප්‍රත්‍යක්‍ෂ නො වේ. ස්වසිද්ධි යන්න උචිත යැයි සිතමි) සාධනය නොකරන ලද ප්‍රකාශ වෙයි. දෙන ලද සරල රේඛාවකට සමාන්තරව එම සරල රේඛාව මත නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඇඳිය හැක්කේ එකම එක සරල රේඛාවක් ය යන්න යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි එක් ස්වසිද්ධියකි. එය වෙනත් ස්වසිද්ධි යොදාගෙන සාධනය කළහැකි නො වේ. බටහිර ගණිතඥයන් ඒ ස්වසිද්ධිය අනෙක් ස්වසිද්ධි යොදාගෙන සාධනය කිරීමට උත්සාහ කර ඇති නමුත් එය සාර්ථක වී නැත.

යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි දී කෙරෙන්නේ අර්ථ දැක්වීම් හා ස්වසිද්ධිවලින් ආරම්භ කර ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් යම් යම් ප්‍රකාශ ලබා ගැනීම ය. මේ ඇතැම් ප්‍රකාශවලට ප්‍රමේය යනුවෙන් කියැවෙයි. ප්‍රමේය සාධනය කෙරෙන නමුත් ස්වසිද්ධි සාධනය නො කෙරෙයි. එලෙස ගත්කල අදාළ ස්වසිද්ධි යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ප්‍රථම හේතු කුලකයක් ලෙස සැලකිය හැකි ය. මෙය යුක්ලීඩීය ජ්‍යාමිතියට පමණක් සීමා වුවක් නොවේ. මුළු මහත් බටහිර ගණිතය ම ගොඩ නැගී ඇත්තේ ඒ ආකෘතියෙහි ය.

බටහිර ගණිතයෙහි ඕනෑම ක්‍ෂෙත්‍රයක කෙරෙන්නේ අර්ථ නොදක්වන ලද නිශ්ශූන්‍ය සංකල්ප කුලකයකින් හා සාධනය නොකරන ලද ස්වසිද්ධි කුලකයකින් පටන්ගෙන ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් ගණිතමය ප්‍රකාශ ලබා ගැනීම ය. ඒ ඇතැම් ප්‍රකාශවලට ප්‍රමේය යනුවෙන් කියැවෙයි. ප්‍රමේය යනු වඩා සාධාරණ වූ ද ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් වෙනත් ප්‍රකාශ ලබාගත (සාධනය කළ) හැකි වූ ද ප්‍රකාශ වෙයි. ඇරිස්ටෝටලීය න්‍යාය ද උද්ගමන පමණක් බව අමතක නොකළ යුතු ය. මෙයින් පැහැදිලි වන කරුණ නම් බටහිර ගණිතයේ දී යමක් සත්‍යය ද නැත් ද යන්න අර්ථ විරහිත බව ය. ස්වසිද්ධි සත්‍ය දැයි දන්නකු නැත. ඒ ගණිතමය වශයෙන් ද සාධනය නොකරන ලද ප්‍රකාශ වෙයි. ඒ හැරෙන්නට එහි අර්ථ නොදක්වන ලද සංකල්ප (ගණිතමය භූතාර්ථ) වෙයි.

දෙවියන් වහන්සේ, ගණිතය ආදිය රේඛීය චින්තන මත පදනම් වී ඇත යන්නෙන් ඕනෑම රේඛීය චින්තනයක දෙවියන් වහන්සේ කෙනකු ඇතිවිය යුතු ය යන්න නො කියැවෙයි. එමෙන් ම ඕනෑම රේඛීය චින්තනයක බටහිර ගණිතය බටහිර විද්‍යාව වැනි විෂය ඇතිවිය යුතු ය යන්න ද නො කියැවෙයි. ග්‍රීකයන්ට දෙවියන් වහන්සේ කෙනකු නො වී ය. එමෙන් ම යුදෙව් චින්තනය ද රේඛීය වූ නමුත් ඔවුන්ට ජ්‍යාමිතියක් නො වී ය. ඇතැම් රේඛීය චින්තනවල ඒ ඒ සංකල්ප, අදහස්, දැනුම් පද්ධති නිර්මාණය වෙයි.

ප්‍රථම හේතුවට හේතුවක් නැත. එය දෙවියන් වහන්සේ මෙනි. හිග්ස් බෝසෝනය දේව අංශුව ලෙස බෞතීස්ම කෙරුණේ කා අතින් වුව ද ඔහුට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ගැන මනා අවබෝධයක් තිබී ඇති බව පැහැදිලි ය. හිග්ස් බෝසෝනය දෙවියන් වහන්සේ මෙනි. එය අනෙක් බෝසෝනවලට ස්කන්ධය ලබා දෙයි. එනම් අනෙක් අංශුවල ස්කන්ධය මවයි. එහෙත් එහි ස්කන්ධය නිර්මාණය කරන්නකු හෝ අංශුවක් හෝ නැත. එයටත් වඩා දේව ගුණයක්් අංශුවකට තිබිය හැකි ද?